History

Friday, 23 November 2012

දේශපාලනිකව අහෝසි වී ඇති ෆෙඩරල් දහතුන නෛතිකව ද අහෝසි කරමු

දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි නොකළ යුතු යැයි කියන්නන්ගේ හේතු වී ඇත්තේ දෙමළ ජනයාට අසාධාරණයක් තිබීම, ඒ සඳහා දේශපාලනික විසඳුමක් නොදීම නිසා දෙමළ තරුණයන් ආයුධ අතට ගැනීම, දහතුන එවැනි දේශපාලන විසඳුමක් වීම, ඇතැම් දෙමළ ත්‍රස්තවාදී සංවිධාන දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා ආයුධ අත්හැරීම, දහතුන අහෝසි කළහොත් මේ තරුණයන් නැවතත් ආයුධ අතට ගැනීමට ඉඩ තිබීම, දෙමළ ජනයාට දේශපාලන විසඳුමක් දීමට අවශ්‍යවීම, එසේ දෙන බවට මහින්ද චින්තනයෙන් ද පසුව ද පොරොන්දු වී තිබීම, එසේ නොදුනහොත් ජාත්‍යන්තරයට දී ඇති පොරොන්දු කඩකිරීම නිසා ඇතිවිය හැකි බලපෑම්, ආදිය ය. මේ ව්‍යාජ හේතු වෙයි. ඇදුරන්ගේ ඉල්ලීම් මෙන්ම මේ හේතු ද ව්‍යාජ වෙයි.

මේ හේතු පදනම් වන්නේ ඊනියා සිංහල ආණ්ඩු 1948න් පසුව දෙමළ ජනයාට අසාධාරණයක් කර ඇත යන්න මත ය. 1948න් පසුව දෙමළ ජනයාට අසාධාරණයක් සිදු වී යැයි කියන්නන් 1947 දී රාජාසන කතා විවාදයේ දී චෙල්වනායගම් සිංහලයන්ට බිිරිතානින්ගෙන් නිදහස් විය හැකි නම් දෙමළ ජනයාට සිංහලයන්ගෙන් නිදහස්වීමට හැකියාව තිබිය යුතු යැයි ප්‍රකාශ කිරීම ගැන කියන්නේ කුමක් ද? ඔහු 1949 දී ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය පිහිටුවා ගැනීම ගැන කියන්නේ කුමක් ද? ඩොනමෝර් ආණ්ඩු කාලවල ජී ජී පොන්නම්බලම් තම කුප්‍රකට පනහට පනහ ප්‍රතිපත්තිය මගින් සිංහල මන්ත්‍රී සංඛ්‍යාව සියයට පනහට අඩු කිරීමට යෝජනා කිරීම ගැන කියන්නේ කුමක් ද? දෙමළ නායකයන් ඩොනමෝර් කොමිසම ඉදිරියට ගොස් සිංහලයන් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ බහුතරය වේයැයි කියමින් සර්වජන ඡන්දයට විරුද්ධ වීම ගැන කියන්නේ කුමක් ද? එයටත් පෙර අරුණාෂලම් හා රාමනාදන් සහෝදරවරුන් ඉංගිරිසි ආණ්ඩුකාරයන් සමග එක්වී ව්‍යවස්ථාදායකයේ සිංහල මන්ත්‍රී සංඛ්‍යාව අඩුකිරීමට පියවර ගැනීම ගැන කියන්නේ කුමක් ද? අඩුම තරමෙන් 1815න් පසු ලංකා ඉතිහාසයෙන් කියැවෙන්නේ මෙරට ඊනියා ජාතික ප්‍රශ්නය 1948න් හෝ 1956න් හෝ පසු ඇතිවූවක් නොව වසර දෙසියයකට වඩා පැරණි ප්‍රශ්නයක් බව ය.

