History

Sunday, 3 February 2013

ව්‍යවස්ථාව රැකීම හා උල්ලංඝනය කිරීම

පසුගිය විසිවැනිදා බරක් ඔබාමා ඇමරිකාවේ ජනාධිපති ලෙස දෙවැනි වරට නිලවශයෙන් දිවුරුම් දුන්නේ ය. එදින ඉරිදාවක් වූ බැවින් ඔහු පසුදින ජනතාව වෙනුවෙන් උත්සවශ්‍රීයෙන් දිවුරුම් දුන්නේ ය. එයට දස ලක්‍ෂයකට ආසන්න ජනකායක් සහභාගි වී ඇත. ඒ අවස්ථා දෙකම සම්පුර්ණ වශයෙන් රූපවාහිනියෙන් බැලීමට මට අවස්ථාව ලැබිණි. ඔබාමා දිවුරුම් දුන්නේ ඇමරිකන් එක්සත් ජනපදයේ ව්‍යවස්ථාව රැකීමට ය. ඔහු අවස්ථා දෙකෙහිම බයිබලවල අත තබාගෙන දිවුරුම් දුන්නේ ය. ඇමරිකන් ව්‍යවස්ථාව රැකීමට දෙවියන් වහන්සේගෙන් උදවු ඉල්ලා සිටියේ ය. ඔහු දිවුරුම් දුන්නේ ඉංගිරිසියෙනි. කෙටියෙන් කිවහොත් ඔහු ඇමරිකන් ප්‍රජාතන්ත්‍රවාදය රැකීමට දිවුරුම් දුන්නේ ය. එම උත්සවය මුළුමනින් ම ඇංග්ලිකන් ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි සංස්කෘතියේ උත්සවයක් විය. ඉතා පැහැදිලිව ම ඔහු එකී සංස්කෘතියෙහි ප්‍රධාන ආරක්‍ෂකයා ය. අවුරුදු පන්සියයක පමණ ක්‍රිස්තියානි නූතනත්වයෙහි උපරිම ඵලය ඇමරිකාව ය. එහෙත් අද ඇමරිකාව යන එන මං නැතිව සිටින රටකි. ක්‍රිස්තියානි නූතනත්වයෙහි සංකල්පවලින් ලෝකය තේරුම් ගැනීමට නොහැකි බව අද බටහිර භෞතික විද්‍යාඥයන්ට ම වැටහෙමින් ඇත. ඒ පිළිබඳ අවිශ්වාසයක් ඇති මෙරට කසිකබල් විද්‍යාඥයන්ට ජනවාරි පස්වැනි දා නිව් සයන්ටිස්ට් සඟරාවේ පළ වූ ක්වොන්ටම් හෙවනැලි නම් ලිපිය කියවා තේරුම් ගැනීමට හැකිනම් තමන්ගේ මුග්ධභාවය වටහාගත හැකි වනු ඇත. එම සඟරාව ලිහිල් සඟරාවක් බැවින් ක්වොන්ටම් භෞතිකය ගැන එතරම් දැනුමක් නැති අයට පවා එය තේරුම් ගැනීමට හැකිවිය යුතු ය. කෙටියෙන් කියන්නේ නම් බටහිර ක්‍රිස්තියානි සංකල්පවලින් ක්වොන්ටම් භෞතිකය තේරුම් ගත නො හැකි ය. බටහිර විද්‍යාවේ අවසානය එළඹී ඇත. ලෝකය සන්තතික ද? අසන්තතික ද? මෙ ප්‍රශ්නයට පිළිතුරු තමන් මහා ප්‍රාඥයන් යැයි සිතා සිටින මෙරට කසිකබල් විද්‍යාඥයන්ට කිසි දිනෙක ඇරිස්ටෝටලීය න්‍යායෙන් ලබාගත නොහැකි වනු ඇත. එයට පිළිතුරු ඇත්තේ චතුස්කෝටිකයෙහි ය. (විදුසර ලිපි පෙළ කියවන්න) ඊනියා යථාර්ථයක් නැති බව තමන් ජාතිකවාදීන් යැයි කියන (නො)දත් දොස්තරලාට චතුස්කෝටිකය ඇසුරෙන් තේරුම් ගත හැකි විය යුතු නමුත් ලබා ඇති අධ්‍යාපනය හේතුවෙන් ඔවුන්ගේ ද මොළ සෝදා ඇති බැවින් ඔවුන්ට ද එය ප්‍රශ්නයක් වී ඇත. ඔබාමා ඇමරිකාවේ ජනාධිපති වූයේ ඔහු ක්‍රිස්තියානි සංස්කෘතියේ අයකු වීම නිසා ය. එසේ වීම අනිවාර්ය අවශ්‍යතාවකි. ඉස්ලාම් භක්තිකයකු වී නම් ඔහු ඇමරිකාවේ ජනාධිපති නොවනු ඇත.

