History

Saturday, 1 September 2012

නිදහස් අධ්‍යාපනයේ කපටි ආරක්‍ෂකයෝ

සරසවි ඇදුරන්ගේ වර්ජනයට මාස දෙකක් ගත වී ඇත. මේ වර්ජනය සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කළේ වැරදි ප්‍රතිපත්තියකි. ආණ්ඩුව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ප්‍රතිපත්තියක් නොමැති වර්ජනය සම්බන්ධයෙන් නිසි පිළිතුරු නො දුන්නේ ය. වර්ජනයට කෙළින්ම සම්බන්ධ නොමැති වුවත් එයට ඉන්ධන එකතුකරන ඉසෙඩ් ලකුණු ප්‍රශ්නය, උසස් පෙළ ප්‍රශ්න පත්‍රවල වැරදි හා දැන් පහේ ශිෂ්‍යත්ව ප්‍රශ්නය පිළිබඳ ව ආණ්ඩුවට පිළිතුරු ඇතත් ජනමාධ්‍ය භාරව සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරු එසේ පිළිතුරු දීමට අවස්ථාව නොසැපයූහ. ඒ සියල්ලෙන් සිද්ධ වූයේ අධ්‍යාපනයේ ඊනියා අර්බුදයක් ගැන කතාකිරීමට ආණ්ඩු විරෝධීන්ට යම් අවස්ථාවක් සැපයීම ය. ආණ්ඩුවේ ජනමාධ්‍ය භාරව සිටින්නන් නොදුන් පිළිතුරු ජනතාව පළාත් සභා මැතිවරණයේ දී දෙනු ඇත. නැගෙනහිර පළාතේ ජනවර්ග ව්‍යාප්තිය හේතුකොටගෙන අනෙක් පළාත් දෙකෙන් වෙනස් ප්‍රතිඵලයක් ලැබීමට ඉඩ තිබුණ ද එහි දී ද එ ජ නි සංධානයට පළාත් සභාව හැසිරවීමට අවස්ථාවක් ලැබෙනු ඇත. අද ජ වි පෙරමුණට හෝ එ ජා පක්‍ෂයට හෝ හිතවත්කම් දක්වන විශ්වවිද්‍යාල හා පාසල් ගුරුවරුන්ට හා සිසුන්ට අධ්‍යාපනයේ නැති අර්බුදයක් මවා පෑමට අවස්ථාවක් ලැබී ඇත. ඔවුන්ට අර්බුදයක් වී ඇත්තේ අර්බුදයක් නැති කම ය. එහෙත් ඔවුහු නැති අර්බුදය වුව ද ගසා කා, හැකිනම් තරුණයකු හෝ වෙනත් අයකු හෝ බිල්ලට දී, බලයට පත්වීමට උත්සාහ කරති. අද ඇතැම්හු ඊනියා අධ්‍යයන වසන්තයක් ගැන කතාකරති. මේ වසන්තය අරාබි වසන්තය මෙන් ආණ්ඩු පෙරළීමට සමත්වනු ඇතැයි ඔවුහු සිතති. මොවුන් සිතන්නේ අසූවේ දශකයේ අග මෙන් තත්වයක් උදාකිරීමට ය. අසූවේ අග ප්‍රශ්න ඇතිවූයේ අධ්‍යාපනය පමණක් මුල්කරගෙන නො වේ. අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුම හා ඉන්දීය ආක්‍රමණය, කොටි ත්‍රස්තවාදය ද එහි පසුබිමේ විය. ආණ්ඩුවේ ඉහළ නිලතල දරණ සරසවි ඇදුරන් දෙතුන් දෙනකු ආණ්ඩුව වැටුනොත් තම වරප්‍රසාද නැතිවේ ය යන බියෙන් අසූවේ දශකය මතක්කරමින් ආණ්ඩුව නොමග යැවීමට උත්සාහ කරන බව පෙනෙයි. ඔවුන් ජනමාධ්‍යයේ ඉහළ තනතුරු දෑරීම හා ජනමාධ්‍යට අරක්ගෙන තිබීම ආණ්ඩුවට ප්‍රශ්නයක් වී ඇත. අරාබි වසන්තයක් ඇති කරන්නේ කාගේ නායකත්වයෙන් ද? ඇතැමුන් සිතන්නේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් එසේ කළ හැකිය කියා ය. අසූවේ දශකයේ දී උන්වහන්සේට සිංහල බෞද්ධ කුමේනි කෙනකු වශයෙන් දොස් පැවරුවන් ම අද උන්වහන්සේගේ නායකත්වය අපේක්‍ෂා කිරීම දෛවයේ සරදමක් යැයි නො කියමි. එය ඒ ඒ අයගේ ප්‍රතිපත්ති වෙනස්වීම පිළිබඳ ප්‍රශ්නයකි.