අද සිදු වී ඇත්තේ වැරදි ප්‍රශ්නයකට විසඳුම් සෙවීමට යෑමෙන් අවුලක් ඇති වී රටේ ඒකීය භාවය නැතිවීම ය. දෙමළ ජනයාට අසාධාරණයක් සිදු වී ඇත යන ලෙස ප්‍රශ්නය වෑරදි ආකාරයෙන් ඉදිරිපත් කෙරුණේ ඉංගිරිසින් හා ඉංගිරිසි උගත් වෙල්ලායන් අතිනි. 1815න් පසු මෙරට ගබ්සා වූ ලාංකික ජාතියේ නායකත්වය ලැබුණේ බර්ගර්වරුන්ට ය. ටික කලකට පසු එය ඉංගිරිසි උගත් දෙමළ වෙල්ලාලයන්ට ඉංගිරිසින් විසින් පැවරිණි. ලංකාවේ ම දේශපාලන නායකයන් බවට පත්කෙරුනේ අරුණාෂලම් හා රාමනාදන් සහෝදරවරුන් ය. සංස්කෘතික නායකත්වයට පත්කෙරුනේ ඔවුන්ගේ ඥාති සහෝදරයා වූ ආනන්ද කුමාරස්වාමි ය. ඉංගිරිසින් ඉංගිරිසි උගත් වෙල්ලාලයන් රටේ නායකත්වයට පත්කළේ සිංහලයන්ට විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට විරුද්ධව බලවේගයක් ගොඩ නැගීමට ය. එයට හේතුවක් විය. ඉංගිරිසින්ට විරුද්ධව 1815 සිට ම සටන් කර ඇත්තේ සිංහලයන් පමණකි. භික්‍ෂූන් වහන්සේ, කැප්පෙටිපොළ, විර පුරන් අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා, අනගාරික ධර්මපාලතුමා, භාෂා ප්‍රේමීහු, පනස්හය මෙහෙයවූවෝ මෙහි දී කැපී පෙනෙති. (ගබ්සා වූ ලාංකිකයන් අනෙක් ජනතාවගෙන් වෙන් වී කොංග්‍රසයක සංවිධානය වෙමින් පෙත්සම් මගින් තමන් ඉංගිරිසින් මෙන් ම ඉංගිරිසින් බව කියමින් තමන්ට යම් පාලනයක් ලබාදීමට කරන ලද ආයාචන නිදහස් සටන් නො වේ) කෙසේ වෙතත් ඉංගිරිසින් විසින් කරන ලද (ඔවුන්ගේ පැත්තේ සිට බැලූ කල) වරදක් හේතුවෙන් අපට 1931 දී සර්වජන ඡන්ද බලය ලැබුණි. ඉන්පසු ඉංගිරිසි උගත් වෙල්ලාලයන්ගේ වරප්‍රසාද අඩුවීමට පටන්ගති. ඉංගිරිසිහු හා ඉංගිරිසි උගත් දෙමළ වෙල්ලාලයෝ් වෙල්ලාලයන්ට අහිමිවන වරප්‍රසාද දෙමළ ජනතාවට කරන අසාධාරණයක් ලෙස අර්ථකථනය කළහ. මෙරට ඇති ප්‍රශ්නය අනෙකක් නොව අවුරුදු පන්සියයකට වැඩි කාලයක් සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට හා ඔවුන්ගේ සංස්කෘතියට හිමි තැන අහිමි කිරීම ය.

සර්වජන ඡන්දය හේතුවෙන් සමස්ත ලංකාවේ නායකත්වයෙන් ගිලිහී ගිය වෙල්ලාලයෝ 1947 ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව තමන්ට සිංහල විරෝධී වෙමින් සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි සුවිශේෂත්වය නොපිළිගනිමින් කිසි දිනෙක ලංකාවේම නාකයකන් බවට පත්වීමට නොහැකි බව තේරුම් ගත්හ. මෙහි දීි දකුණු ඉන්දිය පල්ලියක ක්‍රිස්තියානි භක්තිකයකු වූ චෙල්වනායගම් ප්‍රමුඛස්ථානය ගත්තේ ය. ඔහු 1949 දී ඉලංකෙයි තමිල් අරසු කච්චි පිහිටුවා උතුුරු හා නැගෙනහිර පළාත්වලට වෙන ම රාජ්‍යයක් ඉල්ලා සිටියේ ය. වෙල්ලාලයන්ට ඒ සටන තනිවම කිරීමට බැරි බව දත් ඔහු ලංකාවේ සියලු දෙමළ ජනයා පමණක් නොව මුස්ලිමුන් ද ඒකරාශි කර 1976 දී කුප්‍රකට වඩුකොඩෙයි යෝජනා මගින් ඊළාම් ඉල්ලීම ඉදිරිපත් කළේය. ඊනියා නිජභූමි, ස්වයංනිර්ණ අයිතිය පිළිබඳ සංකල්ප ද ඉංගිරිසින් හා බටහිරයන්, රාජ්‍ය නොවන සංවිධාන, දෙමළ ජාතිවාදීන්, සිංහල බෞද්ධයන්ට එරෙහිවූ කසිකබල් මාක්ස්වාදීන් විසින් ද ඉදිරිපත් කෙරිණි. සියලු විජාතික බලවේග ජාතික බලවේගවලට එරෙහිව ඒකරාශි විණි. හැත්තෑවේ දශකයේ මුල බිහි වූ ප්‍රභාකරන් අවසානයේ මේ සියල්ලන්ගේ යුද්ධ නායකයා බවට පත්විණි. ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදීන් (යටකී අයට අනුව අවිගත් සටන්කාමීන්) පරාජය කළ නොහැකි බව, බෞද්ධයන්ට යුද්ධ අකැප බව ආදිය ඔවුහු අපට කියා දුන්හ. එබැවින් ඊළම වැළැක්වීම සඳහා ප්‍රභාකරන් සමග සාම සාකච්ඡා පැවැත්වීමේ වැදගත්කම ද අපට ඉගැන්විණි. දහතුන්වැනි සංශෝධනය දෙමළ ජාතිවාදයට ජය අත්කර දීම සඳහා එවකට බටහිරයන් සමග එකඟත්වයකට පැමිණ සිටි ඉන්දියාව අප මත බලයෙන් පැටවූ ඉන්දු ලංකා ගිවිසුම ඔස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් විණි. එය ඉදිරිපත් වූ ආකාරය ම නීත්‍යානුකූල නොවන බව වනසුන්දර මහතා පෙන්වා දී ඇත. එතුමා ඇතුළු විනිසුරුවරු හතර දෙනෙක් දහතුනෙන් ඒකීය භාවය නැතිවන බව කියා සිටියහ. ජාතික බලවේග ද එදා ද කියා සිටියේ දහතුනෙන් ඒකීයභාවය නැතිවන බව ය. පාර්ලිමේන්තුව මගින් ක්‍රියාත්මක වන ජනතාවගේ පරමාධිපත්‍යය නැතිවන බව ය. වැරදි ප්‍රශ්නයකට දෙන ලද ඊනියා විසඳූමක් මගින් රටේ ඒකීය බව නැතිවිය. එහෙත් බොහෝ දෙනාට එය අවබෝධ නො වීය. දිවිනැගුම පනත සම්බන්ධයෙන් භ්‍රෙෂ්ඨාධිකරණය දී ඇති තීන්දුවෙන් ජාතික බලවේග එදා කී කරුණු සනාථ වී ඇත.

