History

Friday, 23 November 2012

වියුක්ත මිනිසා


මිනිස්සු කුලකයක සාමාජිකයෝ වෙති. මිනිස්සු යනුවෙන් මෙහි දී පිරිමි මෙන් ම ගැහැණු ද සැලකෙති. මිනිස් කුලකයෙහි සාමාජිකයන් අවශේෂ සත්වයන්ගෙන් වෙන්කර හඳුනාගත හැකි ය. අවශ්‍ය නම් සියලු සත්වයන්ගේ කුලකය ගෙන මිනිස් කුලකය සත්ව කුලකයෙහි උපකුලකයක් ලෙස සෑලකිය හැකි ය. එමෙන් ම පිරිමින්ගේ කුලකය මිනිස් කුලකයෙහි උප කුලකයක් ලෙස සෑලකිය හැකි ය. ඒ කුමන ආකාරයකට සැලකුවත් යම් කුලකයක හෝ උප කුලකයක හෝ සාමාජිකයන්ගේ හෝ අවයවවල යම් පොදු බවක් දැකිය හැකි ය. සියළු මිනිසුන්ට පංචෙන්ද්‍රිය පොදු ය. ඇතැම් අයකුගේ ඉන්ද්‍රියක හෝ කිහිපයක හෝ අඩුපාඩුවක් තිබිය හැකි නමුදු එය මෙහි දී වැදගත් නො වේ.

එසේ පොදු බවක් තිබුණ ද ඒ ඒ මිනිස්සු අසමාන වෙති. මේ පොදු බව හා පොදු බවට අමතර ව ඇති විශේෂිත්වය තේරුම් ගැනීම වැදගත් ය. බටහිර විද්‍යාව රඳා පවතින්නේ පොදු බව මත ය. බටහිර විද්‍යාවෙහි අනෙක් දැනුම් පද්ධතීන්වල නොමැති විශේෂිත ක්‍රම වේදයක් හෙවත් ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමයක් නැත. එහි ඇත්තේ චින්තනමය වූ වෙනසකි. පහළොස්වැනි සියවසේ අගභාගයෙහි බටහිර බිහි වූ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි කුලකයක අවයවවල ඇති පොදු බව කෙරෙහි අවධානය දැක්විණි. මිනිසුන්ගේ කුලකයෙහි පොදු අවයවය මිනිසා ලෙස හැඳින්විණි. එමෙන් ම බල්ලන්ගේ කුලකයෙහි පොදු අවයවය බල්ලා ලෙස හැඳින්විණි. බල්ලා යනු අප දන්නා අසවල් බල්ලා (the dog) හෝ බල්ලකු (a dog) හෝ නො වේ. බල්ලා යනු පොදු බල්ලා ය. සිංහලයෙහි පොදු බල්ලා හැඳින්වීමට විශේෂිත වචනයක් නැත.

එයට හේතුව සිංහලයෙහි පොදු බල්ලා නො වීම ය. පොදු බල්ලා හැඳින්වීමට අවශ්‍ය වූ විට සිංහලයෝ බල්ලෝ යන බහුවචනය යොදා ගනිති. මෙය කලකට පෙර පැහැදිලි කර ඇති නමුත් එය නැවත වරක් සඳහන් කිරීමේ වරදක් ඇතැයි නො සිතමි. නැන්දලාගේ බල්ලා යනු අප දන්නා හඳුනන බල්ලෙකි. නැන්දලාගේ ගෙදර ගොස් බල්ලා බැඳ ඇත්දැයි අප අසන්නේ නැන්දලාගේ බල්ලා ගැන ය. ඉංගිරිසියෙන් නම් එහි දී අසන්නේ දන්නා විශේෂිත බල්ලා (the dog) ගැන ය. ඒ අප නොදන්නා බල්ලකු ගැන නො වේ. එහෙත් අප බල්ලෙක් දුව ගෙන ගියා යැයි කියන්නේ අප නොදන්නා බල්ලකු ගැන ය. එය ඉංගිරිසියෙන් නම් බල්ලෙක් (a dog) ලෙස කියැවෙයි.

