History

Saturday, 17 September 2011

ශ්‍රී ල නි පක්‍ෂයට හැට පිරෙයි

ශ්‍රී ල නි පක්‍ෂය ගැන කතාකිරීම 1951න් ඇරඹිය නො හැකි ය. එම පක්‍ෂය පිහිටුවන ලද්දේ ඒ වර්ෂයේ වුව ද මෙරට ජාතිකත්වය අගය කළවුන් ජාතිකත්වයට පටහැණි වුව ද දේශපාලන පක්‍ෂයක් සොයමින් සිටියේ එයට බොහෝ කලකට පෙර සිට ය. ලංකා සමසමාජ පක්‍ෂය 1931 දී පිහිටුවන විට ද 1946 දී එ ජා පක්‍ෂය පිහිටුවන විට ද ජාතිකත්වය අගය කළ ඇතැමුන් ඒ පක්‍ෂවලට බැඳුනේ, එසේත් නැත්නම් හිතවතුන් වූයේ වෙනත් පක්‍ෂයක් නොතිබූ බැවින් බව පැහැදිලි ය. ශ්‍රී ල නි පක්‍ෂය පිහිටුවීමෙන් පසුව ජාතිකත්වය අගයන අයට දේශපාලන පක්‍ෂයක් ලැබිණි. එහෙත් මෙරට ජාතිකත්වයට දේශපාලන පක්‍ෂ නො ගැලපෙයි. දේශපාලන පක්‍ෂ ද අපට ලැබුණේ බටහිරිනි. මුලින් ම එංගලන්තයේ පිහිටුවන ලද දේශපාලන පක්‍ෂ අපට ලැබුණේ මාක්ස්වාදය ඔස්සේ ය. ලංකා සමසමාජ පක්‍ෂය පිහිටුවන තුරු මෙරට දේශපාලන පක්‍ෂයක් බිහි නොවුණේ ද ජාතිකත්වය නිසා විය හැකි ය. ඒ කුමක් වුවත් අද ශ්‍රී ල නි පක්‍ෂයට ඇති ප්‍රධාන ම ප්‍රශ්නය නම් ජාතිකත්වයට සරිලන දේශපාලන ව්‍යුහ සකස් කරගන්නේ කෙසේ ද යන්න ය. දේශපාලන පක්‍ෂ අපටත් අප වැනි වෙනත් රටවලටත් නොගැලපෙන බව පැහැදිලි ය.

සිංහල ජාතිය පණ්ඩුකාභය රජු දවස බිහිවුණ ද සිංහල බුදුදහම මිහිඳු හිමියන් විසින් සකස් කෙරුණ ද, මෙරට ජාතිකත්වය අපට ලබාදුන්නේ ගැමුණු රජු ය. ගැමුණු රජු ජාතියේ වීිරයා වන්නේ අපට ව්‍යවස්ථාවක් සකස්කර දුන් නිසාත් සිංහල බෞද්ධ රාජ්‍යය තහවුරු කළ නිසාත් ය. එදා සිට ඉංගිරිසින් මෙරට ආක්‍රමණය කරන තුරු ම අප රට කරවනු (රට කරවීම යන්න අපේ සංකල්පය වෙයි. සංවර්ධනය යනු පරිසරයට විරුද්ධ සංකල්පයකි) ලැබුයේ ගැමුණු ව්‍යවස්ථාව අනුව ය. සියළු ජාතික වීරයන් හැඩගැසුණේ ගැමුණු රජු ආදර්ශයට ගනිමිනි. බෞද්ධයකු ලෙස යුද්ධ කරන්නේ කෙසේ දැයි මුළු ලෝකයට ම කියා දුන්නේ ගැමුණු රජු ය. ඉංගිරිසි යටත්විජිත යුගයේ බිහි වූ කැප්පෙටිපොළ, පුරන් අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා, අනගාරික ධර්මපාලතුමා ආදී ජාතික වීරයෝ ගැමුණු රජුගේ ආභාසය ලත් අය වූහ. ඔවුහු අපේ නායකයෝ වූහ. එහෙත් ඉන් පසු අපට නායකයන් ලබාදුන්නේ ඉංගිරිසින් විසිනි. මුල් කාලයේ අපට ලැබුණේ සංස්කෘතියෙන් මෙන් ම ආගමෙන් ද ක්‍රිස්තියානි වූ බර්ගර් ජනවර්ගයට අයත් නායකයන් ය. ඔවුහු ඊනියා ලාංකික ජාතියක් ගොඩනැගීමට වෑයම් කළහ. ඔවුන්ට පසුව ලාංකික ජාතියේ නායකයන් වූයේ දෙමළ වෙල්ලාලයන් ය. ඉංගිරිසි කතාකරන සිංහල නායකයන්ට ඉංගිරිසි ආණ්ඩුවෙන් හිමිවූයේ තුන්වැනි තැන ය.

