History

Thursday, 13 December 2012

මනසේ රඟ

චෛතසික සංකල්ප ගැන සඳහන් කරද්දී ඒවා අපේ නොවූව ද යම් ප්‍රාණීන්ගේ සංයුක්ත සංකල්ප යැයි කීවෙමු. එය මුළුමනින් ම නිවැරදි යැයි කිව නො හැකි ය. පරසතු මල්, ඇපල් මල් ආදිය සම්බන්ධයෙන් එය එසේ වන නමුත් කකුල් පහේ සතුන් අදීන් සම්බන්ධයෙන් එය එසේ නොවනවා විය හැකි ය. ලොවෙහි, එනම් අද කියන ආකාරයට විශ්වයෙහි, කිසිම ප්‍රාණියකුට කකුල් පහේ සතකු ඉන්ද්‍රිය ගෝචර වී නොමැතිවා වන්නට හැකි ය. වෙනත් වචනවලින් කිවහොත් විශ්වයෙහි කිසිම ප්‍රාණියකු කකුල් පහේ සතකු දැක හෝ අතගා බලා හොා නැතිවා වන්නට හැකි ය. එලෙස කකුල් පහේ සතකු විශ්වයේ නොමැති වීම එයට හේතුව වන්නට හැකි ය. එහෙත් අපට කකුල් පහේ සතකු සිතෙන් මවාගැනීමට එය බාධාවක් නො වේ.

මෙයින් කියැවෙන්නේ විශ්වයෙහි කිසිම ප්‍රාණියකුට ඉන්ද්‍රිය ගෝචර නොවූ සංකල්පයක් වුව ද ඇතැම් විට අපට සිතෙන් මවාගත හැකි බව ය. වෙනත් වචනවලින් කියන්නේ නම් විශ්වයෙහි කිසිම ප්‍රාණියකුට ඉන්ද්‍රිය ගෝචර නොවූ සංකල්ප වුව ද අපට චෛතසික සංකල්ප විය හැකි බව ය. එහෙත් ඒ චෛතසික සංකල්ප අප සංයුක්තව දන්නා සංකල්ප, එනම් සංයුක්ත සංකල්ප ඇසුරෙන් ගොඩනගා ගන්නා සංකල්ප වෙයි. කකුල් පහේ නයකු වුව ද අපට සිතෙන් මවාගත හැකි ය. අපි කකුල් ඇති සතුන් ද, නයින් ද දැක ඇත්තෙමු. අප කළ යුත්තේ අපේ ඒ සංයුක්ත සංකල්ප යොදා ගනිමින් අපේ ඉන්ද්‍රියවලට කිසිදා ගෝචර නොවූ කකුල් පහේ නයා පිළිබඳ චෛතසික සංකල්පය ගොඩනගා ගැනීම ය.

මෙයින් පැහැදිලි වන්නේ විශ්වයෙහි නොපවතින වස්තුවක්, ජීවත් නොවන ප්‍රාණියකු වුව ද අපට සිතෙන් මබාගත හැකි බව ය. එනම් ඒ පිළිබඳ චෛතසික සංකල්පයක් ඇතිකර ගත හැකි බව ය. මෙහි දී වැරදි වටහා ගැනීම්වලට ඉඩ නොතබා කරුණක් කිව යුතු ය. විශ්වයෙහි නොපවතින වස්තු ගැන හා ජීවත් නොවන ප්‍රාණීන් ගැන කතා කරන්නේ පවතින වස්තු හෝ ජීවත්වන ප්‍රාණීන් හෝ වාස්තවික ව, නිරපේක්‍ෂව ඇති නිසා නොව අප සම්මුතියෙන් එවැනි වස්තු හා ප්‍රාණීන් ගැන කතාකරන බැවින් ය. වස්තුවක් පවතින්නේත් ප්‍රාණියකු ඇත්තේත් නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව නිරීක්‍ෂකයාගේ මනසෙහි මිස නිරපේක්‍ෂව වාස්තවිකව නො වේ. එපමණක් නොව ඇතැම් බෞද්ධයන් අටුවාවෙහි හෝ අහවල් භික්‍ෂූන් වහන්සේගේ පොත්වල ඇතැයි කියමින් කුමක් ප්‍රකාශ කළත් මනස ද නිරපේක්‍ෂව පවතින්නක් නො වේ.

