History

Saturday, 26 November 2011

සන්නිකර්ෂණයේ හා වාස්තවිකත්වයේ පරස්පරය

බටහිර විද්‍යාව සම්බන්ධයෙන් මෙතෙක් මෙරට වපුරා තිබූ මිථ්‍යා මත අද එකින් එක පුපුරා යමින් පවතිනු දැකිය හැකිය. අද බටහිර වෛද්‍ය විද්‍යාවේ (බටහිර වෛද්‍ය විද්‍යාව හා බටහිර ඉංජිනේරු විද්‍යාව යනු බටහිරයන්ගේ ම අර්ථයෙන් ගත්කල බටහිර තාක්‍ෂණ පමණකි) මහාචාර්යවරුන්ට බටහිර විද්‍යාව ගැන කීමට ඇත්තේ එහි විශ්වාසනීයත්වය හා එය යොදා ගැනීමට හැකි වීම පමණ ය. එහෙත් කලකට පෙර මේ මහාචාර්යවරු බටහිර විද්‍යාවේ ඊනියා සත්‍යතාව, එහි ඇති ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමය, එය සත්‍යය කරා ළඟාවීම, එහි වාස්තවිකත්වය, සර්වත්‍රභාවය ආදිය ගැන මහත් ආඩම්බරයෙන් කතා කළහ. එහෙත් අද ඔවුන්ට ඒ ගැන කතාකිරීමට නො හැකි වී ඇත.

බටහිර විද්‍යාව යනු තවත් එක් දැනුම් පද්ධතියක් පමණක් බවත් එයට විශේෂිත වූ වැදගත්කමක් නැති බවත් එය යම් සංස්කෘතියක හා චින්තනයක බිහි වී ඇති බවත් එය අද පවතින්නේ මූලික වශයෙන් ම බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ දේශපාලන ආධිපත්‍යය මත බවත් මේ දැනුම් ආධිපත්‍යය යුරෝපීය වැඩවසම් යුගයේ කතෝලික පල්ලියේ දැනුම් ආධිපත්‍යයට වඩා බෙහෙවින් ශක්තිමත් බවත් අප වටහා ගතයුතු ය. කතෝලික පල්ලියේ දැනුම් ආධිපත්‍යය එහි අනෙක් ආධිපත්‍ය මෙන් ම එක් පුද්ගලයකු, එනම් පාප් වහන්සේ, වටා ගොඩනැගිණි. එහෙත් බටහිර විද්‍යාවේ දැනුම් ආධිපත්‍යයට නායකයකු නැත. එය ලෝ පුරා පවත්වාගෙන යන්නේ විවිධ ආයතන, ඊනියා ශාස්ත්‍රීය සංගම්, විශ්වවිිද්‍යාල, පාසල් හා ජනමාධ්‍ය ඔස්සේ ය. නායකයකු නැති ව්‍යාපාරයකට පහර දීම පහසු නො වේ.

මාටින් ලූතර්ට පාප්වහන්සේ විවේචනය කර පල්ලියේ ආධිපත්‍යයට එරෙහිව සටන් වැදීමට හැකි විය. එමෙන් ම මාටින් ලූතර් එවකටත් ඉතාලියේ හා දකුණු යුරෝපයේ බිහිව තිබූ සාමූහිකත්වයට එරෙහිව පෞද්ගලිකත්වයට ප්‍රධාන තැන ලබා දෙන සමාජ ක්‍රමයක් බිහිකිරීමේ ව්‍යාපාරය මත පදනම් විය. අද අප අපේ සමාජ ක්‍රමයක් ගොඩනැගීම සඳහා ක්‍රියා කිරීමේ දී බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය විසින් පෝෂණය කෙරුණු මිනිසුන්ගේ පෞද්ගලිකත්වය හා වෙනත් ලක්‍ෂණ අපට එරෙහිව ක්‍රියා කරනු දැකිය හැකි ය. එමෙන් ම එහි දී ලන්ඩනයේ රාජකීය සංගමය (Royal Society of London) යනුවෙන් හැඳින්වෙන සංගමයේ හා එහි ආකෘතිය අනුව විවිධ රටවල හා විවිධ ක්‍ෂෙත්‍රවල ගොඩනගා ඇති ශාස්ත්‍රීය සංගම්වල ආධිපත්‍යය මෙන් ම විශ්වවිද්‍යාලවල හා වෙනත් එවැනි ආයතනවල ආධිපත්‍යය ද අපට එරෙහිව අවි අමෝරා ගෙන සටන් වදියි.

