History

Sunday, 5 August 2012

ඉසෙඩ් ලකුණ හා පඬියෝ

මෙවර අපේ ප්‍රවාද ලිපිය අංශුවල වලිතය පිළිබඳ සාකච්ඡාවෙන් ඉවත් වී ඉසෙඩ් ලකුණ සම්බන්ධයෙන් ඇති වී ඇති අවුල ගැන සමාලෝචනයකට වෙන් වෙයි. ගර්ඩ්ල් ප්‍රමේයය ගැන කපිල පීරිස් මහතා පතුරුවන දුර්මතවලින් ද පාඨකයා ගලවාගැනීමට අවශ්‍ය මුත් කාලීන අවශ්‍යතාව සලකා ඉසෙඩ් ලකුණ ගැන කතා කරමු. ඉසෙඩ් ලකුණු යනු ප්‍රමිතිකරණයකි. පරීක්‍ෂණවල දී ලබාගන්නා මුල් හෙවත් අමු ලකුණුවල සාපේක්‍ෂතා තිබිය හැකි බැවින් ඒ සාපේක්‍ෂතා අඩුකිරීමට විවිධ ප්‍රමිතිකරණ යොදාගත යුතු වෙයි. ලකුණු ප්‍රමිතිකරණය අවශ්‍ය වන්නේ විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ දී පමණක් නො වේ. පංතියේ වාරවිභාගයේ දී ද ප්‍රමිතිකරණයක් අවශ්‍ය වේ. මා කලකට පෙර පෙන්වා දී ඇත්තේ සංයුක්ත ගණිතයෙන් ලකුණු 95ක් රසායන විද්‍යාවෙන් ලකුණු 95කට තුල්‍ය නොවන බව ය. ඒ විෂය අතර ඇති වෙනස්කම්, අමාරුකම්, ප්‍රශ්න පත්‍ර සැකසීමේ වෙනස්කම් සිසුන් පරීක්‍ෂණවලට සූදානම් වීමේ දී ඇතිවන වෙනස්කම් ආදිය හේතුකොටගෙන ඒ ලකුණු තුල්‍ය ලෙස ගැනීම වැරදි ය. එය ඇමරිකන් ඩොලර් 95ක් ලංකා රුපියල් 95කට තුළ්‍ය යැයි සැලකීම වැනි වරදකි. ඩොලරය හා රුපියල සංසන්දනය කිරීමේ දී එහි පරිවර්තන අගය සැලකීමට සිදුවෙයි. සංයුක්ත ගණිතයෙන් ලකුණු 95ක් භෞතික විද්‍යාවෙන් ලකුණු 90ක් සහ රසායන විද්‍යාවෙන් ලකුණු 50ක් ගන්නා ශිෂ්‍යයකු ඒ විෂයන්ගෙන් පිළිවෙළින් ලකුණු 70ක්, 65ක් හා 90ක් ගන්නා ශිෂ්‍යයකුට වඩා ද’ක්‍ෂ යැයි තීරණය වෙයි. එසේ කෙරෙන්නේ ඒ ලකුණු තුල්‍ය යැයි සැලකීම නිසා ය. පරිවර්තන අගයන්් හෙවත් භාර ගැන සැලකිලිමත් වී ප්‍රමිතිකරණයක් කෙළේ නම් දෙවැන්නා පළමුවැන්නාට වඩා මුළු ලකුණු ලබාගෙන වඩා දක්‍ෂයා ලෙස තීරණය වීමට හැකි ය. මෙවර ඉසෙඩ් ලකුණු නිකුත් කිරීමේ දී කලා අංශයේ ගියවර පළමුවැනියා දෙවැනියා බවට පත්වී ඇතැයි වාර්තා වෙයි. මෙහි පුදුම වීමට දෙයක් නැත. පළමුවැන්නා දෙවැන්නා ආදිය යොදාගන්නා පරිවර්තන අගයන්ට සාපේක්‍ෂ වෙයි. අප පාසල් යන අවධියෙහි ඇතැම් පාසල්වල එය සැලකිල්ලට ගෙන ප්‍රමිතිකරණයක් කෙරුණු බව මෙහි ලා සඳහන් කළ යුතු ය. එහෙත් එය වුව ද පරමාදර්ශී යැයි කිව නො හැකි ය.