එසේ පවතින්නේ යැයි දේශනා කරන භික්‍ෂූන් වහන්සේ මාර්ගඵල ලබා ඇතැයි කියනු මා අසා ඇත. එහෙත් රහතන් වහන්සේට වුවත් සංකල්පීය ලෝකය ගැන මෙනෙහි කරද්දී වැරදි සිදුවිය හැකි ය. බුදුන් වහන්සේ හා සැරියුත් මහ රහතන් වහන්සේ හැරුණු විට අනෙක් රහතන් වහනසේට සංකල්පීය ලෝකය ගැන මෙනෙහි කරද්දී වැරදි සිදුවිය හැකි බවට හොඳම සාක්‍ෂිය මුගලන් මහරහතන් වහනසේ ය. උන්වහන්සේ විශ්වයේ කෙළවර දකින්නට වෑයම් කළේ සෘද්ධියෙන් අගතැන්පත් වුව ද ලෞකික ප්‍රඥාවෙන් අගතැන්පත් නොවූ බව ප්‍රදර්ශනය කරමිනි.

ඇතැමකු මෙහි දී මා බෞද්ධයකු ද ආදී වශයෙන් ප්‍රශ්න කරනු ඇත. සංකල්පීය ලෝකය පිළිබඳ මගේ දැනුම ගැන ප්‍රශ්න කරනු ඇත. එහෙත් මට තේරුම්යන බුදුදහමට අනුව මනස වුව ද වාස්තවික වශයෙන් නො පවතියි. මනස ද මනසට සාපේක්‍ෂ වෙයි. මනස ද පවතින්නේ සාපේක්‍ෂව ය. එහෙත් එය සාපේක්‍ෂ වන්නේ මනසට ය. ප්‍රශ්නය ඇත්තේ එතැන ය. මනස පිළිබඳ ව මනසෙහි ඇතිවන සංකල්පය කිනම් වර්ගයට අයත් එකක් දැයි ඊළඟට ප්‍රශ්න කළ හැකි ය.

මෙය ඉතා වැදගත් ප්‍රශ්නයකි. අපි සංයුක්ත සංකල්ප, චෛතසික සංකල්ප හා වියුක්ත සංකල්ප යනුවෙන් සංකල්ප වර්ගීකරණයකට ලක් කළෙමු. ඇතැමුන් ඒ වර්ගීකරණය සමග එකඟ නොවනු ඇත. එය ප්‍රශ්නයක් නො වේ. අප සියළු දෙනා ලෝකය දකින්නේ එකම ආකාරයකට නො වේ. අප ලෝකය එකම ආකාරයකට දකින බව හෝ දැකිය යුතු බව හෝ කියන්නෝ බටහිර වි්‍යාඥයෝ ය. ඔවුහු ඊනියා වාස්තවික ලෝකයක් අප සියළු දෙනාම එකම ආකාරයෙන් දැකිය යුතු යැයි පවසති. එහෙත් ඒ එකම එක ආකාරය වෙනත් කිසිිවක් නොව ඔවුන් ලෝකය දකින, ඔවුන්ට සාපේක්‍ෂ වූ ආකාරය බව නොකීමට තරම් ඔවුහු ප්‍රවේසම් වෙති.