පසුගිය දා නාථ දෙවියන් හා විපස්සක දෙවියන් සම්බන්ධ කරගනිමින් රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතු කාරකය (අනෙක් හේතු වනුයේ රජරට ප්‍රදේශයේ ඇති පස හා කිවුල් ජලය ය. වකුගඩු රෝගය පැතිර යෑමට ඒ හේතු සියල්ල කාරක වෙයි) බටහිර කෘෂිවිද්‍යාව ඔස්සේ අප මත පටවා ඇති කෘෂි රසායනිකවල ඇති ආසනික් බව කැලණිය විශ්වවිද්‍යාලයීය කණ්ඩායම පැවසූ විට මෙරට ඇති ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය මට විරුද්ධව කළ ප්‍රකාශ හා අපහාස මෙන් ම මෙරට විශ්වවිද්‍යාල පද්ධතියෙන් නැගුණු විරෝධය කාහටත් මතක ඇතැයි සිතමි. බටහිර විද්‍යාව එයට විරුද්ධව යන කිසිවකට හෝ කිසිවකුට හෝ අබමල් රේණුවක ප්‍රමාණයක ඉඩක් නො දෙයි. එහෙත් මේ සියළු විරුද්ධතා මධ්‍යයේ අද වන විට රජරට ජලයේ ආසනික් තිබෙන බව හා රජරට වකුගඩු රෝගය ආසනික් විසවීමෙන් වැළඳෙන්නක් බව බටහිර විද්‍යාවන් ආශ්‍රයෙන් ම පෙන්වීමට හැකි වී ඇත. එහි දී ඒ බව අපට කලින් ම දැනුම් දුන් නාථ දෙවියන්ට හා විපස්සක දෙවියන්ට අපේ ප්‍රණාමය ප්‍රකාශ කළ යුතු ය. බටහිර විද්‍යාව පසුපස ගොස් තම රැකියාව තහවුරු කරගැනීමට උත්සාහ කරන නිවට බංකොළොත් පුද්ගලයන් මෙන් නොව අප බටහිර විද්‍යාව යොදාගන්නේ එහි මානව විරෝධී ජඩ බව පෙන්වීමට ය.

බටහිර විද්‍යාව ඊනියා සත්‍යය කරා යන්නේ යැයි දැනගැනීමට කිසිම ක්‍රමයක් නැත. එයට හේතුව අප ඊනියා සත්‍යය යනු කුමක් දැයි නො දැනීම ය. සත්‍යය යනු කුමක් දැයි නොදැන බටහිර විද්‍යාව සත්‍යය කරා ළඟාවන්නේ යැයි කියන්නේ කෙසේ ද? යම් අයුරකින් සත්‍යය යනු කුමක් දැයි දැන සිටියේ නම් එවිට ඒ සත්‍යය දැනගැනීම සඳහා බටහිර විද්‍යාවක් හෝ වෙනත් කිසිම දැනුම් පද්ධතියක් හෝ අවශ්‍ය නො වේ. දන්නා දෙයක් නැවතත් දැනගැනීමට වෑයම් කරන්නේ අහවල් දෙයකට ද?

ඇතැමුන්ට අනුව විශේෂ සාපේක්‍ෂතාවාදය නිව්ටෝනීය යාන්ත්‍රිකයට වඩා නිවැරදි ය. එමෙන් ම ඔවුන් පවසන්නේ සාධාරණ සාපේක්‍ෂතාවාදය නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයට වඩා සත්‍යයට ආසන්න බව ය. මේ අවස්ථා දෙකෙහි දීම ඔවුන් මතුකරන ප්‍රධාන කරුණ නම් විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි ප්‍රතිඵලවල සන්නිකර්ෂණයක් ලෙස නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි ප්‍රතිඵල ලබාගත හැකිවීමත්, නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණයෙහි ප්‍රතිඵල සාධාරණ සාපේක්‍ෂතාවාදයෙහි ප්‍රතිඵලවල සන්නිකර්ෂණයක් වීමත් ය.

එක් ප්‍රවාදයකින් ලබාගත හැකි ප්‍රතිඵලවලින් තවත් ප්‍රවාදයක ප්‍රතිඵල සන්නිකර්ෂණ ලෙස ලබාගත හැකි වුවත් ඉන් ඊනියා සත්‍යයක් ගැන කිසිවක් නො කියැවෙයි. මෙහි දී සන්නිකර්ෂණ යනු බටහිර ගණිතය ආධාරයෙන් බොහෝ විට අනන්ත ශ්‍රේණියක ඇතැම් පද නොසලකා හැරීමෙන් ලබාගන්නා ප්‍රතිඵල වෙයි. එයින් ප්‍රවාදවල උපකල්පන, සංකල්ප, ආදිය පිළිබඳ ව කිසිවක් නො කියැවෙයි. ඊනියා සත්‍යය යනු කිසිම සත්‍යයක් ගැන කතා නොකරණ බටහිර ගණිතයේ සන්නිකර්ෂණ සමග බැඳී ඇත්තක් නම් එවැනි සත්‍යයක් ගැන කතාකිරීමෙන් ඇති ඵලයක් නැත.

නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි අවකාශය හා කාලය එකිනෙකින් වෙන් ව පවතියි. එහෙත් විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි ඒ එකිනෙක සමග බැඳී ඇත. නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි අවකාශය හා කාලය නිරපේක්‍ෂ වෙයි. සිද්ධි දෙකක් අතර කාල ප්‍රාන්තරය හා අවකාශ ප්‍රාන්තරය නිරීක්‍ෂකයාගෙන් නිරීක්‍ෂකයාට වෙනස් නො වෙයි. එහෙත් විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි ඒ ප්‍රාන්තර නිරීක්‍ෂකයා මත රඳා පවතියි. එක් නිරීක්‍ෂකයකු සිද්ධි දෙක අතර මැනගන්නා කාල ප්‍රාන්තරය ඔහුට සාපේක්‍ෂ ව චලනය වන වෙනත් නිරීක්‍ෂකයකු මැනගන්නා කාල ප්‍රාන්තරයට වෙනස් වෙයි. ඒ නිරීක්‍ෂකයන් දෙදෙනාගේ සාපේක්‍ෂ ප්‍රවේගය ආලෝකයේ ප්‍රවේගයට වඩා කුඩා නම් එවිට ගණිතමය සන්නිකර්ෂණයෙන් ඒ කාල ප්‍රාන්තර දෙක සමාන බව පෙන්විය හැකි ය. එහෙත් එයින් කියැවෙන්නේ නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි හා විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි සංකල්ප සමාන බව නොවේ. ඒ සංකල්ප අහසට පොළොව මෙන් වෙනස් වෙයි. සංකල්ප කෙසේවත් සන්නිකර්ෂණය කළ හැකි නො වේ. විශේෂ සාපේක්‍ෂතාවාදය නිව්ටෝනීය යාන්ත්‍රිකයට වඩා නිවැරදි යැයි හෝ සත්‍යයට ආසන්න යැයි හෝ කිව නො හැකි ය.

සාධාරණ සාපේක්‍ෂතාවාදය හා නිව්ටෝනීය ගුරුත්වාකර්’ෂණය ගත්කල ද මෙවැන්නක් සිදුවෙයි. සාධාරණ සාපේක්‍ෂතාවාදයෙහි ප්‍රතිඵළ සන්නිකර්ෂණය කිරීමෙන් නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණයේ ප්‍රතිඵල ලබාගත හැකි ය. එහෙත් අයින්ස්ටයිනීය ප්‍රවාදයෙහි ඊනියා ගුරුත්වාකර්ෂණයක් නැත. එහි පොල් පොළොව කරා ගමන් කරන්නේ ගුරුත්වාකර්ෂණ බලයක් නිසා නොව අවකාශ කාලයෙහි වක්‍රතාව නිසා ය. අවකාශ කාලයෙහි වක්‍රතාව හා ගුරුත්වාකර්ෂණය යනු එකකින් අනෙක සන්නිකර්ෂණය කළහැකි සංකල්ප නො වේ. ඒ එක් එක් අවස්ථාවෙහි දී එක් ප්‍රවාදයක් අනෙක් ප්‍රවාදයට වඩා ඊනියා සත්‍යයට ආසන්න යැයි කිව නො හැකි ය. ඒ ඒ ප්‍රවාදවල යොදාගන්නා සංකල්ප අතර කිසිම වූ සම්බන්ධයක් නැත. අවකාශය හා කාලය වෙනුවට අවකාශ කාලයත් ගුරුත්වාකර්ෂණ බලය හෝ ක්‍ෂෙත්‍රය හෝ වෙනුවට අවකාශ කාලයේ වක්‍රතාවත් ආදේශ කළ හැකි සංකල්ප නො වේ. සංකල්පීය වශයෙන් කිසිම සමානකමක් නොමැතිව එකක් අනෙකට වඩා ඊනියා සත්‍යයට ආසන්න යැයි කිව නො හැකි ය.

