History

Sunday, 22 January 2012

පැවැත්මේ සාපේක්‍ෂතාව

ක්‍ෂණය යන්න වාස්තවික ව නිර්වචනය කරන්නේ කෙසේ ද? වාස්තවික වන්නේ යැයි කියන කිසිවක් අපේ ඉන්ද්‍රියයන්ට ගෝචර නො වේ. මට සාපේක්‍ෂ නොවූ යමක් ගැන මට කළ හැක්කේ උපකල්පනයක් කිරීම පමණකි. අප කලින් ද සාකච්ඡා කර ඇති පරිදි ගෙඩිය යන්න සාධාරණීකරණයට ලක් වූ සංකල්පයකි. ගෙඩිය යන්නෙන් පොල් ගෙඩියක් හෝ කොස් ගෙඩියක් හෝ වෙනත් ගෙඩියක් හෝ හැඳින්වෙනු විය හැකි ය. කොස් ගෙඩියක් අහවල් කොස් ගෙඩිය නොවූව ද අපට සිතෙන් මවාගත හැකි වුවත් ගෙඩියක් සිතෙන් මවා ගැනීමට නො හැකි ය. එය වියුක්ත සංකල්පයක් පමණක් ලෙස අපට උපකල්පනය කළ හැකි ය.

කොස් ගෙඩිය සම්බන්ධයෙන් ද ගෙඩිය සම්බන්ධයෙන් තරමට නොවූව ද යම් වියුක්ත බවක් ඇති වෙයි. කොස් ගෙඩිය ලොකු එකක් ද පොඩි එකක් ද පැසුණු එකක් ද පොළොස් තත්වය යම්තමින් ඉක්මවූ එකක් ද යන්න පිළිබඳ අපට අවබෝධයක් නැත. ඒ සියළුම වර්ගවල කොස් ගෙඩි කොස් ගෙඩිය යන සංකල්පයෙන් නියෝජනය වෙයි. එහෙත් ගෙඩියක් සිතෙන් මවාගත නොහැකි වුවත් අපට යම් කොස් ගෙඩියක් සිතෙන් මවාගත හැකි ය. එසේ වුවත් ඒ සිතෙන් මවාගන්නා කොස් ගෙඩිය යම් කොස් ගෙඩියක් මිස ඕනෑම කොස් ගෙඩියක් නොවේ.

සාධාරිත සංකල්පයක් සිතෙන් මවාගත නො හැකි ය. සිතෙන් මවාගැනීම යන්නෙන් අදහස් කරන්නේ පංචේන්ද්‍රියයන්ගෙන් එකකින් හෝ කිහිපයකින් හෝ මනස ආධාරයෙන් ලබාගන්නා වූ සංකල්පයක් නැවතත් මනසෙහි පමණක් ඇතිකර ගැනීම ය. රුවන්වැලි සෑය අසළට ගොස් එය දැක ඇති අයට පසුව ගෙදර ගොස් මනසෙන් පමණක් එය සිහි කළ හැකි ය. එනම් රුවන්වැලි සෑය යන සංකල්පය මනසෙහි පමණක් ඇතිකර ගත හැකි ය. ඒ සිතෙන් මවා ගැනීමකි. ඒ හැරෙන්නට කිසිම දිනෙක නොදුටු, වෙනත් ඉන්ද්‍රියයකට ගෝචර නොවුණු දෙයක් ද සිතෙන් මවාගත හැකි ය. එහි දී කෙරෙන්නේ එය මෙසේ ඇසට පෙනේ යැයි සිතා ගැනීමකි.

දඹදිව ගොස් නොමැති අයට ද බුද්ධගයාව සිතෙන් මවාගැනීමට අපහසුවක් නැත. දැන් නම් බොහෝ දෙනා බුද්ධගයාවේ ඡායාරූප දැක ඇති හෙයින් එහි දී සිතෙහි මැවෙන්නේ ඒ දුටු ඡායාරූපයකි. එසේ නැතත්, එනම් එවැනි ඡායාරූපයක් දැක නැතත්, අප දන්නා කරුණු අනුව බුද්ධගයාව මේ ආකාරයට ඇසෙන් පෙනේ යැයි සිතෙහි මවාගත හැකි ය. එවැනි මවාගැනීම්වල දී පමණක් නොව චිත්‍ර ශිල්පීන්ගේ නිර්මාණවල දී ද මේ මේ ආකාරයට ඇතැම් දෑ පෙනේ යැයි සිතෙන් මවා ගැනෙයි.