බුදුදහම වුව ද අප තේරුම් ගන්නේ එකිනෙකාට සාපේක්‍ෂව ය. එසේ නොවන්නට හීනයාන, මහායාන යනුවෙන් හෝ ථෙරවාද, සර්වස්ථවාද, සෞත්‍රන්තවාද, පුද්ගලවාද, විඥානවාද, මාධ්‍යමිකවාද ආදී වශයෙන් හෝ විවිධ ගුරුකුල තිබිය නො හැකි ය. එපමණක් නො වේ. ථෙරවාදීන් අතර වුව ද විවිධ මතවාද තිබිය හැකි ය. එසේ විවිධ මතවාද තිබූ පමණින් අප හැරෙන්නට අනෙක් අය අබෞද්ධ යැයි කීම ම සාපේක්‍ෂවාදී බුදදහමට විරුද්ධ ය. එවැනි ප්‍රකාශයක් ලෝකය වාස්තවික යැයි කියන ඊනියා පරම සත්‍යයක් ගැන විශ්වාස කරන යථාර්ථවාදයට නම් එකඟ ය.

කෙසේ වෙතත් මනස යන සංකල්පය කිනම් වර්ගයකට අයත් දැයි කීමේ දී අපට මනස දැනෙන්නේ කෙසේ ද යන්න තේරුම් ගැනීම අවශ්‍ය වෙයි. පොල් මලක් අපට දැනෙන්නේ ඉන්ද්‍රිය කිහිපයක මාර්ගයෙනි. අප පොල් මල දකින්නේ ඇසෙන් හා මනසෙනි. ංප එය ස්පර්ශ කරන්නේ අතින් හා මනසෙනි. ඕනෑම වස්තුවක් ඉන්ද්‍රිය ගෝචර වන්නේ අපේ යම් ඉන්ද්‍රියකට හෝ ඉන්ද්‍රිය කිහිපයකට හෝ සාපේක්‍ෂව ය. එහෙත් ඒ කිසිම අවස්ථාවක මනස නොමැතිව අපට කිසිවක් ග්‍රහණය කරගත නො වේ. ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි මනස සමග බැඳී ඇත.

බුදුදහමට අනුව මනස ද ඉන්ද්‍රියයක් වෙයි. මනස නම් ඉන්ද්‍රිය නොමැතිව අපට කිසිවක් සාමාන්‍යයෙන් කියන ආකාරයට ඉන්ද්‍රිය ගෝචර නො වේ. වෙනත් ඉන්ද්‍රියකට මනස නොමැතිව ක්‍රියාත්මක වීමට නොහැකි වුවත් මනසට වෙනත් ඉන්ද්‍රියක් නොමැතිව ක්‍රියාත්මක විය හැකි ය. මනස අනෙක් ඉන්ද්‍රියයන්ගෙන් වෙනස්වන ප්‍රධාන කරුණක් වනුයේ එයයි. එය ද්‍රව්‍ය මූලික නො වේ. ඇස කණ ආදී අනෙක් ඉන්ද්‍රියයන් ද්‍රව්‍යයෙන් සෑදී ඇතත් මනස එසේ ද්‍රව්‍යයෙන් නිර්මාණය වී නැත.

ද්‍රව්‍ය බෙදිය හැකි ය. එකතු කළ හැකි ය. වතුර බින්දුවකට තවත් වතුර බින්දුවක් එකතු කළ හැකි ය. එසේත් නොමැති නම් ද්‍රව දෙකක් මිශ්‍ර කළ හැකි ය. එසේ මිශ්‍ර කිරීමෙන් අපට වෙනත් ද්‍රවයක්, මිශ්‍රණයක්, ලැබෙයි. බටහිර විද්‍යාවේ එවැනි දෑ භෞතික වෙනස්කම්, මිශ්‍රණ ලෙස හඳුන්වනු ලැබෙයි. අනෙක් අතට හයිඩ්‍රජන් හා ඔක්සිජන් රසායනික ව ක්‍රියාකිරීමෙන් ජලය ලැබෙයි. එවැනි වෙනස්කම් රසායනික සංයෝජනයක් ලෙස හැඳින්වෙයි. එසේ ම පරමාණුවක ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව හා ප්‍රෝටෝන සංඛ්‍යාව (බොහෝ විට න්‍යුට්‍රෝන ද සමගින්) වෙනස් කිරීමෙන් වෙනත් ම මූල ද්‍රව්‍ය ලැබෙයි.

