History

Friday, 1 March 2024

පොලිස්පති නිර්දේශය

 

පොලිස්පති නිර්දේශය

 

මේ ලිපි ඇතැමුන් කියවන බව සකර්බර්ග් කියනවා. සමහරුන් කියවා නොකියවන බව පෙන්වන බවත් කියනවා. සකර්බර්ග් කියන අන්දමට පොලිස්පති ප්‍රශ්නය බොහෝ දෙනකුට වැඩක් නැහැ. පොලිස්පතිට වඩා ශ්‍රී වික්‍රම රාජසිංහ ඔවුන්ට වැදහත් වෙනවා. එහෙමත් නැත්නම් සියම් නිකායේ උපසම්පදා ප්‍රශ්නය වඩාත් වැදගත් වෙනවා. කිසිවකු අසා තිබුණා මට මල්වත්තෙන් උපසම්පදාව ලැබේවි කියා. මට කුඩා කළ නම් පැවිදි වීමේ ආශාවක් තිබුණා. ඒත් කසිකබල් අධ්‍යාපනයක් ලැබීමෙන් පසු ආශාව නැති වී ගියා. ඒත් මා එක් දෙයක් කියන්න ඕන. සසුන සම්බන්ධයෙන් වඩා වැදගත් විය යුත්තේ ඊනියා රාජාඥා (එවැන්නක් ලිඛිත තිබුණත් නැතත්) නොව බුද්ධ වචනයයි. බුදුහාමුදුරුවන් සුනීතත් පැවිදි කළා. උපාලි කරණැවෑමියා ශාක්‍ය කුලයේ කුමරුන්ට කලින් පැවිදි කර උපාලි තෙරුන් වහන්සේට ජ්‍යෙෂ්ඨත්වයක් ලබා දුන්නා.

 

මා ලිපි ලියන්නේ සකර්බර්ග්ට මිස ජනතාවකට නොවෙයි. එබැවින් ලිපි කියවන සංඛ්‍යාව මට වැදගත් නැහැ. පොලිස්පති ප්‍රශ්නය බොහෝ දෙනාට වැඩකට නැති එකක් වෙන්න පුළුවන්. එහෙත් මට එය කිහිප ආකාරයකින් වැදගත්. මෙහි දී මා කතා කරන්නේ ව්‍යවස්ථාව පැත්තයි. මා නීතිඥයකු නොවන බව සකර්බර්ග් දන්නවා. ඒත් සකර්බර්ග්ට එය ප්‍රශ්නයක් නො වෙයි. සකර්බර්ග් කොහොමත් දන්නවා ලංකාවේ ඉහළ මෙටා හා මොටා තාර්කිකයන්ගේ තර්ක ඥානය පාසල් විවාද කණ්ඩායම් මට්ටමින් ඉහළට නොයන බව. මාත් පාසල් විවාද කණ්ඩායමේ හිටියා. මට ගණිතය හැදෑරීමෙන් විශේෂයෙන් විශ්ලේෂණය  (Analysis) හැදෑරීමෙන් පසුවත් තර්කඥානය දියුණු කර ගන්න බැරි වුණා. විශ්ලේෂණය නොවුවත් පාසල් මට්ටමේ දී එහි ස්වරූපයක් කලනය (Calculus) කියා ප්‍රාථමික මට්ටමකින් උගන්වනවා.  

 

පොලිස්පති ප්‍රශ්නයට අදාළ ව්‍යවස්ථා සභාව සම්බන්ධ ව්‍යවස්ථා කිහිපයක් මෙහි සඳහන් කරනවා. මට වැදගත් වන්නේ පොලිස්පති ව්‍යවස්ථාවට එකඟ පත් කර ඇත්ද කියා දැන ගැනීමටයි. ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිගේ නිර්දේශය ව්‍යවස්ථා සභාව අනුමත කරන්න ඕන.

 

"41.  (1)  ජනාධිපතිවරයා විසින් සභාවට කරන ලද නිර්දේශයක් මත, සභාව විසින් අනුමත කර ඇත්නම් මිස, මේ ව්‍යවස්ථාවේ උපලේඛනයේ නිශ්චිතව සඳහන් කිසිම ධූරයකට ජනාධිපතිවරයා විසින් කිසිදු තැනැත්තකු පත් කරනු නොලැබිය යුත්තේ .

 

41 . (3) සභාවේ යම් රැස්වීමක් සඳහා ගණපූරණය සාමාජිකයන් පස්  දෙනකුගෙන් සමන්විත විය යුත්තේ .

 

(4)  සභාව විසින් කරනු ලැබිය යුතු සෑම නිර්දේශයක් හෝ අනුමත කිරීමක් ගනු ලබන සෑම තීරණයක් ඒකමතිකව තීරණය කිරීමට සභාව විසින් උත්සාහ දරනු ලැබිය යුත්තේ . ඒකමතික තීරණයක් නොමැති අවස්ථාවක දී සභාවේ රැස්වීමට පැමිණ සිටින සාමාජිකයන් පස් දෙනකුට නොඅඩු සංඛ්‍යාවක් විසින් සනාථ කළහොත් මිස, සභාව විසින් කරන ලද යම් නිර්දේශයක් හෝ අනුමත කිරීමක් හෝ ගනු ලැබූ යම් තීරණයක් හෝ බලසහිත නොවිය යුත්තේ .