එහෙත් ඉංගිරිසියෙහි ඒ දන්නා බල්ලා (the dog) හා නො දන්නා බල්ලා (a dog) හැර බල්ලා (dog) ද වෙයි. එහි බල්ලා යනුවෙන් කියැවෙන්නේ පොදු බල්ලා ය. මේ පොදු බල්ලාට සිංහලයෙහි, අඩුම තරමෙන් කලකට පෙර සිංහල සම්ප්‍රදායෙහි, වචනයක් නො තිබිණි. එවැනි ව්‍යවහාරයක් සිංහලයෙහි නො තිබිණි. සිංහල භාෂාවෙහි පොදු බල්ලා වෙනුවට යොදා ගැණුනේ බල්ලෝ යන බහුවචන ස්වරූපය ය. එහෙත් වත්මන් සිංහලයෙහි නම් ඒ ගැන තැකීමක් නොකර පොදු මිනිසා හැඳින්වීමට මිනිසා යන්නත් පොදු බල්ලා හැඳින්වීමට බල්ලා යන්නත් යොදාගනු දැකිය හැකි ය.

අද ඉංගිරිසියෙහි කියැවෙන දි ඉවොල්‍යුෂන් ඔෆ් මෑන් (The evolution of man) යන්න ඇතැම් විට මිනිසාගේ විකාශය යනුවෙන් පරිවර්තනය කෙරෙයි. එය වැරදි ය. එසේ පරිවර්තනය කරන්නෝ සිංහල සම්ප්‍රදාය නොදත් අය වෙති. එය එක්තරා රුපවාහිනී නාලිකාවක නෙක්ස්ට් චේන්ජ් (next change) යන්න මීළඟ වෙනස ලෙස පරිවර්තනය කිරීමට සමාන ය. ඒ අදහස් නොව වචන පරිවර්තනය කිරීමකි. ඉවොල්‍යුෂන් ඔෆ් මෑන් යන්න එක්කෝ මිනිස් විකාශය ලෙස පරිවර්තනය කෙරිය යුතු ය. එසේත් නැත්නම් මිනිසුන්ගේ විකාශය ලෙස පරිවර්තනය කෙරිය යුතු ය. මෙහි ඇති මෑන් යන්න පොදු මිනිසා හෙවත් වියුක්ත මිනිසා යනුවෙන් ඉංගිරිසියෙහි යෙදෙයි. එවැනි වියුක්ත යෙදුමක් සිංහලයෙහි නැත. සිංහලයෙහි මිනිසා යන්න යෙදෙන්නේ වියුක්ත ඊනියා පොදු මිනිසකු සඳහා නොව දන්නා මිනිසකු සඳහා ය. අප මිනිහ අමාරුකාරයා යැයි කියන්නේ වියුක්ත පොදු මිනිසකු ගැන නොව දන්නා මිනිසකු ගැන ය. ඉංගිරිසියෙහි නම් ඒ යෙදෙන්නේ ද මෑන් (the man) ලෙස ය.

පැරණි සම්ප්‍රදායෙහි නැති නිසා ම අප නව සම්ප්‍රදායක් ඇතිකර ගැනීම වැරදි දැයි කිසිවකු අසනු ඇත. නව සම්ප්‍රදාය ඇති කර ගැනීමේ වරදක් නැත. එහෙත් සම්ප්‍රදායක් ඇති කර ගැනීම යනු අනුකරණය නොවන බව තේරුම් ගත යුතු ය. ඉංගිරිසි බසෙහි පොදු මිනිසකු ඇත්තේ ඉංගිරිසින්ගේ චින්තනයෙහි වියුක්ත බවක් ඇති නිසා ය. එහෙත් වියුක්ත චින්තනයක් නොවන සිංහල බෞද්ධ චින්තනයෙහි වියුක්ත පොදු මිනිසකු ගැන කතා කරන මිනිසා යනුවෙන් ව්‍යවහාරයක් තිබිය නො හැකි ය. අද මිනිසාගේ විකාශය ගැන කතා කිරීමේ දී මිනිසා යන්න පොදු වියුක්ත මිනිසා ලෙස සලකන සිංහලයෝ කෙතෙක් වෙත් ද?