දහනවවැනි සියවසේ අගභාගයේ දී සිංහල බෞද්ධයෝ 1848 නිදහස් අරගලයෙන් පසුව නැවත වරක් සංවිධානය වූහ. එහි ගිහි නායකයා වූයේ අනගාරික ධර්මපාලතුමන් ය. එහෙත් වැඩිකල් එතුමන්ට ඒ අරගලය කරගෙන යෑමට නොහැකි විය. ඇමරිකාවෙන් පැමිණි ඕල්කට්තුමා ප්‍රමුඛ පරම විඥානාර්ථවාදියෝ ධර්මපාලතුමාගේ ජාතික ව්‍යාපාරය ඩැහැගෙන ගසා කෑවෝ ය. ධර්මපාලතුමා ඉන්දියාවට ගිය අතර ඕල්කට් බුද්ධාගම මෙරට උගත් බෞද්ධයන් අතර තහවුරු විය. ධර්මපාලතුමාගේ ජාතික ව්‍යාපාරය යට ගියේ ය. ඒ අතර ඕල්කට් බුද්ධාගමේ නායකයන් ලෙස පළමුව ඩී බී ජයතිලක මහතා ද පසුව සේනානායකවරුද ඉදිරියට පැමිණියහ. ඔවුන්ට මුල දී ඉංගිරිසින් අතර හෝ රටේ ජනතාව අතර හෝ තැනක් නො වී ය. එහෙත් ඕල්කට් බුද්ධාගමේ පිහිටෙන් ඔවුහු සිංහලයන් අතර නායකත්වයට පත්වූහ. සේනානායකවරු තමන්ට මුල දී උපකාර කළ ඩී බී ජයතිලක මහතා පසුව ඉන්දියාවට යැවීමට සමත්වූහ.

ජාතික ව්‍යාපාරය යට ගියේ ය. ඕල්කට් බෞද්ධයන්ට රටේ නායකත්වය හිමි විය. එයට සර්වජන ඡන්දය ඉහළින් ම බලපෑවේ ය. බොහෝ ජාතිකවාදීහු මාක්ස්වාදයේ යටත්විජිත විරෝධයට ද ඕල්කට් බෞද්ධයන්ගේ අමද්‍යප ව්‍යාපාරය වැනි ව්‍යාපාරවලට ද රැවටුණහ. එහෙත් එසේ නොරැවටුණු ජාතිකවාදීහු විශාල ප්‍රමාණයක් මෙරට වාසය කළහ. ඔවුහු නායකයකු සොයමින් කල් ගත කළහ. සිංහල ජාතිකවාදය දෙමළ ජාතිකවාදය මෙන් නොව පහත සිට උඩට ක්‍රියාත්මක වෙයි. නායකයා පැමිණ අනුගාමිකයන් පිරිසක් ඇතිකර ගැනීමක් මෙහි දී සිදු නො වේ. මාක්ස්වාදී පක්‍ෂ ගැන මෙන් ම එ ජා පක්‍ෂය සම්බන්ධයෙන් ද කිව හැක්කේ නායකයන් අනුගාමිකයන් සොයාගත් බව ය. එහෙත් ශ්‍රී ල නි පක්‍ෂය එසේ නො වී ය. බණ්ඩාරනායක මහතා එ ජා පක්‍ෂයෙන් අස් වී ශ්‍රී ල නි පක්‍ෂය ආරම්භ කල සැණින් ජනතාව ඒ වටා රොක් නො වූහ. සිංහල ජාතිකවාදීහු බණ්ඩාරනායක මහතාට කල් දුන්හ. එතුමාට පක්‍ෂයේ ප්‍රතිපත්ති සකස්කර ගැනීමට කල් දුන්හ. බණ්ඩාරනායක මහතා 1952 දී මහා මැතිවරණය තරඟ කළ අවස්ථාවේ දී එතුමාගේ ශ්‍රී ල නි පක්‍ෂයට එතරම් ආසන සංඛ්‍යාවක් නො ලැබිණි. ල ස ස පක්‍ෂයට ලැබුණු ආසන සංඛ්‍යාව ම ශ්‍රී ල නි පක්‍ෂයට ද ලැබිණි. එහෙත් 1953න් පසුව ශ්‍රී ල නි පක්‍ෂයේ භාෂා ප්‍රතිපත්තිය වෙනස් විය. ශ්‍රී ල නි පක්‍ෂය ඉන් පසු සිංහල පමණක් රාජ්‍ය භාෂාව කළ යුතු ය යන ප්‍රතිපත්තිය අනුගමනය කළේ ය.

