History

Sunday, 3 February 2013

සන්තතික ද අසන්තතික ද

මනසක් නැතැයි අප කියන්නේ වාස්තවික හා නිරපේක්‍ෂ අර්ථයකින් මිස සාපේක්‍ෂ අර්ථයකින් නො වේ. එය පුටුවක් නැතැයි කීමෙන් වෙනස් නො වේ. සාපේක්‍ෂ අර්ථයකින් පුටු ඇත. එහෙත් නිරපේක්‍ෂ අර්ථයකින් පුටු නැත. පුටුව යන්න අපේ මනසට, ඉන්ද්‍රිය පද්ධතියට හා සංස්කෘතියට සාපේක්‍ෂ ය. පුටුව යන්න අනෙක් ඉන්ද්‍රියයන්ගේ ද සහාය ඇතිව මනස විසින් නිර්මාණය කෙරී ඇති තවත් සංකල්පයක් පමණකි. එය සංකල්පීය ලෝකයට අයත් වූවකි. සංකල්පීය ලෝකය අනිත්‍යය, දුක්ඛය, අනාත්මය, ශූන්‍යය.

සංකල්පීය ලෝකය අපේ නිර්මාණයකි. අප එය නිර්මාණය කරන්නේ අවිද්‍යාව නිසා ය. අවිජ්ජා පචීචයා සංඛාරා යන්නෙන් කියැවෙන්නේ අවිද්‍යාව හේතුකොටගෙන සංස්කාර ඇතිවන බව ය. එනම් අවිිද්‍යාව හේතුවෙන් සංකල්පීය ලෝකය සංස්කරණය කෙරෙයි. අවිද්‍යාව යනු අන්කිසිවක් නොව සංකල්පීය ලෝකය අනිත්‍ය, දුක්ඛ,අනාත්ම, ශූන්‍ය බව නො දැනීම ය. මෙහි චක්‍රීය බවක් දැකිය හැකි නම් එය පුදුමයට කරුණක් නො වේ. අපට ඇත්තේ ඒක රේඛීය චින්තනයක් නොව චක්‍රීය චින්තනයකි.

චක්‍රීයත්වය පටිච්චසමුප්පදාය පුරාම දැකිය හැකි ය. නිවන් අවබෝධය යනු එක් අතෙකින් ගත්කල මේ චක්‍රීයත්වය නැති කිරීම ය. සංකල්පීය ලෝකය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, ශූන්‍ය බව අවබෝධ කිරීමත් සමග ඒ ලෝකය නිර්මාණය කිරීමේ අවශ්‍යතාව නැති වී යයි. ඉන් පසු පිරිනිවන් පානා තෙක් මනස සාපේක්‍ෂව ගනිමින් ජීවත් වෙයි. එහෙත් එසේ මනස සාපේක්‍ෂව ගන්නා තෙක් ලෝකය පිළිබඳ සාපේක්‍ෂ දැනුම වෙයි. ජීවත්වීම සඳහා ආහාර අවශ්‍ය බව නින්ද අවශ්‍ය බව එවැනි සාපේක්‍ෂ දැනුම් වෙයි.

පුටුව යන්නෙන් නිරපේක්‍ෂ වූ දෙයක් නොමැති බව කී විට එය පිළිගැනීම ප්‍රශ්නයක් කර නොගන්නා ඇතැමුන් මනසක් නැතැයි කී විට ප්‍රශ්න නගන්නේ කුමක් නිසා දැයි තේරුම් ගත නො හැකි ය. ඒ ඔවුන් විසින් මාර්ගඵල ලාභීන් ලෙස සැලකෙන්නන් මනසක් වාස්තවිකව ඇති බව තේරුම් යන ආකාරයෙන් ලියා ඇති නිසා විය හැකි ය. යම්කිසි අයකු මනස වාස්තවිකව පවතින්නේ යැයි පිළිගන්නේ නම් හෙතෙම මාර්ගඵල ලාභියකු විය හැක්කේ කෙසේ ද යන්න ප්‍රශ්නයකි.

වාස්තවික ව මනසක් ඇතැයි පිළිගන්නා අයකු මම යනුවෙන් කෙනකු ඇතැයි පිළිගැනීම වැළැක්විය නො හැකි ය. එවැන්නකු මාර්ගඵල ලාභියකු වන්නේ කෙසේ ද? අනෙක් අතට වාස්තවික ව මනසක් ඇතැයි පිළිගන්නා අයකුට ශාස්වතවාදියකු හෝ උච්ඡෙදවාදියකු හෝ නොවී සිටිය නො හැකි ය. ඊනියා වාස්තවික මනස නිවන් අවබෝධයත් සමග එක්කෝ දිගට ම පැවතිය යුතු ය. එනම් අදාළ පුද්ගලයා ශාස්වතවාදියෙක් වෙයි. එසේත් නැතහොත් ඊනියා වාස්තවික මනස නිවන් අවබෝධයත් සමග නැතිවෙයි. එවිට එය උච්ඡෙදවාදී අන්තය සමග එකඟ වෙයි.