සිංහලයන් වියුක්ත චින්තනය යම් ප්‍රමාණයකට ලබා ගැනීම වරදක් යැයි නො කියමි. බටහිරයන්ගේ දැනුම් ආධිපත්‍යය බිඳීමේ දී වියුක්ත චින්තනය ද අවශ්‍ය වෙයි. අපට අපේ ප්‍රවාද ඇතිකරගත හැක්කේ යම් ප්‍රමාණයකට වුව ද වියුක්ත චින්තනය යොදා ගැනීමෙනි. අද දවසේ අපේ දැනුමක් නිර්මාණය කිරීමේ දී අප අනුගමනය කළ යුතු ක්‍රම තුනක් වෙයි. එයින් ප්‍රධාන එක නම් ආධ්‍යාත්මික ගුණ වගාවක් ඇති කරගෙන සෘජුව ම හෝ වෙනත් උසස් ආධ්‍යාත්මික තත්වයන් ලබාගත් අයගෙන් වක්‍රව හෝ දැනුම ලබාගැනීම ය. දෙවැන්න අපේ සංස්කෘතියෙහි දැනුම නිර්මාණය කිරීම ය. තුන්වැනුවට ඇත්තේ බටහිර දැනුම අපේ සංස්කෘතියට අවශ්‍ය හා අදාළ පරිදි අවශෝෂණය කිරීම ය. දෙවැනි හා තුන්වැනි ක්‍රම සඳහා යම් ප්‍රමාණයකට වුව ද වියුක්ත චින්තනයක් අපේ චින්තනයට එකතුකර ගත යුතු ය.

වියුක්ත චින්තනයක් එකතු කර ගැනීම ම නව සම්ප්‍රදායක් බිහිකර ගැනීමකි. වැඩි වශයෙන් ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමේ මාවතකට අප එළඹන තුරු අපට දෙවැනි හා තුන්වැනි ක්‍රමවලට දැනුම ලබාගැනීම අවශ්‍ය වන බැවින් වත්මන් යුගයෙහි යම් වියුක්ත චින්තනයකට අප හුරු විය යුතු ය. එසේ හුරුවීමකින් පසුව නමි මිනිසාගේ විකාශය ගැන කතාකිරීම ප්‍රශ්නයක් නො වේ. එතෙක් අප සිංහල සම්ප්‍රදායට අනුව බහුවචනයෙන් මිනිසුන්ගේ විකාශය ගැන කතාකළ යුතු ය. කෙසේ වෙතත් ඉංගිරිසියෙහි ඇති මෑන් (man) ද මෑන් (the man) හා අ මෑන් (a man) වෙනුවට අපට සිංහලයෙහි ඇත්තේ මිනිසා හා මිනිසකු යන වචන පමණ ය. මෑන් යන්න යෙදීමට සිදුවන අවස්ථාවල දී, එනම් වියුක්ත මිනිසා ගැන සඳහන් කිරීමට අවශ්‍ය වූ විට අපි මිනිසුන්ගේ ආදී වශයෙන් බහුවචන ස්වරූපය යොදා ගනිමු.

නව සම්ප්‍රදායක් ඇති කර ගැනීම යනු අනුකරණය නොවන බව පැහැදිලි විය යුතු ය. සිංහල සම්ප්‍රදාය ගැන දැනුමක් නොමැතිව නව සම්ප්‍රදාය ඇතිකර ගැනීම යෑමෙන් බසටත් ජාතියටත් සිදුවන්නේ අවැඩකි. මෙහි දී කිවයුතු වැදගත් කරුණක් වෙයි. සිංහල සම්ප්‍රදාය හරිහැටි නොදැන හෝ ඒ පිළිබඳ තැකීමක් නොකර හෝ ඊනියා නව සම්ප්‍රදාය ඇතිකර ගැනීමට වළිකන්නෝ බටහිර දැනුම ලබාගත් උගත්තු වෙති. ඔවුහු සිංහල සම්ප්‍රදාය දැන හෝ නොදැන හෝ පැත්තකට දමා බටහිර දැනුම සිංහලෙන් ප්‍රකාශ කිරීමට උත්සාහ කරති. ඔවුන්ට සිංහල සම්ප්‍රදාය නිරුත්සාහයෙන් ලැබෙන්නක් නො වේ. සාමාන්‍ය ව්‍යවහාරයෙන් කිවහොත් ඔවුන්ගේ ඇඟේ සිංහල සම්ප්‍රදාය නැත. තිබුණත් ඔවුහු එය බුද්ධියෙන් මග හරිති.

