History

Sunday, 11 March 2012

නිදහසට තව කොපමණ දුර ද?

මේ දිනවල ජෙනීවා නගරයෙහි සිදුවන දෙයින් පැහැදිලි වන කරුණ නම් බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදී රටවල් අනෙක් රටවල් පාලනය කරන්නේ කෙසේ ද යන්න ය. හතළිහේ දශකයෙන් පසු සිදු වී ඇති එකම දෙය නම් බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ නායකත්වයට එංගලන්තය වෙනුවට තවත් ඇග්ලිකන් ක්‍රිස්තියානි රටක් වූ ඇමරිකාව පත්වීම ය. යටත්විජිතවාදය තවමත් පැවැත්වෙයි. එදා මෙන් අද එංගලන්ත රජුගේ ආණ්ඩුකාරවරුන් ඒ ඒ රටවල දකින්නට නැත. එහෙත් බටහිර දැනුම් ආධිපත්‍යය පතුරවන පාසල්, විශ්වවිද්‍යාල, බෞද්ධ සංස්කෘතික වචනවල ගරුත්වය බාල්දු කරන ඊනියා පටිසෝතඝාමීන් ද ඇතුළු ජඩමාධ්‍ය පමණක් නොව බටහිර රාජ්‍යවලින් නඩත්තු කෙරෙන ඊනියා රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් හෙවත් සිවල් සමාජ අද රට පුරා දකින්නට ඇත. අපේ රටවල තවමත් ඇත්තේ යටත්විජිතචාදය ය. එහි නව යටත්විජිතවාදයක් නැත. නව යටත්විජිතවාදය යන්න අප නොමග යැවීම සඳහා බටහිර බුද්ධිමතුන් විසින් ම තනන ලද සංකල්පයක් මිස අපේ පඬියන්ගේ නිර්මාණයක් නො වේ. බටහිරයෝ එදත් අදත් තම දේශපාලනික, ආර්ථික හා සංස්කෘතික යටත්විජිතවාදය ලොව පුරා තහවුරු කරගනිමින් සිටිති. ඔවුහු දෙබිඩ්ඩෝ නො වෙති. ඔවුන් ඊනියා මානව හිමිකම් තඹයකට නොසලකමින් අහිංසක මිනිසුන් ඝාතනය කරමින් ඉරාකයට බෝම්බ දැමුයේ තම ආධිපත්‍යය තහවුරු කර ගැනීමට ය. ඔවුන් ලංකාවේ හමුදා මානුෂික මෙහෙයුම්වල අග ඊනියා මානව හිමිකම් කැඩී යැයි චෝදනා කරන්නේ ද අහිංසක දෙමළ ජනයා මෑරීය යන දුකෙන් නොව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, ගෝඨාභය රාජපක්‍ෂ මහතා හා රණවිරුවන් කිහිප දෙනකු දංගෙඩියට යවා ආණ්ඩුව වෙනස්කර හැකිනම් සරත් ෆොන්සේකා රූකඩ ජනාධිපති කර තම ආධිපත්‍යය තහවුරු කර ගැනීමට ය. ඊනියා දෙවැනි ලෝක යුද්ධය ජයග්‍රහණය කර තිබිය දී පරමාණු බෝම්බය අත්හදා බැලීම සඳහා ජපානයට බෝම්බ හෙලූවන්ට ඇති මානව දයාව කුමක් ද?

