History

▼

Sunday, 21 April 2024

ප්‍රතිචාර ගැන

 

ප්‍රතිචාර ගැන

 

ඒ ටී ආරියරත්න වටා කෙටි සටහනක් ලියන්න ඕන. එහෙත් එයට ප්‍රථම මගේ කලින් ලිපියට දැක්වූ ප්‍රතිචාර ගැන යමක් කියන්න ඕන. මගේ දරුවන් ඒ ගැන කැමති වෙන එකක් නැහැ.

 

මා දැනට ඇමරිකාවේ ජීවත්වන බව සැබැව. එහෙත් මා ලංකාවේ රටවැසියකු පමණක් නොව එහි සිංහල බෞද්ධ සංස්කෘතික විශේෂත්වය ද සැලකිල්ලට ගනිමින් රට ගැන හිතන්නෙක්. මා රට ගැන හිතන විධිය සිංහල බෞද්ධ විරෝධී පඬිනැට්ටන් හිතන විධියට වඩා බෙහෙවින් වෙනස්. මා මාක්ස්වාදයෙන් කැඩුණේ බර්ලින් තාප්පය බිඳ වැටී බටහිර පඬියන් මාක්ස්වාදයේ කඩා වැටීම සනිටුහන් කර ගැනීමට බොහෝ කලින් 1980 මුල දී. අනුව දශකය වෙන විට මා බටහිර විද්‍යා දැනුම් ආධිපත්‍යයෙන් ද මිිදුණා.

 

මා නාකියකු බව ඇත්ත. ඔය තරුණ පඬිනැට්ටන් නාකි නොවී මිය යනු ඇතැයි මා බලාපොරොත්තු වන්නේ නැහැ. මා ඔවුන්ට දීර්ඝායු පතනවා. මට මාස කිහිපයකින් අසූව පිරෙනවා. මගේ ජීවිතයෙන් අවුරුද හැත්තෑඅටක් පමණ වන තුරු  පශ්චාත් උපාධිවලට හා මියන්මා තානාපති ලෙස යෑමට මිසක් මා තාවකාලිකව ජීවත්වීමටවත් රටින් පිටවී නැහැ. එහෙත් මා පිනට හරි ලැබුණු ආචාර්ය උපාධියක් සමගිනුත් ලංකාවේ අවුරුදු දොළහක් පමණ රැකියාවක් නැතුව සැප වින්දා. දරුවන් වැඩෙන වියේ මට ඔවුන්ට පිටරට තබා මෙරටවත් අධ්‍යාපනයක් ලබා දීමට නොහැකි වුණා.

 

රොහාන් පෙරේරා හෙවත් ෆස්ලි නිසාර් ගැන මට ප්‍රශ්න තියෙනවා. ඒ ඔහු මුස්ලිම් සංස්කෘතියක හැදී වැඩි මුස්ලිම් අනන්‍යතාවක් ලබා ගැනීම ගැන නොවෙයි. මට ඊබ්‍රාහිම් ගැනවත් ඔහුගේ පුතුන් ගැනවත් එවැනි ප්‍රශ්න නැහැ. මා හිතන්නේ කාදිනල්තුමාටත් නැහැ කියා. රනිල්දාස හෙවත් මෝදිදාස්ට තියෙන්න විධියක් නැහැ.  කබීර් හෂීම් එම් එච් මොහොමඩ් මගේ පාසල් මිතුරකුගේ පියා වූ කලීල් ආදීන් ගැනවත් මට ප්‍රශ්න නැහැ. ඔවුන්ගේ මුස්ලිම් අනන්‍යතාවෙන් ආතල් ගැනීමට මට වුවමනාවක් නැහැ. ඇතැම් මුස්ලිමුන් ආතල්ගම බිරියානි වටලප්පන් බෙදා ආතල් ගත් බව නම් දන්නවා. පනස්හයේ ආණ්ඩුවේ සී එ එස් මරික්කාර් නමින් ඇමතිවරයකු සිටියා. ඔහු තම නම වෙනස්කර ගත්තේ නැතත් හඳුන්වනු ලැබුයේ සිංහල මරික්කාර් නමින්.

 

ෆස්ලි නිසාර් මුස්ලිම් වූයේ ඔහු ඔය කියන විධියට අඩු තරමෙන් අවුරුදු දහහතක් වන තුරු හැදුණේ වැඩුණේ මුස්ලිම් සංස්කෘතියක බැවින්. ඉන්පසු ඔහුගේ ජීවිතය හරිහැටි දන්නා කෙනකු ඉන්න බවක් දැනගන්න නැහැ. ඒ ගැන අපි පසුව කතා කරමු. මගේ ප්‍රශ්නය වූයේ ඊබ්‍රාහිම්ලා කබීර්ලා මොහොමඩ්ලා කලීල්ලා මුස්ලිම් අනන්‍යතාව වෙනස් කර නොගත් රටක ෆස්ලි රොහාන් වුණේ ඇයි ද යන්නයි. පඬි නැට්ටන් විවිධ කතා කියා තිබුණා. මා මගේ කේරළ අනන්‍යතාව සඟවා ගෙන ඉන්න බව කිවුවා. මට ඇති කේරළ අනන්‍යතාවක් නැහැ. මට රාජස්ථාන සම්භවයක් නම් තියෙනවා. මා එය කිහිප වරක් කියා තියෙනවා. ඒ රාජස්ථාන සම්භවය අප හංගා නැහැ. ඨකුර හා ඔහුගේ මුණුබුරන් වූ අර්ථ දේව, ආදීත්‍ය ආදීන්ගෙ නම් අපේ වාසගමේ තියෙනවා. එක් පඬි නැට්ටකු මගේ නම ඉංගිරිසියෙන් ද කොහේ ද කියවා ලින්ඩාමුලගේ නලින් කුමාර් ඩි සිල්වා කියා ලියා තිබුණා. නැහැ මගේ සම්පූර්ණ නම ථකුරාර්ථ දේවාදිත්‍ය ගාර්දියවසම් ලිඳමුලගේ නලින් කුමාර් ද සිල්වා. පඬි නැට්ටන්ට නම් නලියා. මගේ ජාන හා ඨකුරගේ ජාන අතර සමානකමක් තිබිය හැකි නමුත්  සිංහල වන්නේ ඨකුර නොව මායි.  මට හංගන්න කිසිවක් නැහැ. ඔස්කා වයිල්ඩ්ට හංගන්න තිබූ දේ මට නැහැ.

