History

Sunday, 11 March 2012

ප්‍රත්‍යක්‍ෂ නොවන බාහිර ලෝකය

ද්‍රව්‍යවාදීන් නිතර අසන ප්‍රශ්නයක් නම් බාහිර ලෝකය ද අප විසින් නිර්මාණය කෙරෙන්නක් නම් අප ඉපදෙන්නට පෙර බාහිර ලෝකයක් නොතිබිණි ද යන්නත් අප මියගිය පසු බාහිර ලෝකයක් නොපවතින්නේ ද යන්නත් ය. මේ ප්‍රශ්නයට අප කිහිප විටක් ම පිළිතුරු දී ඇති නමුත් එයට නැවතත් ප්‍රතිචාරයක් දැක්වීම නුසුදුසු යැයි නො හැඟෙයි. එහෙත් එයට පළමු ඊනියා බාහිර ලෝකය ගැන තවත් කිවයුත්තක් වෙයි.

අපේ පංචෙන්ද්‍රියන්ට ගෝචර වන්නේ වර්ණය, හැඩය, තද බව, සුවඳ, රස, උණුසුම ආදිය මිස වස්තු නො වේ. අපි ඒ සියල්ල එක්කර වස්තුවක් හෝ වස්තු හෝ සංස්කරණය කරමු. මට තද ලෙස දැනෙන්න වෙනත් අයකුට මොළොක් ලෙස දැනිය හැකි ය. එවිට ඇත්තේ (ඇතැයි අප උපකල්පනය කළහොත්) මොළොක් වස්තුවක් ද එසේත් නැත්නම් තද වස්තුවක් ද? ඉහත සඳහන් උපකල්පනය යටතේ ම ඇත්තේ ඊනියා වාස්තවික තද වස්තුවක් ද? එයට අපෙන් බාහිර ව පිහිටි වස්තුවක් යැයි කිව හැකි ද?

ඒ අපෙන් බාහිර ව පවතින්නේ යැයි කියන වස්තුව උණුසුම් ද එසේත් නැත්නම් සිසිල් ද? බොහෝ විට බටහිර භෞතික විද්‍යාව ඉගෙනීම ආරම්භ කරන දරුවන්ට තම අත් දෙක උණුසුම් වතුර භාජනයක හා සිසිල් වතුර භාජනයක වෙන වෙන ම ඔබාගෙන මඳ වේලාවක් සිටින්නට යැයි කියා ඉන්පසු ඒ වතුර මිශ්‍ර කරන ලද භාජනයකට අත් වෙන වෙන ම එකකින් පසුව අනෙක දමන්නට යැයි කී විට දරුවන්ට අත් දෙකට දැනෙන්නේ වෙනස් වේදනාවන් බව අපි දනිමු. එකම භාජනය හා එකම වතුර යැයි අප කියන ඊනියා වස්තුවක් එක් අතකට උණුසුම්ව ද අනෙක් අතට සිසිල්ව ද දැනෙයි.

