History

Thursday, 13 December 2012

බහුසංස්කෘතිය, චින්තනය සහ අපි

පසුගිය දිනක තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් යුධ විජයග්‍රහණ සැමරුම් දිනය වෙනුවට ජාතික අනුස්මරණ දිනයක් ප්‍රකාශ කරන ලෙස රජයට බල කරන බව අපට දැන ගන්නට ලැබිනි. මෙයට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ දෙමළ ඩයස්පොරාවේ දෙවැනි පරම්පරාවේ සාමාජිකයන් ලංකාවට පැමිණ සංවරධන ව්‍යාපෘති වලට සහයෝගය දීමට බලපොරොත්තු වන බවත් යුධ විජයග්‍රහණ සැමරුම් නිසා ජාතීන් අතර හොඳ හිත පළුදු වෙන බවත්ය.

මන්ත්‍රීවරුන්ගේ මෙම ඉල්ලීමෙන් නැගෙන මූලික හා ද්විතීය ප්‍රශ්න කීපයක් ඇත. ශ්‍රී ලංකා රජය සටන්කලේ සාමාන්‍ය දෙමළ ජනයා සමගද? කුරිරු ත්‍රස්තවාදය පරාද කර ලැබූ නිදහස අද බුක්ති ව්ඳින්නේ සිංහලයන් පමණක්ද? සිංහල,දෙමළ, මුස්ලිම් ජනයා කුරිරු ලෙස ඝාතනය කල ත්‍රස්තවාදී කොටි සංවිධානය යුධමය වශයෙන් පරාජය කිරීමෙන් ලබාගත් නිදහස සැමරීමට එරෙහි වන හෝ එමගින් සිත රිදෙන යමෙක් ඇත්නම් ඉන් ඔහු හෝ ඇය ගැන කියැවෙන්නේ කුමක්ද? එය දෙමළ ජාතිවාදයට අනුබල දීමක් නොවේද? ත්‍රස්ත කොටි න්‍යාය අනුමත කිරීමක් නොවේද? මෙය තරුණ මන්ත්‍රීවරුන්ට නොතේරෙන්නේ ඇයි? විජයග්‍රහණ සැමරුම මගින් ජාතීන් අතර පරතරයක් ඇතිවේ යැයි ඔවුන් සිතන්නේ ඇයි?

මෙයට හේතු කීපයක් ඇති නමුත් ප්‍රධාන හේතුව වත්මන් අධ්‍යාපන ක්‍රමයයි.මෙම අධ්‍යාපන ක්‍රමය මගින් අප සිතන පතන ආකාරයෙහි යම් යම් වෙනස්කම් සිදුකර ඇත. ශ්‍රිලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතා විසින් මෑතකදී කරන ලද “මා දෙමළය, සිංහලය,මුස්ලිම් සහ බර්ගර්ය. මා බෞද්ධය, හින්දුය, මුස්ලිම් හා ක්‍රිස්තියානි භක්තිකයෙක්මි, නමුත් ඒ සැමටත් වඩා අද සහ සැමදා මා සාඩම්බර ශ්‍රිලාංකිකයෙක් වෙමි” යන ප්‍රකාශය බොහෝ දෙනාගේ පැසසුමට ලක්වූ ප්‍රකාශයකි. තරුණ තරුණියන් අතර මේ ප්‍රකාශය වඩාත් ප්‍රචලිතය. ඇත්තෙන්ම මතුපිට්න් ගත් කල එම ප්‍රකශෙයෙහි යම් ආකර්ෂණභාවයක් ඇත. දළ වශෙයෙන් එහි අදහස ලාංකීය අප සියලු දෙනා ජාති ආගම් අතහැර ශ්‍රිලාංකිකයන් මෙන් සිතිය යුතු බවකි.

දැන් ප්‍රශ්නය වන්නේ අප ජීවත් වන්නේ සිතන්නේ පතන්නේ රික්තයක් තුලද යන්නය. එනම් සංස්කෘතියකින් තොරව ජීවත් වන, සිතන යමෙක් ඇත්ද? සිංහල දෙමළ මුස්ලිම් නොවන මේ සාධාරණ (පොදු යන අර්ථයෙන්) ශ්‍රිලාංකිකයන් යනු කවුරුන්ද? එම ශ්‍රිලාංකිකයන් යනු බටහිර සංස්කෘතියට අනුකලිත, බටහිර අධ්‍යාපනයක් ලබන, බටහිරයන් අපට උගන්වා ඇති ර්‍ඊනියා බහුසංස්කෘතියක ජීවත්වන, බටහිරයන් මෙන් සිතන පතන ලාංකිකයන්ය.