 

පුරන් අප්පු ධර්මපාලතුමා වැන්නන් තම නම් වෙනස් කර ගත්තේ ඇයි ද කියා තම හොම්බෙන් එහාට දකින්න බැරි පඬි නැට්ටන් අසා තිබුණා. ඒ දෙදෙනා හා තවත් අය සිංහල සංස්කෘතියේ. ඔවුන් කෙළේ තමන්ට තිබූ විදේශීය නම් වෙනුවට සිංහල නම් ගැනීමයි. ඉස්තරම් ම පඬි නැට්ටකු අසා තිබුණා සිද්ධාර්ථ තම නම වෙනස්කර බුද්ධ නම දාගත්තේ ඇයි ද කියා. රොහාන් පෙරේරාට බුද්ධ යන්න නමක් වුණාට බුදුහාමුදූරුවන්ට බුද්ධ නමක් නො වෙයි. බුද්ධත්වයට පත් වු නිසා එතුමන් බුද්ධ වුණා.  පඬි නැට්ටා ඩෙරීඩා ෆුකෝ කියවන වෙලාවෙ දහම් පාසලක් අසළින් ගියා නම් හරි පවුලේ කවුරු හරි අටවිසි බුද්ධ පූජාවකට සහභාගි වුණා නම් හරි දැන ගන්න තිබුණා බෞද්ධයන් අඩුම තරමින් බුදුහාමුදූරුවරුන් විසිඅට නමකගේ නම් අසා ඇති බව. අපේ වත්මන් බුදුහාමුදුරුවන් ගෞතම බුදුහාමුදුරුවන්. සිංහල බෞද්ධ සංස්කෘතියේ හුළඟවත් දැනිලා නැති සිංහල බෞද්ධ විරෝධී පඬිනැට්ටන් ඒ ගැන දැනගන්නේ කෙසේ ද? පඬි නැට්ටා හිතන්නේ ජනාධිපති කියන එක රනිල්ගෙ නමක් කියා ද?

 

පඬි නැට්ටකු කියා තිබුණා මා විද්‍යාඥයකු නොවී ආපසු පැමිණියේ ප්‍රොජෙක්ට් එකකට කියා. මා විශේෂ ප්‍රොජෙක්ට් එකකට නම් ආවේ නැහැ. මා ආපසු ආවේ මට විද්‍යාඥයකු වීමට නොහැකි බව තේරුම් ගිය නිසා. ඉන් රජයට නම් පවුම් 700ක් පමණ ඉතිරි වුණා. නොඉල්ලා ම මට පිනට ලැබුණු ආචාර්ය උපාධිය ගෙන ආපසු ආවේ 1970 දී. එතැන් සිට 1980 දක්වා මා සමසමාජ පක්‍ෂයේ හා නව සමසමාජ පක්‍ෂයේ ප්‍රොජෙක්ට්වල නම් යෙදුණා.  1963 සිට ම මා කෙළේ ඒ ප්‍රොජෙක්ට් තමයි.

 

මා මේ ටික ලිවුවේ පඬි නැට්ටන්ගේ අනුකම්පාව දිනාගන්න නොවෙයි. ඔවුන්ගේ අනුකම්පාවෙන් හරි වෛරයෙන් හරි ගෞරවයෙන් හරි මට තුට්ටුවක වැඩක් නැහැ. මා ඒ කිසිවක් පයිසෙකට ගණන් ගන්නේ නැහැ. ඔවුන්ගේ කසිකබල් ප්‍රතිචාර ගැන හිතන අනෙක් අය සඳහා මා ඒ ටික ලිවුවේ. පඬි නැට්ටන් ලියන්නේ තම තම නැණ පමණින්. බොහෝ දෙනා ලියන්නේ තම තම නැණ පමණින්. දර්ශනය ඉගෙනීමෙන් මා කියන්නේ බොරු බව දැන ගෙන ඇති පඬි නැට්ටකු තම පඬි බව පෙන්වමින් කියා තිබුණා හැමෝම ලියන්නේ තම තම නැණ පමණින් කියා. ලංකාවේ අයට නම් ඒ ඇත්තක්. ඔවුන් තමන් දන්නා දේ අනුව ලියනවා. එහෙත් සමහරුන් තමන් දන්නා දේට අලුත් දේ එකතු කරනවා. මේ ලිපි කියවන්නේ ලංකාවේ අය පමණක් වුවත් හැමෝම ලියන්නේ තම තම නැණ පමණින් කියා ලියන එක වැරදියි.

 

මා අද ජීවත්වන්නේ දරුවන්ගේ රැකවරණ යටතේ. මට එ රැකවරණ ප්‍රමාණවත්. පඬි නැට්ටකු කියාවි පවුල් පිටින් පිටරට සැප ගන්නවා කියා. දැනුමේ සාපේක්‍ෂතාව.