History

Sunday, 5 August 2012

ඉසෙඩ් අවුලේ පසුබිම හා අනාගතය

ඇතැම්හු සෑම ආයතනයක් ම කරුණක් ම දේශපාලනීකරණයට ලක්කිරීම පිළිබඳ ව ආණ්ඩුවට දොස් පවරති. එහෙත් ඔවුන්ගේ අවධානයට ලක් නොවන කරුණ නම් විරුද්ධ පක්‍ෂ ද, වෘත්තීය සමිති ද, රාජ්‍ය නොවන සංවිධාන ද, විවිධ පුද්ගලයන් ද ආදී වශයෙන් වෙනත් අය ද සෑම කරුණක් ම පාහේ දේශපාලනීකරණයට ලක්කරන බව ය. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය මෙරට ක්‍රියාත්මක වන්නේ එ පරිදි ය. මෙරට බොහෝ දෙනකු සෑම දෙයක් දෙස ම පාහේ බලන්නේ පක්‍ෂ දේශපාලන ඇසකිනි. ඕනෑම කරුණකින් දේශපාලන වාසියක් ලබාගැනීමට විරුද්ධ පක්‍ෂ ද වෘත්තීය සමිති ද රාජ්‍ය නොවන සංවිධාන ද ක්‍රියාකරයි. අපට කිසිවක් පිළිබඳ ව ජාතික ප්‍රතිපත්තියක් සකස් කරගැනීමට නොහැකි වී ඇත්තේ ද එබැවිනි. වර්තමානයෙහි විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය විසින් මෙහෙයවනු ලබන වෘත්තීය සමිති අරගලය, මා ද දායක වී අසූවේ දශකයේ අග සකස් කරන ලද එම සම්මේලනයේ ව්‍යවස්ථාව ඉන්පසු සංශෝධනය වී නොමැති නම්, නීති විරෝධි වන අතර ආණ්ඩුව අස්ථායී කිරීම සඳහා ගෙන යන්නා වූ දේශපාලනික ක්‍රියා මාර්ගයකි. එය අසවල් පක්‍ෂයේ දේශපාලන ව්‍යාපෘතියක් යැයි හැඳින්විය නො හැකි ය. එහෙත් එහි ඇත්තේ ආණ්ඩු විරෝධී දේශපාලනයකි. මේ බව පසුගියදා සරසවි ඇදුරු වැටුප් ප්‍රශ්නය ගැන පැවැත්වුණු රූපවාහිනී සාකච්ඡා දෙකක දී ම පෙන්වා දෙනු ලැබිණි. දළ ජාතික නිෂ්පාදිතය ගණනය කරන්නේ කෙසේ ද යන්න නොදත් ූ දේශපාලන විද්‍යාව උගන්වන කථිකාචාර්යවරු ද වෙති. අන් අය ගැන කියනු කවරේ ද? වැටුප් වැඩිකරන්නේ මෙවැන්නන්ගේ ද?

