History

Thursday, 13 December 2012

සුදු බැනියං-කලු කෝට් ආණ්ඩු ක්‍රමය

පාර්ලිමේන්තුවත් උසාවියත් මේ රටේ රාජ්‍ය බලය ක්‍රියා කරවන ප්‍රධාන ආයතන දෙක ලෙස හැඳින්වේ. මේ ආයතන අපට ලබා දුන්නේ ඉංග්‍රීසීන් බව අපි කවුරුත් දනිමු. 1815 දී ඔවුන් විසින් පැහැර ගන්නා තෙක් අවුරුදු දෙදහස් ගණනක් තිස්සේ මෙරට රාජ්‍ය බලය ක්‍රියාත්මක කිරීමට මෙවැනි ආයතනවල අවශ්‍යතාවක් නොතිබිනි. නමුත් 1948 දී ඔවුන් රට භාර දුන්නේ මේ ආයතන දෙක නොමැතිව ක්‍රියාත්මක කල නොහැකි රාජ්‍යයකි. අද හිටපු ජනාධිපතිනිය ඇතුළු බොහෝ බටහිර උගත්තු අපට උපදෙස් දෙන්නේ මේ බටහිර රාජ්‍ය ක්‍රමය ආරක්‍ෂා කරන ලෙසය. ඔවුන්ට රාජ්‍ය ක්‍රමය ආරක්‍ෂා කිරීමට මිස රජය ආරක්‍ෂා කිරීමට අවශ්‍යතාවක් නැත. අපි ඒ ක්‍රමය ආරක්‍ෂා කල යුත්තේ එය මිනිසා විසින් චිරාත් කාලයක් තිස්සේ අත්හදා බලා සොයා ගත් මානුෂිකම ආණ්ඩු ක්‍රමය නිසා යැයි ඔවුහු අපට කියා දෙති. මේ ඊනියා අත්හදා බැලීම කෙරී ඇත්තේ යුරෝපයේ මිස වෙන කොහේවත් නොවන බව අපි කවුරුත් දනිමු. එය සැම ජාතියකටම සරිලන ආණ්ඩු ක්‍රමය යැයි ඔවුන් කියන්නේ ඔවුන්ගේ උද්ච්ඡ බව නිසාය. ඒ කෙසේ වෙතත් අපට නම් මේ ක්‍රමයේ බැලූ බැල්මට පෙනෙන දුර්වල බවක් ඇත. එනම් සාමාන්‍ය මිනිසුන්ට මේ බලවත් ආයතන සමඟ සෘජුව ගනුදෙනු කිරීමට නොහැකි වීමය. ඔවුන්ට එය කල හැක්කේ ඔවුන්ගේ නියෝජිතයින් වන මන්ත්‍රීවරු හා නීතිඥවරු හරහාය. නියෝජිතවරුන් නොමැතිව ක්‍රියාත්මක කල නොහැකි ආණ්ඩු ක්‍රමයක් කෙතරම් මානුෂික විය හැකිද යන්න ප්‍රශ්ණයකි.

