History

Friday, 8 July 2011

අපි බත් කමු

කැලණිය විශ්වවිද්‍යාලයේ රජරට වකුගඩු රෝගය සම්බන්ධයෙන් ගවේෂණය කරන කණ්ඩායමේ අරමුණ කුමක් ද යන්න පැහැදිලි කරගත යුතු වන්නේ මේ වනවිට ඇතැම් රාජ්‍ය නිලධාරීන් හා පලිබෝධනාශක ආනයනය කරන සමාගම් ඒ සම්බන්ධයෙන් අමූලික අසත්‍ය පතුරුවා ඇති බැවිනි. එහි දී ඔවුහු තමන් විද්‍යාඥයන් ලෙස හඳුන්වාගන්නා විශ්වවිද්‍යාලයීය ආචාර්ය මහාචාර්යවරුන් හා ඊනියා පර්යේෂණ ආයතනවල සේවයකරන පර්යේෂකයන් යැයි කියාගන්නා කිහිපදෙනකු ද යොදාගත්හ. තමන් වැටී සිටින දේශපාලන අගාධයෙන් ගොඩ ඒමට මගක් සොයන බංකොළොත් ජ වි පෙ කථිකාචාර්යවරයකු අප ගවේෂණයට එරෙහිව අනෙක් කථිකාචාර්යවරුන් පමණක් නොව සිසුන් ද සංවිධානය කිරීමට ගත් උත්සාහයක් පසුගිය දා ව්‍යර්ථ වී ගියේ සිසුන්ගේ දැඩි විරෝධය මධ්‍යයෙහි ය. මේ ජ වි පෙ කථිකාචාර්යවරයා හා තවත් එ ජා ප හිතවත් ආචාර්යවරු තමන් සමග එකඟ නොවන කථිකාචාර්යවරුන්ට තම අදහස් ප්‍රකාශකිරීමටවත් ඉඩ නොදී තමන්ගේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේ සළුපිළි ගලවා නිරුවත් බව ප්‍රදර්ශනය කළහ. අද මේ කථිකාචාර්යවරු තමන්ට විරුද්ධ අදහස් දරණ තරුණ තාවකාලික ගුරුවරුන්ට විශ්වවිද්‍යාලයෙන් අස්වී යන ලෙසට තර්ජනය කරති. විශ්වවිද්‍යාලයීය ආචාර්ය ධුරය විශේෂිත සම්භාවනීය ධුරයක් ලෙස සලකමින් තමන්ට වැඩි වැටුප් ගෙවන ලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට පිවිස ඇත්තෝ ද ඔවුහුම ය. එහෙත් තමන් අස්වී යැයි කියන අංශාධිපති තනතුරට හිමි මාසික දීමනාව මාස්පතා ඉතාමත් සම්භාවනීය ව ලබාගන්නෝ ද ඔවුහුම ය. එමෙන් ම විශ්වවිද්‍යාලයේ රාජකාරි කාලයෙහි දී විවිධ රාජ්‍ය නොවන ආයතනවල දේශන පවත්වන්නෝ ද ඔවුහු ම ය. විශ්වවිද්‍යාලයේ පවත්වන දේශනවලට වැඩි දේශන ප්‍රමාණයක් බාහිර ආයතනවල පවත්වමින් ලක්‍ෂ ගණනින් මුදල් උපයන්නෝ ද ඔවුහු ම ය. ඔවුන්ගේ සදාචාරය කෙසේ ද යත් තමන් දරණ මතවලට විරුද්ධ මත දරන සිසුන් විභාගවලින් සිසුන්ගේ වචනවලින් ම නම් අන්නවන්නෝ ද ඔවුහුම ය. මෙවැන්නන් ගැන රජයේ අවධානය යොමුවිය යුතු කාලය පැමිණ ඇත.