බුදුන් වහන්සේගේ මධ්‍යම ප්‍රතිපදාවෙන් උච්ඡෙදවාදය මෙන් ම ශාස්තවාදය ද ඉවත් කෙරෙයි. මධ්‍යම ප්‍රතිපදාව යනු ශාස්වතවාදය හා උච්ඡෙදවාදය යන දෘෂ්ටි දෙකම එකට ගැනීම නොව ඒ දෙකම ඉවත්කිරීම ය. මෙය චතුස්කෝටිකයේ හතරවැනි අවස්ථාව ය. එහි දී කියැවෙන්නේ A ප්‍රස්තුතයක් නම් හා ~A යනු එහි නිෂේධය නම් A හා ~A යන ප්‍රස්තුත දෙකම අසත්‍ය බව ය. ප්‍රස්තුතය ශාස්වතවාදය සත්‍යයක් වේ ලෙස ගනිමු. එවිට ප්‍රස්තුතයෙහි නිෂේධය උච්ඡෙදවාදය සත්‍යයක් වේ ලෙස ගත හැකි ය. චතුස්කෝටිකයෙහි හතරවැනි අවස්ථාවට අනුව ශාස්තවාදය ද උච්ඡෙදවාදය ද යන දෙකම අසත්‍ය වෙයි.

මනස සන්තතික ද අසන්තිතක ද යන ප්‍රශ්නයට පිළිතුර කුමක් ද? සාමාන්‍යයෙන් අපි චිත්ත පේළි, චිත්ත වීථි, චිත්ත පරම්පරා ආදිය ගැන කතා කරමු. එමෙන් ම එක් චිත්තයක් පසුපස තවත් චිත්තයක් හඹා ඒම ගැන කියමු. මෙහි දී කියැවෙන්නේ චිත්ත දෙකක් අතර කාලාන්තරයක් නැති බව ය. එසේ ම එක් චිත්තයක් චිත්තක්‍ෂණයකට පමණක් පවතින බව ද අපි කියමු. මනස යනු චිත්ත පරම්පරාවක් නම්, මනසෙහි සන්තතික අසන්තතික බව ගැන ඉන් කිව හැක්කේ කුමක් ද? සන්තතික අසන්තතික සංකල්ප එහි දී වලංගු වේ ද?

එපමණක් නොව චිත්තයක් පසුපස වැළ නොකැඩී තවත් චිත්තයක් පහළවීම යන සංකල්පය ද කෙතරම් දුරට වලංගු ද? චුති චිත්තය අත්හැරිය විගස පටිසන්ධි චිත්තය පහළ වීම තේරුම් ගන්නේ කෙසේ ද? අන්තරාභවය පිළිබඳ සංකල්පය හා චිත්ත පහළවීම කූඩැල්ලා තම ගමනෙහි දී එක් කොණක් අත්හරින්නේ වෙනත් කොණක් අල්ලා ගෙන ය යන්න සමග සංසන්දනය කරන්නේ කෙසේ ද?

චිත්තයක් පසුපස තවත් චිත්තයක් කාලාන්තරයක් නැතිව පහළ වන්නේ ය යන්න සන්තතික පෙරහැරක් පිළිබඳ අදහස අපට ගෙන එයි. ඒ අතර එක් චිත්තයක් පිිළිබඳ අපේ සිත්වල ඇත්තේ කිනම් රූපයක් ද? ඒ චිත්තය චිත්තක්‍ෂණයක් පවතින්නේ සම්පුර්ණ චිත්තයක් ලෙස ද? එසේත් නැත්නම් විකාශයවන චිත්තයක් ලෙස ද? එයින් අදහස් කෙරෙන්නේ චිත්තයක් පහළ වූ පසු ඒ චිත්තය යම් ක්‍ෂණයක් පැවතී ක්‍ෂණයක අන්තරයක්වත් නොමැතිව තවත් චිත්තයක් පහළ වී ඒ චිත්තය ද ක්‍ෂණයක කාලයක් වෙනස් නොවී පවතින බව ද?

