History

Sunday, 22 January 2012

දහතුනෙන් එහාට නොව මෙහාට

ඉන්දීය විදේශ ඇමති ක්‍රිෂ්ණ මහතාට අනුව ජනාධිපතිතුමා දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබිබට යෑමට එකඟ වී ඇත. මෙයින් කියැවෙන්නේ කුමක් දැයි ජනාධිපතිතුමා විස්තර කර නැත. එසේ වුවත් පොලිස් බලතල හා ඉඩම් පිළිබඳ බලතල පළාත් සභාවලට පවරා දීමට තමන් සූදානම් නැති බව එතුමා කිහිප වරක් ම පවසා ඇත. මේ අතර පසුගිය දා පැවති පුවත්පත් සාකච්ඡාවක දී ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ හා වාසුදේව නානායක්කාර මහතුන් ද තමන් පළාත් සභාවලට පොලිස් බලතල පවරා දීමට එකඟ නොවන බව ප්‍රකාශ කර ඇත. එය යහපත් ප්‍රකශයකි. අප කළ යුත්තේ දහතුනෙන් එහාට යෑම නොව හැකිනම් දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම ය. එසේ කිරීමට යම් බාධා ඇත්නම් කළ යුත්්තේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති ඉවත් කිරීම ය. කෙසේ වෙතත් ඉන්දීය විදේශ ඇමතිවරයාගේ ප්‍රකාශයෙන් පසුව රටේ යම් කැළඹීමක් ඇති වී තිබෙන බව පැහැදිලි ය.

දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ ඉන්දියාවේ බලපෑම මත ය. එයට පදනම සෑකසුයේ අවුරුදු විසිපහකට පෙර අත්සන් තබන ලද අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුම ය. රජීව් ගාන්ධි මහතා ජේ ආර් ජයවර්ධන මහතාගේ අත් බැඳ අත්සන් කරගන්නා ලද ගිවිසුම ඉන්දියාවේ මැර බලය ලෝකයාට ම ප්‍රදර්ශනය කරමින් ක්‍රියාත්මක කරන ලද පරිප්පු දේශපාලනයේ ප්‍රතිඵලයක් විය. ඉන්දියාව තම බලය ප්‍රදර්නය කළේ මෙරට සිංහලයන්ට විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට එරෙහිව ය. ඉන්දීය නායකයන් බුදුදහම ගැන ප්‍රසිද්ධියේ යහපත් ස්වරයකින් කතාකළ ද ඉන්දියාවේ බුදුදහමට තැනක් නැති බව එරට සංචාරය කරන විට පෙනී යන කරුණකි. ලෝකයේ බිහි වූ එකම අනාත්මවාදී දහම යැයි කිව හැකි බුදුදහමට ආත්මවාදී බමුණන්ගේ ඇත්තේ තදබල විරෝධයකි. ඔවුන් බුදුදහම ආරක්‍ෂා කළ සිංහලයන්ට වෛර කරන්නේ නම් ඒ ගැන පුදුම විය යුතු නො වේ. ලංකාවේ ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයක් ගැන ඉන්දියාව කිසි දිනෙක සිංහලයන්ගේ පැත්තෙන් බලා නැත. තමිල්නාඩුවේ බලපෑම ද මත ඉන්දියාව ප්‍රශ්නය විග්‍රහ කළේ දෙමළ ජනයාගේ පැත්තනි. ඔවුන්ට අනුව සිංහලයන්ගෙන් දෙමළ ජනයාට විශාල අසාධාරණයක් වී ඇතෂ උතුරු හා නැගෙනහිර පළාත් දෙමළ ජනයාගේ සම්ප්‍රදායික වාසභූමි වෙයිෂ ඒ පළාත්වලට බලය විමධ්‍යගත කළ යුතු වෙයි. එමෙන් ම ඉන්දියාව කිසි දිනෙක මෙරට ඉතිහාසය, සංස්කෘතිය භූගෝලීය ජන ව්‍යාප්තිය සළකා බැලුයේ නැත. ඈත අතීතයේ සිට මෙරට එක්සේසත් රාජ්‍යයක් වූ බව බුදුන්වහන්සේගේ කාලයටත් පෙර සිට ම වාංශික රාජ්‍යයන් රාශියකගේ එකතුවක් පමණක් වූ පැරණි භාරතයේ නූතන පාලකයන්ට හා ඉන්දීය සිවිල් සේවයට හා රෝ ඔත්තු සේවයට තේරුම් ගැනීමට නො හැකි විය. මොවුන්ගෙන් වැඩි පිරිස බ්‍රාහ්මණ වාංශිකයන් බව අමතක නොකළ යුතු ය. ඉන්දියාව ඒකීය රාජ්‍යයක් වූයේත් ඉන්දියාව වූයේත් ඉංගිිසින්ගේ යටත්විජිත පාලන සමයේ දී ය. සිංහලයන්ගෙන් දෙමළ ජනයාට මහත් අසාධාරණයක් වී ඇතැයි යන පදනමේ සිට ඉන්දීය ප්‍රාන්ත ආකෘතිය මත පිහිටා ඉන්දියාව අප මත පළාත් සභා බලයෙන් පැටවී ය. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයට සිංහලයන්ගෙන් බලවත් විරෝධතාවක් පැන නැගිණි. එය සම්මත කරගැනීමේ දී ජයවර්ධන මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බස්රථ යොදා හෝටලයක සිට පාර්ලිමේන්තුවට එක්කරගෙන යෑමට සිදු විය. මේ ව්‍යායාමයේ දී ඉන්දියාවට බටහිරයන්ගේ පුර්ණ සහාය ලැබිණි. ජයවර්ධන මහතා ඉන්දියාවට විරුද්ධ ව ඇමරිකාව ප්‍රධාන බටහිරයන්ගේ පැත්ත ගත් යැංකි ඩිකී වුව ද බටහිරයෝ ඔහුගේ ආධාරයට නො පැමිණියහ. බටහිරයන්ගේ ආශිර්වාදය ඉන්දියාවට ලැබිණි.