එහෙත් බටහිර උසස් අධ්‍යාපනයක් නොලද ගැමියයෝ එසේ නො වෙති. ඔවුහු සිංහල සම්ප්‍රදායෙහි ජීවත් වෙති. ඔවුන්ට ඒ සම්ප්‍රදායෙහි හිඳිමින් නව සම්ප්‍රදායන් වුව ද බිහිකර ගත හැකි ය. ඔවුන්ට සිංහල සම්ප්‍රදාය බුද්ධියෙන් මගහැරීමට නො හැකි ය. එයට හේතුව ඔවුන්ගේ බුද්ධිය බටහිර අධ්‍යාපනයෙන් කුරුවළු නො
වීම ය. ඔවුන්ට මිනිසාගේ ගති පැවතුම් යනුවෙන් යෙදුමක් නැත. ඔවුහු එක්කෝ මිනිස් ගති පැවතුම් ගැන කතා කරති. නැත්නම් මිනිසුන්ගේ ගති පැවතුම් ගැන සඳහන් කරති. මිනිසාගේ විකාශය ගැන කතා කිරීම අප සිතනවාට වඩා හානිකර ය.

මිනිසුන්ගේ කුලකයෙහි හෝ මිනිස් කුලකයෙහි හෝ සාමාජිකයෝ මිනිස්සු වෙති. කලින් සඳහන් කරන ලද ආකාරයට මිනිසුන්ගේ පංචෙන්ද්‍රිය සමාන ය. එබැවින් ඊනියා වියුක්ත හෙවත් පොදු මිනිසකු නිර්මාණය කිරීම ද අපහසු නො වේ. මේ වියුක්ත මිනිසා නිර්මාණය කිරීමේ දී බටහිරයෝ බොහෝ දේ නොසලකා හරිති. මිනිස්සු සාමාන්‍යයෙන් උසින් අසමාන වෙති. එහෙත් වියුක්ත මිනිසාගේ උස බටහිරයන්ට ප්‍රශ්නයක් නො වේ. බර ගැන ද කිව හැක්කේ එවැන්නකි. ඊනියා වියුක්ත මිනිසා නිර්මාණය කිරීමේ දී බටහිරයෝ උස, බර, හමේ පාට කෙස්වල ස්වභාවය ආදිය නො සලකති.

වියුක්ත මිනිසා යනු මිනිසුන්ගේ පොදු ලක්‍ෂණ සහිත ව නිර්මාණය කෙරුණු මිනිසෙකි. බටහිර විද්‍යාවේ දී අධ්‍යයනය කෙරෙන්නේ මේ ඊනියා පොදු මිනිසා ගැන ය. බටහිර සත්ත්ව විද්‍යාවේ දී පොදු සතුන් ගැන කතා කෙරෙයි. එහෙත් පසුගිය දශක කිහිපයක සිට බටහිර ඇතැම් උගතුන්ට එසේ පොදු මිනිසුන් ගැන කතා කිරීම ප්‍රශ්නයක් වී ඇත. බටහිර සත්ත්ව විද්‍යාඥයන් තවමත් ඊනියා පොදු සත්ත්වයන් ගැන කතා කරතත් මිනිසුන් ගැන අධ්‍යයන කිරීමේ දී පොදු මිනිසකු ගැන කතාකිරීම ප්‍රශ්නයක් වී ඇත. පොදු මිනිසා යන සංකල්පය බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට ලැබී ඇත්තේ යුරෝපීය වැඩවසම් ක්‍රමයෙනි. එය යුදෙවුවන්ගේ වියුක්ත චින්තනය හා සමග සම්බන්ධිත ය.