අප කියන බොහෝ දේ පිළිගැනීමට සිංහලයෝ මුල දී අකමැති වෙති. සිංහලයන් යමක් පිළිගන්නේ එය හදවතට දැනෙන්නේ නම් මිස බුද්ධියට දැනීම නිසා නො වේ. බොහෝ කලක් ගතවීමෙන් පසු වෙනත් විකල්පයක් හදවතට නොදැනෙන විට ප්‍රභාකරන් පරාජය කළ හැකි යැයි සිංහලයෝ විශ්වාස කළහ. අවුරුදු කිහිපයකට පෙර මහින්ද රාජපක්‍ෂ මහතා ඊනියා ජාත්‍යන්තර යුද්ධාපරාධිකරණයට ඉදිරිපත්කර දංගෙඩියට යැවීමේ උත්සාහයක් ඇති බව අප කී විට එය බොහෝ දෙනාගේ අවධානයට යොමු නො වී ය. එහෙත් අද එය බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙයි. යුද්ධාපරාධ චෝදනාවේ මුල වූයේ සුදුකොඩි කතාව ය. ඒ කතාව කී තැනැත්තා ම අද රට බේරාගැනීමට තමා ජෙනීවා නගරයට යැවිය යුතු යැයි කියයි. එ ජා පක්‍ෂයේ සජිත් - රෝසි බෝර්න් අගේන් කණ්ඩායම ද ඒ බව කියයි. එසේ කිරීම නරියාට කුකුළන් භාරදීමක් බව පැහැදිලි ය. බෝර්න අගේන් ක්‍රිස්තියානියේ මධ්‍යස්ථානය ඇමරිකාව වෙයි. තවමත් සිංහලයන් සිතන්නේ අද ලංකාවේ වාසය කරන දෙමළ ජනයා එළාරගේ කාලයේ සිට පැවතෙන්නන් කියා ය. මෙරට වත්මන් දෙමළ ජනයාගේ ඉතිහාසය දහහත්වැනි සියවසෙන් ඔබ්බට නොයන බව තවමත් සිංහලයන්ගේ හදවතට නො දැනෙයි. ඔවුන්ගේ හදවතේ ඇත්තේ දෙමළ නොවන එළාරට පස්වැනි සියවසේ පමණ හිමිකර දුන් ඊනියා දෙමළ කම ය. චෝලයන් බලයට පත්වෙමින් සිටි යුගයක, පණ්ඩුකාභය රජු දවස දක්වා දිව යන සිංහලයන්ගේ පාරම්පරික අඛණ්ඩ සංස්කෘතියෙහි සංස්කරණය කෙරුණු දෙමළ එළාර සංකල්පය අද දක්වා ම ඔවුන්ගේ හදවත්හි වෙයි. පඬියන්ගේ දැන ගැනීම සඳහා කිවයුත්තේ අඛණ්ඩ යන්නෙහි තේරුම වෙනස් නොවන යන්න නොවන බව ය. ඇළ දොළ අතු ගංගා එක්කර ගනිමින් වෙනස් වෙමින් සම්මුති අර්ථයෙන් අඛණ්ඩව ගලන ගංගාවක් මෙන් සිංහල සංස්කෘතිය ද පාරම්පරික ව අඛණ්ඩ ව වෙනස් වෙයි. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ජීවත්වන්නන්ට අඛණ්ඩව වෙනස්වීම යන්න පරස්පරයක් නො වෙයි. කෙසේ වෙතත් දෙමළ ජාතිවාදී ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේදී මෙරට වත්මන් දෙමළ ජනයාගේ ඉතිහාසය පිළිබඳ ව මෙන් ම බටහිරයන් තම ආධිපත්‍යය සඳහා දෙමළ ජාතිවාදයක් ඇති කර පෝෂණය කර එය සිංහලයන්ට විරුද්ධව යොදාගත් ආකාරය ද සිංහලයන් හදවතින් අවබෝධ කරගත යුතු ය.