මෙරට ජනවාර්ගික ප්‍රශ්නයක් ඇත්නම් ඒ සිංහලයන් හා ඔවුන්ගේ සංස්කෘතිය මර්දනය කිරීම සම්බන්ධයෙන් වෙයි. ඉතා කෙටියෙන් නමුත් නැවතත් ඉතිහාසය මතක් කළ යුතු ය. ගැමුණු රජුගේ කාලයේ සිට මෙරට පදිංචි වී සිටින දෙමළ ජනකායක් නැත. යාපනය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ ප්‍රථම මහාචාර්යවරයා වු කාර්තිගේසු ඉන්ද්‍රපාල මහතා තම උපාධි නිබන්ධනයෙන් පෙන්නුම් කර ඇත්තේ දොළොස්වැනි සියවසට පෙර මෙරට දෙමළ නිත්‍ය පදිංචිකරුවන් නොසිටි බව ය. අද යාපනයේ සිටින දෙමළ ජනයා පැවත එන්නේ දහහත්වැනි සියවසේ මැදභාගයේ එහි පදිංචි වී සිටි සිංහල බෞද්ධයන්ගෙන් (ඊනියා දෙමළ බෞද්ධයන් එහි සිටි බවට කිසිම සාධකයක් නැත. ඔවුන් ඉඳ ඇත්තේ විදේශීය ආධාර ද ලබන ඇතැම් මහාචාර්යවරුන්ගේ ඔළුවල පමණ ය), මලයාලම් බස කතාකළ කේරළයෙන් පැමිණි වේලක්කාරයන්ගෙන් හා ලන්දේසින් විසින් දහහත්වැනි සියවස අගභාගයේ දී දුම්කොළ වගාවට කෝරමණ්ඩල වෙරළෙන් ගෙනෙ ලද කෘෂිකාර්මික කම්කරුවන්ගෙනි. ලන්දේසිහු වෙල්ලාල නමින් හඳුන්වනු ලැබූ මේ කෘෂිකාර්මික කම්කරුවන් දකුණු අප්‍රිකාවට ද ගෙන ගියහ. එහි නැටෝල් ප්‍රදේශයෙහි ඔවුන්ගෙන් පැවත එන්නන් අදත් දැකිය හැකි ය. හින්දු කුල ක්‍රමය අනුව වෙල්ලාලයෝ ශුද්‍රයෝ වුහ. එහෙත් ඔවුහු සමාජ ධුරාවලියෙහි ඉහළ තැනකට ලන්දේසීන් හා ඉංගිරිසින් විසින් ඔසවනු ලැබූහ. යාපනයේ සිටි සිංහල ගොවියන් හා වෙනත් අය දෙමළ හින්දු සමාජයෙහි කෝවියාර් (ගොවියා යන්නෙහි දෙමළ උච්චාරණය) හා වෙනත් පහත් යැයි සම්මත කුලවලට ඇද දමා කෘෂිකාර්මික කම්කරුවන් ලෙස හින්දු කුල ක්‍රමයේ ශුද්‍රයන් වූ වෙල්ලාලයෝ කුල ධුරාවලියේ ඊනියා ඉහළ තත්වයකට පත්කරනු ලැබූහ. ආරුමුගම් නවලාර්තුමා මේ ඊනියා උසස් කිරීමට ෙසෙද්ධාන්තික පසුබිමක් සකස් කළේ් යැයි සිතිය හැකි ය.