බොහෝවිට අපි වැරදි වැඩ නොකර සිටින්නේ පිං පව් හෝ යුතු අයුතු කම් ගැන සංස්කෘතියෙන් අපට කියා දී ඇති දැනුම නිසා මිස නීතිය හදාරා ඇති නිසා නෙවේ. නමුත් උසාවියේ තීරණ ගන්නා ආකාරය අපි පිං පව් හෝ යුතු අයුතු කම් අළලා තීරණ ගන්නා ආකාරයට වඩා සංකීර්ණය. ඒ සංකීර්ණ බවට එක හේතුවක් නම් එහි ගුරු කොට සකලන නීති ගෙතී ඇත්තේ ඊනියා වියුක්ත මිනිසකුගේ වියුක්ත ගැටළුවක් කේන්ද්‍ර කරගෙන මිස යම් අයෙකුගේ දන්නා ප්‍රශ්ණයට අදාලව නොවන නිසාය. මේ සංකීර්ණ බව හසුරුවා ගැනීමට අපට නීති විශේෂඥයින්ගේ සහය පැතීමට සිදුවේ. ඒ අනුව යුක්තිය ඉටුකර ගැනීමට යාමේදී අපේ අවශ්‍යයතාව සපුරාලන්නේ නීතිඥවරයාය. අධිකරණයය ඉදිරියේදී එතුමා අපේ නියෝජිතයාය. ඒ අතර මන්තී්‍රතුමා පාර්ලිමේන්තුවේ අපේ නියෝජිතයාය. මෙතුමා සුදු රෙද්දක් සහ බැනියමක් අඳින අතර අනිත් උතුමා කලු කබායක් අඳියි. ඔවුහු අප වෙනුවෙන්ද අප රට වෙනුවෙන්ද විවිධ තීන්දු තීරණ ගන්නා පාර්ලිමේන්තුව හා අධිකරණය ඉදිරියේ අපව නියෝජනය කරති. මේ නියෝජන ක්‍රමය සාමාන්‍ය වැසියන් රජයෙන් ඈත් කර තබන බව පැහැදිලිය. මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය උදෙසා යැයි කෙරෙන දෝශාභියෝග ගැටුමේදී සාමාන්‍ය ජනතාවට වඩා කළු කෝට් සහ සුදු බැනියං ඇඳගත් අය වැදගත් තැනක් ගන්නේ මේ ආණ්ඩු ක්‍රමයේ ඇති දුර්වල බව නිසාය.

මේ නියෝජිතයින් දෙදනාගේ මැදිහත් වීමෙන් තොරව එකම ආයතනයක් සමඟ පුද්ගලිකව ගනුදෙනු කිරීමෙන් මේ සියලු අවශ්‍යතා සපුරා ගන්නට හැකි ක්‍රමයක් වේ නම් එය මීට වඩා මානු’ෂික නොවේද?

සාමාන්‍ය මිනිසුන්ගේ දෛනික කටයුතු වලදී වැදගත්වන තීන්දු තීරණ පරිපාලණ හෝ අධිකරණ යැයි වෙන්කර ගැනීමට ඊට ආවේනිකවූ හේතු නැත. එසේ වෙන් කර අර්ථදක්වා ගත්තත් යම් නියත ප්‍රශ්ණයකදී පරිපාලණ හා අධිකරණ කටයුතු එකිනෙකින් සම්පූර්ණයෙන්ම ස්වායත්ත නොවේ. ඒ නිසා ඒ කටයුතු එකම ආයතනයකින් හෝ එක බලධාරියකු හරහා ඉටු කර ගැනීමට නොහැකි හේතුවක් තිබිය නොහැකිය. අවශ්‍ය වන්නේ ඔහුට හෝ එම ආයතනයට ඒ සඳහා බලයක් තිබීම පමණි. නමුත් අද පවතින ආණ්ඩු ක්‍රමයට අනුව එය කළ නොහැකිය. එයට ප්‍රධාන හේතුව මේ බටහිර ආණ්ඩු ක්‍රමය තුල රජ්‍ය බලය කේන්ද්‍රගත වී තිබීමය. රට පුරා විසිර සිටින සියලු වැසියන් සම්බන්ධයෙන් රජ්‍ය බලය ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගිකව අපහසු නිසා එහිදී පාර්ලිමේන්තුව උසාවිය වැනි ආයතන අතර රාජකාරි බෙදී ඇත. තවද කේන්ද්‍රගතවූ පරිපාලන ආයතන සමඟ පුද්ගලිකව ගනුදෙනු කිරීම ප්‍රායෝගික නොවන නිසා මහජන නියෝජිතයන් එනම් මන්ත්‍රීවරුන් පත්කෙරී ඇත. මේ ආකරයට ප්‍රශ්ණය කළමනාකරණය කරගෙන ඇතත්. පවතින ක්‍රමය මානුශික යැයි කිව නොහැකිය. මීට විකල්පයක් ඇත. ඒ රාජ්‍ය බලය විමධ්‍යගත කිරීමය.