චිත්තයක් කිසිදු වෙනස්වීමකින් තොරව ‘ක්‍ෂණයක කාලයක් පැවතී ඉන් ඉක්බිති ක්‍ෂණයක කාලාන්තරයක්වත් නොමැතිව වෙනත් චිත්තයක් පහළවීමත් ඒ ක්‍රියාවලිය සංසාරය පුරාම චුති චිත්ත හා පටිසන්ධි චිත්ත ද ඇතුළත් ව ක්‍රියාත්මක වීම අසන්තතික ක්‍රියාවලියකි. එය පෙරහැරකි. පෙරහැරක දෙදෙනකු අතර ඉඩක් නොමැතිව මිනිසුන් යන්නේ යැයි සිතමු. එවිට අපට ඇත්තේ වෙනස් නොවන මිනිසුන් හා ඒ මිනිසුන් එකිනෙකා පසුපස යන ප්‍රවාහයකි. එය ද අසන්තතික ප්‍රවාහයකි.

අපි දැන් ගළන දිය පහරක් සළකමු.එය සන්තතික ද? එසේත් නැත්නම් අසන්තතික ද? යම් ද්‍රවයක් සෑදී ඇත්තේ ද්‍රව අංශුවලින් යැයි බටහිර තරල ගතිකයෙහි ඉගැන්වෙයි. එහෙත් මේ ද්‍රව අංශු එසේත් නැත්නම් තරල අංශු නිව්ටෝනීය අංශු මෙන් නො වේ. නිව්ටෝනීය අංශු දෘඪ ය. එහෙත් තරල ගතිකයෙහි සැලකෙන අංශු එලෙස නො වේ. එහි සන්තතික බවක් වෙයි. තරල අංශුවක් තවත් තරල අංශුවක් පසුපස ගිය ද අංශු කිහිපයක…… පරිමාව කාලයත් සමග වෙනස් විය හැකි ය. එනම් තරල අංශුවක ද පරිමාව කාලයත් සමග වෙනස් වෙයි.

එහෙත් නිව්ටෝනීය දෘඪ වස්තුවල අංශු එසේ නො වේ. ඒ අංශුවල හා එවැනි අංශුවලින් සමන්විත වස්තුවල පරිමාව වෙනස් නො වේ. මෙහි දී උෂ්ණත්වය වෙනස්වීමත් සමග පරිමාවේ ඇතිවන වෙනස්කම් සළකා නොබැලෙයි. කෙසේ වෙතත් තරලයක සාමාන්‍ය චලිතය සන්තතික වෙයි. තරලය, දිය පහර ගලක් වැනි වස්තුවක ගැටුණහොත් චලිතය යම් ආකාරයක අසන්තතික වෙනසකට භාජනය වෙයි.

නිව්ටෝනීය වස්තුවල ද චලිතය සාමාන්‍යයෙන් ගතහොත් සන්තතික යැයි කියැවෙයි. එය පෙරහැරක යන මිනිසුන්ගේ චලිතය වැන්නක් නොව තනි වස්තුවක් සම්බන්ධ චලිතයකි. තනි වස්තුවක් යම්කිසි සන්තතික බලයක් යටතෙහි යම් කාල පරාසයක චලනය වන්නේ සන්තතික ව ය. එහි පිහිටීම, ප්‍රවේගය, ත්වරණය සන්තතිකව වෙනස් වෙයි. පෙරහැරක අප විසින් සළකනු ලබන්නේ වස්තු සමූහයකි. එහි විවිධ වස්තු වෙයි. ඒ වස්තු මූලීක වශයෙන් මිනිස්සු වෙති.

තරලයක ද විවිධ වස්තු, එනම් විවිධ තරල අංශු වෙයි. එහෙත් නිව්ටෝනීය ගතිකයෙහි අප සාකච්ඡා කරන්නේ තනි අංශුවක එසේත් නැත්නම් තනි වස්තුවක චලිතය ය. සන්තතික බලයක් යටතෙහි මේ තනි අංශුව හෝ තනි වස්තුව හෝ සන්තතික චලිතයෙහි යෙදෙයි. එහෙත් බලය අසන්තතික වූ විට ඒ මොහොතෙහි, එනම් අසන්තතික බලය යෙදෙන මොහොතෙහි , අංශුවෙහි හෝ වස්තුවෙහි හෝ චලිතය අසන්තතික වෙයි.

එහි දී අංශුවෙහි හෝ වස්තුවෙහි හෝ පිහිටීම සන්තතික ව වෙනස් වෙයි. අංශුවට හෝ වස්තුවට හෝ අවකාශයෙහි අසන්තතික චලිතයක් නැත. එහෙත් අංශුවෙහි හෝ වස්තුවෙහි හෝ ප්‍රවේගය අසන්තතික ව වෙනස් වෙයි. අසන්තතික චලිතයක් සඳහා උදාහරණයක් නම් ආවේගී චලිතය ය. ආවේගී බලයක් යනුවෙන් හැඳින්වෙන බලයක් යෙදීමෙන් ආවේගී චලිතයක් ලැබෙයි. අංශු හෝ වස්තු හෝ ගැටීමෙහි දී ද අසන්තතික චලිත ඇති වෙයි.

