History

Saturday, 26 November 2011

එක් සේසත් රාජ්‍යය ගැන හැඳින්වීමක්

මෙරට පැරණි යුගයේ තිබුණේ එක් සේසත් රාජ්‍යයකි. එය දශරාජ ධර්මය අනුව රජවරුන් විසින් කරවන ලදී. අප යොදා ගත්තේ රට පාලනය කිරීම යන්න නොව රට කරවීම යන්න ය. රට කරවීමට අදාළ සෙල්ලිපි රාශියක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හමු වී ඇත. අදාළ සියලුම සෙල්ලිපි සිංහලෙන් තිබීමෙන් පෙන්නුම් කරන්නේ රට කරවීමට අදාළ භාෂාව, අවශ්‍ය නම් රාජ්‍ය භාෂාව, සිංහල මිස වෙනත් භාෂාවක් නොවූ බව ය. ගාල්ලේ ඇති ත්‍රෛභාෂික සෙල්ලිපිය පැහැදිලිව ම එකල මෙහි පැමිණි අරාබි, චීන හා දෙමළ වෙළෙන්දන් වෙනුවෙන් ලියැවුණක් මිස රටේ වැසියන් වෙනුවෙන් ලියැවුණක් නො වේ. ඒ සෙල්ලිපිය ආශ්‍රයෙන් මෙරට දෙමළ වැසියන් සිටි බව පෙන්වීමට උත්සාහ කරන්නන්ට චීන සම්බන්ධයෙන් පැන නගින ප්‍රශ්නවලට පිළිතුරු නැත. සෙල්ලිපිවලින් අපේ පැරණි රාජ්‍ය භාෂාව කුමක් ද යන්නට ද නිසි පිළිතුරු ලැබේ.

කෙසේ වෙතත් රාජ්‍ය භාෂාව, ඒකීය රාජ්‍යය වැනි වර්තමානයේ දී අප බටහිරයන්ගෙන් ලබාගත් සංකල්ප අතීතයට යොදා ගැනීමේ දී අප ප්‍රවේසම් විය යුතු ය. ගැමුණු යුගයේ රාජ්‍ය භාෂාව කුමක් ද යන ප්‍රශ්නයට අප දෙන පිළිතුර කුමක් ද? සංකල්ප සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙයි. ඊනියා වාස්තවික නිරපේක්‍ෂ සංකල්ප ලෝකයේ නැත. සිංහල භාෂාව ද අනෙක් භාෂා මෙන් ම සංස්කෘතික සංදර්භයක ව්‍යවහාර වෙයි. කෝට්ටේ යුගයේ ඉඟ සුඟ ගත හැකි මිටින යන්නෙහි සුඟ යොදාගෙන ඇති ආකාරයට වෙනස් ව එයට හාත්පසින් විරුද්ධාර්ථයකින් අද සුඟ යන්න යොදා ගැනෙයි. එමෙන් ම එකල යොදා නොගත් ඒකීය රාජ්‍යය, රාජ්‍ය භාෂාව වැනි සංකල්පවලින් මතුවන අදහස් එකල කිනම් වචනවලින් නියෝජනය වී දැයි අධ්‍යයනය කළ යූතු ය. එමෙන් ම එදා යොදාගත් වචන අද යොදා ගැනෙන වචන සමග සංසන්දනය කිරීමේ දී අප බොහෝ විට කල්පනාකාරී විය යුතු ය.