බටහිර විද්‍යාවේ ප්‍රවාද වියුක්ත (abstract) ප්‍රවාද වෙයි. එහි ඇත්තේ වියුක්ත සංකල්ප ය. එහෙත් වියුක්ත ප්‍රවාද යනු ඊනියා වාස්තවික (objective) ප්‍රවාද නො වේ. වියුක්තය ඇතිවන්නේ සංයුක්තයට එරෙහිව ය. සංයුක්ත සංකල්ප, ප්‍රවාද ආදිය ඉන්ද්‍රිය ගෝචර වෙයි. එනම් බටහිර විද්‍යාවේ දී පංචෙන්ද්‍රියන්ට ගෝචර වෙයි. බටහිර විද්‍යාව මනස ඉන්ද්‍රියයක් ලෙස නොසැලකුව ද, මනස නොමැතිව හුදෙක් පංචෙන්ද්‍රියන්ගෙන් පමණක් සංකල්ප නිර්මාණය කරගත නො හැකි ය. දැනුම නිර්මාණයේ දී මනසෙන් වන සුවිශේෂ කාර්යය නොසලකා හරින බටහිර විද්‍යාව ඒ නිසා ම ප්‍රතිවිරුද්ධතාවල සිරවෙයි.

වියුක්ත සංකල්ප ඇතිවන්නේ මනසෙහි ය. එහි දී අනෙක් ඉන්ද්‍රියයන් භාවිතා නො වේ. සරල රේඛාවක් යනු වියුක්ත සංකල්පයකි. එහි රූපයක්, ප්‍රතිබිම්බයක් මනසෙහි නිර්මාණය කරගත නො හැකි ය. සරල රේඛාවක් යනු පොතක පතක ඇඳිය හැකි භූතාර්ථයක් නො වේ. එහෙත් පුටුව, මේසය, බල්ලා වැනි සංයුක්ත සංකල්ප ඇතිවන්නේ පංචෙන්ද්‍රියයන්ට ගෝචර වස්තු සම්බන්ධයෙනි. මේ වෙනස අපේ ප්‍රවාද ලිපිවල බොහෝ අවස්ථාවල සාකච්ඡා කෙරී ඇති බැවින් තවදුරටත් ඒ විස්තර කළ යුතු යැයි නො සිතමි.

වියුක්ත සංකල්පයක් වුව ද ඒ ඒ නිරීක්‍ෂකයාට සාපේක්‍ෂ විය හැකි ය. ඇතැම් නිරීක්‍ෂකයන්ට, එනම් ඇතැම් පුද්ගලයන්ට වියුක්ත සංකල්ප එතරම් හොඳින් ග්‍රහණය කරගත හැකි නො වේ. වියුක්ත වුවත් ඒ ඒ නිරීක්‍ෂකයාට, සංකල්ප, ප්‍රවාද ආදිය, ආත්මීය (පුද්ගල නිශ්‍රිත) විය හැකි ය. සංයුක්ත සංකල්ප සෑම අවස්ථාවක ම නීිරීක්‍ෂකයාගෙන් නිරීක්‍ෂකයාට සාපේක්‍ෂ වන අතර වෙනස් වෙයි. ඇතැම් වියුක්ත සංකල්ප ද එලෙස ම නිරීක්‍ෂකයාට සාපේක්‍ෂ වෙයි. එනම් ඒ වියුක්ත සංකල්ප ඒ ඒ පුද්ගලයාගේ, නිරීක්‍ෂකයාගේ මනසට සාපේක්‍ෂ වෙයි. එවැනි සංකල්ප වියුක්ත වුවත් ආත්මීය වෙයි.

එහෙත් බටහිර විද්‍යාවෙහි ඊනියා වාස්තවික දැනුම් ද වෙයි. ඒ දැනුම් අනිවාර්යයෙන් ම වියුක්ත වන අතර නිරීක්‍ෂකයාගෙන් නිරීක්‍ෂකයාට වෙනස් නො වේ යැයි බටහිරයෝ උපකල්පනය කරති. ඊනියා සාර්වත්‍ර නියම (universal laws) මේ වාස්තවික දැනුම්වලින් කොටසකි. බටහිර විද්‍යාවට අනුව නිව්ටෝනීය අවකාශය වාස්තවික වෙයි. ඒ අවකාශය සියළු නිරී’ක්‍ෂකයන්ට පොදු වෙයි. සියළු නිරීක්‍ෂකයෝ අවකාශයෙහි සිද්ධි දෙකක් අතර අවකාශ ප්‍රාන්තරය සම්බන්ධයෙන් එකම නිගමනවලට පැමිණෙති. එහෙත් බටහිර විද්‍යාව ඒ බව දන්නේ කෙසේ ද? ඇතැම් නිරීක්‍ෂකයන්ට වියුක්ත සංකල්ප පවා අවබෝධ නොවන තත්වයක, සියළු නිරීක්‍ෂකයන් ඇතැම් වියුක්ත සංකල්ප සම්බන්ධයෙන් එකම නිගමනවලට පැමිණෙන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට බටහිර විද්‍යාවේ පැහැදිලි පිළිතුරක් දෙන්නේ කෙසේ ද?