පසුව සකස් කරන ලද ඉසෙඩ් ලකුණු හේතුවෙන් 2011 උසස් පෙළ පරීක්‍ෂණයට නැවත පෙනී සිටි සිසුන්ට මහත් අසාධාරණයක් සිදු වී ඇත. විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්ය එච් ඩී ගුණතිලක මහතා සකස් කර ඇති වගු අනුව පසුගිය වසර කිහිපයක මෙරට වෛද්‍ය පීඨවලට ඇතුළත් කරගත් සිසුන්ගෙන් 58%ක් පමණ නැවත පෙනී සිටියෝ වෙති. එහෙත් මහාචාර්ය තටිල් මහතා කී ආකාරයට ඉසෙඩ් ලකුණු වෙන වෙන ම ගණනය කර පසුව ඒ ලකුණුවල මධ්‍යන්‍යය අනුපිළිවෙළට එක් ලැයිස්තුවකට සකස් කර ඒ ලැයිස්තුවෙන් සිසුන් තෝරා ගැනීමේ දී 2011 දී නැවත පෙනී සිටි සිසුන්ගෙන් විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවලට ඇතුළත් වන්නේ 26% ක පමණ ප්‍රමාණයකි. එනම් වෙනත් වසරවල ඇතුල් වූ එවැනි සිසුන් සංඛ්‍යාවෙන් හරි අඩකටත් අඩු ප්‍රමාණයකි. මෙය අසාධාරණයකි. එයට වගකිව යුත්තෝ අදාළ ඇමතිවරුන් නොව ප්‍රශ්නය දේශපාලනීකරණයට ලක්කළ එ ජා ප, ජ වි පෙ ආදී දේශපාලන පක්‍ෂවල නායකයෝ, ඇතැම් ගුරු සංගම් නිලධාරීහු, ජනමාධ්‍ය වේදීහු, අන්තරයේ නායකයෝ ආදීහු වෙති. ඔවුන්ගෙන් බොහෝ දෙනා ඉසෙඩ් අගය ගණනය කරන්නේ කෙසේ දැයි නොදන්නා බව ඉතා පැහැදිලි ය. මේ පඬියන් තේරුම් නොගන්නා කරුණ නම් සිසුන් පැරණි හා නව නිර්දේශවලට පෙනී සිටියත් අවසානයේ දී විශ්වවිද්‍යාලවලට ඇතුළත් කළ යුත්තේ එක් ලැයිස්තුවකින් පමණක් බව ය. ප්‍රශ්නය වූයේ නව හා පැරණි නිර්දේශවලට පෙනී සිටි ගහණ දෙක, ඒකරාශී කර එක් ගහණයක් (සංචිතයක්) ලබාගන්නේ කෙසේ ද යන්න ය. එහි දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තමන් විසින් පත්කරන ලද විද්වත් කමිටුවේ නිර්දේශය මත පළමුව ගහණ දෙක ඒකරාශි කර ඉන්පසු සංචිතයෙහි ඉසෙඩ් ලකුණු ගණනය කර සිසුනට නිකුත් කරන මධ්‍යන්‍ය ඉසෙඩ් ලකුණු ලබාගන්නා ලෙසට විභාග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇතැයි අපට සිතිය හැකි ය. මේ ක්‍රමයෙහි වරදක් නැතිවා පමණක් නොව පළමුව ඉසෙඩ් ලකුණු වෙන වෙන ම ගණනය කර ඉන්පසු මධ්‍යන්‍ය සොයා ඒකරාශී කරනවාට වඩා තර්කානුකුල ය. (දෙවියන්ගේ නාමයෙන් ඊනියා විද්‍යාත්මක වීමේ කතාවක් මෙහි නැත.) එහෙත් අවාසනාවකට ලකුණු ඒකරාශි කිරීම සඳහා විද්වත් කමිටුව නිර්දේශ කළ සූත්‍රය දෝෂ සහිත ය. කළ යුතුව තිබුණේ දෝෂ රහිත සූත්‍රයක් ව්‍යුත්පන්න කර (ලබාගෙන) ඒ අනුව සංචිතය පිළියෙළ කර ගැනීම ය. වෘත්තිය සමිති නායකයන්ට, දේශපාලනඳයන්ට හා දේශපාලන පක්‍ෂවලට හෝයියා කියන පුහු ජනමාධ්‍යවේදීන්ට සූත්‍රයෙහි වැරුද්ද පෙන්වා දීමට තිබිණි. එහෙත් ඔවුන් කළේ එය නො වේ. ඒ සියළු ආණ්ඩු විරෝධීහු ප්‍රශ්නය දේශපාලනීකරණයට ලක්කර ඉන් දේශපාලන වාසියක් ලබාගැනීමට උත්සාහ කළහ. ක්‍රම වේදය සකස් කළේ විද්වත් කමිටුව බව දැන දැනත් මේ කුහකයෝ ඇමතිවරුන්ට වැරැද්ද පැටවුහ. ඇමතිවරුනට ඉල්ලා අස්වන ලෙස කීහ. මහාචාර්ය තටිල් මහතා ද ගහණ දෙක වෙන වෙන ම ගෙන ඉසෙඩ් ලකුණු සොයා ඉන්පසු මධ්‍යන්‍ය ඉසෙඩ් අගයන් අනුපිළිවෙළට එක් ලැයිස්තුවකට සකස් කිරීම නිවැරදි යැයි කීවේ ය. අද එ ජා පක්‍ෂයේ එක් මන්ත්‍රීවරයකු නව ක්‍රමයට ඉසෙඩ් ලකුනු ගණනය කළේ කිනම් ක්‍රමයකට දැයි අසයි.

