History

Tuesday, 23 April 2024

සර්වෝදය ව්‍යාපාරය

 

සර්වෝදය ව්‍යාපාරය

 

1958 අවුරුද්ද. අප අටවැනි පංතියේ. සමාජය ගැන සමාජ සේවය ගැන උනන්දුවක් දැක් වූ අප සමහරකුට දැන ගන්න ලැබුණා නාලන්දා විදුහලේ ගුරුවරයකු සිසුන් සමග  ගමක් සංවර්ධනය කිරීමට හරි නගා සිටුවීමට හරි ගමකට ගොස් ඇති බව. ළමා වියේ සිටි අපට එය ආශ්වාදජනක පුවතක් වීම පුදුමයක් නොවෙයි. පසුව දැනගන්න ලැබුණා ගම කනතොලුව බවත් ගුරුවරයා ආරියරත්න නමැත්තකු බවත් ගමේ වැසියන් ඊනියා පහත් කුලයකට අයත් බවත්.

 

මුල දී එය හුද ව්‍යාපෘතියක් පමණයි. පසුව ව්‍යාපාරයක් බවට පත් වුණා.  හුදු ව්‍යාපෘතියක් ව්‍යාපාරයක් බවට පත්වීමේ කතාව කාට හරි ලියන්න පුළුවන් නම් එය වැදගත්. ව්‍යාපෘතිය සර්වෝදය   ලෙස නම් කෙරුණේ කවදා කියන්න මට මතකයක් නැහැ. ආරියරත්න මහතා වරක් අප පාසලේ කතාවකට පැමිණි බවත් ජ්‍යෙෂ්ඨ සිසුන් හමු වී කතාබහ කළ බවත් මට මතකයි. සිසුන් අතර පසුව සුප්‍රසිද්ධ නාරිදේහ වෛද්‍ය විශේෂඥයකු බවට පත් වූ අයකු සිටි බවත් ඔවුන් ආරියරත්න මහතා සමග පසුව ගම් නගා සිටුවීමේ ව්‍යාපෘතියට සහභාගි වූ බවත් කුඩා අප දැන සිටියා.

 

ආරියරත්න මහතා මහත්මා ගාන්ධිගේ අනුගාමිකයකු වන්න ඇති. එහෙත් මහතා සමාජ ජීවිතයට එළඹෙන විට අපට යම් ආකාරයක නිදහසක් ලැබී තිබුණා. එබැවින් ගාන්ධිගේ නිිදහස් සටන අනුගමනය කිරීමට අවශ්‍ය වුණේ නැහැ. වෙනුවට ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතියක හා වෙනත් ව්‍යාපෘතිවල මහතා නිරත වුණා.

 

මෙරට වත්මන් ජාතික ව්‍යාපාරය ඇරඹුණේ ධර්මපාලතුමා සමග. එහෙත් එය හැමදා එක ස්වරූපයක් ගත්තේ නැහැ. ධර්මපාලතුමාගේ ව්‍යාපාරය සිංහල බෞද්ධ ව්‍යාපාරයක්. ඇතැම් පඬි නැට්ටන්ට අනුව එතුමාට පෙර සිංහල බෞද්ධ කතාවක් තිබුණේ නැහැ. අපට නම් අඩුම තරමෙන් ගැමුණු රජු දවස සිට මෙරට සිංහල බෞද්ධ කතාවක් (ප්‍රපංචයක්) තියෙනවා. අඛණ්ඩ කතාවට පඬි නැට්ටන් කියන්නේ දෙදහස් පන්සීයක රෙද්ද කියා. කියන්නේ ඔවුන්ටත් අඛණ්ඩ සංස්කෘතික විකාශයක් දකින්න පුළුවන් කියන එකයි. එයට  ගැමුණු රජු සිංහල බෞද්ධ නම යොදා ගත්තා නැත් යන්න අපට ප්‍රශ්නයක් නො වෙයි. ඉලෙක්ට්‍රෝනයට ඉලෙක්ට්‍රෝනය කියන්න පෙරත් ඉලෙක්ට්‍රෝන තිබිල තියෙනවා. පඬි නැට්ටකු නිගමනය කරන්න බැරි නැහැ මා ඊනියා වාස්තවික ඉලෙක්ට්‍රෝන තියෙන බවක් පිළිගන්නවා කියා.

 

හෙළ හවුලත් ජාතික ව්‍යාපාරයක්. එහි බෞද්ධ පැත්තට වඩා සිංහල පැත්ත බර වුණා. හෙළ හවුලට මීගමුව පැත්තේ  ආකර්ෂණයක් තිබුණා. එහෙත් පනස්හයෙන් පසු ජාතික ව්‍යාපාරයේ බෞද්ධ පැත්ත වඩා බර වුණා. විශේෂයෙන් බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩු සමයේ බෞද්ධ පැත්ත වැඩි වුණා. ඇන් කිවු දියෙස් මෙත්තානන්ද වැනි මහත්වරු එකල ජාතික ව්‍යාපාරයේ නායකයන්. මා කලක සිට කියන කරුණක් නම් දෙදෙනා නොවන්න අපට කොටි පරදවන්න තිබූ හැකියාව අඩුවන්න තිබුණා කියා.