අද පාසැල්, විශ්ව විද්‍යාලවල ඉගැන්වෙන්නේ, නොයෙකුත් මාධ්‍ය වලින් දකින්නට, අසන්නට ලැබෙන්නේ සියලු මනුෂ්‍යයන් සමානයැයි සහ අප එකා මෙන් සිතිය යුතු බවකි. නමුත් මේ "එකා" බටහිර එකා බව ඉගැන්වෙන්නේ නැත. අපේ ගුරුවරුන්, ආචාර්ය, මහාචාර්යවරුන් සහ අනෙකුත් උගත් යැයි සමාජ සම්මත පඬිවරුන් මේ මතය සමාජයට ගෙන යෑමට සැදී පැහැදී සිටියි. අප අපේ අනන්‍යතාවය රැකගැනීම පසුගාමී සමාජයක ලක්ෂණයක් බවත් ඊනියා දියුණු රටවල් මෙන් දියුණුවේ හිනිපෙත්තට ලඟාවීමට එය බාධාවක් බවත් මෙම පඩිවරුන් අපට කියා දෙයි. දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙ සියලු කතන්දර වලින් කියන්නේ අප සියලුදෙනා බටහිර සංස්කෘතියේ ජීවත්වියයුතු බවය, බටහිරයන් මෙන් සිතිය යුතු බවය. එය ප්‍රගම්‍ය සමාජයක ලක්ෂණයක් බවත් ඔවුන් පවසයි. ඔවුන්ට අනුව එය එසේ වුවහොත් අප බටහිරයන්ගේ ප්‍රසාදයට ලක්වී අපේ දියුණුවට ඔවුන්ගේ මහඟු උපකාරද ලැබේ. යම් හෙයිකින් එසේ නොවුව හොත් අප බටහිරයන්ගේ උදහසට ලක් වී නන්නත්තාර වනු ඇති බවත් ඔවුන් පවසයි.

බටහිරයන් කියන පරිදි අප සියලු දෙනා සමානද? ජෛවීය වශයෙන් මනුෂ්‍යයන්ගේ සමානකම් ඇති නමුත් (ජෛවීය වශයෙන් වුවද මනුෂ්‍යයන් අතර යම් වෙනස්කම් ඇත ) අප මෙලෙවට බිහිවූ දා පටන් හැදෙන්නේ වැඩෙන්නේ යම් සංස්කෘතියකය. එම සංස්කෘතිය හා බැඳුණු චින්තනයක් වෙයි. යම් සංස්‌කෘතියක මිනිසුන් විසින් නිර්මාණය කෙරී ඇති විද්‍යාව, කලාව, ගෙවල් දොරවල්, ඇඳුම් පැළඳුම්, කෑම බීම, වෙදකම, ඉංජිනේරු ශිල්පය, ලිංගිකත්වය ආදී සියල්ල බැඳ තබන හුයක්‌ වේ නම්, ඒ චින්තනය වෙයි (චින්තනය පිළිබඳ මේ නිර්වචනය මහාචාර්ය නලින් ද සිල්වාගේ නිර්මාණයකි).මෙම චින්තනය එම සංස්කෘතියට අනන්‍යතාවයක් ලබාදේ.

බටහිර දැනුමේ සහ දේශපාලන-සංස්කෘතික ආධිපත්‍යයේ බලයෙන් ඔවුන්ගේ සංකල්ප අප රටවල් වලට හඳුන්වා දෙයි. බහුසංස්කෘත සංකල්පයද එවැනි බටහිර ඇතිවුනු සංකල්පයකි, එය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ නිෂ්පාදනයකි. රටක ජීවත්වන සියලු ජාතීන්ට, සංස්කෘතීන්ට සමතැන් ලැබිය යුතු බව ඉන් කියැවෙයි. තවද එම ජාතීන්ට තම සංස්කෘති පවත්වාගෙන යාමට අවශ්‍ය මානව හිමිකම් ලබාදිය යුතු බවත් ඉන් කියැවෙයි. මෙම සංකල්පය මගින් අපව සර්ව අනාගමික මානවීය සමාජයක් කරා ගෙන යන බවක්ද හැඟවේ. එය ලොවට හදුන්වාදෙන්නේ සංස්කෘතියෙන් ස්වායත්ය වූ සියලු මනුෂ්‍යයන්ට පොදුවූ සංකල්පයක් ලෙසය.