එසේ වන බවට ඉඟියක් ජෙනීවා ඔස්සේ ම ලැබෙයි. ඊනියා මානව අයිතිවාසිකම් කතාව ජෙනීවා නගරයෙන් අවසන් වන්නක් නොවන බව අප ඒ බව සඳහන් කර ක්‍ෂණයකින් මෙන් බොහෝ දෙනාට දැනී ඇත. ඒ යහපත් තත්වයකි. ජෙනීවා නගරයේ දී ලංකාවට විරුද්ධව චෝදනාවක් සම්මත කළත් නැතත්, යෝජනාව බරපතළ වුවත් නැතත් ඇමරිකාව හා එංගලන්තය නින්දට නොයනු ඇත. ඔවුන්ට නින්ද යනු ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතිය හැකිනම් මෙලොවින් තුරන් කළදාට ය. අප බොහෝ විට කියා ඇති, එහෙත් තවමත් සිංහලයන් තේරුම් නොගත් තවත් කරුණක් නම් බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට හා ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට ඇති බලවත් ම තර්ජන නම් ඉස්ලාම් චින්තනයත් සිංහල ථෙරවාද බෞද්ධ චින්තනයත් බව ය. අද බටහිරයෝ ඊනියා අරාබි වසන්ත සංකල්පයක් ඔස්සේ බටහිරට නොැමෙන අරාබි රටවල ආණ්ඩු වෙනස් කරමින් සිටිති. ඉස්ලාම් සංස්කෘතිය බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියට ප්‍රධාන වශයෙන් ම එරෙහි වන්නේ ආර්ථික හා දේශපාලනික තලවල ය. අරාබි රටවල, විශේෂයෙන් ම ඉරානයේ, තෙල්, න්‍යෂ්ටික බලය හා යුද්ධ දේශපාලන ශක්තිය බටහිරට හිසරදයකි. එහෙත් ලංකාවට ආර්ථික ශක්තියක් හෝ දේශපාලන ශක්තියක් හෝ නැත. සියල්ල ආර්ථිකයට ඌනනය කරන්නන්ට බටහිරයන් අපට විරුද්ධ වන්නේ ඇයි දැයි සිතාගත නො හැකි ය. එහි දී බටහිර ගැති පඬියෝ බටහිරයන් සිංහලයන්ට විරුද්ධ වන්නේ සිංහලයන් දෙමළ ජනයාට කර ඇති අසාධාරණ නිසා ය යන බටහිර මිථ්‍යාව පතුරවති. බටහිරයන්ට දෙමළ ජනයා කෙරෙහි පතළ වූ කරුණාව කුමක් ද? පාරිභෝගිකවාදී, පුද්ගලවාදී, තරගකාරීත්වය හුවා දක්වන, ස්වාභාවික සම්පත් විනාශ කරමින් පුද්ගල ඉන්ද්‍රියන් පිනවීම සැප සම්පත යැයි කියන, ඊනියා සත්‍යයට ළඟාවන්නේ යැයි කියන මිථ්‍යාවක් පෙරදැරි කරගත් බටහිර විද්‍යාවේ හා තාක්‍ෂණයේ ආධිපත්‍යය පතුරවන බටහිර සංස්කෘතියට ඇති ප්‍රධාන ම සංස්කෘතික (දාර්ශනික) අභියෝගය සිංහල බෞද්ධ සංස්කෘතිය වෙයි. බටහිරයෝ ඒ බව නො කියති.

1948 දී අපට සීමිත දේශපාලනික නිදහසක් ලැබුණු නමුත් සංස්කෘතික හා ආර්ථික නිදහස නො ලැබුණි. අපේ නිදහස් සටන පටන් ගැණුනේ 1506 දී ම ය. ඉංගිරිසින් 1815 දී ප්‍රෝඩාවෙන් මෙරට බලය ලබාගත් පසු සිංහලයෝ ඔවුන්ට විරුද්ධව නිිදහස් සටනක නිරත වී සිටිති. අප එහි විවිධ අදියර පසුකර ඇත. 1817-18, 1848 එහි අදියර දෙකකි. එහි දී දේශපාලන සංරචකය අවධාරණය කෙරිණි. ධර්මපාලතුමාගේ නිදහස් සටනෙහි ප්‍රධාන සංරචකය වූයේ සංස්කෘතිය ය. එතුමාගෙන් පසුව භාෂා ප්‍රේමීහු ඒ සටන තවදුරටත් ගෙනගියහ. 56 යනු නිිදහස් සටනෙහි තවත් අදියරක්් විය. සිරිමාවෝ බණ්ඩාරණායක මහත්මිය තවත් අදියරක් නියෝජනය කළා ය. ඉන්පසු අදියරට මහින්ද රාජපක්‍ෂ මහතා