මේ ආණ්ඩුව සර්ව සම්පුර්ණ ආණ්ඩුවක් යැයි කිසිවකු නොකියනු ඇත. දුෂණය, නාස්තිය ඉහවහා ගොස් ය. ආණ්ඩුව දෙමළ ජාතිවාදය සම්බන්ධයෙන් හැර අනෙක් කටයුතුවල දී බොහෝ වැරදි කර ඇත. එහෙත් අපට නිසැකව කිව හැකි දෙයක් වෙයි. වෙනත් ආණ්ඩුවක් බලයට පත්වුවහොත් දූෂණය හා නාස්තිය තවත් ඉහළ යනු මිස අඩු නොවනු ඇත. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය අප වැනි රටවලට උරුම කර දී ඇත්තේ සර්ප්ිලාකාරයෙන් ඉහළ යන දුෂණයකි. 1948න් පසු පත්වූ ආණ්ඩුවල ක්‍රියාකාරිකම් සැලකීමේ දී ඒ බව මොනවට පැහැදිලි වෙයි. බටහිර ගැති, බටහිර රාජ්‍යවලින් සෘජුව හෝ වක්‍රව හෝ මුදල් ලබන ඊනියා රාජ්‍ය නොවන සංවිධානවලට අවශ්‍යවන්නේ දුෂණයෙන් තොර ආණ්ඩුවක් නො වේ. බටහිර රටවල ද ඇත්තේ දූෂිත රාජ්‍ය ය. එය බටහිර ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්‍ෂණයකි. අද ඊනියා රාජ්‍ය නොවන සංවිධානවලට, ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්‍ෂකයන්ට හා වෙනත් එවැන්නන්ට අවශ්‍ය බටහිරයන්ගේ ආශිර්වාදය, අනුග්‍රහය ලබන දෙමළ ජාතිවාදයේ අවශ්‍යතාව ඉටුකර ගැනීම ය. ඔවුන්ට අවශ්‍ය වන්නේ ආණ්ඩුව පළවාහැර වෙනත් ආණ්ඩුවක් ඇතිකර නන්දිකඩාල් ජයග්‍රහණය ආපසු හැරවීම යෂ දෙමළ ඊළමක් පිහිටුවීම සඳහා කටයුතු කිරීම ය. මේ ආණ්ඩුව පළවා හැර පිහිටුවන වෙනත් ඕනෑම ආණ්ඩුවක් කාගේ නායකත්වයෙන් පිහිටුවත් රණවිරුවන්ගේ ජීවිත පූජාවෙන් ලබාගත් ජයග්‍රහණය, එනම් දෙමළ ත්‍රස්තවාදය පැරදවීම ආපසු හරවනු ඇත. උතුරු හා නැගෙනහිර පළාත්වල හමුදා කඳවුරු ඉවත්කර හමුදාව ආපසු කැඳවනු ඇත. කොටි ත්‍රස්තවාදීන් ඊනියා දේශපාලන සිරකරුවන් සේ සළකා නිදහස් කෙරෙනු ඇත. කොටි ත්‍රස්තවාදීන්ට නිදැල්ලේ හැසිරීමට ඉඩ දෙනු ඇත. එපමණක් නොව අද නිදහස් අධ්‍යාපනයේ කපටි ආරක්‍ෂකයන් විරුද්ධ යැයි කියන පෞද්ගලික විශ්වවිද්‍යාල ද ඇති කරනු ඇත. පෞද්ගලික විශ්වවිද්‍යාල යනු මකරාක්‍ෂකයෙක් නො වේ. පෞද්ගලික විශ්වවවිිද්‍යාල ඇතිකිරීම සඳහන් කෙරෙන්නේ නිදහස් අධ්‍යාපනයේ කපටි ආරක්‍ෂකයන්ගේ බොරු උපාසකකම හෙළිදරවු කිරීමට