අද මෙරට ඒකීය රාජ්‍යයක් නැත. දහතුන යනු ෆෙඩරල් ව්‍යවස්ථාවකි. එය ඊළමකට මග පාදයි. අද පාර්ලිමේන්තුවට මුළු ලංකාවට ම බලපාන පරිදි නීති පැනවිය හැකි නො වේ. ඒකීයභාවය පිළිබඳ අවසන් නිර්ණායකය වනුයේ රටටම බලපාන පරිදි කිසිම බාධාවකින් තොරව නීති පැනවීමේ ව්‍යවස්ථාදායක බලය ඇති තනි ආයතනයක් තිබේ ද යන්න ය. පැහැදිලිව ම දහතුනෙන් ඒකීය භාවය අහෝසි කර ඇත. දිවිනැගුම පනතෙන් පෙන්නුම් කෙරී ඇත්තේ එයයි. පළාත්සභාවල අනුමැතිය නොලැබුණහොත් තුනෙන් දෙකේ බලයක් නොමැති ආණ්ඩුවකට සංවෘත ලැයිස්තුවේ සඳහන් නොවන කරුණක් සඳහා මුළු ලංකාවට ම බලපාන පරිදි පනතක් සම්මත කර ගැනීමට නො හැකි ය. දිවිනැගුම පනතෙහි අඩංගු කරුණු කුමක් වුවත් එමගින් ලංකාව ඒකීය රාජ්‍යයක් නොවන බව පෙන්වා දී ඇත. අද ජනතාවට පරමාධිපත්‍යයක් නොමැති බව පැහැදිලි ය. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය වහාම අහෝසි කළ යුතු ය. ශ්‍රී ල නි පක්‍ෂයට එය අහෝසි කිරීමෙන් තොරව පැවතිය හැකි නො වේ. පක්‍ෂයේ පැවැත්ම රැඳී ඇත්තේ කසිකබල් මාක්ස්වාදී අදහස් කිහිපයක් කටගාගත් චන්ද්‍රිකාගේ මන්ත්‍රීවරුන් හා කුමාර් රෑපසිංහගේ ජනවේගකරයන් කිහිප දෙනකු මත නොව රටේ ජාතිකත්වය අගය කරන පළල් සිංහල ජනතාවගේ විශේෂයෙන් ම සිංහල බෞද්ධ ජනතාවගේ පක්‍ෂපාතීත්වය මත ය. ඒ බව අනෙඛ් අය කෙසේ වෙතත් මහින්ද රාජපක්‍ෂ මහතා දැනගත යුතු ය.