අප කණ්ඩායමට ප්‍රශ්නය වූයේ රජරට හා ආශ්‍රිත ප්‍රදේශවල පසුගිය අවුරුදු විසිපහක පමණ කාලයක් තිස්සේ නිදන්ගත වකුගඩු රෝගය පැතිර ඇත්තේ ඇයි ද යන්න ය. ඒ මිස සහල්වල ඇති ආසනික් කොපමණ ද යන්න හෝ වෙනත් භෝගයක හෝ මත්ස්‍ය වර්ගයක හෝ අඩංගු ආසනික් ප්‍රමාණය සෙවීම නො වේ. ඒ ද්විතීයික කරුණු විය. එය ද අවශ්‍ය වූයේ පසුකතාවක් ලෙස ය. අපේ ප්‍රධාන ප්‍රශ්න දෙකට පිළිතුරු වූයේ රජරට වකුගඩු රෝගය වැළඳීමට ප්‍රධාන හේතුව ආසනික් බවත් ඒ පසට හා ජලයට ආසනික් එකතුවන්නේ පලිබෝධනාශක ඇතුළු කෘෂිරසායන ද්‍රව්‍ය භාවිතය නිසා බවත් ය. වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් බවට සියයට අනූනවයක විශ්වාසයක් අපට ඇත. එය මුළුමනින් ම විශ්වාස කිරීමට අපට පරික්‍ෂා කිරීම සඳහා ඒ රෝගයෙන් මියයන අයගේ මෘත දේහවල කොටස් ලබාගැනීමේ දුශ්කරතාවක් වෙයි.

රෝගය වැළඳීමට ප්‍රධාන හේතුව ආසනික් වුවත් ආසනික් තිබීම නිසා පමණක් වකුගඩු රෝගය නො වැළඳෙයි. බොහෝ පඬියන් ද අපෙන් අසන්නේ පලිබෝධනාශක යොදාගන්නා අනෙක් පළාත්වල එම රෝගය ව්‍යාප්ත වී නැත්තේ ඇයි ද යන්න ය. යම් ප්‍රදේශයක රෝගය ව්‍යාප්ත  වීමට තවත් හේතු දෙකක් අවශ්‍ය වෙයි. එකක් නම් ඒ ප්‍රදේශවල දක්නට ලැබෙන කුඹුරු පස යැයි හැඳින්වෙන පස ය. අනෙක ඒ ප්‍රදේශයෙහි ඇති විශේෂිත ලවනයක් සහිත කිවුල් ජලය ය. රජරට වකුගඩු රෝගය වැළඳීමට නම් මේ කරුණු තුන ම සම්පුර්ණ විය යුතු ය. එසේ සම්පුර්ණ වන්නේ ප්‍රධාන වශයෙන් ම අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල සහ දෙහිඅත්තකණ්ඩිය ගිරාඳුරුකෝට්ටේ වැනි ප්‍රදේශවල ය. එමෙන් ම මේ පළාත්වල පසුගිය අවුරුදු විසිපහක පමණ කාලයක් තිස්සේ පමණක් මේ රෝගය පැතිර යෑමට හේතුව ඒ පළාත්වල කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතය දැනට අවුරුදු හතළිහකට පමණ සීමා වීම ය. අප රටට කෘෂි රසායන ද්‍රව්‍ය හඳුන්වා දී දැනට අවුරුදු හතළිහක් පමණ වෙයි. රෝගය වැළඳීමට තරම් ආසනික් ප්‍රමාණයක් එකතුවීමට අවුරුදු පහළොවක් විස්සක් පමණ කාලයක් ගතවන්නට ඇතැයි උපකල්පනය කළහොත් අපට පිළිතුරු දීමට තිබූ අනෙක් ප්‍රශ්නයට ද පිළිතුරු ලැබෙයි.