අපිදු ඇතැම් අවස්ථාවල එකල ලංකාවේ (සිංහලයේ) රාජ්‍ය භාෂාව සිංහල වූ බවත් අපට එකල ද ඒකීය රාජ්‍යයක් වූ බවත් පවසමු. එහෙත් අප කියන්නේ එකල ඒ වචන යොදා නොගත් බවත්, එකල තිබූ රාජ්‍යය අද ව්‍යවහාරකරන වචනවලින් ප්‍රකාශ කළහොත් එයට ඒකීය රාජ්‍යයක් යැයි කිවහැකි බවත් ය. එමෙන් ම එදා රාජ්‍යයේ වැඩ කටයුතු කෙරුණු භාෂාව සිංහල වූ බවත් එබැවින් අද පවත්නා වචන යොදා ගැනීමේ දී එකල රාජ්‍ය භාෂාව සිංහල වූ බවත් අපි පවසමු. ආණ්ඩුවට සම්බන්ධ එක්තරා දේශපාලන පක්‍ෂයක වෙබ් අඩවියට අවිචාර ප්‍රකාශ කරන මුග්ධයන්ට හා පක්‍ෂයේ නොවන අයගේ අදහස්වලට ඒ මුග්ධයන් ලවා ගැරහීම සඳහා තම වෙබ් අඩවියේ තම පක්‍ෂයේ නොවන අයගේ ලිපි පළකරන තවමත් මාක්ස්වාදයේ එක් කකුළක් ගසාසිටින්නන්ට මේ අදහස් නොතේරේ නම් ඒ ගැන කරන්නට දෙයක් නැත. මේ පක්‍ෂයේ න්‍යායාචාර්යවරුන්ට බටහිර විද්‍යාව සංස්කෘතික වශයෙන් යුදෙව් ක්‍රිස්තියානි බව තවමත් වැටහී නැත. ඇතැම් විට ඔවුන් බටහිර විද්‍යාව ක්‍රිස්තියානි ලෙස හැඳින්වීම ආගම්වාදී ලෙස හඳුනගන්නවා විය හැකි ය.

එංගලන්තයේ ඇතැම් රජවරු ජර්මන් ප්‍රංශ උරුම ඇත්තෝ වූහ. ඔවුහු ඇතැම් විට ප්‍රංශ භාෂාවෙන් කටයුතු කළහ. එවැනි යුගයක එංගලන්තයේ රාජ්‍ය භාෂාව වූයේ ඉංගිරිසි නොව ප්‍රංශ ය. එහෙත් රජවරු එංගලන්තයේ ඉංගිරිසි රජවරු මිස ප්‍රංශයේ හෝ ප්‍රංශ හෝ රජවරු නො වුහ. එබැවින් ඉංගිරිසි රජවරුන් යටතේ එංගලන්තයේ ඇතැම් යුගයක ප්‍රංශ භාෂාව රාජ්‍ය භාෂාව විණි යැයි අපට කිවහැකි වෙයි. එහෙත් ලංකාවේ කිසි දිනෙක එසේ වූ බවක් සඳහන් නො වේ. නුවර යුගයේ අවසාන භාගයේ රජකළ රජවරු සතරදෙනා වඩිග වාර්ගිකයෝ වූහ. ඔවුන් ලංකාවට පැමිණියේ අද තමිල්නාඩුව යැයි හැඳින්වෙන ප්‍රදේශයෙන් වුව ද ඔවුන්ගේ මුල් ප්‍රදේශය ආන්ද්‍ර දේශය විය. ඔවුන් කතාකළ බස තෙළිඟු විය. රජ පවුලේ උදවිය තෙළිඟු හෙවත් අණ්ඩර දෙමළ බසින් කතාකළ ද රජු රට කරවූයේ සිංහල බසිනි. (සිංහලයන් තෙළිගු බසට අණ්ඩර දෙමළ යනුවෙන් කියන්නට ඇත්තේ එහි ප්‍රභවය ආන්ද්‍ර වීම නිසාත් එහි දෙමළට ඇති නෑකම නිසාත් යැයි සිතිය හැකි ය. ආන්ද්‍ර යන්න අද සිටින නාගරික අනුකාරකයන්ට මෙන් නොව නිර්මාණශීලී ගැමියන්ට අණ්ඩර විය.) ඒ අරුතින් ගත්කල පෘතුගීසීන් පැමිණෙන තෙක් අවුරුදු දෙදහකට අධික කාලයක් තිස්සේ අඛණ්ඩව මුළු රට ම කරවූයේ සිංහල බසිනි. එවැනි වාර්තාවකට හිමිකම් කිවහැකි වෙනත් රාජ්‍යයක් (රජදහනක්) වේ නම් ඒ චීනය ය.