 

පහත සඳහන් කරුණුවලින් කුමක් කුමකට පෙර සිදු වූයේ යන්න සලකා බලන්න අවශ්‍ය නැහැ. එහෙත් අතර සම්බන්ධයක් තියෙනවා. දියෙස් මහතා කලක් ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හිටියා. මෙත්තානන්ද මහතා ආනන්ද විිදුහලේ විදුහල්පති සිටියා. 1962 බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව පෙරළා දැමීම සඳහා කතෝලික/ක්‍රිස්තියානි හමුදා/පොලිස් නිලධාරීන්ගේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා. එහෙත් ආනන්ද විදුහලේ තවත් හිටපු විිදුහල්පතිවරයකු වූ කුලරත්න මහතාගේ ඥාති පුත්‍රයකු නිසා ව්‍යවර්ථ වුණා. එකල හමුදා නිලධාරීන්ගෙන් වැඩි පිරිස අබෞද්ධ පාසල්වල උගත් අය. දියෙස් මහතා ආරක්‍ෂක ලේකම් ලෙස එය වෙනස් කිරීමට කටයුතු කළා. අප සාමාන්‍යයෙන් බෞද්ධ කියා හඳුන්වන පාසල්වලින් හමුදාවට වැඩි වශයෙන් බඳවා ගැණුනා. එයට මෙත්තානන්ද මහතාගෙන් අනගි සහායක් ලැබුණා. එහි ප්‍රතිඵල 2009 දී දැකගන්න හැකි වුණා.

 

මෙත්තානන්ද මහතාගේ නායකත්වයෙන්  බෞද්ධ  ජාතික බලවේගය නමින් සංවිධානයක් ගොඩ නැගුණා. එහි ගුණසීල විතානගේ ආදී පිරිසක් හිටියා. ආරියරත්න මහතා එහි ක්‍රියාකාරී අයකු වුණා. හැටේ දශකයේ. එහෙත් අසූව දශකයේ මේ කතා වෙනස් වුණා. එයට හේතු කිහිපයක් තිබුණා. විවෘත ආර්ථිකය සමග සංස්කෘතිය බටහිර ග්‍රහණයට හසු වීම, දෙමළ කොටි ත්‍රස්තවාදය හා ඊනියා රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාප්තිය.

 

රාජ්‍ය නොවන සංවිධාන කිවුවට මේ සංවිධානවලට බටහිර රාජ්‍යවලින් මූල්‍යාධාර ලැබුණා. එදත් අදත් මෙරට යම් පිරිසක් ඊනියා රාජ්‍ය නොවන සංවිධානවල රැකියා කරනවා. සංවිධාන බොහොමයක් පවුලේ කිහිප දෙනකුට සීමා වූ පවුල් සංවිධාන. නැත්නම් හිතවතුන් කිහිප දෙනකු එකතු වී පිහිටුවා ගන්නා සංවිධාන. ව්‍යාපෘති බොහොමයක් ඇතැමුනට ජීවන මාර්ගයක් සලසන ව්‍යාපාර බවට පත්වූයේ බටහිර රාජ්‍යවල අනුග්‍රහයෙන්. රටවල් බෞද්ධ රටවල් නම් නොවෙයි. මේ සංවිධාන ක්‍රියාත්මක වූයේ බටහිර රටවල දේශපාලන න්‍යාය පත්‍රයට අනුව. න්‍යාය පත්‍රයේ කොටි සංවිධානයට හා දෙමළ වෙල්ලාල ජාතිවාදයට ප්‍රධාන තැනක් තිබුණා. සිංහල බෞද්ධ සංස්කෘතිය දුර්වල කර විනාශ කිරීම බටහිරයන්ගේ න්‍යාය පත්‍රය වුණා. මෑතක දී ආතල්ගම දී සියලු සිංහල බෞද්ධ විරෝධීන් එකතු වුණේ බටහිර න්‍යාය පත්‍රයේ ඉත්තන් ලෙස.

 

ආරියරත්න මහතා ව්‍යාපෘතියෙන් ව්‍යාපාරයට බැස්සා. එහෙත් ජාතික ව්‍යාපාරයට නො වෙයි. ඔහු දෙමළ ජාතිවාදීන්ගේ ඉත්තෙක් වුණා. ඔහු ස්ටැන්ලි තම්බයියාගේ ලිපි කියවා තිබුණේ කියා මා දන්නේ නැහැ. එහෙත් තම්බයියා අනුව යමින් කොටි පරාද කිරීමට විරුද්ධ වුණේ සිංහල බොදු සසුන අනුව නොව තම්බයියා හසුන අනුව යමින්. ආරියරත්න මහතා ප්‍රභාකරන් වෙනුවෙන් සාම භාවනා කරන්න යෝජනා කළා. ආරියරත්න මහතා වික්ටර් අයිවන්ගේ සංස්කාරකත්වයෙන් පළවුණු රාවය පටන් ගැනීමේ දී ආධාර කළා. එය සිංහල බෞද්ධ විරෝධීන්ගේ තෝතැන්නක් වුණා.