බටහිර විද්‍යාවේ ද එලෙස සිතෙන් කෙරෙන මවාගැනීම් වෙයි. නිව්ටන් පොළොව හා සූර්යයා අතර ඇති බලයක් සංකල්පීය ව දැක ඇත. එහි දී ඔහු එවැනි බලයක් සිතෙන් මවාගන්නට ඇත. කෙක්‍යුලේ බෙන්සීන් අනුව සංවෘත විය යුතු යැයි යෝජනා කළේ සිහිනෙන් වල්ගය ගිලින සර්පයකු දැකීමෙන් යැයි කියැවෙයි. ඔහුට සංවෘත අණුව පිළිබඳ සංකල්පය ලැබී ඇත්තේ එසේ ය. ඔහු ඒ සංවෘත අනුව සිතෙන් මවා ගත්තාට සැකයක් නැත. එහෙත් ඔහු එසේ කළේ එවැනි අනුවක් දැක තිබූ නිසා නො වේ.

එවැනි සංකල්ප මුල දී මවා ගැනෙන්නේ සංයුක්ත ලෙස ය. එහෙත් පසුව ඒවා වියුක්ත සංකල්ප බවට පත්කෙරෙයි. ඕනෑම වස්තු දෙකක් අතර ඇති ගුරුත්වාකර්ෂණ බලය වියුක්ත සංකල්පයකි. එය සිතින් මවාගත හැකි සංකල්පයක් නොවන්නේ ඕනෑම වස්තුවක් යන්න සිතින් මවාගත නොහැකි බැවිනි. සූර්යයා හෝ පොළොව හෝ සිතින් මවාගත හැකි වුවත් වස්තුවක් යන්න සිතින් මවාගත හැකි නොවේ.

අපට ප්‍රශ්නය වූයේ ක්‍ෂණය යන්න වාස්තවික ද යන්න ය. ක්‍ෂණය යන්න චිත්තක්‍ෂණය ලෙස ගත්ත ද ඒ ඒ අයගේ චිත්තක්‍ෂණ සමාන විය යුතු නො වේ. අපවත් වී වදාළ බෝධි හිමියන් පරමාර්ථ ධර්ම ගැන කරන ලද අර්ථ විවරණය අනුව යමින් චිත්තක්‍ෂණය යනු මනසට ගෝචර වන කුඩාම කාලය යැයි ගත්ත ද ඒ ඒ අයගේ චිත්තක්‍ෂණ සමාන යැයි කිවහැකි නො වේ. ක්‍ෂණය යන්න සාපේක්‍ෂ වන විට ක්‍ෂණයක දී පැවත්ම යන්න ද සාපේක්‍ෂ වෙයි.

සඳුන් ක්‍ෂණයක දී තමන්ට සමාන යැයි කීමට ක්‍ෂණයක් යනු කුමක් දැයි නොදන්නා අපට හැකිකමක් නැත. සඳුන් ක්‍ෂණයෙන් ක්‍ෂණයට උත්පාද තිථි භංග යන්නට හසුවේ ද? උත්පාද තිථි භංග වේවා උත්පාද භංග වේවා මේ සියල්ල ඒ ඒ අය විසින් සකස්කර ගන්නා ලද සංකල්ප පමණක් වේ. අනිත්‍ය අනාත්ම වූ ලෝකයක් ගැන අපි කතා කරමු. එහෙත් අප තේරුම් ගත යුතු වූ ප්‍රධාන ම කරුණ නම් අනිත්‍ය යනු හුදු වෙනස්වීම නොවන බව ය. ඒ එසේ නම් අපට අනිත්‍ය තේරුම් ගැනීම අපහසුවක් නොවිය යුතු ය. අප හුදු වෙනස්වීම දැනගත්තත් අපට අනිත්‍ය තේරුම් ගත නො හැකි ය. අනිත්‍ය නිවන ආදිය සංකල්ප නොවන බව පමණක් දැනට සඳහන් කරමු.

අපේ සාකච්ඡාව ආරම්භයේ දී ම A =A යනු දිගින් දිගට ම වලංගු වන ප්‍රකාශයක් නොවන බව පැහැදිලි විය. එසේ සමාන විය හැක්කේ වෙනස් නොවන ආත්මයක් ඇත්නම් පමණකි. අපට දැන් කිව හැක්කේ ඊනියා ක්‍ෂණයක දී වුවත්A =A යන්න වලංගු නොවන බව ය. එසේ නම් අප A =A යැයි කියන්නේ කෙසේ ද? අප එසේ කියන්නේ අන් කිසිවක් නිසා නොව අපේ ඉන්ද්‍රිය මගින් අපට එවැන්නක් ප්‍රකාශ කෙරෙන බැවිනි.