දැන් ඒ වතුර උණුසුම් ද සිසිල් ද? බාහිර ව පවතින්නේ යැයි කියනු ලබන්නේ කිනම් අතට දැනෙන වස්තුව ද? උණුසුම් බව හෝ සිසිල් බව හෝ ඇත්තේ ඒ ඒ අතට සාපේක්‍ෂව ය. එහෙත් බටහිර භෞතික විද්‍යාව උගන්වන ගුරුවරු දරුවන්ට මේ අත් දෙකේ අත්දැකීම් දෙකෙන් කියන්නේ වෙනත් කරුණකි. එනම් ද්‍රවයක උණුසුම් බව හෝ සිසිල් බව දැන ගැනීමට අත් සුදුසු නොමැති බව ය. වෙනත් වචනවලින් කියන්නේ නම් අපෙන් ස්වායත්ත ව පවතින්නේ යැයි කියන ද්‍රවයක හෝ වෙනත් වස්තුවක හෝ උණුසුම් බව හෝ සිසිල් බව හෝ දැන ගැනීමට අපේ ඉන්ද්‍රිය නුසුදුසු බව ය. මෙසේ කියන්නෝ කවරහු ද? ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් දැනුමේ උරගල යැයි කියන්නෝ යෂ ඕනෑම ප්‍රවාදයක් නිවැරදි දැයි දැනගැනීමට ඒ ප්‍රවාදයෙන් ලබාගන්නා නිගමන හෙවත් අපෝහන ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් සමග සැසඳිය යුතු යැයි කියන්නෝ යෂ ඒ සමග ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් සත්‍ය නම් විද්‍යාවක අවශ්‍යතාවක් නැතැයි කියමින් හුදු දෘෂ්‍යමානයට ඔබ්බෙන් වූ ඊනියා යථාර්ථයක් සොයන්නෝ ය. ඊනියා යථාර්ථය දැනෙන්නේ පංචෙන්ද්‍රියවලට නොව මනසට බව ඉන් පැහැදිලි වෙයි. එහෙත් ඒ මනසට දැනෙන ඊනියා යථාර්ථය සත්‍ය දැයි දැනගැනීමට අර විශ්වාසයක් තැබිය නොහැකි ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් වෙත ආපසු යන්නෝ ය. බටහිර විද්‍යාව පිළිබඳ සිංහලෙන් මෙන් ම ඉංගිරිසියෙන් ද මා කර ඇති මේ විවේචනයට හා වෙනත් විවේචනවලට මෙතෙක් කිසිවකු පිළිතුරු දී නොමැති බව සඳහන් කළ යුතු ය.

මේ බටහිර විද්‍යාඥයන්ගේ පරස්පර කතා අපි මොහොතකට අමතක කරමු. තම ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් ගැන විශ්වාසයක් නොතබමින් එහෙත් ඒ විශ්වාසය අත් නොහරින බටහිර විද්‍යාඥයන් උණුසුම හෝ සිසිල් බව හෝ දැනගැනීම සඳහා උපකරණයක් නිර්මාණය කර ඇත. ඒ උපකරණය උෂ්ණත්ව මාපකය නමින් හැඳින්වෙයි. බටහිර විද්‍යාඥයන් මෙහි දී කරන්නේ කුමක් ද? අපෙන් ස්වායත්ත ව, එනම් අපේ මනස ද ඇතුළු ඉන්ද්‍රියවලින් ස්වායත්ත ව, පවතින්නේ යැයි කියන වස්තුවකට අපේ ඉන්ද්‍රියවලින් බාහිරව දැනගත හැකි උණුසුම් බවක් හෝ සිසිල් බවක් හෝ ඇතැයි උපකල්පනය කර එය දැනගැනීම සඳහා උපකරණයක් නිර්මාණය කිරීම ය. උෂ්ණත්ව මාපකය පිටුපස ඇත්තේ ද්‍රවයකට හෝ වෙනත් ද්‍රව්‍යයකට හෝ උෂ්ණත්වය යනුවෙන් ගුණයක් ඇති බවත් එය මැණගත හැකි බවත් යන සංකල්ප ය.

එහෙත් මෙහි දී බටහිර විද්‍යාඥයා නැවතත් කරන්නේ තම ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් ඉවත දැමීම ය. යම්කිසි ද්‍රව්‍යයක උෂ්ණත්වය වැඩි කිරීම සඳහා තාප ශක්තිය ලබාදිය යුතු යැයි බටහිර විද්‍යාඥයා උපකල්පනය කරයි. එහෙත් උෂ්ණාත්වය යන්න ඉන්ද්‍රිය ගෝචර අත්දැකීමක් නො වේ. ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම වනුයේ උණුසුම යන්න ය. උණුසුම හා උෂ්ණත්වය අතර ඇති සම්බන්ධය කුමක් ද? උෂ්ණත්ව මාපකය යොදා ගැනීමේ දී බටහිර භෞතික විද්‍යාඥයා යම්කිසි බටහිර භෞතික විද්‍යාත්මක ප්‍රවාදයක් යොදා ගනියි.