සන්තතික අසන්තතික යන සංකල්ප මිනිසුන් විසින් ඇතිකරගෙන ඇත්තේ තම එදිනෙදා අත්දැකීම් විස්තර කිරීමට ය. පුුටු අතර දුරක් වෙයි. අඩුම තරමෙන් අප තනාගෙන ඇති පුටු අතර හිඩැස් වෙයි. අප තනාගෙන ඇති පුටු යන්නෙන් අදහස් කෙරෙන්නේ අප විසින් නිර්මාණය කෙරී ඇති පුටු පිලිබඳ සංකල්ප ය. පුටු අතර හිඩැස් ඇති බැවින්, එනම් අවකාශය ඇති බැවින් අපි පුටු අසන්තතික වස්තු යැයි සළකමු.

මිනිසුන් ද එලෙස ම අසන්තතික වස්තු ලෙස සැලකෙයි. එහෙත් යම් නිශ්චිත අවකාශයක වූ ද්‍රවයක් හෝ වායුවක් හෝ, එනම් සාධාරණ වශයෙන් තරලයක් සන්තතික වස්තු ලෙස සැලකෙයි. එහි අංශු අතර හිඩැස් ඇතැයි නොසැලකෙයි. හිඩැස් යන සංකල්පය එතරම් නිරවුල් නොවූවත් අපේ කාර්යය සඳහා ඒ ප්‍රමාණවත් වෙයි. එකිනෙකින් වෙන් වූ මේස දෙකක් අසන්තතික වස්තු ලෙස සැලකෙන නමුත් එකම දෘඪ මේසයක අංශු සන්තතික අංශු ලෙස සැලකෙයි. ගණිතයෙහි සන්තතික යන සංකල්පය වඩා නිරවුල් ව අර්ථදැක්වෙන බව මෙහි දී සඳහන් කරමු.

අප තාත්වික සංඛ්‍යා සැලකුවහොත් නිඛිල හෙවත් පූර්ණ සංඛ්‍යා අසන්තතික වෙයි. නිඛිල දෙකක් අතර තාත්වික සංඛ්‍යා අනන්තයක් ඇත. එපමණක් නොව ඕනෑම තාත්වික සංඛ්‍යා දෙකක් අතර වුව ද තවත් තාත්වික සංඛ්‍යා අනන්තයක් ඇත. ඒ කෙසේ වුවත් තාත්වික සංඛ්‍යාවලින් සමන්චිත වන තාත්වික රේඛාව සන්තතික යැයි සැලකෙයි. එහෙත් නිඛිල සන්තතික නො වෙයි. අවකාශය ද එලෙස ම සන්තතික ලෙස සැලකෙයි. එපමණක් නොව කාලය ද අවකාශ - කාලය ද සන්තතික ලෙස සැලකෙයි.

නිව්ටෝනීය ගතිකයෙහි සන්තතික යැයි සැලකෙන චලිතවල ඒ ඒ අංශුව හෝ වස්තුව හෝ ගන්නා අවකාශය හෝ ප්‍රවේගය හෝ පිලිබඳ අගය සන්තතික වෙයි. අංශුව හෝ වස්තුව හෝ අවකාශයෙහි එක් පිහිටුමක සිට තවත් පිහිටුමකට සන්තතිකව චලනය වෙයි. එසේ ම එහි ප්‍රවේගය ද වෙනස් වන්නේ සන්තතික ව ය. මෙහි දී කාලයෙහි සන්තතික බව ද වැදගත් වෙයි. යම් හෙයකින් කාලය සන්තතික නොවී නම් ඒ කිසිවක් වලංගු නොවීමට තිබිණි.

නිව්ටෝනීය ගතිකයෙහි අංශුවකට හෝ වස්තුවකට හෝ අවකාශය හෝ කාලය හෝ සම්බන්ධයෙන් කිසිවිටෙක අසන්තතික අගයන් නො ලැබෙයි. අසන්තතික චලිතයෙහි පවා එය එසේ ම වෙයි. එහෙත් ප්‍රවේගය සම්බන්ධයෙන් එය එසේ ම නො වේ. අසන්තතික චලිතයෙහි දී ප්‍රවේගය අසන්තතික අගයන් ගනියි. ආවේගී චලිතයෙහි එය විද්‍යමාන වෙයි. ආවේගී බලයක් යෙදීමට මොහොතකට පෙර අංශුවෙහි හෝ වස්තුවෙහි හෝ ප්‍රවේගය ආවේගී බලය යෙදීමෙන් මොහොතකට පසුව අංශුවෙහි හෝ වස්තුවෙහි හෝ ප්‍රවේගයෙන් අසන්තතික ව වෙනස් වෙයි.