සාමාන්‍යයෙන් උසස් පෙළ පරීක්‍ෂණයෙහි දී විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීම සඳහා සිසුන් තෝරාගැනීමේ දී ඒ ඒ විෂයයෙන් සිසුන් ලබාගත් ලකුණුවල ඉසෙඩ් ලකුණ සලකා බැලෙයි. ඉසෙඩ් ලකුණ ගණනය කරන්නේ අදළ විෂයයෙන් පෙනී සිටි සිසුගහණයෙහි මුල් (අමු) ලකුණුවල මධ්‍යන්‍ය අගය හා සම්මත අපගමනය මත පදනම් වෙමිනි. සිසුවකු ලබාගත් මුල් ලකුණෙන් ගහණයේ මධ්‍යන්‍ය ලකුණ අඩුකිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය මුල් ලකුණුවල සම්මත අපගමනයෙන් බෙදීමෙන් සිසුවාගේ ඉසෙඩ් ලකුණ ලැබෙයි. විෂය තුනෙහිම ඒ අයුරින් ඉසෙඩ් ලකුණු ලබාගෙන ඉන්පසු ඒ ඉසෙඩ් ලකුනු තුනෙහි සාමාන්‍යය (මධ්‍යන්‍යය) ගණනය කිරීමෙන් සිසුවාගේ අවසන් ඉසෙඩ් ලකුණ ලැබෙයි. ශිෂ්‍යයන්ට නිකුත් කෙරෙන්නේ මේ අවසන් ඉසෙඩ් ලකුණ ය.

සිසුන් ඒ ඒ ධාරාවෙන් විශ්වවිද්‍යාලවලට තෝරා ගනු ලැබෙන්නේ ඒ අවසන් ඉසෙඩ් ලකුණුවල අනුපිළිවෙළ අනුව ය. මේ ක්‍රමයෙහි මූලික වැරුද්දක් වෙයි. එනම් එක් එක් විෂයයෙන් ලබාගත් ඉසෙඩ් ලකුණු තුල්‍ය යැයි සැලකීම ය. ඒ ඒ විෂයයෙන් ලබාගත් මුල් ලකුණු තුල්‍ය නොවන්නාසේ ම ඒ ඒ විෂයයෙන් ලබාගත් ඉසෙඩ් ලකුණු ද තුල්‍ය නො වේ. එහෙත් 2001 සිට ම යොදාගෙන ඇත්තේ මේ ක්‍රමය ය. එය මහාචාර්ය තටිල් මහතාගේ නිර්මාණයක් නො වේ. ඔහු මෙරට අනෙක් උගතුන් මෙන් ම කර ඇත්තේ බටහිර තිබූ ක්‍රමයක් ලංකාවට හඳුන්වා දීම පමණකි.

2001 ඉසෙඩ් ලකුණු ක්‍රමය හඳුන්වා දීමට ප්‍රධාන හේතුව වූයේ ඒ වසරේ ද 2011 දී මෙන් ම පැරණි හා නව නිර්දේශ යනුවෙන් නිර්දේශ දෙකක් තිබීම ය. එයට අමතරව ඇතැම් අඳ බාල ජනමාධ්‍යවේදීන්ට තේරුම් ගත නොහැකි තවත් වෙනසක් 2001 දී විය. ඒ වසරේ පැරණි නිර්දේශයෙන් පෙනී සිටි සිසන්ට විෂය හතරක් තිබූ අතර නව නිර්දේශයෙන් පෙනී සිටි සිසුන්ට තිබුණේ විෂය තුනක් පමණකි. එපමණක් නොව පැරණි නිර්දේශයට අනුව තිබූ ශුද්ධ ගණිතය, ව්‍යවහාරික ගණිතය, උද්භිද විද්‍යාව හා සත්ත්ව විද්‍යාව ආදී විෂය නව නිර්දේශයට නොතිබුණි. නව නිර්දේශයට අනුව තිබුණේ සංයුක්ත ගණිතය, ජීව විද්‍යාව ආදී විෂය ය.

ඒ හේතුවෙන් නව නිර්දේශයට හා පැරණි නිදර්දේශයට අනුව පෙනී සිටි සිසුන්ගේ ලකුණු සංසන්දනය කිරීමේ අපහසුතාවක් පැන නගින්ට ඇත. එබැවින් සිසුන්ගේ මධ්‍යන්‍ය ඉසෙඩ් ලකුණු ගණනය කර (අදාළ පරිදි හතරෙන් හෝ තුනෙන් හෝ බෙදා) ඒ ලකුණු එක් ලැයිස්තුවකට සකස් කර අනුපිලිවෙළ අනුව සිසුන් ඒ ඒ ධාරාවෙන් විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම හැරෙන්නට වෙනත් ක්‍රමයක් මහාචාර්ය තටිල් මහතා ඇතුළු ඊනියා විශේෂඥයන්ට නොතිබෙන්නට ඇත. මේ පිළිබඳ ව විස්තරයක් කිරිමට මට නොහැක්කේ ඒ පිළිබඳ ව අද මෙන් සාකච්ඡාවක් එකල නොතිබූ බැවිනි. අප කවුරුත් පාහේ සිතා සිටියේ මහාචාර්ය තටිල් මහතා හඳුන්වා දුන් ක්‍රමයෙහි වරදක් නොමැති බව ය. එහෙත් ඒ එසේ නො වේ.

