History

Friday, 8 July 2011

සන්නිවේදනයේ පෞද්ගලිකත්වය හා ආසනික්

රජරට නිිදන්ගත වකුගඩු රෝගයට හේතුව ආසනික් බව කැලණිය විශ්වවිද්‍යාලයට සම්බන්ධ පරීක්‍ෂණ කණ්ඩයම සියයට අනූනමයක විශ්වාසයකින් (පඬියකුට අවශ්‍ය නම් සම්භාවිතාවකින්) කියයි. එසේ ම ඒ ආසනික් වතුරට හා පසට එකතුවන්නේ කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය නිසා බව ද ඒ කණ්ඩයම පවසයි. තමන් පරීක්‍ෂා කරන ලද කෘෂි රසායනික නියැදිවල විවිධ ප්‍රමාණයන්ගෙන් ආසනික් අඩංගු බව ද ඒ කණ්ඩායම ප්‍රකාශ කරයි. මේ කෘෂි රසායනික ද්‍රව්‍ය අතර පලිබෝධනාශක මෙන් ම පොහොර ද වෙයි. මේ ප්‍රකාශකිරීම් පැවසීම් ආදිය යනු සන්නිවේදනය මිස වෙනත් කටයුත්තක් නො වේ. 

සන්නිවේදනය යන්න පෞද්ගලික කටයුත්තකි. ජනමාධ්‍ය ඔස්සේ කෙරෙන සන්නිවේදන ද අවසාන වශයෙන් ගත්කල පෞද්ගලික වෙයද. සන්නිවේදනය සඳහා භාෂා ඇත්තේ ප්‍රධාන වශයෙන් ම හැකිතාක් දුරට එහි දී සිදුවන වැරදි වැටහීම් මගහරවා ගැනීමට ය. භාෂා නැතිව වුවත් සන්නිවේදනයේ යෙදිය හැකි ය. එහි දී චිත්‍ර, සංගීතය මෙන් ම අභිනය ආදිය ද යොදා ගැනෙයි. එසේත් නැතහොත් ඉරියව් මගින් සන්නිවේදනය කෙරෙයි. එහෙත් ඒ කිසිම අවස්ථාවක දී සන්නිවේදනය කරන පුද්ගලයාට අවශ්‍ය දේ සන්නිවේදනය ලබන පුද්ගලයාට ඒ ආකාරයෙන් ම නො ලැබෙයි. ඇතැම් විට සන්නිවේදනයෙහි යෙදෙන පුද්ගලයාට ද තමන්ට සන්නිවේදනය කිරීමට අවශ්‍ය කුමක් ද යන්න පිළිබඳ නිශ්චත වැටහීමක් තබා හැඟීමක්වත් නැත.

සන්නිවේදනයට අඩුම තරමෙන් පුද්ගලයන් දෙදෙනකු අවශ්‍ය යැයි යමකුට හැඟෙනු ඇත. එහෙත් තමා තනිව ම තමාට යැයි හඳුනාගැනෙන අයකුට සන්නිවේදනය කර ගන්නා බව අප බොහෝ දෙනකුට අමතක වෙයි. අපි ඇතැමි විට සිතින් යම් යම් දෑ ආවර්ජනය කරමු. අපට ඇතිවන සිතිවිලි ධාරාව ඇතැම් විට සංවාදයක ස්වරුපය ගනියි. මෙහි දී පැහැදිලි විය යුතු ප්‍රධාන ම ගුණය නම් මම යනුවෙන් ගැනීමට හෝ ආත්මය ලෙස ගැනීමට හෝ භූතාර්ථයක් (එනටඉටය) නොමැති බව ය. එසේ වුවත් අපි ඒ ඒ සිතිවිලි ධාරා ඒ ඒ පුද්ගලයන් ලෙස ගනිමු. අපට ඇති ප්‍රධාන ම ප්‍රශ්නය නම් පුද්ගලයකු යනුවෙන් භූතාර්ථයක් නොමැතිව එසේ ඇතැයි ගැනීම ය. මේ මෝහය වෙයි.

අපි ඒ ගැටළුව පැත්තකින් තැබුව ද සන්නිවෙිදනයේ දී ඇතිවන ප්‍රශ්න කිහිපයක් රජරට වකුගඩු රෝගය ආශ්‍රිත ව කෙරෙන ගවේෂණයේ දී දැනටමත් සිදු වී ඇති අයුරු පැහැදිලි කරමින් සාකචිඡා කරමු. මෙහි දී මා උත්සාහ ගන්නේ වාස්තවික වූ සන්නිවේදනයක් කිසි දිනෙක ගොඩනගා ගැනීමට මිනිසුන්ට නොහැකි බවට ඉඟියක් ද සැපයීමට ය. සංකල්ප, ප්‍රවාද ආදී සියල්ල සාපේක්‍ෂ වූ විට සංකල්ප ආදිය යොදාගෙන කෙරෙන නිරපේක්‍ෂ සන්නිවේදනයක් තිබිය හැක්කේ කෙසේ ද? අප වෙනත් අයකු කියන දෙයක් තේරුම් ගන්නේ අපට සාපේක්‍ෂව, අපට අවශ්‍ය ආකාරයට මිස අනෙකාට අවශ්‍ය ආකාරයකට නො වේ.