ය. අද නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කෑගසන ඇතැම් සරසවි ඇදුරෝ උපාධිවලට සිසුන් සූදානම් කරන පෞද්ගලික ආයතනවල උගන්වති. මුදල් අයකර උසස් පෙළ පරීක්‍ෂණයට සිසුන්ට උගන්වන පංති හෙවත් ටියුෂන් කඩ පවත්වාගෙන යති. එහෙත් ඒ අතර උසස් පෙළ පරීක්‍ෂණයේ පිළිතුරු පත් ලකුණු කිරීමෙන් වළකිති. මේ සියල්ලෙන් සිිදුවන්නේ ඔවුන් කියනා නිදහස් අධ්‍යාපනය රුකගැනීම ද? බොහෝ දෙනා නොදනිතත් අද විශ්වවි්‍යාලවල ද මුදල් අයකරන පාඨමාලා පැවැත්වෙයි. ඒ පශ්චාත් උපාධි සඳහා පමණක් නො වේ. ප්‍රථම උපාධි මට්ටමෙන් පහළ සහතික පත්‍ර හා ඩිප්ලෝමා සඳහා පාඨමාලා රාශියක් අද විශ්වවිද්‍යාලවල පැවැත්වෙන්නේ ගාස්තු අයකරමිනි. ඒ ගාස්තුවලින් විශාල කොටසක් සරසවි ඇදුරෝ ලබාගනිති. මේ පාඨමාලා පවත්වාගෙන යෑමට ප්‍රතිපත්තියක් වශයෙන් නිදහස් අධ්‍යාපනයේ කපටි ආරක්‍ෂකයන් විරුද්ධ විය යුතු ය. එහෙත් ඇදුරන්ගේ වෘත්තීය සමිති හෝ ඊනියා අන්තරය හෝ ඒ පාඨමාලාවලට ඵලක් ඇති විරුද්ධතාවක් දක්වා නැත.

අප අමතක නොකළ යුතු කරුණ නම් තවමත් දෙමළ ජාතිවාදය හා ඒ අනුව පැවැත්වෙන මුස්ලිම් ජාතිවාදයක් මෙරට ක්‍රියාත්මක වන බව ය. දෙමළ ජාතිවාදය පවත්වාගෙන යනු ලැබෙන්නේ බටහිරයන් හා ඉන්දියාව, විශේෂයෙන් ම තමිල්නාඩුව විසිනි. ඉන්දියාව ක්‍රියාත්මක වන්නේ බටහිරට අවශ්‍ය ආකාරයට හා චීනයට විරුද්ධවන ආකාරයකට ය. දෙමළ ජාතිවාදය තිබෙනතාක් දෙමළ ත්‍රස්තවාදයට යළි හිස එසවීමට අවස්ථාවක් ඇත. අද අපේ අවශ්‍යතාව වනුයේ සියල්ලට ම වඩා දෙමළ ජාතිවාදය පැරදවීම ය. රටේ ආරක්‍ෂාව සඳහා දෙමළ ජාතිවාදය පැරදවිය යුතු ය. එයට මුදල් වෙන්කිරීම අපේ ප්‍රමුඛතාව වෙයි. මෙරට ඊනියා නිදහස් අධ්‍යාපනයේ ආරක්‍ෂකයන්ගෙන් ඒ සඳහා ලැබෙන උපකාරය කුමක් ද? ඔවුන් දන්නා එකම දෙය බටහිර මතවාද පුනරුච්ඡාරණය කරමින් දෙමළ ජාතිවාදයට ආවැඩීම ය. කසිකබල් මාක්ස්වාදී, පශ්චාත් මාක්ස්වාදී, පශ්චාත් නූතනවාදී, ලිබරල් මතවාද හැර ඔවුන් දන්නා ජාතික මතවාදයක් නැත. ඔවුහු ජාතික මතවාදවලට ජාතික දැනුමට මිථ්‍යාවන් යැයි කියමින් සිනහසෙති. පට්ටපල් බොරු