ශ්‍රී ල නි පක්‍ෂය වටා සිංහල ජාතිකත්වය එක්වීමට පටන් ගත්තේ ඉන් පසුව ය. මින්නේරිය ආසනයේ පැවති අතුරු මැතිවරණයෙන් ශ්‍රී ල නි පක්‍ෂය ජයගත්තේ ය. ඉන් පසු පරාජයට වඩා ජය ශ්‍රී ල නි පක්‍ෂයේ උරුමය විය. මට තේරුම් යන අයුරින් ශ්‍රී ල නි පක්‍ෂයේ භාෂා ප්‍රතිපත්තිය සකස්් කරවීමට සිංහල ජාතිකත්වය සමත් විය. 1956 මේ සියල්ලෙහි එක්තරා උචිචස්ථානයක් විය. ශ්‍රී ල නි පක්‍ෂයට විප්ලවකාරී සමසමාජ පක්‍ෂය භාෂා පෙරමුණ ආදී පක්‍ෂ එකතුවීමෙන් ම එ පෙ නම් සංවිධානය බිහිකරනු ලැබිණි. 1954 දී පමණ සිංහල ජාතිකවාදීහු ඩඩ්ලි සේනානායක මහතා හමුවී සිංහල ජාතිකත්ව පක්‍ෂයක නායකත්වය ගන්නා ලෙස ඉල්ලා සිටියහ යැයි කියැවෙයි. එහෙත් හර්තාලයෙන් බැට කා සිටි ඩඩ්ලි සේනනායක මහතා ඒ අවස්ථාවේ දී බණ්ඩාරනායක මහතාට ආරාධනය කරන ලෙස සිංහල ජාතිකවාදීන්ගෙන් ඉල්ලා ඇත.

ශ්‍රී ල නි පක්‍ෂයට ක්‍රම ක්‍රමයෙන් සිංහල ජාතිකවාදීහු ගොනුවූහ. එහි දී සිංහලයන් මෙන් ම මුස්ලිම් ජනයා ද දෙමළ ජනයා ද ශ්‍රී ල නි පක්‍ෂයට බැඳුණු බවත් අදාළ ජන අනුපාතවලින් ඒ බව හෙළිදරවු වන බවත් සඳහන් කළ යුතු වෙයි. කෙසේ වෙතත් 1956 වන විට සිංහල ජාතිකත්වයේ අවශ්‍යතාව ශ්‍රී ල නි පක්‍ෂය ඔස්සේ ඉටු කර ගැනීමට ජාතිකවාදීහු සූදානම් ව සිටියහ. ඒ සූදානම මහජන එක්සත් පෙරමුණ දක්වා පුළුල් විය. එහෙත් ශ්‍රී ල නි පක්‍ෂයට හෝ මහජන එක්සත් පෙරමුණට හෝ ජාතිකත්වය මත ගොඩනැගුණු ප්‍රතිපත්ති මාලාවක් තිබිණි යැයි කිවහැකි නො වේ. ශ්‍රී ල නි පක්‍ෂයට හිසක් නොමැති වී යැයි ගුණදාස අමරසේකර මහතා පවසන්නේ ඒ නිසා විය හැකි ය. ශ්‍රී ල නි පක්‍ෂයේ ප්‍රතිපත්තිය ජාතිකත්වය, යටත්විජිත විරෝධය, බටහිර ලිබරල්වාදය හා මාක්ස්වාදී සමාජවාදය මතුපිටින් මුසුකර ගැනීමෙන් සකස් විය. ඒ හේතුවෙන් ම එහි පරස්පර හා අවිනිශ්චිත භාවයන් විය. අවාසනාවකට සිංහල ජාතිකත්වය යන්න පිළිබඳව ද ජාතිකවාදීන්ට ද නිශ්චිත පැහැදිලි හැඟීමක් නො වී ය. සිංහල බෞද්ධ ජාතිකත්වයෙහි දේශපාලන පක්‍ෂ තිබිය නොහැකි බව බොහෝ ජාතිකවාදීනට ද අවබෝධ නො වී ය. පක්‍ෂ නොතිබීම ඒකාධිපතිවාදයට අත වැනීමක් ලෙස අනුරාධපුර යුගයේ වැඩවසම් සමාජයක් දකින පඬියන් ප්‍රකාශ කරනු ඇත. මාක්ස්වාදී සමාජවාදය සිංහල ජාතිකත්වයට නුහුරු වූවක් නොවන බව ඇතැමුන් කියා සිටියේ බටහිර කෙටිකතාව හා ජාතක කතාව අතර සාම්‍යයක් දුටු පදනමෙන් මිස ගැඹුරෙන් ඒ ගැන කරන ලද හැදෑරීමකින් පසුව නො වේ. මාක්ස්වාදී සමාජවාදය හා සිංහල බෞද්ධ ජාතිකත්වය යා දෙක නොරත රත සමග පෑහීමක් නොවන අයුරින් වෙයි. ජනසතුව යනු රාජ්‍ය සතුවක් මිස ජනභාරකරත්වයක්වත් නොවන බව අදත් බොහෝ අයට නො තේරෙයි.