 

 (5) සභාපතිවරයාට හෝ රැස්වීමේ මූලාසනය දරන වෙනත් සාමාජිකයාට මුල් ඡන්දයක් නොමැති නමුත් සභාවේ යම් රැස්වීමක දී තීරණය කරනු ලැබිය යුතු යම් ප්‍රශ්නයක් සඳහා සම සමව ඡන්දය ලැබුණු අවස්ථාවකදී සභාපතිවරයාට හෝ රැස්වීමේ මූලාසනය දරන වෙනත් සාමාජිකයාට තීරක ඡන්දයක් තිබිය යුත්තේ .

 

 (6) 41 හෝ 41 ව්‍යවස්ථා යටතේ යම් පත්කිරීමක් සඳහා යෝග්‍ය තැනැත්තන් නිර්දේශ කිරීමේ දී හෝ අනුමත කිරීමේ දී අනුගමනය කළ යුතු කාර්ය පටිපාටිය ඇතුළුව සභාවේ රැස්වීම් සහ රැස්වීම්වලදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු කාර්ය පටිපාටිය සභාව විසින් තීරණය කරනු  ලැබිය යුත්තේ ."

 

අනුව පොලිස්පති නිර්දේශය සනාථ කිරීම සඳහා ව්‍යවස්ථා සභාව රැස්වෙන්න ඕන. එහි ගණපූරණය තියෙන්න ඕන.ගණපූරණය පහයි. තීරණයක් හැකි සෑම විට ඒකමතික ගන්න උත්සාහ කරන්න ඕන. ඒකමතික බැරි නම් අඩු තරමෙන් පස් දෙනකුවත් සනාථ කරන්න ඕන. සභාපතිත් දේශබන්ධු තෙන්නකෝන්ගේ නම නිර්දේශ කිරීම සනාථ කර තියෙනවා. සනාථ කිරීමත් සමග සාමාජිකයන් පස් දෙනකු දේශබන්ධු තෙන්නකෝන්ගේ නම අනුමත කරල තියෙනවා. ඉතින් මොකක් ප්‍රශ්නය.

 

උගත් නීතිඥ මහත්වරු කියන්නේ සභාපතිට මුල් වතාවේ ඡන්දයක් නෙමැති බවයි. එබැවින් සභාපතිට එසේ ඡන්දය දීමට නොහැකි බවයි. මා දන්නේ නැහැ ව්‍යවස්ථා සභාව තම කාර්යයන් කරන්නේ කෙසේ කියා (කාර්ය පටිපාටිය) තීරණය කර ඇත් එසේ නම් තීරණය කුමක් කියා.

 

එහෙත් ව්‍යවස්ථාව අනුව නම් මට උගත් නීතිඥ මහතුන් සමග එකඟ වීමට තරම් උගත් කමක් නැහැ.  මෙහි දී කියැවෙන්නේ ජනාධිපති නිර්දේශයක් ගැන. සභාවේ සාමාජිකයන් පස් දෙනකු එය සනාථ කරනවා නම් නිර්දේශයට එකඟ නම් නිරදේශය අනුමත වෙනවා. එච්චරයි. සභාපතිත් සාමාජිකයෙක් නොවැ.

 

මෙතන යෝජනාවක් ගෙනැල්ල ඡන්දයක් පැවැත්වීමක් ගැන කියැවෙන්නෙ නැහැ. මට නම් මෙහි වෙනසක් තියෙනවා. එය ඉතා සුළු වෙනසක් වෙන්න පුළුවන්. ඡන්දය කියන්නෙත් කැමැත්ත පළ කිරීමක් තමයි. එහෙත් මෙය යෝජනාවකට කැමැත්ත පළ කිරීමක් නො වෙයි. ජනාධිපතිගෙ නිර්දේශයකට  අඩු තරමෙන්සාමාජිකයන්  පස් දෙනකු කැමති කියා දැන ගැනීමක් පමණයි.

 

මෙය බොළඳ තර්කයක්   කියන්න මා දන්නෙ නැහැ. මේ මට හිතෙන හැටි. කිසිවකු කියන්න පුළුවන් මා රනිල් රාජපක්‍ෂ ආණ්ඩුවට කඩේ යනව කියලා. අපොයි නැහැ. මා තර්කයටවත් කඩේ යන්නෙ නැහැ. මගේ මේ තර්කය  පදනම් වන්නෙ ඇරිස්ටෝටලීය න්‍යාය මත බවත් කියන්න ඕන. එහි ඇත්තෙ චතුස්කෝටිකයෙ අවස්ථා දෙකක් පමණයි. මෙහි දී ප්‍රමාණවත්.