මනස ද ඇතුළු අපේ ඉන්ද්‍රියයන්ට අනුව ඉරටු කෑල්ලක් ඒ ඉරටු කෑල්ලට සමාන වෙයි. අප එසේ සිතන්නේ ඉරටු කෑල්ල වෙනස් නොවන්නේ ය යන පදනමේ පිහිටා ය. එහෙත් අනිත්‍ය වූ ලෝකයකA =A ලෙස ගැනීම වරදකි. ඉරටු කෑල්ල එකම යැයි ගැනෙන තැනක තිබිය දී වුවත් ක්‍රමයෙන් දිරා යයි. අනෙක් අතට චලනය වන වස්තුවක් සම්බන්ධයෙන් නම් ඒ තවත් සංකීර්ණ වෙයි. එසේ වුවත් සාමාන්‍යයෙන් අපට හැඟෙන්නේ ඉරටු කෑල්ලක් ඒ ඉරටු කෑල්ලට ම සමාන වන බැවිනි. එලෙස සමාන වන ඉරටු හා වෙනත් දෑ රාශියක් නිරීක්‍ෂණය කර ඇති අපි අභ්‍යුහනයෙන් ඕනෑම වස්තුවක් සඳහාA=A යැයි කියමු.

A =Aසේ ගැනීම අපේ ඉන්ද්‍රිය ගෝචර ලෝකයේ කතාවක් පමණකි.A =Aයන්න පමණක් වලංගු නොවන විට A = Bහා B = Cනම්A= C යන්න ගැන කිව හැක්කේ කුමක් ද? මෙය ඇරිස්ටෝටලීය න්‍යායෙහි ස්වසිද්ධියක් වුව ද එය ද අපේ පංචේන්ද්‍රිය ඇසුරෙන් මනස විසින් සකස් කෙරී ඇත්තක් බව පැහැදිලි විය යුතු ය. එය ද අභ්‍යුහනයකි. එක් ඉරටු කෑල්ලක් දෙවැනි ඉරටු කෑල්ලකට දිගින් සමාන වන විට හා දෙවැනි ඉරටු කෑල්ල තුන්වැනි ඉරටු කෑල්ලකට දිගින් සමාන වන විට පළමු ඉරටු කෑල්ල තුන්වැනි ඉරටු කෑල්ලට දිගින් සමාන වන්නේ යැයි පංචේන්ද්‍රිය හා මනස අපට කියයි. එහෙත් දිගින් ද වෙනස් වන ඉරටු කෑලි තුන එකිනෙකට යම් කාල පරාසයක දී හෝ ඊනියා ක්‍ෂණයක දී හෝ දිගින් සමාන වන්නේ කෙසේ ද?

එක් ඉරටු කෑල්ලක් දිගින් දෙවැනි ඉරටු කෑල්ලකට වැඩි නම් හා දෙවැනි ඉරටු කෑල්ල දිගින් තුන්වැනි ඉරටු කෑල්ලකට වැඩි නම් පළමු ඉරටු කෑල්ල දිගින් තුන්වැනි ඉරටු කෑල්ලට වැඩි යැයි අපි කියමු. මෙය ද අභ්‍යුහනයක් මිස අපෝහනයක්, නිගමනයක් නො වේ. ඉරටු කෑලි රාශියක් සම්බන්ධයෙන් අපේ ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් එබඳු ය. ඒ අත්දැකීම් මත හිඳිමින්A > Bහා B> C නම්A> C යැයි අපි අභ්‍යුහනය කරමු.

අප මේ අභ්‍යුහන යොදා ගනිමින් අපෝහන කරමු. බටහිර ගණිතයේ එලෙස ස්වසිද්ධි නමින් විස්තර කෙරෙන අභ්‍යුහන හෙවත් උපකල්පන යොදා ගනිමින් අපි නොයෙකුත් ප්‍රතිඵල අපෝහනය කරමු. මෙයටත් වඩා සරදමක් තවත් විය හැකි ද? අප ත්‍රිකෝණයක කෝණ තුනෙහි එකතුව රේඩියන π බව නිගමනය කරන්නේ සමාන්තර රේඛා පිළිබඳ ප්‍රමේය යොදා ගනිමින්A = B නම්A+C = B+ C බව උපකල්පනය කරමිනි. මේ පසුව කී සමානයන්ට සමානයන් එකතු කළ විට සමානයන් ලැබේ ය යන්න ද පංචේන්ද්‍රියන්ගෙන් හා මනසෙන් ලබාගන්නා අභ්‍යුහනයක් පමණකි. නැවතත් ඉරටු කෑලි කිහිපයක් ගෙන මේ ස්වසිද්ධිය අභ්‍යුහනයෙන් ලබාගන්නා ආකාරය පෙන්වා දිය හැකි ය.