එසේත් නැතහොත් ඉලෙක්ට්‍රෝනයක් හෝ ප්‍රෝටෝනයක් හෝ බිඳිය හැකි ය. ක්වාක්, තන්තු ආදී වශයෙන් බටහිර විද්‍යාඥයෝ මෙලෙස බෙදීමෙන් ලැබෙන නව ද්‍ර්‍රව්‍ය හඳුන්වති. තන්තුවල චලනය අනුව ඒවා ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන ආදී වශයෙන් විවිධ ස්වරූප ගන්නේ යැයි බටහිර විද්‍යාඥයෝ අපට කියා දෙති. ද්‍රව්‍ය බෙදීමට ද එකතු කිරීමට ද හැකි ය යනුවෙන් අපට මේ සියල්ල ප්‍රකාශ කළ හැකි ය.

එහෙත් මනස ගැන කි්ව හැක්කේ කුමක් ද? අභිධර්මයෙහි විවිධ චිත්ත ගැන ඉගැන්වෙයි. එහෙත් ඒ මනස බෙදීමක් නො වෙයි. මනස හෝ විඥානය හෝ පරමාර්ථ වශයෙන් ගත්කල නොමැති වුවත් අප සම්මුති වශයෙන් ගන්නා මනස හෝ විඥානය හෝ බෙදිය නො හැකි ය. අනෙක් අතට මනස් දෙකක් හෝ කිහිපයක් හෝ එකතුකර අළුත් මනසක් නිර්මාණය කළ හැකි නො වේ. මගේ මනසට වෙනත් අයකුගේ මනසක් එකතු කිරීමෙන් අළුත් මනසක් නිර්මාණය කරගත හැකි නො වේ.

මොළය යනු ද්‍රව්‍යයෙන් නිර්මිත වූ අවයවයකි. මනසේ ක්‍රියාකාරීත්වය මොළයේ ක්‍රියාකාරීත්වයට ඌනනය කිරීමට බටහිර විද්‍යාඥයෝ උත්සාහ කරති. මිනිසුන්ට යම් යම් දේ සිතෙන විට මොළයේ විවිධ ප්‍රදේශ ක්‍රියාත්ක වන බව බටහිර විද්‍යාඥයෝ පෙන්වා දෙති. එහෙත් එයින් කියැවෙන්නේ මොළයේ ඒ ඒ ප්‍රදේශ ක්‍රියාකාරි වීමෙන් මනස ඒ ඒ අයුරෙන් ක්‍රියාත්මක වන බව නො වේ. යමක් යමකට හේතුව බව පෙන්වීමට නිර්ණායක රැසක් අවශ්‍ය බව බටහිර විද්‍යාඥයෝ ම, විශේෂයෙන් ම බටහිර වෛද්‍යවරු ම කියති.

එහෙත් මොළය ක්‍රියාත්මක වීමෙන් මනස නම් ප්‍රපංචය ඇතිවන්නේ යැයි පෙන්වීමට ඒ නිර්ණායක සම්පූර්ණ වන බව පෙන්වා දීමට බටහිර වෛද්‍යවරුන්ට හැකි ද? හියුම් නම් සුප්‍රසිද්ධ බටහිර දාර්ශනිකයාට අනුව හේතුව යන්නෙන් දෙයක් නැත. ඒ කෙසේ වෙතත් මනස හා මොළය අතර වැඩිම වුවහොත් ඇත්තේ සහසම්බන්ධයක් පමණකි. ඉන් එහාට ගොස් මනස මොළයට ඌනනය කිරීමක් කළ නො හැකි ය.