ඒ අන් ක්‍රමයකට නොව තටිල් ක්‍රමයට යැයි ඔහු නො දන්නේ ද? එ ජා පක්‍ෂයේ නායකයන් ද තප්පු ලෑවේ සටිල් ක්‍රමයට වෙන වෙන ම ඉසෙඩ් ලකුණු ගණනය කරන ලෙසට ය. ප්‍රශ්නය දේශපාලනීකරණයට ලක්කළ ඔවුන් ජනතාව රැවටීමට උත්සාහ කරන්නේ අදාළ ඇමතිවරු දෙදෙනා ප්‍රශ්නය දේශපාලනීකරණයට ලක්කළ බව කියමිනි. මම ඇමතිවරු දෙදෙනාට කඩේ නොයමි්. මා ඔවුන් දන්නා නමුත් ඔවුන්ගේ ප්‍රතිපත්ති ගැන මගේ පැහැදීමක් නැත. මට ඔවුන් ආරක්‍ෂා කිරීමේ අවශ්‍යතාවක් ද නැත. මා ඉදිරිපත් කරන ජාතික අධ්‍යාපනයක් පිළිබඳ මතවාදයට ඔවුහු විරුද්ධ වෙති. ඔවුන් දන්නේ ඉංගිරිසි, තොරතුරු තාක්‍ෂණය ඉගැන්වීමෙන් මෙරට අධ්‍යාපනය ඊනියා ලෝක මට්ටමකට ගෙන ඒමක් ගැන ය. මේ ඇමතිවරු ජාතික අධ්‍යාපනයක් ගැන මා කියන දේ සත පහකටවත් මායිම් නොකරන අනුකාරක උපාධිධාරීහු පමණක් ම වෙති. ඔවුන්ට අනුව මම අන්තවාදියෙක් වෙමි. අධ්‍යාපනය සම්බන්ධයෙන් පමණක් නොව දෙමළ ප්‍රශ්නය ගැන ද මා කියන දේ ඔවුහු ප්‍රතික්‍ෂෙප කරති. එහෙත් ඉසෙඩ් ලකුණු සම්බන්ධයෙන් ඔවුන් අත වරද නැත. ඒ සම්බන්ධයෙන් ඔවුන්ට දොස් කියන්නෝ ප්‍රශ්නය දේශපාලනීකරණයට ලක්කරන බලලෝභී ආණ්ඩු විරෝධීහු වෙති.

එක් දේශපාලන පක්‍ෂයකට හිතවත් ජනමාධ්‍යවේදියකු කියා තිබුණේ විද්වත් කමිටුව දක්‍ෂයන් තෝරාගැනීම ගැන නොව සිසුන්ට සාධාරණය ඉටුකිරීම ගැන පමණක් කල්පනා කර ඇති බව ය. තම හිතවත් දේශපාලන පක්‍ෂයට ප්‍රචාරය දීම හැරෙන්නට වෙනත් දක්‍ෂකමක් නැති ඔහු දක්‍ෂයන් හඳුනන්නේ ද? නව ඉසෙඩ් ලකුණු නිකුත් කෙරුණේ මේ පඬියන් අනුදැන වදාළ තටිල් ක්‍රමයට ය. වෙනත් වසරවල ප්‍රථම වරට පෙනී සිටින සිසුන්ගෙන් විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවලට ඇතුළත් කෙරෙන ශිෂ්‍ය සංඛ්‍යාව 42%ක් පමණක් වුව ද තටිල් ක්‍රමය මගින් මේ වසරේ දක්‍ෂයන් හඳුනාගනිමින් එය 74% දක්වා වැඩිකෙරී ඇත! (මා වෛද්‍ය පීඨ ගැන සඳහන් කරන්නේ අද මෙරට සමාජ වැදගත්කම අනුව මේ විජාතික පීඨවලට රටේ පිළිගැනීමක් ඇති බැවින් මිස එහි ඉගැන්වෙන රෝග කළමණාකරණයට මගේ ඇති කැමැත්තක් නිසා නො වේ. මේ ආණ්ඩුවට සිංහල වෙදකමට සමාජ වටිනාකමක් ලබාදීමට කටයුතු කළ නොහැකි බව ද මම දනිමි. එහෙත් එය කළ හැකි වෙනත් ආණ්ඩුවක් ගැන ද මට සිතිය නො හැකි ය. ගුණදාස අමරසේකර මහතා වෛද්‍ය හා ඉංජිනේරු පීඨ පමණක් ඇති කළ යුතු යැයි කියන්නේ ඇයි දැයි මට තේරුම් ගත නො හැකි ය. ඒ මහතා බටහිර විද්‍යාවන් කෙරෙහි ඇති විශ්වාසය එයින් හෙළිදරවු වනවා විය හැකි ය. මෙරට වෛද්‍ය පීඨ ද අනෙක් පීඨ මෙන් ම බටහිර ගැති ජාතික විරෝධී පීඨ වෙයි. බටහිර වෛද්‍ය පීඨවලින් මෙරටට වන යහපතක් නැත.) අර ජනමාධ්‍යවේදියා ඊනියා ජනතාවාදී ආණ්ඩු විරෝධී විරයන්ගේ සම්භාවනාවට පත්වු තටිල් මහතාගෙන් හෝ වෙනත් අයකුගෙන් හෝ අසා අපට තේරුම් කළ යුතුව ඇත්තේ 2011 වසරේ පළමු වරට පෙනී සිටි සිසුන් වෙනත් වසරවල පළමු වරට පෙනී සිටි සිසුන්ට වඩා දක්‍ෂයන් වූයේ කෙසේ ද යන්න ය. තටිල් ක්‍රමය මුළුමනින් ම වැරදි ය. විද්වත් කමිටුවේ ක්‍රමය අනුගමනය කළේ නම් මේ වතාවේත් පසුගිය අවුරුදුවල මෙන් ම සරසවිවලට ඇතුළත් කරගන්නවුන්ගෙන් 55% කට වැඩි ප්‍රමාණයක් නැවත පෙනී සිටි සිසුන්ගෙන් සමන්විත වීමට තිබිණි. 2001 දී වෙනත් විකල්පයක් නොමැතිකම නිසා තටිල් ක්‍රමය අනුගමනය කළේ යැයි උපකල්පනය කළ ද 2011 දී විකල්ප ක්‍රම අනුගමනය කිරීමේ හැකියාව තිබිණි. ඉසෙඩ් ලකුණු ගණනය කෙරෙන්නේ ප්‍රමත ව්‍යප්තියක් ලැබෙන අයුරෙනි. ගහණ දෙකේ ඉසෙඩ් ලකුණු වෙන වෙන ම ගණනය කිරීමෙන් පසුව ඒ ගහණවලට භාර එකතුකර අනන්‍ය ප්‍රමත ව්‍යාප්තියක් ඇති සංචිතයක් ලබාගත නො හැකි ය. කිනම් භාරයක් තිබිණ ද සංචිත ව්‍යාප්තියේ මධ්‍යන්‍ය ශූන්‍ය වෙයි. එහෙත් එහි සම්මත අපගමණය එක වන භාර යුගළ අනන්තයක් වෙයි. භාර සමාන ලෙස ගැනීමෙන් පමණක් තටිල් සංචිතය ලබාගත හැකි ය. එහෙත් එහි දී ගහණ දෙකෙහි ඉසෙඩ් ලකුණු තුල්‍ය ලෙස සැලකෙයි. එය වැරදි ය. මේ පිළිබඳ ව විද්වත් කමිටුව හෝ තටිල් අනුගාමිකයන් හෝ කල්පනා කළේ දැයි නො දනිමි.