අනෙක් අතට දහතුන යනු වැරදි ප්‍රශ්නයකට දෙන ලද ඊනියා විසඳුමක් පමණක් නොව ඒ වැරදි ප්‍රශ්නය විසඳීමේ දී ගත් ක්‍රියා දාමයේ එක් පුරුකක් පමණක් වෙයි. දෙමළ ජනයාට ඇතැයි කියන අසාධාරණ සම්බන්ධයෙන් රාමනාදන් පටන්ගත් දෙමළ ජාතිවාදී අරගලයේ එක් පියවරක් වූයේ ඊළම වෙනුවෙන් ඇති වූ දෙමළ ත්‍රස්තවාදය ය. එය නැතිකිරීම සඳහා ප්‍රභාකරන්ට හා දෙමළ ජාතිවාදයට යම් යම් දේ ඊනියා සාම සාකච්ඡා ඔස්සේ දේශපාලන විසඳූම් මගින් දිය යුතු යැයි බටහිරයෝ ද ඉන්දියානුවෝ ද විවිධ වර්ගවල දෙමළ ජාතිවාදීහු ද කියා සිටියෝ ය. ජාතික බලවේග කියා සිටියේ හමුදා ක්‍රියා මාර්ගයකින් දෙමළ ත්‍රස්තවාදය හා ජාතිවාදය පරාජය කළ යුතු බව ය. කළ හැකි බව ය. හමුදා ක්‍රියා මාර්ග ද දේශපාලන විසඳුම් ය. යුද්ධය යනු දේශපාලනය මිස අනෙකක් නො වේ. දහනවවැනි සියවසේ සිට ගලා ආ දෙමළ ජාතිවාදී ඉල්ලීම්, ඒවාට දැක්වූ ප්‍රතිචාර එකම සමස්ත ක්‍රියාදාමයක් පමණකි. එහි ඊනියා දේශපාලන විසඳුම් හා යුද්ධ විසඳුම් වෙන වෙන ම නැත. 2009 මැයි මාසයේ දී නන්දිකඩාල් කලපුවේ දී දෙමළ ත්‍රස්තවාදය පරාජය කෙරුණු අතර දෙමළ ජාතිවාදය දේශපාලනික වශයෙන් පරාජය කෙරිණි. එය දේශපාලන විසඳුමකි. රාමනාදන්ගේ සිට ප්‍රභාකරන් දක්වා වූ සමස්ත ක්‍රියාකාරීත්වය ද, දෙමළ ජාතිවාදය ද එහි දී දේශපාලනික වශයෙන් පරාජය කෙරිණි. දහතුන ද දේශපාලනික වශයෙන් පරාජය කෙරුණු බව අමතක නොකළ යුතු ය. අද දේශපාලනිකව පරාජය කෙරී ඇති දහතුන නීති පොතේ ඇත. නීතිය, සැමදාමත් ඇත්තේ දේශපාලනය, තාක්‍ෂණය ආදිය පිටුපස ය. අද නීතිය යාවත්කාලීන කළ යුතුව ඇත. නීතිය දේශපාලනය සමග එක තලයකට ගෙන ආ යුතු ය. දහතුන අහෝසි කළ යුතු ය. මේ සම්බන්ධයෙන් විදේශවලට අතගැසීමට ඉඩදිය නොයුතු ය. රණවිරුවන් කොටින් පරාජය කළේ විදේශවල ආධාරයෙන් නොවන බව අවධාරණය කළ යුතු ය. නන්දිකඩාල් කලපුවෙන් ආපසු තිම්පු යා නො හැකි ය. නො යායුතු ය. යම් අයුරකින් ප්‍රභාකරන් ජයගත්තේ නම් බටහිරයන් හා රාජ්‍ය නොවන සංවිධාන ද කසිකබල් මාක්ස්වාදීන් ද ඇතුලු විවිධ වර්ගවල දෙමළ ජාතිවාදීන් කුමක් කීමට ඉඩ තිබිණි ද? ඔවුන් දහතුනට ටිකක් එහාට යෑමට කියන්නට තිබිණි ද? නැත එවිට තිබෙනු ඇත්තේ දේශපාලන විසඳුම වූ අවියෙන් පිහිටු වූ ඊළාම ය. ප්‍රභාකරන් දිනූ විට එක් ආකාරයකටත් පැරදුණු විට තවත් ආකාරයකටත් කරයුතු කළ නො හැකි ය. අවුරුදු දෙසියයකට ආසන්න දෙමළ ජාතිවාදයට දේශපාලන විසඳුමක් නන්දිකඩාල් කලපුවේ දී ලැබිණි. එය පමා වී වුවත් නීති පොතට වහාම ඇතුළත් කළ යුතු ය. ඒකීයභාවය නැවතත් තහවුරු කළ යුතු ය.