මෙරට දෙමළ හින්දු සමාජයෙහි ඉන්දියාවේ මෙන් ප්‍රධාන බ්‍රාහ්මණ කුලයක් නොමැතිවීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ද ඈත අතීතයේ සිට පැවතෙන දෙමළ ජනකායක් මෙරට නොමැති බව ය. ලන්දේසීන්ට අවශ්‍ය වූයේ කම්කරුවන් මිස පූජකයන් නො වේ. එබැවින් ඔවුහු මෙරටට බ්‍රාහ්මණයන් ආනයනය නො කළහ. වෙල්ලායන්ට බ්‍රාහ්මණ අවශ්‍යතා පිරිමසා ගැනීමට සිදුවූයේ එක් පැත්තකින් වැටුප් ලබන පූජකයන් පිරිසක් ඇතිකර ගැනීමෙනි. අනෙක් පැත්තෙන් ඉන්දියාවේ බ්‍රාහ්මණයන්ගෙන් උපදෙස් ලබාගැනීමෙනි. ජයලලිතාලා නේරුලා පමණක් නොව චෙන්නායි මධ්‍යස්ථානය කරගෙන නිකුත් කෙරෙන හින්දු පුවත්පතේ අයිතිකරුවෝ ද බ්‍රාහ්මණ වාංශිකයෝ වෙති. ලන්දේසීහු ද ඉංගිරිසිහු ද සිංහලයන්ට එරෙහිව හින්දු වෙල්ලායන් යොදාගත්හ. විශේෂයෙන් ම ඉංගිරිසිහු පොන්නම්බලම් - කුමාරස්වාමි පවුල ඔස්සේ මුළු රටට ම වෙල්ලාල නායකත්වයක් ගොඩනැගීමට උත්සාහ කළහ. ඔවුහු දෙමළ ජනයාට හා සිංහලයන්ට ඉතිහාසය, ජනගහණය ආදී කිසිවක් නොසළකා ව්‍යවස්ථාදායකයේ එක සමාන නියෝජනත්වයක් ලබා දී සිංහලයන්ට විරුද්ධ දේශපාලනය තවත් තහවුරු කළහ. රාජ්‍ය මන්තුණ සභා යුගයේ පනහට පනහ ඉල්ලීම ඩොනමෝර් කොමිසම හමුවේ සර්වජන ඡන්දයට එරෙහිව සාක්‍ෂි දීම සෝල්බරි කොමිසම ඉදිරියෙහි සිංහලයන්ට බහුතරයක් නොලැබෙන ආකාරයට ආසන බෙදන ලෙස ඉල්ලීම ආදිය ඔස්සේ හින්දු වෙල්ලාල නායකයෝ තම සිංහල විරෝධී ව්‍යාපාරය දිගට ම ගෙනගිය හ. එහෙත් 1931 සර්වජන ඡන්දයෙන් පසුව රටේ නායකත්වයට වෙල්ලාලයන් පත්වීම සිහිනයක් බවට පත්විය. රාජ්‍ය භාෂා පණතට කලින් 1949 දී චෙල්වනායගම් නම් උග්‍ර සිංහල විරෝධී දකුණු ඉන්දීය ක්‍රිස්තියානි සභාවේ දෙමළ නායකයා ඒ බව තේරුම් ගනිමින් දෙමළ ජනයාට වෙනම රාජ්‍යයක් පිහිටුවීම සඳහා ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය පිහිටුවා ගත්තේ ය. ප්‍රභාකරන්ලා ඔහුගේ දේශපාලන පුත්තු වූහ. චෙල්වනායගම්ගේ අවශ්‍යතාව පිරිමැසීමට පුත්තු ආයුධ අතට ගත්හ. ඔවුන්ට ඉන්දියාවේ ද බටහිරයන්ගේ ද මූල්‍ය, ආයුධ හා වෙනත් ආධාර ලැබිණි.