පෙර කී පරිදි සංකල්ප බිහිවන්නේ රික්තක තුල නොවේය. එම නිසා යම් සංස්කෘතියක නිර්මාණය වූ සංකල්පයකට එය නිර්මාණය වූ සංස්කෘතියෙන් ගැලවීමට නොහැකිය. බහුසංස්කෘත සංකල්පය බටහිර රටවල් වල ක්‍රියත්මක වූවත් එහි පදනම ඇත්තේ බටහිර චින්තනයේය. අනෙක් සංස්කෘති බටහිර සංස්කෘතියට අවශෝෂණය වීමක් එහිදී සිදුවේ. එමගින් සියලු සංස්කෘතින් හට සම තත්වයක් ලැබේය යන මායාව ඇතිවේ. නමුත් සිදුවන්නේ එම සංස්කෘති වල අනන්‍යතාව නැති වී බටහිර සංස්කෘතිය තුල නාමික සංස්කෘතීන් බවට පත්වීමය. මහා සංස්කෘතිය වන බටහිර සංස්කෘතියට මෙහිදී කිසිදු බලපෑමක් නැත. නමුත් බටහිර සංස්කෘතියට අනෙකුත් සංස්කෘතීන් හට බලපෑම් කිරීමේ හැකියාව ඇත. අද ඇමරිකාවේ ජනාධිපති පදවියට හෝ එන්ගලන්තයේ අගමැති පදවියට පත්වීමට ක්‍රිස්තියානි නොවන සංස්කෘතියක අයෙකුට හැකිද? එම රටවල ජීවත්වන මුස්ලිම්වරුන්ට,හින්දු භක්තිකයන්ට හෝ බෞද්ධයන්ට තමන්ට අවශ්‍යය තැන්වල පල්ලි, කෝවිල් පන්සල් ඉදිකිරීමට හැකිද? ඔවුන්ගේ සංස්කෘති බොහෝ විට ප්‍රජා ශාලාවලට හා ඊනියා අන්තර්ජාතික දින සැමරුම් වලට පමණක් සීමා වී ඇත.

බහුසංස්කෘත සංකල්පය බටහිර නොවන රටවල් වලට හදුන්වාදුන් විට සිදුවන්නේ කුමක්ද? මෙහිදී ඒ රටවල් වල ඇති මහා සංස්කෘතියට හිමි තැන අහිමිවී අනෙක් සංස්කෘතීන්ද සමග සමතැන් වී බටහිර සංස්කෘතියෙහිම කොටසක් බවට පත්වේ. බටහිර රටවල් වල මෙන් අනෙකුත් සංස්කෘතීන් මහා සංස්කෘතියට අවශෝෂණය වීමක් මෙහිදී සිදුනොවෙයි. මහා සංස්කෘතියද අනෙකුත් සංස්කෘතීන් සමග බටහිර සංස්කෘතියට අවශෝෂණය වීමක් එහිදී සිදුවේ. මෙහිදි ක්‍රියා දෙකක් සිදුවේ. පළමුව, බටහිර නොවන රටවල් වල ඇති මහා සංස්කෘතියට හිමි තැන අහිමිවී එමගින් ඔවුන්ටම ආවේණික වූ චින්තනයක් ඇත්නම් එයද ක්‍රමයෙන් අභාවය කරා ‍යැවෙයි.දෙවැනුව බටහිර නොවන රටවල් වල ජනයා බටහිර සංස්කෘතියට අවශෝෂණය වීම හෙවත් බටහිරකරණය වීමක් සිදුවේ. මේ බටහිරකරණය පහසුකිරීම රටේ අධ්‍යාපන ක්‍රමය මගින් සහ නොයෙකුත් මාධ්‍ය හරහා සිදුවේ. පාසැල්, විශ්ව විදයාල සහ නොයෙකුත් මාධය මගින් බටහිර සංකල්ප බෙදාහැරීමේ ` නියෝජිතයන්' බිහිකිරීම සිදුකරයි. මේ නියෝජිතයින් බොහෝ විට තමන්ගේ සංස්කෘතියට එරෙහිව ක්‍රියාකරයි.