එහෙත් ඒ ප්‍රවාදයෙහි නිවැරදිතාව පිළිබඳ ව බටහිර භෞතික විද්‍යාඥයන්ට සහතික විය හැකි ද? උදාහරණයක් ලෙස රසදිය උෂ්ණත්ව මාපකය යොදා ගැනීමේ දී උපකල්පනය කෙරෙනුයේ තාප ශක්තිය ලබාදීමත් සමග යම් ද්‍රවයක් හෝ වෙනත් ද්‍රව්‍යයක් හෝ ප්‍රසාරණය වන බව ය. එහෙත් එය සෑම විට ම ඒ ආකාරයෙන් ම සිදු නොවන බව අපි දනිමු. ජලයේ ඝනත්වය වැඩිම අගයක් ගන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක හතරෙහි දී බව බටහිර විද්‍යාඥයෝ අපට කියති. එහි තේරුම සෙන්ටිග්‍රේඩ් අංශක බින්දුවේ සිට හතර දක්වා උෂ්ණත්වය වැඩිවීමේ දී ජලය සංකෝචනය වන බව ය. ඉන්පසු උෂ්ණත්වය වැඩිවීමේ දී ජලය ප්‍රසාරණය වනවා විය හැකි ය. එහෙත් අංශක බින්දුවේ සිට හතර දක්වා ජලය වෙනස් ආකාරයකින් ක්‍රියාත්මක වන බව අප අමතක නොකළ යුතු ය.

රසදිය සම්බන්ධයෙන් අප දන්නා උෂ්ණත්වවල දී ප්‍රශ්නයක් පැන නොනගින බව කිසිවකු කීමට ඉඩ ඇත. එහෙත් ප්‍රශ්නය එය නො වේ. උපකරණ භාවිතයේ දී බටහිර විද්‍යාඥයෝ යම් යම් ප්‍රවාද යොදා ගනිති. මේ ප්‍රවාද ද අවසාන විග්‍රහයෙහි දී බටහිර විද්‍යාඥයන්ගේ සංස්කරණ, නිර්මාණ බව පැහැදිලි ය. අපි සෙක්කුවේ බැඳි ගොනා මෙන් එක්තැන වටේ කැරකැවෙමු. අපට උපකරණ තනාගැනීමට සිදුවන්නේ බටහිර විද්‍යාවේ ප්‍රවාද ඇසුරෙන් ය. ඒ ප්‍රවාදවල සත්‍යාසත්‍යතාව දැනගැනීමට සිදුවන්නේ උපකරණවල ආධාරයෙනි! මෙය චක්‍රීය චින්තනයක වලංගු විය හැකි වුව ද, බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි රේඛීය චින්තනයෙහි වලංගු නො වේ.

අපට යම් යම් සංඥා ලැබෙන බව සැබෑ ය. අපේ ඇඟට උණුසුම දැනෙයි. ඒ අතර අපේ ඇසට ගින්නක් යැයි අප විසින් සිතනු ලබන වර්ණ, හැඩ ආදිය පෙනෙයි. අපි ඒ ගින්න සමග උෂ්ණත්වය සම්බන්ධ කරමු. එසේ සම්බන්ධ කර ගින්න උණුසුම් යැයි අපි කියමු. ඒ මනසෙහි අනුමානයක් වෙයි. එහෙත් ඒ අනුමානය සංගත ය. අප ගින්න යනුවෙන් හැඳින්වෙන්නට ආසන්නවත් ම සිරුරට දැනෙන උණුසුම වැඩිවෙයි. ගින්න නිවාදැමූ විට උණුසුම නැතිවෙයි. එසේ අපේ ප්‍රත්‍යක්‍ෂයෙහි සංගත බවක් ඇති හෙයින් අපේ අනුමානය නිවැරදි යැයි, සත්‍ය යැයි, අපි සිතමු.