කෙසේ වෙතත් බණ්ඩාරනායක මහතාගේ හා මහත්මියගේ නායකත්වය යටතේ ශ්‍රී ල නි පක්‍ෂයෙන් මෙරට ජාතිකත්වයට යම් සේවයක් ඉටුවිණි. එය නැතිකර ශ්‍රී ල නි පක්‍ෂය පීලිපන්නවා විජාතිකත්වයට සේවය කරන පක්‍ෂයක් ලෙස සකස්කිරීමේ අවශ්‍යතාව මෙරට සතිඅන්ත කසිකබල් පුවත්පතක කතුවරයකුට හා තවත් අයට තිබිණි. ඔවුන්ගෙන් ඇතැමෙක් ආණ්ඩුවේ වෙති. බණ්ඩාරනායක යුවළගේ දරුවකු වුව ද පනස්හයේ දරුවකු නොවූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එංගලන්තයෙන් මෙරටට ආනයනය කරනු ලැබුයේ ඒ අවශ්‍යතාව පරිදි ය. ඇය සිංහල බෞද්ධ විරෝධී ස්ත්‍රියකි. විජය කුමාරතුංග මහතා ද එසේ ම විය. ඔවුන් බලයේ සිටි කාලය ශ්‍රී ල නි පක්‍ෂයේ දුර්දාන්ත කාල පරිච්ඡෙදයක් විය. එහෙත් ජාතිකවාදීන්ට මේ බලවේග පරදවා 1951 දී බණ්ඩාරනායක මහතා සමග එ ජා පක්‍ෂයෙන් ඉවත් වූ ඩී ඒ රාජපක්‍ෂ මහතාගේ පුතකු වූ මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ල නි පක්‍ෂයේ නායකයා බවටත් රටේ නායකයා බවටත් පත්කිරීමට හැකි විය. ශ්‍රී ල නි පක්‍ෂයට හා සන්ධානයට වෙනත් කිසිවක් නැතත් දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමේ අතිමහත් ගෞරවය හිමිවෙයි. හයවැනි පරාක්‍රමබාහු රජුගෙන් පසු ජාතික බලවේගවල නායකත්වයෙන් රට නැවතත් එක්සේසත් කිරීමේ ගෞරවය ශ්‍රී ල නි පක්‍ෂයේ ද නායක මහින්ද රාජපක්‍ෂ මහතාට හිමිවෙයි. එහෙත් ශ්‍රී ල නි පක්‍ෂයේ අනෙක් බොහෝ දෙනකුගේ ක්‍රියාකාරකම් පිළිබඳ ව අපට කිසිසේත් ම සෑහීමකට පත්විය නො හැකි ය. මහා පරිමාණයේ දුෂණ ගසාකෑම් පක්‍ෂයේ ඇතැමුන් අතින් සිදුවෙයි. අද රට කරවනුයේ ජාතිකත්වය මත පිහිටා නො වේ. ශ්‍රී ල නි පක්‍ෂය යටතේ විජාතික බලවේගවලට රට සූරාකෑමට ඉඩ දීම පංචානන්තරීය පාපකර්මයක් ලෙස සැලකිය හැකි ය. හැට පිරෙන මේ මොහොතේ පක්‍ෂය බටහිර සංවර්ධන ආකෘතියට නොව රට කරවීමට යොමු විය යුතු ය.