මිහිඳු මහ රහතන් ලක්දිව වැඩි දා සිට බටහිර අධිරාජ්‍යවදීන්ගේ පැමිනීම දක්වා මෙරට තිබූ සංස්කෘතිය සිංහල බෞද්ධ විය.එහි වෙනත් ගෝත්‍රික, භාර්තීය සංස්කෘතික ලකෂණද තිබෙන්නට ඇත. නිවන වටා ගෙතුනු, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම මත පදනම් වූ පටිච්ඡ්සමුප්පන්න චින්තනයක් එහි විය. එම චින්තනයේ වැඩුනු ජීවන රටාවක්, ගොවිතැනක්, වෙදකමක්, ශිල්ප ශාස්ත්‍ර සහ කලාවක් අපසතු විය. පිරිවෙන් අධ්‍යාපන ක්‍රමයෙන් පෝෂණය වූ බෞද්ධ භික්ෂුන් දැයේ ගුරුවරු මෙන්ම දැයේ මුර දේවතාවන්ද විය. එදා භික්ෂුවගේ වගකීම අද මෙන් අවමගුලකට, දානයකට, බණකට වැඩම කිරීමට පමණක් සීමා නොවිනි. උපතේ සිට විපත දක්වා හෙළයාගේ සෑම කටයුක්තකදීම භික්ෂුවගේ මග පෙන්වීම සිදුවිනි. අතීතයේ පටන් ලක්දිව ජීවත් වූ හින්දු, ඉස්ලාම් භක්තිකයන්ද සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය විනි. ඔවුන්ගේ ජීවන ක්‍රමය පවත්වා ගෙන යෑමට අමුතුවෙන් බහුසංස්කෘති සංකල්ප නිර්මාණය කිරීමට අවශ්‍යය නොවිනි.

බටහිර ආධිපත්‍යය නිසා නිසා සිංහල බෞද්ධ සංස්කෘතියට සැලකිය යුතු බලපෑමක් එල්ල වී ඇත. එයට හිමි විය යතු තැන අද අහිමි වෙමින් පවතී. ඒ නිසා අපේ චින්තනයද පසුබෑමකට ලක් වී ඇත. අද ඇත්තේ අනුකාරක, කෘත්‍රිම වූ ආගන්තුක, පදම් නොවූ අච්චාරු චින්තනයකි.මේ චින්තනය තුල අපට නිර්මණය කරගත හැකි දැනුමක් නැත. ඒ වෙනුවට අපි බටහිර දැනුම පුනරුච්චාරණය කරමින්, එයට හුලං ගසමින් සිටිමු. අද අපි විශිෂ්ට අනුකාරකයන් වෙමු. ජාතියක් වශයෙන් අපට ඉදිරියට යාමට නොහැක්කේ මේ හේතුව නිසා මිස වෙනත් හේතුවක් නිසා නොවේය. නව මංමාවත් තැනූ පමණින්, අහස උසට ගොඩනැගිලි තැනූ පමණින් අප දියුණු ජාතියක් වන්නේ බටහිර නිර්ණායක වලට අනුවය. භෞතිකත්වයට සහ ඉන්ද්‍රිය පිනවීමට මූලිකත්වය දෙන මේ නිර්ණායක වලින් ලබාගන්නා ර්ර්‍නියා දියුණුවට වැඩි ආයුෂ නැත. අද වන විට බටහිර සංස්කෘතිය කඩා වැටෙමින් පවති. ඔවුන් පසු පස යන අපටද අත්වන්නේ ඒ ඉරණමය.