රජ්‍ය බලය ගම් මට්ටමට විමධ්‍යගත කල විට එය ක්‍රියාත්මක කිරීම සඳහා උසාවියත් පාර්ලිමේන්තුවත් වෙනුවට ගමේ පිහිටි ගම්මුන් විසින් මෙහෙයවන තනි ආයතනයක් හෝ පුද්ගලයෙකු යොදා ගැනීමට අපහසුවක් නැත. එවිට ගමේ වැසියන්ට මහජන නියෝජිතයකුගෙන් තොරව ඒ ආයතනය සමඟ සෘජුවම ගනුදෙනු කිරීමට බාධාවක්ද ඇති නොවෙනු ඇත. ඒ නිසා ප’ක්‍ෂ දේශපාලනයද ගමට වැදගත් නොවනු ඇත. නීතිය ක්‍රියාත්මක කිරීමේදී එහි වියුක්තබව අඩුවී සංයුක්ත ස්වභාවයක් ගනු ඇත. එමඟින් නීති ක්‍රියාදාමය සරලවී සාමාන්‍ය වැසියෙකුට නීති විශේෂඥයෙකුගේ සහය නොමැතිව එම ආයතනය සමඟ ගනුදෙනු කිරීමට අවස්ථාවක් සැලසෙනු ඇත. වැදගත් වන්නේ ඒ ගමේ රාජ්‍ය බලය ඇති ආයතනය හෝ පුද්ගලයා සධාරණව සදාචාරාත්මකව කටයුතු කරන්නේද යන්නය. එකල නම් ගමේ පංසලේ හාමුදුරුවන් විසින් ඒ බවට වග බලාගන්නට ඇතැයි සිතිය හැකිය.

කේන්ද්‍ර ගතව සුදු බැනියං හා කලු කෝට් හරහා ක්‍රියාත්මක වන ආණ්ඩු ක්‍රමයට වඩා විමධ්‍යගතව ගම් මට්ටමින් සාමාන්‍ය මිනිසුන් සමඟ සෘජුව ගනුදෙනු කෙරෙන ආණ්ඩු ක්‍රමය සරලය, කාර්යක්‍ෂමය මානුෂිකය. 1815 දක්වා මෙරටේ ක්‍රියාත්මක වන්නට ඇත්තේ මීට සමාන ක්‍රමයක් යැයි සිතිය හැකිය. අද බලය විමධ්‍යගත කරනවා යැයි කියා කරන්නේ පවතින ක්‍රමය සතු පාර්ලිමේන්තු උසාවි වැනි ආයතන එසේම තබාගෙන ඒවා කුඩා ඒකක වලට කැඩීමය. නමුත් කෙතරම් කුඩා ඒකක වලට කැඩුවත් ඉන් සැබෑවටම බලය විමධ්‍යගත වීමක් සිදු නොවේ. කේන්ද්‍රීයකරණය බටහිර විදි ක්‍රමයයි. එය අපට සුදුසු නැත. අසාර්ථක වී ඇති ප්‍රාදේශීය සභා සහ පලාත් සභා එයට සාක්‍ෂි දරයි. නමුත් අප තවම සිටින්නේ පාර්ලිමේන්තු සහ උසාවි නැති කල හැකි තැනක නොවේ. අද අපට කළ හැක්කේ බටහිරුන් විසින් අප මත පටවා ඇති ආණ්ඩු ක්‍රමය අපි දකින මානුෂිකම ආණ්ඩු ක්‍රමය නොවන බවත් ඒනිසා එය ආරක්‍ෂා කිරීමට අප බැඳී නැති බවත් අවබෝධ කරගැනීමය.