ඒ එක්තරා ආකාරයකින් ගතහොත් ප්‍රවාදයකි. එය අපට මෙසේ ප්‍රකාශ කළ හැකි ය. බාහිර ව ගින්නක් ඇත. ඒ ගින්න උණුසුම් ය. ගින්න හේතුවෙන් අපට උණුසුමක් දැනෙයි. වෙනත් එවැනි වස්තුවක් නොමැති නම් උණුසුම දැනෙන්නේ ගින්න හේතුකොටගෙන ය. වෙනත් එවැනි වස්තු ඇති විට උණුසුමට යම් ප්‍රදානයක් ගින්නෙන් සිදුවෙයි. එහෙත් මෙහි දී අපේ ඉන්ද්‍රියවලට ගෝචර වන්නේ උණුසුම හා ගින්නෙහි වර්ණය ඊනියා ගිනි දළු ආදිය පමණ ය. අනෙක් සියල්ල අප විසින් මනසෙන් සංගත ව කරණ අනුමාන වෙයි.

බාහිරව පවතින්නේ යැයි කියැවෙන කිසිම වස්තුවක් එලෙස එනම් වස්තුවක් ලෙස ඉන්ද්‍රිය ගෝචර නො වේ. එසේ පවතින්නේ යැයි කියන වස්තුවේ වර්ණය හැඩය ආදිය පමණක් ඉන්ද්‍රිය ගෝචර වෙයි. එසේ තිබෙන්නේ යැයි කියන වස්තුව ඇතැම් විට ස්පර්ශ කළ හැකි ය. එයට වැඩි යමක් ඉන්ද්‍රිය ගෝචර වීම සම්බන්ධයෙන් අපට කිව නො හැකි ය. ඊනියා බාහිර වස්තු මනසේ නිර්මාණ, අවශ්‍ය නම් අනුමාන පමණ ය. මනස නැත්නම් මනසෙන් ගන්නා ඒ කිසිවක් මනසෙන් බාහිර ව නැත. අප මනසක් යනුවෙන් යමක් ඇතැයි ගන්නා බැවින් විඤ්ඤාණ නාම රුප ආදිය අභ්‍යන්තර ව ඇති වෙයි. ඒ අභ්‍යන්තර ව ඇතිවෙන ඇතැම් නාම රූප හේතුකොට ගෙන අපි බාහිර ව වස්තු හා ලෝකය ඇතැයි ගනිමු. මනස යනුවෙන් යමක් නැති බව අවබෝධ කළ විට (එය මනසින් කළ නොහැකි බව පැහැදිලි ය) තමාත් බාහිර ලෝකයත් නැති බව අවබෝධ වෙයි.

බුදුදහමට අනුව අප ඊනියා බාහිර වස්තු යනුවෙන් ගන්නේ අපට ප්‍රත්‍යක්‍ෂ වන දේ හා ඒ ඇසුරෙන් අප අනුමානය කරන දේ ය. ඉන් එහාට අපෙන් ස්වායත්ත වූ බාහිර ලෝකයක් නැත. එහෙත් බටහිර විද්‍යාවට අනුව බාහිර ලෝකයක් වෙයි. බුදුදහම හා බටහිර විද්‍යාව අතර එවැනි මූලික වෙනසක් තිබිය දී ඇතැම්හු බුදුදහම විද්‍යාත්මක (එනම් බටහිර විද්‍යාත්මක) යැයි කියති. දැන් ප්‍රශ්නයක් වෙයි. බාහිර වස්තු ලෙස අප අනුමාන කරන දේ විඤ්ඤාණයෙහි මායාවක් විය හැකි වුවත් ප්‍රත්‍යක්‍ෂ එලෙස මායාවක් වන්නේ ද? ප්‍රත්‍යක්‍ෂ යනු මනසෙහි අනුමාන නො වේ. ඒවා ඉන්ද්‍රිය ගෝචර වෙයි. එබැවින් අනුමාන කෙසේ වෙතත් ප්‍රත්‍යක්‍ෂ ලෙස ගන්නා කොටස් නො පවතින්නේ ද?