සියලු සංස්කෘතීන් ගේ සමානාත්මතාව ගැන බෙරිහන්දෙන සාකෝසිලා, පුටින්ලා අද ඔවුන්ගේ රටවල්වල මුස්ලිම් කාන්තාවන්ගේ සංස්කෘතික අංගයක් වන හිජාබය හා බර්කාව පැලඳීම තහනම් කිරීමට යයි. අපේ රණවිරුවන් දිවිහිමියෙන් සටන්කොට කුරිරු ත්‍රස්තයන් පරදා ලාංකික සැමට ලබදුන් නිදහස සැමරීම සමහරුන්ට අනුව ජාති භේද කිරීමකි. අප ජාතික චින්තනය ගැන කතා කිරීම ජාතිවාදය ඇවිස්සීමකි. ජාතික චින්තනය කන්නටදැයි අපෙන් අසයි. භෞතික දියුණුවෙන් මත් වී අන්ධ වී ඇති ඔවුනට අධ්‍යාත්මික දියුණුවක අවශ්‍යතාවය නොපෙනෙයි.

අප කෙතරම් හොඳින් බටහිර දැනුම ඉගෙනගත්තද බටහිරයන් ලෙස සිතීමට අපට නොහැකිය. එසේ වන්නේ අපේ නොහැකියාවක් නිසා හෝ බුද්ධිමය අඩුවක් නිසා නොව හුදෙක් චින්තන වල ඇති වෙනස හේතුවෙනි. සිංහල බෞද්ධ චින්තනය සංයුක්තව සිතීමට අනුබල දෙන අතර බටහිර චින්තනය වියුක්තව සිතීමට අනුබල දෙයි.අප බටහිර තාක්ෂණික ශිල්පය හා සම්බන්ධ දෑ කෙරෙහි යම් දක්ෂතාවන් දැක්වුවද බටහිර ගණිතය හෝ විද්‍යාවේ වියුක්ත ප්‍රවාද නිර්මාණ කිරීමට අපට නොහැක. බටහිර ගණිතය හා විද්‍යාව පදනම් වන සුසමාදර්ශ අපේ චින්තනයේ නිර්මාණය වීමට ඉඩකඩ ඉතා අඩුය. අප වැව් අමුණු දාගැබ්, වෙහෙර විහාර නිර්මාණයකළේ, වෙදකමේ ගොවිතැනේ කෙළ පැමිණියේ අපේම චින්තනයක සිටය. අද ගල් පිළිමයක් නෙලීමට හැකි ගල් වඩුවකු සොයගත නොහැක.ඒ සඳහා ඉන්දියවෙන් ශිල්පීන් ගෙන්වීමටත්, වැව් තැනීමට බටහිර ඉංජිනේරුවන් ගෙන්වීමටත් සිදුවී ඇත. එසේ වීමට හේතුව කුමක්ද?

අප බටහිර දැනුම ඉගෙනගත යුතුය, බටහිරයන්ගේ දෑ ගත යුතුය, නමුත් ඒ දෑ අපේ "කෝවක" දමා සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය කර ගත යුතුය.අපේ අනන්‍යතාවය රැකෙන්නේ එමගින්ය. දෙමළ-හින්දු සහ මුස්ලිම්-ඉස්ලාම් සංස්කෘති වල අනන්‍යයතාවයට වන හානියක් නැත. එම සංස්කෘති ඉන්දියාවේ සහ අරාබිකරයේ රටවල රැකී පවතී. නමුත් සිංහල බෞද්ධ සංස්කෘතිය, එය හා බැඳුනු අතුල්‍ය චින්තනය පවතින එකම රට මේ ලක්දිව පමණි. එය ආරක්ෂා කිරීම සිංහල බෞද්ධයන්ගේ වගකීමකි. අපි අපේ අනන්‍යතාව ගැන කතාකිරීමට කිසිවකුටත් බිය නොවෙමු. තවමත් ප්‍රමාද නැත, නමුත් කල යුතු දෑ බොහෝය, අවශ්‍ය වන්නේ දෑස් ඇර බැලීමය. බටහිර සංස්කෘතිය සමග පරිහානියට යනවාද නැතහොත් අපේම චින්තනක් තුලින් භෞතික හා ආධ්‍යත්මික දියුණුව වඩවා සියලු සංස්කෘතින්ගේ අනන්‍යතාවත් රැකගෙන ඉදිරියට යනවාද? පිළිතුර ඔබට භාරය.

අකිල වීරසේකර