ඉතා වාස්තවික භාෂාවක් ලෙස සැලකෙන බටහිර ගණිතයෙහි දී වුව ද සන්නිවෙිිදකයා හා සන්නිවේදනය ලබාගන්නා (සන්නිවේදනලාභියා) අතර සන්නිවේදිතය සම්බන්ධයෙන් වෙනස්කම් ඇත. මෙහි දී කෙනකුට සන්නිවේදිතය යන යෙදුම ම ප්‍රශ්න කළ හැකි ය. සන්නිවේදිතය යන්නෙන් ඒ ඒ පුද්ගලයාට සාපේක්‍ෂ නොවූ නිරපේක්‍ෂ යමක් ඇතැයි ගම්‍ය වෙයි. එහෙත් ඒ වැරදි ය. සන්නිවේදකයාගේ සන්නිවේදිතය සන්නිවේදනලාභියාගේ සන්නිවේදිතයෙන් වෙනස් වෙයි. එසේ නොවන්නට සන්නිවේදනයේ දී ගැටළු පැන නොනගිනු ඇත.

සන්නිවේදනයේ දී මතුවන තවත් ගැටළුවක් වනුයේ ඇතැම් විට සන්නිවේදකයා සන්නිවේදනලාභියාට වෙනත් අරුතක් ලැබෙන ආකාරයෙන් වුවමනාවෙන් ම කටයුතු කිරීම ය. එහි දී සන්නිවේදනලාභියා තමන්ට වැටහෙන අයුරින් සන්නිවේදිතයක් සකස්කර ගනියි. එවැනි අවස්ථාවක සන්නිවේදනලාභියාට වෙනත් අවස්ථාවක දී ලැබෙන නිිදහසට වැඩි නිදහසක් ලැබෙයි. අප වටහාගත යුතු ප්‍රධාන ම කරුණක් වනුයේ සන්නිවේදකයා මෙන් ම සන්නිවේදනලාභියා ද තම තමන්ගේ සන්නිවේදිත සකස්කරගන්නා බව ය. එහෙත් මේ කරුණ ද ඒ ඒ පාඨකයන් ඒ ඒ ආකාරයෙන් වටහාගනු ඇත. ඒ සම්බන්ධයෙන් අපට වැඩි යමක් කළ හැකි නො වේ.

රජරට වකුගඩු රෝගය සම්බන්ධ ගවේ’ෂණය (එය හුදු පරීක්‍ෂණයක් නො වේ) කෙරෙන්නේ කැලණිය විශ්වවිද්‍යාලයට සම්බන්ධ කණ්ඩායමක් මගිනි. එහෙත් අද සෑම ජනමාධ්‍යයක ම මෙන් කියැවෙන්නේ කැලණිය හා රජරට විශ්වවිද්‍යාලවල කණ්ඩායමක් මගින් ඒ ගවේෂණය කෙරෙන බව ය. මෙය වැරදි ය. එය එතරම් බරපතල කරුණක් නොවූවත් මෙහි දී එය සඳහන් කෙරෙනුයේ සන්නිවේදනයේ දී සිදුවන වැරදිවලට උදාහරණයක් ලෙස ය. රජරට විශ්වවිද්‍යාලය මේ ගවේෂණයට සම්බන්ධ නැත. එහි විද්‍යා පීඨය හෝ වෛද්‍ය විද්‍යා පීඨය හෝ වෙනත් පීඨයක් හෝ මේ ගවේෂණයට කිසිසේත් ම සම්බන්ධ නැත. ඒ කුමන පීඨයක් වුවත් එයට සම්බන්ධ නම් ඒ අදාළ පීඨයෙන් එයට විරුද්ධත්වයක් පළ නොවන්නේ යැයි සිතන්නේ ද? මේ ගවේෂණයට අදාළ කිසිම පරීක්‍ෂණයක් රජරට විශ්වවිද්‍යාලයේ කිසිම පීඨයක කිසිම පරීක්‍ෂණාගාරයක සිිදු නොකරණ ලදී. එසේ තිබියදීත් රජරට වකුගඩු රෝගය සම්බන්ධයෙන් කැලණිය හා රජරට විශ්වවිද්‍යාල කණ්ඩයමක් පර්යේෂණ කරන බව නිරන්තරයෙන් ම ජනමාධ්‍යවල සඳහන්වන්නේ කෙසේ ද?

රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය චන්න ජයසුමන මහතා අප කණ්ඩායමට අයත්වෙයි. එහෙත් කැලණිය විශ්වවිද්‍යාලයට සම්බන්ධ නොවූ තවත් වෛද්‍යවරු රාශියක් ද අප කණ්ඩායමට අයත් වෙති. ඔවුහු විවිධ රෝහල්වල සේවය කරති. ඒ අනුව කිසිවකු අප කණ්ඩායම හැඳින්විය යුත්තේ කැලණිය, රජරට, පදවි ශ්‍රී පුර, මොනරාගල, කරවනැල්ල පර්යේෂණ (ගවේෂණ) කණ්ඩායම ලෙසිනි. අනෙක් අතට වෙනත් වෛද්‍යවරුන් මෙන් නොව චන්න ජයසුමන මහතා මෙම ගවේෂණයට සහභාගිවන්නේ කැලණිය විශ්වවිිද්‍යාලයෙහි පශ්චාද් උපාධි අපේක්‍ෂකයකු ලෙස ය. එසේ තිබිය දී අප කණ්ඩයම කැලණිය රජරට විශ්වවිද්‍යාල කණ්ඩයකමක් ලෙස හැඳින්වෙන්නේ ආරම්භයේ දී ම මතු වූ ජනසන්නිවේදන ගැටළුවක් නිසා බව පැහැදිලි ය. මුල දී ම මෙම කණ්ඩායම රජරට විශ්වවිිද්‍යාලයට අයත් කණ්ඩායමක් ලෙස හඳුන්වනු ලැබූ බව ද අමතක නොකළ යුතු ය.

අප කණ්ඩායමේ මූලික අරමුණ රජරට නිිදන්ගත වකුගඩු රෝගයට හේතුව දැනගැනීමත් ඒ සඳහා ප්‍රතිකාර හඳුන්වාදීමත් ය. එහි විවිධ අවස්ථාවල අපට නාථ දෙවියන්ගෙන් උපකාර ලැබී ඇත. අපි ඒ බව නො සඟවමු. නාථ දෙවියන්ට ද ඒ බව සැඟවීමේ අවශ්‍යතාවක් නැත. එහෙත් නාථ දෙවියන් පිළිබඳ කතාව ජනමාධ්‍යවල සඳහන්වන්නේ විවිධ ආකාරයෙනි. ඇතැම් ජනමාධ්‍යයක පසුගිය  දිනෙක කතුවැකිය ලියු තැනැත්තා නාථ දෙවියන් මේ පරීක්‍ෂණයෙන් ඉවත්කරන ලෙසට අපට අවවාදයක් ද දුන්නේ ය. එය එදින කතුවැකිය ලියූ තැනැත්තාගේ අදහස මිස පුවත්පතේ අදහසක් නොවන බව අපි දනිමු. පුවත්පතකට ඇත්තේ පුවත්පතට නිල වශයෙන් ලියන පුද්ගලයන්ගේ අදහස් මිස ඊනියා වාස්තවික අදහසක් නොවන බව දන්නා අපට එය ගැටළුවක් නොවුවත් නාථ දෙවියන් අමතක කිරීමට තරම් අප ගුණමකු නොවන බව පමණක් දැනට මෙහි දී සඳහන් කළ යුතු ය.

මෙහි දී සඳහන් කළ යුතු තවත් වැදගත් කරුණක් වෙයි. නාථ දෙවියන්ගේ උපකාරය ලබාගෙන ඇත්තේ අප පමණක් නො වේ. වෙනත් කරුණුවල දී ද නාථ දෙවියන් ප්‍රමුඛ සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන් විවිධ අයට ආධාර කර ඇත. මාවිල්ආරුවෙන් ඇරඹි මානවීය මෙහෙයුම්වල දී ද එලෙස දෙවිවරුන්ගේ ආධාරය ලැබුණු බව අප පවසන්නේ ඒ මෙහෙයුම ජයග්‍රහණය කළ රණවිරුවන්ට දිය යුතු ගෞරවය අබමල් රේණුවකින්වත් අඩුකිරීමට නො වේ. පසුව නාථ දෙවියන් ප්‍රමුඛ සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන් වෙනත් කරුණුවල දී ද උපකාර වී ඇති අයුරු හෙළිදරවු වනු ඇත. එමෙන් ම මෙරට ඇතැම් නාට්‍ය අධ්‍යක්‍ෂවරුන්, චිත්‍රපටි අධ්‍යක්‍ෂවරුන්, තිර රචකයන්, ග්‍රන්ථ කතෘවරුන්, මනුෂ්‍ය නොවන බලවේගවලින් ආධාර ලබාගෙන ඒ සඟවාගෙන සිටින අයුරින් කටයුතු කිරීමට ද අපි බලාපොරොත්තු නො වෙමු. ඔවුන් අතින් ඉඳහිට වැරදීමකින් ඒ බව හෙළිවන අවස්ථා ද නැත්තේ නො වේ. 