නායකත්වය දෙයි. ඉංගිරිසින් අපට නිිදහස දී ඇත්තේ ඔවුන්ට ගැති ආණ්ඩු පත්කර ගැනීමට හා පවත්වා ගෙන යෑමට ය. ඔවුන්ට නොනැමෙන ආණ්ඩු පත්වූ විට ඒ බිඳ දැමුමට ඔවුහු ක්‍රියා කරති. සාමාන්‍යයෙන් ශ්‍රී ල නි ප ප්‍රධාන ආණ්ඩුවලට බටහිරයෝ විරුද්ධ වෙති. ඔවුන් චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවට සහාය දැක්වයේ ඒ ආණ්ඩුව සිංහලයන්ට විරුද්ධව දෙමළ ජාතිවාදයේ පැත්ත ගැනීමත් චන්ද්‍රිකා මහජන පක්‍ෂයේ ප්‍රතිපත්ති අනුගමනය කිරීමත් ඇය බණ්ඩාරනායක කෙනකුට වඩා කුමාරතුංග කෙනකු වීමත් නිසා ය. බණ්ඩාරණායක මහත්මියගේ ආණ්ඩුවට එරෙහිව අබෞද්ධ හමුදා කුමන්ත්‍රණයක් සිදු කෙරිණි. එහි නායකයන්ගේ දරු මුණුබුරෝ අද දෙමළ ජාතිවාදය පරාජය කිරීමට විරුද්ධ වෙති. දෙමළ ජාතිවාදය යනු සිංහල බෞද්ධයන්ට හා එම සංස්කෘතියට විරුද්ධව ලන්දේසීන් හා පසුව සියුම් ව ඉංගිරිසින් තම යටත්විජිතවාදි ආධිපත්‍යය තහවුරු කිරීමට යොදාගන්නා ආයුධයක් පමණකි. එය ද බටහිර යටත්විජිතවාදයෙහි ම කොටසකි. ඒ ඇතිකළෝ ද බටහිරයෝ ම වෙති. දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ මහින්ද රාජපක්‍ෂ මහතාට දඬුවම් කර ආණ්ඩුව පළවා හැරීම බටහිරයන්ගේ අවශ්‍යතාව වෙයි. එහෙත් ලංකාවේ දී බටහිරයෝ අරාබියේ දී මෙන් නොව ඉතා සියුම් ව ක්‍රියා කරති. ඔවුහු පළමුව සුදු කොඩි කතාව කියවුහ. ඉන්පසු විවිධ චෝදනා ලංකාවට එරෙහි සාකච්ඡා හා යෝජනා, බෑන් කි මූන් වාර්තාව, චැනල් ෆෝ මගඩි ආදිය අපට දැකගත හැකි විය. සියල්ල “නීත්‍යානුකුලව” කිරීමට ඔවුහු උත්සාහ දරති. ආණ්ඩුව බටහිරයන් සමග ක්‍රියාකරන ආකාරය ගැන පාඩම් ඉගෙන නොගෙන පත්කළ උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ වාර්තාව ක්‍රියාත්මක කිරීමට යෝජනාවක් ඇතැම් විට ජෙනීවාහි දී ගෙනෙනු ඇත. ආණ්ඩුව තමන් පත්කරන කොමිසම්වල වුව ද වාර්තා ක්‍රියාත්මක කිරීමට බැඳී නැති බව අපි කියමු. උගත් පාඩම් කොමිසමේ බටහිර දැනුම ලත් මහත්ම මහත්මීන් බටහිරයන් අනුකරණය කරමින් සිතන්නේ ඊනියා සිංහල ආණ්ඩුවලින් දෙමළ ජනයාට අසාධාරණයක් සිදු වී ඇති බව ය. ඒ වාර්තාව ක්‍රියාත්මක කළ යුතු යැයි කියමින් බටහිරට බොරුවට විරුද්ධ වන්නෝ කුහකයෝ ය. ආණ්ඩුව ක්‍රියාත්මක කළ යුත්තේ සිංහල ජනතාව අනුමත කරන යෝජනා පමණ ය. සිංහලයන්ගේ අදහස් නොවිමසා කිසිදු ප්‍ර්‍රශ්නයක් විසඳීමට ඉඩ නොදිය යුතු ය. අපට නිිදහස බොහෝ දුර ය. අප ඒ සඳහා අනවරතයෙන් සටන් කළ යුතු ය. අප ඒ සටන් දිනන්නේ ජෙනීවාහි දී හෝ නිව්යෝක්හි දී හෝ නොව ලංකාවේ වීදිවල ය. අප බටහිර විරෝධී ජාතීන්ගේ ප්‍රබල සංවිධානයක් පිහිටුවා ගැනීමට කටයුතු කරන අතර වඩා වැදගත්ව ජනතාව ආණ්ඩුව වටා ඒකරාශි කිරීමට කටයුතු කළ යුතු ය. අනාගතයේ දී පැනවිය හැකි ආර්ථික සම්බාධකවලට පමණක් නොව නේටෝ ආක්‍රමණවලට ද අප සූදානම් විය යුතු ය.