එහෙත් ප්‍රත්‍යක්‍ෂ ද පංචේන්ද්‍රියවලට හා විඤ්ඤාණයට සාපේක්‍ෂ ය. අපේ පංචේන්ද්‍රියවලට ගෝචර නොවන දේ බල්ලන්ගේ පංචෙන්ද්‍රියවලට ගෝචර වන්නේ යැයි කියැවෙයි. ඇතැම් ශබිද ගඳ සුවඳ (ඉව) බල්ලන්ට ගෝචර වන නමුත් මිනිසුන්ට ගෝචර නො වේ. මේ සාපේක්‍ෂතාව ම ඊනියා වාස්තවිකත්වයක් නැති බවට උදාහරණයකි. එය පසෙකින් තැබුව ද ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂ යනු කවරේ් ද? ඒ පංචෙන්ද්‍රියවලට හා විඤ්ඤාණයට ගෝචර වූ දේ ය. එනම් අභ්‍යන්තර ව ඇතිවන නාම රූප ය. එහි දී ද මූලික කර්තව්‍යය ඉටු කරනුයේ මනස ය. අවිද්‍යාව නොවන්නට සංස්කාර නොමැත. සංස්කාර නොමැතිව විඤ්ඤාණයවත් නාම රූපවත් නැත. නාම රූප ද විඤ්ඤාණයේ මායාවකි. එසේ නම් ප්‍රත්‍යක්‍ෂවල ද ඇති වැදගත්කමක් නැත. විඤ්ඤාණයේ මායාවන්ට දිය හැකි වැදගත් කම කුමක් ද?

ඊනියා බාහිර ලෝකය පමණක් නොව අභ්‍යන්තර ලෝකය ද මායාවකි. මේ මායාවට මුල අවිද්‍යාව ය. මා යනුවෙන් මගේ යනුවෙන් ගැනීම ම වැරදි විට ඊනියා බාහිර ලෝකයක් ඇතැයි ගැනීම කෙතරම් වැරදි විය යුතු ද? අප බාහිර ලෝකය ලෙස ගන්නේ විඤ්ඤාණයේ මායාවක් බැවින් බාහිර ලෝකයක් නැත. අප මවාගත් ලෝකයෙන් කොටසක් අභ්‍යන්තර ලෝකය ලෙස ද ඉතිරි කොටස බාහිර ලෝකය ලෙස ද හැඳින්වෙයි.

වස්තුවක් හෝ අංශුවක් හෝ ඇත්තේ, පවතින්නේ එකම තැනක පමණක් යැයි අපි කියමු. පුටුවක් හෝ මේසයක් හෝ එකවිට අවකාශයෙහි තැන් දෙකක පැවතිය නොහැකි යැයි අපි කියමු. එසේ එකම තෑනක, එකම පිහටුමක පවතින්නේ යැයි අප කියන්නේ ඇයි? එය අප විසින් නිර්මාණය කරනු ලැබ ඇති අනුමානයක් පමණක් වෙයි. එහෙත් එය සැම විට ම එසේ විය යුතු නැත. අපේ ඇසට මේසය, මේසයක් ලෙස හසු නො වේ. එහෙත් අපේ අනුමානයට අනුව මේසය යනුවෙන් දෙයක් (වස්තුවක්) පවතිනවා පමණක් නොව ඒ මේසය අවකාශයෙහි නිශ්චිත ඉඩක් පමණක් ගනියි.