මොළය නමැති අවයවය කොටස්වලට කැඩිය හැකි ය. එහෙත් මනස එසේ කොටස්වලට කැඩිය නො හැකි ය. මනසේ යම් චේතනාවකට හේතුවන්නේ යැයි කියන මොළයේ අදාළ කොටස අකී්‍රය වුවත් ඇතැම් අවස්ථාවල මනසේ අදාළ චේතනාව ඇතිවන බව බටහිර වෛද්‍ය විද්‍යාඥයෝ ම කියති. අනෙක් අතට කොටස්වල එකතුවක් වූ මොළය ඒ කොටස් ලෙස සමගාමී ව පවතියි. එහෙත් මනසේ අදාළ චිත්ත එක්වර නො පවතියි. චිත්ත පහළ වන්නේ වෙන් වෙන් වශයෙන් එකක් අනෙක පසුපස ය.

මේ සියල්ල මෙසේ තිබිය දී බටහිර වෛද්‍යවරුන් මනස මොළයට ඌනනය කිරීමට කැස කවන්නේ බටහිර විද්‍යාවේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය හේතුකොටගෙන ය. බටහිර විද්‍යාව පංචෙන්ද්‍රියයන්ට සීමා වූ දැනුම් පද්ධතියකි. බටහිර විද්‍යාවේ දී තේරුම් කෙරෙන්නේ ඉන්ද්‍රිය (එනම් පංචෙන්ද්‍රිය) ගෝචර සංසිද්ධි ය. ඉන්ද්‍රිය ගෝචර නොවන සංසිද්ධි (සංකල්ප) නොමැති යැයි බටහිර විද්‍යාවේ උපකල්පනය කෙරෙයි. එය උපකල්පනයක් මිස අන් කිසිවක් නො වේ. බටහිර විද්‍යාවේ ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප ප්‍රතික්‍ෂෙප කෙරෙන්නෙ මේ උපකල්පනය හේතුවෙන් මිස එය ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමයක් අනුව පෙන්වා දී ඇති නිසා නො වේ. මනස අපේ ඇසට නො පෙනෙයි. එය අපේ කණට නො ඇසෙයි. කෙටියෙන් කිවහොත් මනස පංචෙන්ද්‍රියයන්ගෙන් කිසිවකට ගෝචර නො වෙයි. පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවන මනස බටහිර විද්‍යාවට නැත.

එහෙත් බටහිර වි්‍යාඥයෝ පංචෙන්ද්‍රියයන්ට ගෝචරවන සංසිද්ධි තේරුම් ගැනීම සඳහා පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවන සංකල්ප යොදා ගනිති. එපමණක් නොව ඒ සංකල්ප වලින් පවතින දේ නියෝජනය වන්නේ යැයි ද සිතති. පොල් ගෙඩි වැටීම නමැති පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධිය තේරුම් ගැනීමට එසේ ඉන්ද්‍රිය ගොාචර නොවූ ගුරුත්වාකර්ෂ්ණය යොදාගන්නවා පමණක් නොව ගුරුත්වාකර්ෂණය පවතින්නේ යැයි ද විභ්වාස කරති. මෙයට වඩා කුහක කමක් තවත් තිබිය හැකි ද?

මේ සියල්ල කීමෙන් පසු මනස පිළිබඳ සංකල්පය වර්ග කරන්නෙ කෙසේ ද යන ප්‍රශ්නයට නැවත යමු. පැහැදිලිව ම මනස මනසට සාපේක්‍ෂ වෙයි. මනස මනසට ගෝචර වෙයි. එය සම්මුති අර්ථයෙන් පවතියි. මලක් හා මනස අතර ඇති වෙනස මනස අපේ පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වීම ය. එහෙත් මල මෙන් ම මනස ද මනසට ගෝචර වෙයි. මනස ද බුදුදහමට අනුව ඉන්ද්‍රියයකි. අපේ ප්‍රවාද නිර්මාණය කෙරෙන්නේ සිංහල බෞද්ධ චින්තනය පදනම් කරමිනි. මනසට ගෝචර වන මනස මලක් මෙන් ම සංයුක්ත සංකල්පයකි.