ඉසෙඩ් ලකුණු සම්බන්ධයෙන් කිවයුතු ප්‍රධාන ම කරුණ නම් ඒ ලකුණු ව්‍යාප්තියෙහි මධ්‍යන්‍ය ශූන්‍ය බව හා සම්මත අපගමනය එක බව ය. ඉසෙඩ් ලකුණු සකස් කෙරෙන්නේ ම මධ්‍යන්‍ය ශූන්‍ය හා සම්මත අපගමනය එක වන පරිදි ය. එමෙන් ම විශ්වවිද්‍යාලවලට සිසුන් තෝරා ගැනීමේ දී කිනම් ක්‍රමයට ලකුණු සකස් කළ ද අවසානයේ දී එක් එක් විෂයයෙන් එක් ලැයිස්තුවකින් පමණක් සිසුන් ඇතුළත් කිරීමට සිදුවන බව ය. බොහෝ පඬියන්ට මේ බව නො තේරෙයි.

2011 උසස් පෙළ පරීක්‍ෂණයට සිසුන් කණ්ඩායම් දෙකක් පෙනී සිට ඇත. එක් කණ්ඩායමක් නව නිර්දේෂයෙන් ද අනෙක් කණ්ඩායම පැරණි නිර්දේශයෙන් ද පෙනී සිටියේ ය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට තිබූ ප්‍රශ්නය වූයේ මේ කණ්ඩායම් දෙකෙන් ඒ ඒ විෂයයට එක් ලැයිස්තුවක් පමණක් සකස් කරන්නේ කෙසේ ද යන්න ය. එහි දීි ඒ සඳහා නිර්දේශයක් කිරීමට මෙරට සංඛ්‍යානය පිළිබඳ විශ්වවවිද්‍යාලයීය ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කරන ලදී. ඒ කමිටුවේ නිර්දේශය වූයේ ඒ ඒ විෂයයෙන් ලබාගත් මුල් (අමු) ලකුණු යම් සූත්‍රයකට අනුව පළමුව එක් ලැයිස්තුවකට ගෙන ඉන්පසු ඒ ඒ විෂයයෙන් ඉසෙඩ් ලකුණු ගණනය කිරීම ය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඒ නිර්දේශය මත විභාග දෙපාර්තමේන්තුවට ඉසෙඩ් ලකුණු ගණනය කිරීමට උපදෙස් දුන්නේ යැයි සිතිය හැකි ය. මෙහි දී අධ්‍යාපන ඇමතිතුමා හෝ උසස් අධ්‍යාපන ඇමතිතුමා හෝ එයට මැදිහත් වී නොමැති බව පැහැදිලි ය. ඒ හුදෙක් ම විශ්වවිද්‍යාලයීය ආචාර්ය මහාචාර්යවරුන් මැදිහත් වී ගත් තීරණයකි.

2011 දී ඒ ඒ විෂයයෙන් සිසුගහණ දෙකක් වෙයි. ඒ ගහණ දෙක එකක් බවට පත්කිරීම අප හමුවේ ඇති ගැටළුව ය. එහි දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම තමන්ට ලැබුණු නිර්දේශය මත ක්‍රියාකර ඇත්තේ පළමුව විද්වත් කමිටුවේ සූත්‍රය මත පදනම් වී එක් ලැයිස්තුවක් සකස් කර දෙවනුව ඒ ඒ විෂය සම්බන්ධයෙන් ඉසෙඩ් ලකුණ ගණනය කිරීම ය. මෙහි විධික්‍රමයක්් ලෙස කිසිම වරදක් නොමැතිවා පමණක් නොව කළ යුතුව තිබුණේ ද එය ය. එහෙත් එහි වරදක් විය. ඒ විධික්‍රමයෙහි නොව විද්වත් කමිටුව නිර්දේශ කළ සූත්‍රයෙහි ය.

ඒ ඒ විෂයයෙන් පළමුව ඉසෙඩ් ලකුණු ගණනය කිරීමෙන් පසු ඒ ඉසෙඩ් ලකුණුවලට භාරයක් හෝ පරිවර්තන අගයන් යොදාගත නො හැකි ය. එයට හේතුව ඉසෙඩ් ලකුණු ව්‍යාප්තියක මධ්‍යන්‍යය ශූන්‍යය වීම හා සම්මත අපගමනය එක වීම ය. ඒ ඉසෙඩ් ලකුණු කිනම් භාරයකින් වැඩිකර එක ලැයිස්තුවකට ගත්ත ද භාරය වෙනස් වුවත් ලැබෙන්නේ එකම ලැයිස්තුවකි. ඒ ලැයිස්තුව අන් කිසිවක් නොව ඉසෙඩ් ලකුණු තුල්‍ය ලෙස ගැනීමෙන් සකස් කෙරෙන ලැයිස්තුවම ය. මහාචාර්ය තටිල් මහතා හෝ විද්වත් කමිටුව හෝ මේ පිළිබඳව සිතා බැලි දැයි නො දනිමි. ඒ කෙසේ වෙතත් මහාචාර්ය තටිල් මහතා හඳුන්වා දී ඇති ක්‍රමය අනුව නව නිර්දේෂයේ හා පැරණි නිර්දේශයේ ඒ ඒ විෂයයෙන් ලබාගන්නා ඉසෙඩ් ලකුණු තුල්‍ය ලෙස සැලකෙයි. මෙය මුළුමනින් ම සංකල්පීය හා ෙසෙද්ධාන්තික වශයෙන් ගත්කල දෝෂ සහිත ය.