අපේ ගවේෂණයට නාථ දෙවියන් ප්‍රමුඛ සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන් උපකාර කර ඇති බව අප පවසන්නේ ඇතැමුන් කියන අයුරින් නම් දෙවිවරුන් පෙන්වා ඊනියා විද්‍යාඥයන් බියගැන්වීමට ය. මෙරට සිටින විද්‍යාඥයන් යැයි කියාගන්නා ඇතැම් නිවටයන් බියගැන්වීමට දෙවිවරුන් අවශ්‍ය නො වේ. ඔවුහු අති විශාල පිරිසක් මුළු ජීවිතය පුරා ම ඉහළ නිලධාරීන්ට, බලයට, බියෙන් තම තනතුරු රැකගැනීමේ පරම අපවිත්‍ර චේතනාවෙන් කටයුතු කරති. මොවුන් බියකිරීමට ගැරඬියකු බියකිරීමට තරම්වත් උත්සාහයක් ගතයුතු නො වේ.

රජරට නිදන්ගත වකුගඩු රෝගයට හේතුව ආසනික් වීමට සියයට අනූනවයක ඉඩක් ඇතැයි පැවසූ අපි රජරට පොළොවට ආසනික් ලැබෙන්නේ කෘෂි රසායන ද්‍රව්‍යවලින්, විශේෂයෙන් ම පලිබෝධකනාශකවලින් යැයි කීවෙමු. එහිදී ද සන්නිවේදන ගැටළු දෙකක් මතු වී ඇත. අප අවධාරණය කරන්නේ පලිබෝධනාශකවල ඇති ආසනික් වුවත් අද ජනමාධ්‍යවල අවධාරණය වන්නේ සහල්වල ඇති ආසනික් ය. සහල්වල ද ආසනික් ඇති බව අපි ස්ථිරව ම කියමු. එහෙත් අපේ ප්‍රශ්නය සහල්වල ආසනික් තිබීම නොව පලිබෝධනාශකවල ආසනික් තිබීම ය. අපට අවශ්‍ය වී ගොවිතැන නැතිකිරීම නොව ගොවිතැන වස විසෙන් මුදා ගැනීම ය. අවධාරණය පලිබෝධනාශකවලින් සහල් වෙතට මාරුකළ සැණින් අපට අවලාද නැගීමට බොහෝ දෙනාට අවකාශ ලැබී ඇත. මෙය නිලධාරීන් විසින් අවධාරණයේ කරන ලද වෙනසකි. කිසිම පරීක්‍ෂාවකින් තොරව ආසනික් පමණක් නොව රසදිය ද අඩංගු කෘෂි රසායන ද්‍රව්‍ය ගෙන්වීමට ඉඩ දී ඇති මේ පිරිස් අද තම වරද වසාගැනීමට අවධාරණය සහල්වලට මාරුකර අප පාන් පිටි ගෙන්වන්නන්ගේ තැරැව්කරුවන් යැයි පෙන්වීමට බොළඳ එහෙත් සාපරාධී උත්සාහයක් ගනු දැකිය හැකි ය.

මේ අතර ඇතැම් පඬියන් තම පඬිකම ඉස්මතුකරමින් නිතර අසන ප්‍රශ්නයක් වත ඇත්තේ පලිබෝධනාශක නැගෙනහිර පළාතේත් යොදාගැනෙනානේ නම් ඒ පළාතේ වැසියන්ට නිදන්ගත වකුගඩු රෝගය වැළඳෙන්නේ නැත්තේ ඇයි ද යන්න ය. එයට හේතුව ද අප කිහිපවරක් ම පැහැදිලි කර ඇති නමුත් ඇතැම් පඬි සන්නිවේදනලාභීන් ඒ ගැන නිසි උනන්දුවක් දක්වා නොමැති බැවින් ඔවුහු නිතර නිතර එවැනි ප්‍රශ්න අසති. රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් වුවත් ඒ සඳහා ජලයේ විශේෂ කිවුලක් හා විශේෂ පසක් අවශ්‍ය වෙයි. ඒ සියළු කරුණු සපුරාලන්නේ රජරට හා ආසන්න ප්‍රදේශ කිහිපයක ය. ඇතැම් සන්නිවේදන පඬියන්ට ද මේ කරුණු අමතකවීම ගැන අප කුමක් කරන්න ද?