ඔබාමාගේ දිවුරුම් දීමේ උත්සවය ස්පාඤ්ඤ භාෂාවෙන් නො පැවැත්විණි. අඩු තරමෙන් කථාවල සාරාංශයක්වත් ස්පාඤ්ඤ භාෂාවෙන් දෙනු නොලැබිණි. ඒ ස්පාඤ්ඤ භාෂාව කතාකරන විශාල පිරිසක් සිටින රටක ය. නිකමටවත් එය සර්වආගමික උළෙලක් නො වී ය. බෞද්ධයන් හා වෙනත් ආගමිකයන් විශාල සංඛ්‍යාවක් ඇමරිකාවේ සිටින නමුත් (බිල් ක්ලින්්ටන් ද බෞද්ධයකු වී ඇතැයි වාර්තා වෙයි) භික්‍ෂූන් වහන්සේ නමක හෝ ක්‍රිස්තියානි නොවන පූජකවරයකු හෝ එහි දැකගත නොහැකි විය. වාසුදේව නානායක්කාර මහතා වැනි ඡන්දයෙන් මන්ත්‍රීවරයකු වීමට නොහැකි ඇමතිවරයකු අපේ ජාතික ගිය ව්‍යවස්ථා විරෝධීව දෙමළෙන් ද ගැයීමට තම ඇමතිධුරය යොදාගනිමින් උත්සාහයක යෙදෙන නමුත් ඔබාමාගේ දිචුරුමෙී දී ඇමරිකන් ව්‍යවස්ථාවට අනුව ජාතික ගීය ගැයුණේ ඉංගිරිසියෙන් පමණකි. ඇමරිකාව බහු සංස්කෘතික රටක් යැයි කීවත් එය වචනවලට සීමාවී ඇත. ඇමරිකාවේ විවිධ සංස්කෘති ඇත.එහෙත් ඇංග්ලො සැක්සන් ක්‍රිස්තියානි සංස්කෘතිය එරට අධිපතිවාදී සංස්කෘතිය වෙයි. එහි ව්‍යවස්ථාව ද, අධ්‍යාපනය ද අධිකරණය ද ආදී සියල්ල ඇංග්ලො සැක්සන් ක්‍රිස්තියානි වෙයි. එහෙත් ප්‍රශ්නය එය නො වෙයි. ඇමරිකානුවෝ මුළු ලෝකය ම ක්‍රිස්තියානි සංස්කෘතියට යට කරති. අපේ ව්‍යවස්ථාව ද අධ්‍යාපනය ද නීතිය ද ක්‍රිස්තියානි වෙයි. අවාසනාවකට අපට රැකීමට සිදු වී ඇත්තේ ක්‍රිස්තියානි ව්‍යවස්ථාවකි. ඒ හේතුවෙන් අප ව්‍යවස්ථාව රකින්නේ දැයි සොයා බැලීමට ඔබාමාගේ නියෝජිතයන් මෙරටට පැමිණීමට නියමිත ය. ඔබාමා තම දිවුරුම් දීමේ දී තමන් ආසියාවේ හා අප්‍රිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීමට බැඳී සිටින බව කීවේ ය. ඒ අහවල් එකකට ද? අප ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය රකින්නේ කුමකට ද? ප්‍රජාතන්ත්‍රවාද තිබිය යුත්තේ එකක් පමණක් නො වේ. ඊනියා යථාර්ථවාදීන්ට නම් එය එසේ විය හැකි ය. අපට සිංහල බෞද්ධ සංස්කෘතිය අනුව එම සංස්කෘතියට විශේෂ තැනක් හිමිකරන ප්‍රජාතන්ත්‍රවාදයක් (මහාසම්මතවාදයක්) ඇතිකර ගැනීමට ඊනියා ලෝක ගම්මානයේ ගම්මුලාදෑනියා වූ ඔබාමා ඉඩක් නොදෙන්නේ අප මත බලෙන් පටවා ඇති බටහිර ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයේ බැඳීමෙන් අප තව තවත් සිරකිරීමට ය.