ඉසෙඩ් ලකුණු පළමුවර නිකුත් කිරීමෙන් පසුව කළයුතුව තිබුණේ විද්වත් කමිටුුවේ සූත්‍රය නිවැරදි කර ගැනීම ය. එහෙත් ඒ වෙනුවට සිදු වූයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයකි. කිනම් සටන් පාඨයකින් වුවත් ආණ්ඩුවට පහර දීමට උත්සාහ කරන ඇතැම් වෘත්තීය සමිති නිලධාරීහු ද, ඒ ඒ ආණ්ඩු විරෝධී දේශපාලන පක්‍ෂවලට හිතවත් මාධ්‍යවේදීහු ද තමන්ට වළ ඉහගෙන කෑමට අවස්ථාවක් ලැබිණි යැයි උද්දාමයට පත් වී විවිධ ක්‍රියා මාර්ගවලට අවතීර්ණ වූහ.

දැන් මහාචාර්ය තටිල් ක්‍රමයට ඉසෙඩ් ලකුණු නිකුත් කර ඇත. එහි දී පැරණි නිර්දේශයෙන් පෙනී සිටි සිසුන්ට අසාධාරණයක් වන බව පැහැදිලි ය. මෙහි දී අපට අවශ්‍ය වන්නේ අසාධාරණයක් වීම වැළැක්වීම නොව විශ්වවිද්‍යාලවලට දක්‍ෂයන් තෝරා ගැනීම යැයි පඬි ජනමාධ්‍යවේදියකු තම දේශපාලන පක්‍ෂයට තල්ලුවක් දීම සඳහා ප්‍රකාශ කිරීමට ඉඩ කඩ ඇත. මේ වසරේ පසුගිය වසරවලට වඩා දක්‍ෂයන් පළමු වතාවට පෙනී සිටි සිසුන් අතර සිටිය හැකි නො වේ. එහෙත් පැහැදිලිව ම විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගුණතිලක මහතා පිලියෙළ කර ඇති මේ සමග වූ වගුවෙන් පෙන්නුම් කෙරෙන්නේ වෙනත් කතාවකි. ඒ මහතා පිළියෙළ කර ඇති වගුවලින් වෛද්‍ය පීඨයට අදාළ වගුව පමණක් මෙහි දී ඉදිරිපත් කෙරෙයි. වගුව උපුටාගනු ලැබුයේ පසුගිය ජූලි 22 වැනි දා සන්ඩේ අයිලන්ඩ් පුවත් පතෙනි.

පසුගිය වසරවල වෛද්‍ය පිඨවලට පළමු වරට පෙනී සිටි අයගෙන් තේරී ඇත්තේ 58% ක පමණ ප්‍රමාණයකි. එහෙත් මහාචාර්ය තටිල් ක්‍රමයට මෙවර එය 74%ක් පමණ වනු ඇත. ආණ්ඩු විරෝධී වෘත්තීය සමිති නිලධාරීන්ගේ හා පඬි ජනමාධ්‍යවේදින්ගේ අවශ්‍යතාව ඉටු වී ඇත. පළමු වතාවට පෙනී සිටි සිසුන්ගෙන් මෙතරම් ද’ක්‍ෂයන් පිරිසක් බිහිකිරීම පිළිබඳ ව අප ඔවුන්ට ස්තුතිවන්ත විය යුතු ය. එහෙත් අනෙක් සිසුන්ට නඩුකීම හැර වෙනත් මගක් ඉතිරි වී නැත. මේ සිසුන් හා ඔවුන්ගේ දෙමව්පියන් ගැන මට ඇත්තේ තදබල කණගාටුවකි. මේ අවුල් ඇතිකිරීම පිලිබඳ ව වගකිවයුත්තේ ඊනියා වෘත්තිය සමිති නායකයන්, පුහු මානව අයිතිවාසිකම් ගැන කතා කරන්නන් හා පුහු පඬියන් මිස දේශපාලකයන් නො වේ.