සිංහලයන්ගේ විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ගේ උරුමය අහෝසි කිරීමටත් ඒ සංස්කෘතිය විනාශ කිරීමටත් බටහිරයන් අවුරුදු දෙසියකට අධික කාලයක් තිස්සේ උත්සාහ ගනිති. ලංකාවේ ඇත්තේ ඒ ප්‍රශ්නය මිස 1956න් පසු ඇති වූ ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයක් නො වේ. ප්‍රශ්නය 1956න් පසු ඇතිවූයේ නම් රාමනාදන්ලාගේ ජාතිවාදී දේශපාලනය, චෙල්වනායගම් 1949 දී දෙමළ රාජ්‍ය පක්‍ෂය පිහිටුවීම ආදිය තේරුම් කරන්නේ කෙසේ ද? දෙමළ ජනයාට දෙමළ වීම නිසා මෙරට සිදු වී ඇති අසාධාරණයක් නැත. මුළු ලෝකයේ ම මෙරට වාසය කරන දෙමළ ජනයා දරම් වරප්‍රසාද ලබන “සුළු ජන” කොටසක් නැත. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය සිංහල උරුමය නැතිකිරීම සඳහා ඉන්දියාව ඇටවූ උගුලක් වේ. සිංහල බහුතරය එයට විරුද්ධ වෙති. ඒ සම්මත වූයේ ගිනි මැළ මධ්‍යයෙහි ය. එය අහෝසි කිරීමට හැකි නම් ඒ කළ යුතු ය. සිංහලයන්ට එරෙහිව දෙමළ ත්‍රස්තවාදය යොදා ගනිමින් ගෙනගිය ව්‍යාපාරය නන්දිකඩාල් කලපුවේ දී හමුදාමය වශයෙන් පරාජය කෙරිණි. හමුදා මෙහෙයුම් ද දේශපාලන ක්‍රියා මාර්ගයකි. අපේ රණ විරුවන් සටන් කළේ ඊළමට විරුද්ධව පමණක් නො වේ. දහතුන මගින් කළ බලය බෙදීමට ද විරුද්ධව ඔවුහු සටන් කළහ. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු දහතුන දේශපාලනික ව අහෝසි විය. එහෙත් එය තවමත් නීතිය වෙයි. අප කළ යුතුව තිබුණේ නන්දිකඩාල් ජයග්‍රහණයත් සමග දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය නන්දිකඩාල් කලපුවට ම විසිකර එය අහෝසි කිරීමට දහවනවැනි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම ය. එදා එය කළ හැකිව තිබිණි. අද යම් හේතූන් නිසා එය කළ නොහැකි නම් එහි ඇති සිංහල විරෝධී වහන්ති ඉවත්කිරීමට ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කළ යුතු ය. එසේ නැතිව දහතුනෙන් එහාට යෑමක් ගැන කතාවක්වත් නොකළ යුතු ය. එසේ කිරීම රණවිරුවන්ගේ ජීවිත අවයව පූජාවලට කරන ද්‍රෝහි කමකි. ඔවුන්ගේ ජීවිත පූජා නැතිව ම දහතුනෙන් එහාට යෑමට තිබිණි. යුද්ධ ජයග්‍රහණවලින් දිනාගත් දේ විසිකර ආපසු සාකච්වා මේසයට යෑමට සිංහලයන් කැමති වේ යැයි ඉන්දියාව සිතන්නේ ද? ඉන්දියාව හමුදා මෙහෙයුම් ආධාරයෙන් එකතු කරගත් ගෝව ප්‍රදේශය පිළිබඳ යළි සාකච්ඡා කිරීමට එකඟ දැයි අපි ක්‍රිෂ්ණ මහතාගෙන් අසමු.