අපට ඉහත රජරට වකුගඩු රෝගයට හේතු සෙවූ පර්යේ’ෂක කණ්ඩායම්වල පැහැදිලි කිරීම්වලින් ඉහත ප්‍රශ්න දෙකෙන් එකකටවත් පිළිතුරු නො ලැබෙයි. එබැවින් ඔවුන් දී ඇති ෆ්ලුවොරයිඩ්, කැඩිමියම්, ඇලුමීනියම්, ඇල්ගී වැනි හේතු ප්‍රතික්‍ෂෙප කිරීමට අපට  ගැටළුවක් නො වී ය. එහෙත් මෙහි දී කිවයුත්තක් වෙයි. රෝගය වැළඳීමට කැඩ්මියම් ප්‍රධාන හේතුවක් නොවුව ද එයින් ආසනික්වලට යම්කිසි තල්ලුවක් ලැබෙයි. එහෙත් ආසනික් නොමැතිව කැඩ්මියම්වලින් පමණක් රෝගය නො වැළඳෙයි. අප නැවතත් අවධාරණය කරන්නේ අපට විසඳාගත යුතුව තිබූ ප්‍රධාන ප්‍රශ්නය එතෙක් බටහිර වෛද්‍ය විද්‍යාවට හසු නොවූ රෝග කාරකය මිස සහල් හා වෙනත් ආහාර ද්‍රව්‍යවල ආසනික් තිබේ ද නැත් ද යන්න නො වේ. අනෙක් අතට සහල්වල ආසනික් ඇති බව අප කණ්ඩායමේ ගවේෂණවලට පෙර ද මෙරට ඊනියා විද්‍යඥයෝ දැන සිටිය හ. මා දන්නා තරමින් කැලණිය විශ්වවිද්‍යාලයෙහි ම උද්භිද විද්‍යා අංශයෙහි මහාචාරය රංජිත් ජයසේකර මහතා 2005 දී ප්‍රසිද්ධ කරන ලද පර්යේෂණ පත්‍රිකාවක සහලවල ආසනික් ඇති බවට කරුණු දක්වා ඇත. එමෙන් ම ඉන්පසුව ජපන් කණ්ඩායමක් ද, පේරාදෙණිය විශ්වවිද්‍යාලයිය කණ්ඩායමක් ද සහල්වල ආසනික් ඇති බව දක්වා ඇත.

එහෙත් අප ඉතා වගකීමක් සහිත ව ප්‍රකාශ කරන්නේ රජරට වකුගඩු රෝගයට බත්කෑම හේතුවක් නොවන බව ය. රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් අඩංගු බොන වතුර මිස කන බත් නො වේ. සහල්වල ආසනික් ඇතැයි  යන්න අවධාරණය කෙරුණේ මෙරටට ආසනික් සහිත පලිබෝධනාශක ආනයනය කරන ආයතන හා එසේ ආනයනය කිරීමට අවසර ලබාදීමට කටයුතු කර ඇති නිලධාරීන් විසිනි. ඔවුන්ට අවශ්‍ය වූයේ ඔවුන් ආනයනය කළ හෝ ආනයනය කිරීමට අවසර ලබාදුන් හෝ ආසනික් සහිත පළිබෝධනාශකවලින් ජනතා අවධානය ඉවත්කර රජය ද අප කණ්ඩායම ද අපහසුතාවකට පත්කරමින් වකුගඩු රෝගයට හේතුවක් නොවූ සහල් කෙරෙහි ජනතා අවධානය යොමු කරවීම ය. මොවුහු තමන් කළ වරදක් වසාගැනීමට අප කණ්ඩායමට ද රජයට ද පහර දීමට කිසිම අදාළත්වයක් නැති වෙනත් ම කරුණකට ප්‍රසිද්ධිය ලබාදුන්හ. එහි දී ඔවුන්ට රජයේ මැති ඇමතිවරුන් සමග තනතුරු ලබාගැනීම සඳහා සම්බන්ධකම් පවත්වන ඊනියා විද්‍යාඥයන්ගේ ද, තමන් දැක්වූ හේතු සාවද්‍යබව හෙළිදරවුවීමෙන් පශ්චාත්තාපයට හෝ වෙනත් තාපයකට හෝ පත් වී ඇති ඊනියා විද්‍යාඥයන්ගේ ද සහාය ලැබිණි. අප මේ ඊනියා විද්‍යාඥයන්ට අනුකම්පා කිරීමට සූදානම් නමුත් දිනපතා රජරට වකුගඩු රෝගයෙන් මියයන රෝගීන්ගේ ඥාතීන්ගෙන් නම් ඔවුන්ට කිසිම සමාවක් නො ලැබෙනු ඇත.