එහෙත් බටහිර නූතනත්වය වර්ධනය වීමේ දී පෞද්ගලිකත්වය වඩ වඩා ඉස්මතු වෙයි. ඒ සමග එක් පැත්තකින් පොදු බවට වඩා විශේෂිත බව ඉස්මතු වෙයි. බටහිර සමාජයීය විද්‍යාවන්හි මෙය ප්‍රශ්නයක් බවට පත්වෙයි. පෞද්ගලිකත්වය ඉස්මතු කරන සමාජයක ඊනියා පොදු මිනිසකු, සාධාරණ මිනිසකු, වියුක්ත මිනිසකු යන්න ප්‍රශ්නයක් වෙයි. බටහිර ස්වාභාවික විද්‍යාවන්හි දී ද ඒ ප්‍රශ්නය මිනිස් නිරීක්‍ෂකයන් සම්බන්ධයෙන් වෙයි. බටහිර සමාජයීය විද්‍යාවන්හි දී අධ්‍යයනය කෙරෙණුයේ මිනිසුන් ම බැවින් එහි දී ප්‍රශ්නය වඩාත් බැරෑරුම් වෙයි.

සියලු නිරීක්‍ෂකයන් එක හා සමාන යැයි සැලකීම වැරදි ය. සම්භාව්‍ය බටහිර විද්‍යාවෙහි දී පොදු නිරීක්‍ෂකයෙක් වෙයි. කවුරුන් නිරීක්‍ෂණය කළත් එකම ප්‍රතිඵලයක් ලැබෙන්නේ යැයි කීමේ දී පොදු නිරීක්‍ෂකයකු ගැන මෙන් ම පොදු නිරීක්‍ෂ්‍යයක් ගැන ද කියැවෙයි. කවුරුන් කුමක් නිරීක්‍ෂණය කළත් නිරීක්‍ෂකයා මෙන් ම නිරීක්‍ෂ්‍යය ද වියුක්ත ලෙස සැලකෙයි. ගැලීලියෝ පීසා නුවර ඇළවෙන කුළුණෙන් ස්කන්ධ අසමාන යකඩ බෝල දෙකක් එක්විට එක් උසකින් අත්හැරියත් අද කවුරුන් හෝ උස ගසකට නැග ස්කන්ධ අසමාන පොල් ගෙඩි දෙකක් එක්විට
එක් උසකින් අත්හැරියත් එකම දෙයක් නිරීක්‍ෂණය කෙරෙයි. ඒ ඒ අවස්ථාවේ දී වස්තු (පොල් ගෙඩි හෝ යකඩ බෝල හෝ) එක්විට පොළොවට වැටෙයි.

මෙහි දී නිරීක්‍ෂකයා කවුරුන් ද යන්නවත් නිරීක්‍ෂණය කෙරෙන්නේ පොල් ගෙඩි ද යකඩ බෝල ද යන්නවත් ප්‍රශ්නයක් නො වේ. නිරීක්‍ෂකයා මෙන් ම නිරීක්‍ෂ්‍යය ද වියුක්ත වෙයි. ඒ සියල්ල වියුක්ත වී ඊනියා වාස්තවික කරුණක් බවට පත් වී නිරීක්‍ෂකයා සිටියත් නැතත් එක්විට එක් උසකින් අත්හැරෙන වස්තු එක්විට පොළොවට වැටෙයි යනුවෙන් අවසානයේ දී ප්‍රකාශ වෙයි. ජීව විද්‍යාව වැනි වෙනත් බටහිර විද්‍යාවන්හි ද එලෙස ම වියුක්ත ප්‍රතිඵල ලෙස ඒ ඒ දෑ ප්‍රකාශ වෙයි. බටහිර නූතනත්වය විකාශයවත් ම අඩුම තරමින් කිහිප දෙනකු අතර මේ වාස්තවිකත්වය ප්‍රශ්න කිරීම්වලට භාජනය විය.