වූ බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම ඊනියා නිදහස් අධ්‍යාපනයක මුවාවෙන් උගන්වති. තම දැනුම අනුව දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ නොහැකි යැයි කීවෝ ද මොවුහු ම වෙති. දෙමළ ජාතිවාදය වෙනුවෙන් අද මෙරට ප්‍රධාන වශයෙන් දේශපාලන පක්‍ෂයක් ලෙස පෙනී සිටින්නේ දෙමළ ජාතික සංධානය ය. දෙමළ ජාතිවාදයට අනුගත වූ මුස්ලිම් ජාතිවාදය (ආගමිකවාදය) වෙනුවෙන් පෙනී සිටින්නේ මුස්ලිම් කොංග්‍රසය ය. අද මේ පක්‍ෂ දෙක නැගෙනහිර පළාතේ කරන්නේ ආණ්ඩුවේ සංහිඳියා ප්‍රතිපත්තිය යැයි කිවහැකි ප්‍රතිපත්තියට එරෙහිව දෙමළ ජාතිවාදය හා මුස්ලිම් ජාතිවාදය පැතිරවීම ය. සංහිඳියා ප්‍රතිපත්තිය යනුවෙන් බටහිරයන් අදහස් කරන්නේ ද ජාතිවාදය පතුරවමින් සිංහල බෞද්ධයනට හා සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන අහිමි කිරීම ය. නැගෙනහිර පළාතේ ඡන්දදායකයන් මේ බව සිහි තබාගත යුතු ය. පසුගිය දා ඊනියා නිිදහස් අධ්‍යාපනය රැකගැනීමට යැයි කියමින් කොළඹ පැවති රැළියකට මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සිට අනෝමා ෆොන්සේකා දක්වා සියළු ආණ්ඩු විරෝධීහු සහභාගි වූහ. එයට සහභාගි නොවූ පක්‍ෂ අතර (පක්‍ෂ නිල වශයෙන් සහභාගි නොවීම වෙන ම කරුණකි. එහෙත් ඒ ඒ පක්‍ෂවල දැවැන්තයෝ එයට සහභාගි වූහ) දෙමළ ජාතික සංධානය ද මුස්ලිම් කොංග්‍රසය ද දේශපාලනයේ කිසිදු බලපෑමක් කළ නොහැකි ඇතැම් පක්‍ෂ ද විය. එහි අරමුණ ආණ්ඩු විරෝධීන් 6% ඉල්ලීම උඩ ඒකරාශි කර පසුව දෙමළ ජාතිවාදය වෙනුවෙන් ඒ බලවේග මෙහෙයවීම ය. දෙමළ ජාතික සංධානය රැස්වීමෙන් පිට සිටියේ මැතිවරණ කටයුතුවල නිරතවී සිටි බැවින් නොව සංවිධායකයන්ට තම නියම අරමුණ වසංකිරීමට අවශ්‍ය වූ නිසා ය. මේ රැස්වීම විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයෙන් සංවිධානය කළ එකක් යැයි කීව ද එය සංවිධානය කළේ ආණ්ඩු විරෝධී පක්‍ෂ හා සංවිධාන විසිනි. ආචාර්ය සමිති සම්මේලනයට එවැනි රැස්වීමක් සංවිධානය කිරීමට ශක්තියක් නැත. රැ්ස්වීමෙහි අරමුණ වූයේ ආණ්ඩුව දළ ජාතික නිශ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනය සඳහා වෙන් කළ යුතු ය යන්න වටා ජනතාව පෙළ ගැස්වීම ය. දැනටමත් යුනෙස්කෝ වාර්තාවෙන් කියන ආකාරයට දළ ජාතික නිෂ්පාදීතයෙන් 6%ට වඩා අධ්‍යාපනයට වෙන් වෙයි. යුනෙස්කෝ වාර්තාවෙහි කිසිම තැනක ආණ්ඩුව දළ ජාතික නිශ්පාදීයෙන් 6%ක් අධ්‍යාපනය සඳහා වැය කළ යුතු යැයි කියා නැත. එහෙත් ආචාර්ය සමිති සම්මේලනය ආණ්ඩු විරෝධී දේශපාලන පක්‍ෂ හා එවැනි වෘත්තීය සමිති සමග එක් වී මේ බොරුව ජනතාවට කියන්නේ ඊනියා නිදහස් අධ්‍යාපනයක් රැකගැනීමට නො වේ. රූපවාහිනී නාලිකා දෙකක අපත් සහභාගි වූ වැඩසටන් දෙකක දී හා චින්තන පර්ෂදය විසින් සංවිධානය කෙරුණු සම්මන්ත්‍රණයක දී ආචාර්ය සමිති සම්මේලනයට සම්බන්ධ ඇදුරන් ඉදීිරියේ ඊනියා 6% ඉල්ලීම අමු බොරුවක් බව අපි පැහැදිලි කළෙමු. ආණ්ඩුව දැනටමත් තම වියදමෙන් 8%ක් පමණ අධ්‍යාපනය වෙනුවෙන් වැය කරයි. ආණ්ඩුවේ මුළු වියදම දළ ජාතික නිෂ්පාදිතයෙන් 23%ක් පමණ ය. දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනයට වැය කිරීම යනු ආණ්ඩුව තම මුළු වියදමෙන් 25%ක් පමණ අධ්‍යාපනයට වියදම් කිරීමකි. එය කළ හැක්කක් නො වේ. සෞඛ්‍යය කෘෂිකර්මය ආදී ක්‍ෂෙත්‍ර ගණනාවක පමණක් නොව දෙමල ජාතිවාදයට එරෙහිව රණවිරුවන් වෙනුවෙන් කෙරන වියදම් ද කපාහැරීමෙන් තොරව එය කළ හැකි නොවේ. නිදහස් අධ්‍යාපනයේ කපටි ආරක්‍ෂකයන්ගේ අරමුණ කුමක් දැයි පැහැදිලි ය. මෙරට අධ්‍යාපන අර්බුදයක් නැත. අද පාසල්වල පහසුකම් එදාට වැඩි ය. ඉසෙඩ් අවුල ඇති කළේ තටිල් මහතා, ආණ්ඩු විරෝධී ගුරු සංගම් හා ඇතැම් ජඩමාධ්‍යවේදීන් ය. ප්‍රශ්න පත්‍රවල වැරදි සැම අවුරුද්දක ම වෙයි. ඒ කිසිවකට අදාළ ඇමතිවරු වරදකරුවෝ නො වෙති. ඒ වැරදි ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීරණ හේතුකොටගෙන ඇති වූවා නො වේ. අද ආචාර්ය සමිති සම්මේලනයට සම්බන්ධ හා වෙනත් දෙමළ ජාතිවාදීන්ට ආණ්ඩු විරෝධී බලවේග එකතු කිරීමට සටන් පාඨයක් අවශ්‍ය වී ඇත. මුල දී 6% යෝජනාව කවුරු කළත් අද එය ඒ සඳහා යොදා ගැනෙයි.