අප රටේ ව්‍යවස්ථාව බහුබූත ව්‍යවස්ථාවක් විය හැකි ය. එහෙත් විප්ලවයකින් හෝ ව්‍යවස්ථා සංශෝධනයකින් එය වෙනස්කරන තුරු අප එය රැකිය යුතු ය. ව්‍යවස්ථාව එහි සඳහන් ආකාරයට සංශේධනය කර ඇත්නම් එය ව්‍යවස්ථානුකූල ය. දහඅටවැනි ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථානුකූල ය. එයට ඒ ඒ අයගේ කැමැත්ත අකැමැත්ත වෙන ම කරුණකි. ව්‍යවස්ථානුකූලබව රඳා පවතින්නේ අපේ කැමැත්ත අකැමැත්ත උඩ නො වේ. එහෙත් බමුණෝ ඒ බව අවබෝධ කර නො ගනිති. ඔවුන්ට ද ඔවුන්ගේ ස්වාමීන් වූ බටහිරයන්ට ද ව්‍යවස්ථානුකූල වන්නේ ඔවුන් කැමති දේ ය. ඔවුන්ට අවශ්‍ය වූ දේ ය. ඔවුන්ට අවශ්‍ය වූ දේ රකින්නෝ ව්‍යවස්ථාව රකින්නෝ ය. ඔවුන් අකමැති එහෙත් ව්‍යවස්ථානුකූල දේ රකින්නෝ ඔවන්ට අනුව ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නෝ වෙති. ඒ බව ඉතා පැහැදිලිව පෙනී ගියේ හිටපු අගවිනිසුරුවරියට එරෙහිව ගෙන එන ලද දෝෂාභියෝගයෙහි දී ය. හිටපු අගවිනිසුරුවරිය ඉවත්කරනු ලැබුයේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාවට අනුව ය. මෙහි ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ආදී වචනවලට මගේ කැමැත්තක් නැත. ඒ වචනවල කිසිම තේරුමක් නැත. යහපාලනය, අධිකරණයේ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදය ආදිය මෙන් ම ඔබාමාගේ දිවුරුම් කතාව ද අලංකාරොක්ති පමණ ය.

හිටපු අගවිනිසුරුවරියට හා බමුණන්ට අනුව ඇය තවමත් අගවිනිසුරුවරිය වෙයි. සරත් ෆොන්සේකාට හා ඇතැම් බමුණන්ට අනුව ඔහු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළේ ය. එසේ සිතාගැනීම පිළිබඳ අපට සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් නැත. එහෙත් එය නීතියට හා ව්‍යවස්ථාවට එකඟ නො වේ. අපට එය ප්‍රශ්නයක් වනුයේ ඔවුන් එසේ සිතාගෙන ක්‍රියාකිරීමට ගියහොත් ය. එවිට නීතියේ හස්තය ක්‍රියාත්මක කරවීමට ව්‍යවස්ථාවෙන් අදාළ තනතුරුවලට පත්වූවන්ට සිදුවෙයි. ව්‍යවස්ථාව අනුව මොහාන් පීරිස් මහතා අද අගවිනිසුරු වෙයි. ඒ මහතා පිළිබඳ ඒ ඒ අයට කිනම් ප්‍රශ්න තිබුණත් ඒ පත්වීමේ නීත්‍යානුකූලභාවය පිළිබඳ ප්‍රශ්නයක් නැත. ඒ මහතා දිවුරුම් දෙන උත්සවය මාධ්‍යයට තහනම් කිරීම නොකළ යුතුව තිබුණකි. එයින් ආණ්ඩුවට සිදු වූ වාසියක් නැත. ආණ්ඩුවට අවශ්‍ය වූයේ එම උත්සවය නීතිඥ සංගමය විසින් වර්ජනය කරනු ලැබීම මහජනයාට වසං කිරීම ද? එහෙත් එය ඉටුනොවී ය. මෙරට මහජනයා සරත් ෆොන්සේකා ගැන අසා තිබුණත් ශිරාණි බණ්ඩාරනායක කෙනකු ගැන අසා තිබුණේ නැත. සරත් ෆොන්සේකා මානුෂික මෙහෙයුම් කාලයෙහි හමුදාපති විය. පොදු ජනයා සියළු හමුදාපතිවරුන් ගැන නොදැන සිටියත් සරත් ෆොන්සේකා ගැන දැන සිටියෝ ය. ඔවුන් කිසිම අගවිනිසුරුවරයකු ගැන ඒ ආකාරයෙන් දන්නේ යැයි නො සිතමු. මොහාන් පීරිස් මහතා ගැන නොදන්නා සංඛ්‍යාව අති විශාල විය යුතු ය. සරත් ෆොන්සේකාට එදා හෝ අද හෝ ජන පදනමක් නැත. ඔහු දේශපාලන කරලියේ චරිතයක් බවට පත්කරනු ලැබුයේ ජනමාධ්‍ය විසිනි. එහෙත් ජනමාධ්‍යවලට එතරම් දෙයක් කිරීමට නොහැකි බව අපි පනස්හයේ සිට ම දන්නෙමු. පනස් හයේ ජනමාධ්‍යයේ යෝධයා වූ ලේක්හවුසියට බණ්ඩාරනායක මහතා පැරදවිය නො හැකි විය. ජනමාධ්‍යයට විශාල බලයක් ඇතැයි මවා පෑවද එහි කාර්යභාරය ඉතා සීමිත ය. ශිරාණි බණ්ඩාරනායක මහත්මියට සරත් ෆොන්සේකාට තරම්වත් ජනපදනමක් නැත. එහෙත් ඇගේ දේශපාලන හැසිරීම ඉතා ඉහළින් වාර්තා කළ ජනමාධ්‍ය විසින් ඇය දේශපාලන චරිතයක් බවට පත්කරන ලදී. එහෙත් එය බැලුමක් උඩඇරීමකට වැඩි දෙයක් නො වීය. බමුණන් හා එකතු වූ ජනමාධ්‍ය විසින් ඇය අරභයා ජනමාධ්‍ය සන්දර්ශනයක් නිර්මාණය කරන ලදී. බමුණෝ එයින් ස්වයංමෝහනයට පත්වූහ. එහෙත් අද වන විට ඇය ජනමාධ්‍යයට ද අමතක වීමට පටන්ගෙන ඇත. මොහාන් පීරිස් මහතාගේ දිවුරුම් උත්සවය ජනමාධ්‍යයට විවෘත කළේ නම් බමුණන්ට තමන් ඒ උත්සවය වර්ජනය කළ බව ජනමාධ්‍යයෙන් කියවා තෘප්තියකට පත්වීමට ඉඩ තිබිණි. සතියකින් එය අවසන් විය යුතුව තිබිණි. එහෙත් ජනමාධ්‍ය වාරණය හේතුවෙන් සති දෙකකට පමණ බමුණන්ට ජනමාධ්‍ය නිදහස ගැන කතාකිරීමේ අවස්ථාව උදාවිණි. ආණ්ඩුව මාධ්‍ය සන්දර්ශනවලට බිය විය යුතු නො වේ. මාධ්‍ය සන්දර්ශන අවශ්‍ය වන්නේ ජනපදනමක් නැති දේශපාලනඥයන්ට ය.