බත්කෑම රජරට වකුගඩු රෝගයට හේතුවක් නොවන බව අපි නැවතත් අවධාරණය කරමු. අපට අවශ්‍යවන්නේ එකම එක දෙයක් පමණකි. එනම් මෙරට රජරට ගොවීන්් ද ඇතුළු සියළු ගොවි මහතුන් කෘෂි රසායනික කෘෂිකර්මයෙන් ඉවත්කර පැරණි හෙළ ගොවිකම් වෙත ඔවුන් නැවත කැඳවාගෙන යෑම ය. අප රට ගොවි මහතුන්ට මුල දී, එනම් හැටේ දශකයේ දී කෘෂි රසායන ද්‍රව්‍ය හඳුන්වා දුන්නේ ඔවුන්ට ඒ ද්‍රව්‍ය යොදාගැනීම වෙනුවෙන් මුදල් ද ලබා දෙමිනි. අද එම ගොවි මහතුන්ගේ මුණුබුරන්ට එම රසායන ද්‍රව්‍ය නැතිව බැරි ය. අපට අවශ්‍ය වන්නේ මෙරට ජනයා බත්කෑමෙන් ඉවත් කර ඔවුන්ට පාන් කවා බටහිර තිරිඟු ගොවියන් පොහොසත් කිරීම නොව ඔවුන් තව තවත් බතට හා දේශීය ධාන්‍ය වර්ගවලට හුරුකරවීම ය. ඒ සඳහා දේශීය විකල්ප ගොවිකම හඳුන්වා දීම අත්‍යවශ්‍ය වෙයි. එහෙත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් යටතේ ඒ සිදුවේ යැයි අපි අපේක්‍ෂා නො කරමු. පසුගිය කාලයෙහි විකල්ප ගොවිකම හඳුන්වාදීම සඳහා ඔවුන්ට රජයෙන් ලැබුණු මුදල් ප්‍රමාණය කෙතෙක් ද? එයින් වියදම් කළ ප්‍රමාණය කෙතෙක් ද? ඒ වියදම් කෙළේ කුමක් සඳහා ද? ආදී ප්‍රශ්න අපි කෘෂිකර්ම අමාත්‍යාංශයේ යටතේ ඇති දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් අසමු.

පැරණි දේශීය ගොවිකම යොදා ගනිමින් කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුහු කිරිමැටියාගාර ප්‍රදේශයේ කුඹුරක් කරති. එහි හතරවැනි කන්නය ද දැන් ආරම්භ වී ඇත. ඒ අත්දැකීම් ද අපට රජරට ගොවිමහතුන් සමග බෙදාගත හැකි ය. ඉහත කී සියල්ල සඳහා ජනාධිපතිතුමා යටතේ ඒකකයක් පිහිටුවීමට අපි යෝජනා කරමු. ගොවි මහතුන්ට පැරණි ගොවිකම හඳුන්වාදිය හැක්කේ කොළඹ දේශන හා සම්මන්ත්‍රණ පැවැත්වීමෙන් නොව ප්‍රායෝගික ව ගොවි මහතුන් කරා යෑමෙනි. ජනාධිපතිතුමා  යටතේ පිහිටුවන ඒකකයකින් ඒ කළ හැකි බව අපි දනිමු. එහි දී කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් පිටත සිටින අපට ද එයට සහාය විය හැකි ය. ජනාධිපතිතුමාට මෙන් ම අපට ද අවශ්‍ය වන්නේ මෙරට ජනයාට යහපත් සෞඛ්‍ය තත්වයකින් කල්ගත කිරීම සඳහා ඔවුන් තව තවත් බත් කෑමට යොමු කිරීමට ය. අපේ උද්‍යොග පාඨය වනුයේ අපි බත් කමු යන්න ය.