අපට ක්‍ෂණයක දී වුවත් අපෙන් තොරව, එනම් ස්වායත්තව පවත්නා වස්තු ගැන කතා කළ හැකි නො වේ. ඊනියා වස්තුවලට වාස්තවික පැවැත්මක් ඇතැයි ගැනීම තවත් අභ්‍යුහනයක් හා උපකල්පනයක් පමණකි. එසේ වස්තු පවතින්නේ නම් ඒ දෙවියන් වහන්සේ සම්බන්ධයෙන්, දෙවියන් වහන්සේට සාපේක්‍ෂව විය හැකි ය. කලින් ද කියා ඇති පරිදි ඊනියා වාස්තවිකත්වයක් ගැන කියන ද්‍රව්‍යවාදීහු දෙවියන් වහන්සේ වාස්තවිකත්වයක් බවට පත්කර ගනිති. වාස්තවික ද්‍රව්‍යවාදය කෙළවර වන්නේ විඥානවාදයේ දෙවියන් වහන්සේගෙනි.

යමක පැවැත් ම නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂ වෙයි. පැවැත්ම යනු නිරපේක්‍ෂව ගත හැක්කක් නො වේ. යමක් පවතින්නේ යමකුට සාපේක්‍ෂව ය. වෙනත් වචනවලින් කියන්නේ නම් පැවතීම යනු යමකු විසින් සකස් කෙරෙන්නකි. ඉර හඳ පවතින්නේ නිරීක්‍ෂකයන්ට සාපේක්‍ෂව ය. සිංහලයාගේ ඉර හඳ ඉංගිරිසි කාරයාගේ ඉර හඳ නො වේ. ඉර හඳ පවත්නා තෙක් පැවතීමට සිංහලයෝ උත්සාහ දරති. එහෙත් ඉංගිරිිසි කාරයාට එවැනි ඉර හඳ පවත්නා තෙක් සංකල්පයක් නැැත. සිංහලයන් විසින් නිර්මාණය කෙරී ඇති, සැකසී ඇති ඉර හඳ වෙනත් ජාතිකයන් විසින් නිර්මාණය කෙරී නැත.

සිංහලයෝ ඉර හඳ පවත්නා තෙක් පැවතීමට කටයුතු කරති. අනෙක් අතට ඒ ඉර හඳ පවතින්නේ සිංහලයන්ට ය. ඇරිස්ටෝටලීය න්‍යායෙහි එවැන්නක් සිදුවීමට ඉඩක් නැත. එය රේඛීය න්‍යායකි. එහෙත් සිංහලයන්ගේ න්‍යාය චක්‍රීය වෙයි. එහි සිංහලයන්ට සාපේක්‍ෂව පවතින ඉර හඳ පවතිනා තාක් පැවතීමට සිංහලයන්ට කටයුතු කළ හැකි ය. පළමුව පැමිණියේ කිකිළය ද බිත්තරය ද වැනි ප්‍රශ්න වැදගත් වන්නේ රේඛීය චින්තනයක හා රේඛීය න්‍යායක ය.

පැවැත්ම මනසක් ඇති යම් නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂ වේ නම් ඒ නිරීක්‍ෂකයා පවතින්නේ කාහට සාපේක්‍ෂව දැයි යනුවෙන් ප්‍රශ්නයක් ඇසිය හැකි ය. ඒ ප්‍රශ්නයට අවශ්‍ය නම් තවත් නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව යැයි පිළිතුරු දිය හැකි ය. එහෙත් එවැනි ප්‍රශ්න හා පිළිතුරු ද කෙළවර වන්නේ දෙවියන් වහන්සේ ගෙනි. අපි එයට වෙනත් පිළිතුරක් දී ඇත්තෙමු. එය සිංහල බෞද්ධ මනස නම් ලිපියෙහි සඳහන් වෙයි.