කෙසේ වෙතත් ව්‍යවස්ථාව උල්ලංඝනය කළෝ හිටපු අගවිනිසුරුවරිය අභියාචනාධිකරණයේ විනිසුරුවරු තිදෙනා හා ශ්‍රෙෂ්ඨාධිකරණයේ විනිසුරුවරු තිදෙනා හා විප’ක්‍ෂයේ ඇතැම් මන්ත්‍රීවරු වෙති. ඔබාමාගේ නියෝජිතයන්ට අප ඒ බව පැවසිය යුත්තේ ඔහුට කරන ගෞරවයක් ලෙස නොව ඇත්ත දැනගැනීමට සැලැස්වීමට ය. මා කලින් සඳහන්කර ඇති ආකාරයට අභියාචනාධිකරණයට පාර්ලිමේන්තු තෝරාගත් කමිටුවට රිට් ආඥා පැනවීමට අධිකරණ බලතල නොමැත. විනිසුරුවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගැනීමේ බලතල ඇත්තේ 107 (2) ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවට හා ජනාධිපතිවරයාට පමණ ය. තෝරාගත් කමිටුව එහි දී 107 (3) ව්‍යවස්ථාව යටතේ නීත්‍යානුකූලව යොදාගන්නා උපකරණයක් පමණකි. එයට තීන්දුවක් දීමට නොහැකි ය. එයට කළ හැක්කේ අදාළ චෝදනා සාධනය වී ඇත් ද නැත් ද යන්න පාර්ලිමේන්තුවට වාර්තා කිරීම පමණ ය. එය තීන්දුවක් නොවේ. තීන්දුව දෙන්නේ ජනාධිපතිවරයා ය. තෝරාගත් කමිටුවේ වාර්තාව බල රහිත කිරීමට අභියාචනාධිකරණයට 139 හෝ 140 හෝ යටතේ නො හැකි ය. තීන්දුවක් නොවූ වාර්තාවක් බලරහිත කළේ කිනම් ව්‍යවස්ථාවකට එකඟව ද? ශ්‍රෙෂ්ඨාධිකරණයේ විනිසුරුවෝ ද 107 (3) ව්‍යවස්ථාව සංශෝධනය කරමින් පාර්ලිමේන්තු බලතල අතට ගනිමින් ව්‍යවස්ථාව උල්ලංඝණය කලහ. ආණ්ඩුව මුළුමනින් ම ව්‍යවස්ථාව රැකගනිමින් ක්‍රියා කළේ ය. එහෙත් මාධ්‍ය සන්දර්ශනයේ දී බමුණෝ ආණ්ඩුව ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බවත් විනිසුරුවන් ව්‍යවස්ථාව රැකි බවත් කීහ. ව්‍යවස්ථාව සැබවින්ම උල්ලංඝනය කළවුන්ට දඬුවම් දිය යුතු ද?