අප අපේ පැරණි එක්සේසත් රාජ්‍යය ගැන කතාකිරීමේ දී මේ කරුණු සැලකිල්ලට ගත යුතු ය. එක්සේසත් රාජ්‍යය ලංකාවේ නිර්මාණය වූවක් යැයි සිතීමට ඉඩ ඇත. එය ඒකඡත්‍ර යනුවෙන් ද හඳුන්වා දී ඇති නමුත් ඒ වචනය සිංහල භාෂාවෙන් පරිවර්තනය කරන ලද්දක් විය යුතු ය. ඡත්‍ර යනු කුඩයට නමකි. එය සේසත යන තේරුම දෙන්නේ දැයි නිසැකව කිව නො හැකි ය. කෙසේ වෙතත් සේසත යන්න තවමත් ලංකාවේ යොදා ගැනෙන, දක්නට ලැබෙන භාණ්ඩයක් වන අතර එය බලයේ සංකේතයක් ලෙස අද ද භාවිතා වෙයි. එක් සේසත් යනු වචනාර්ථයෙන් ම සේසත් කිහිපයක් වෙනුවට එක් සේසතක් පමණක් බලය (අදිකාරිය අදි උපසර්ගයෙන් කියැවෙන ප්‍රබල කාරිය,) දක්වන සංකේතය ලෙස යොදා ගැනීම ය.

අදිකාරිය යන්න මෙරට දේශපාලන ඉතිහාසයේ ඉතා වැදගත් වචනයක් යැයි සිතමි. කාරිය යන්න කරවීම සමග සම්බන්ධය. අදිකාරම්ලා කාරියවසම්ලා (වසම කරවන්නන් විය හැකි ය) කාරියකරවනලා පමණක් නොව මෙරට කාරියප්පර්ලා ද සිටිති. වරක් මුස්ලිම් කොංග්‍රසයේ නිසාම් කාරියප්පර් මහතා මා සමග පැවසුවේ ඔහුගේ පරම්පරාවේ අය ප්‍රාදේශික ව කාරිය කළ, එනම් ප්‍රදේශය කරවූ, ප්‍රධානීන් වූ බව ය. අප්පර් යන්නෙන් ප්‍රධානියා යන තේරුම ගෙන දෙයි. සෙනරත් රජු මුස්ලිම්වරුන් පෘතුගීසීන්ගේ අඩම් තේට්ටම්වලින් මුදවාගෙන වත්මන් නැගෙනහිර පළාතේ පදිංචි කරවීමෙන් පසුව ඇතැමුන් රජු වෙනුවෙන් කුඩා ප්‍රදේශ කරවූ බවක් මෙයින් කියැවෙයි. කාරියප්පර් යන නමින් ද කියැවෙන්නේ රුහුණු රටේ කොටසක් වූ වත්මන් නැගෙනහිර පළාත සිංහල රජුගේ අදිකාරියෙහි පැවතුණූ බව ය. අපේ පැරණි රජවරු රට කරවූහ. එසේත් නැතහොත් ඒ ඒ රට කරවූ ප්‍රධානීහු සිටියහ. මෙහි දී රට යන්න ගැන ද කෙටි සඳහනක් කළ යුතු ය.

රට යන්න එදා යොදාගෙන තිබුණේ අද යෙදෙන අර්ථයෙන් ම නොවන බව පැහැදිලි ය. රුහුණු රට, මායා රට හා පිහිටි රට (රජරට) පමණක් නොව අටදහස් රට, දොළොස්දහස් රට ආදිය ද මෙරට විය. ඇතැම් පඬියන් එය විවරණය කරන්නේ එකල රටවල් ගණනාවක් තිබූ ලෙස සලකමින් ය. එහෙත් උඩරට පහතරට යන්න ද එසේ වෙන ම රටක් යන තේරුමකින් ව්‍යවහාර නොකරන බව පැහැදිලි ය. ගම්රටවල් බලා යනවා වැනි කියුම් ද අද ව්‍යවහාර කරන රට යන අරුතින් යෙදී නැති බව පැහැදිලි ය. එදා රට යනු අද ව්‍යවහාරයෙන් නම් පළාත, ප්‍රදේශය ආදිය හැඳින්වෙන්නක් වෙයි. අද රට යන්නෙන් කියැවෙන්නට ද එදා රට යනුවෙන් යොදාගන්නට ඇත. ඒ අතර ඒ ඒ අවධියෙහි මුළු රට ම (මේ ව්‍යවහාරය ද වැදගත් ය) ලංකාදීප, හෙළදීව, සීහළදීප ආදී වශයෙන් හඳුන්වන ලැබී ඇත.