පරීක්‍ෂණයට නැවත පෙනී සිටින්නන් පිළිතුරු දෙන්නේ වෙනස් ප්‍රශ්න පත්‍රවලට පමණක් නො වේ. ඔවුන්ගේ ආකල්ප, සූදානම ආදිය ද පළමු වරට පෙනී සිටින්නන්ට වඩා වෙනස් ය. අද අවුලට මුල විද්වත් කමිටුවේ නිරදේශ සංශෝධනය කිරීමෙන් පසුවවත් ඉසෙඩ් ලකුණු ගණනය කිරීමට යොදා ගැනීම වැළැක්වු දේශපාලන වාසි ලබාගැනීම සඳහා ක්‍රියා කළ ආණ්ඩු විරෝධින් ය. විිද්වත් කමිටු නිිර්දේශය නැතිව මුලින් ම තටිල් ක්‍රමයට ඉසෙඩ් ලකුණු ගණනය කළත් වත්මන් අවුල වැළැක්විය නොහැකි ය. දැන් නැවත පෙනී සිටි අයගෙන් සරසවිවලට ඇතුලත් කරගන්නා සංඛ්‍යාව වැඩිකළ යුතු යැයි ඊනියා අන්තරය ද අනෙක් ආණ්ඩු විරෝධීන්ද උද්ඝෝෂණය කරනු ඇත. උද්ඝෝෂණ ඇතත් නැතත් මේ සිසුන් සරසවිවලට ඇතුළත් කර ගත යුතු ය. එහෙත් එක්කෝ සිසුන් පිරිසක් යාපනයට යැවිය යුතු වනු ඇත. නැත්නම් අඩුපාඩුකම් සහිත වෛද්‍ය පීඨයකට හෝ අළුතෙන් ඇති කෙරෙන අඩුපාඩුකම් සහිත පීඨයකට හෝ යැවිය යුතු වනු ඇත. ඉන් සිදුවන්නේ ආණ්ඩු විරෝධීන්ට තව තවත් උද්ඝෝෂණ කිරීමට මාතෘකා සැපයීම පමණ ය. ප්‍රශ්නය කිසි දිනෙක මුළුමනින් විසඳීමට නොහැකි වනු ඇත. මෙරට ප්‍රශ්න විසඳනු වෙනුවට වැවෙන්නේ ජරාජීර්ණ විපක්‍ෂ දේශපාලනය ද හේතුකොට ගෙන ය.