ඒ කෙටි සටහනින්, ඇත්තට ම නිරීක්‍ෂණයෙන් පසු රටේ, එනම් මුළු රටේම දේශපාලන ව්‍යුහය ගැන සාකච්ඡා කිරීමට හැකි ය. රටේ කුඩා ම ඒකකය වී ඇත්තේ ගම ය. ගම හැරුණු විට නියම් ගම්, දනව්, පුර, නුවර ආදී ඒකක ද තිබී ඇත. මෙරටට විජයගෙන් සංකේතවත් වන අර්ධ වෛදීක සංක්‍රමණයට (මෙහි සංස්කෘතික සංක්‍රමණයක් ද වූ බව පැහැදිලි ය) පෙර සිට ම මෙරට පුර තිබූ බව ලංකාපුර යන්නෙන් පැහැදිලි ය. යක්‍ෂ ගෝත්‍රිකයන්ට යම් ආකාරයක පුර සංස්කෘතියක් තිබී ඇතැයි සිතිය හැකි ය. ඒ පුරවල ප්‍රාදේශීය නායකයන් සිටි බව ද ඒ අතර කියැවෙයි. ගම්වල ප්‍රධානීහු ගාමණීලා වූහ. ඒ ඒ ගම්වල නැත්නම් ගම් කිහිපයක වරිග සභා, ගම් සභා ආදී වශයෙන් ජනතාවගේ විවිධ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා සභා පිහිටුවා ගෙන සිටි බවත් පැහැදිලි ය. ඒ අතර පන්සලේ හාමුදුරුවන් මුල් කරගත් සභා ද විය.

මේ සභා මුළුමනින් ම දේශපාලන සභා යැයි කිවයුතු නො වේ. මෙරට සංස්කෘතියෙහි කැපී පෙනෙන ලක්‍ෂණයක් නම් දේශපාලනය, සංස්කෘතිය හා ආර්ථිකය එකිනෙක සමග තිබූ සම්බන්ධය ය. බටහිර ක්‍රිස්තියානි (කතෝලික යන්නට ප්‍රතිපක්‍ෂව) සංස්කෘතියෙහි මෙන් ඒ ඒ කාර්යයෙහි ලා පැහැදිලි බෙදීම් මෙරට නො වී ය. බොහෝ දුරට එය අපේ ශක්තියක් විය. ගමේ හාමුදුරුවන් මුල් කරගත් සභාව කාළාම සූත්‍රයෙහි දැක්වෙන විඤ්ඤූන්ගේ, නැත්නම් කාරණාකාරණ දත් අයගේ සභාවක් විය. එය පැරණි ග්‍රීකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය අනුව සකස් නොවිණි. පැරණි ග්‍රීකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය කුලීනයන්ට, වහල් හිමියන්ට පමණක් සීමා විය. ඒ ප්‍රජාතන්ත්‍රවාදය වහළුන්ට අයත් නො වී ය. විඤ්ඤූන්ගේ සභාව ගැමියන් විසින් තෝරාපත්කරගනු ලැබූවක්වත්, සියළුම ගැමියන්ගෙන් සමන්විත වූ සභාවක්වත් නො වීය. විඤ්ඤූන්ගේ සභාවල නව සාමාජිකයන් තෝරාගනු ලබන්නේ එතෙක් විඤ්ඤුන් ලෙස ක්‍රියාකරන අය විසිනි. අද ද විඤ්ඤූන්ගේ සභාවල නව සාමාජිකයන් පත්කෙරෙන්නේ සිටින විඤ්ඤූන් විසිනි.