මේ ලිපි පෙළ අවසන් කළ යුතුව ඇත. එහෙත් සාකච්ඡා කළ යුතු සියල්ල සඳහන් වී නැත. අද මිනිසුන් රුපියල් ශත හඹා යන බව කියැවෙයි. එහෙත් එසේ වන්නේ අද සියල්ල ම පාහේ මිලට ගැනීමට සිදු වී ඇති නිසාත්, මිනිසුන්ගේ පංචෙන්ද්‍රිය පිනවීම ඉතා අධික වී ඇති නිසාත් ය. පංචෙන්ද්‍රිය පිනවීමට ද මුදල් අවශ්‍ය වෙයි. ඇතැම් විට ඒ සඳහා චණ්ඩිකම ද යොදා ගැනෙයි. ඒ අතර මිනිසුන්ගේ අනෙකා පරයා ඉහළට යෑමට ඇති අවශ්‍යතාව ද වෙයි. ඉහළ යෑම නිසා බොහෝ විට අනෙක් අයට නොමැති වරප්‍රසාද බලතල ආදිය හිමිවෙයි. එහෙත් සමහරු එයින් මානසික උත්තේජකයක් ද ලබති. නිස්සරණාධ්‍යාෂයෙන් කටයුතු කරන්නේ යැයි කියන අය ද බොහෝ විට තම ක්‍රියාකාරකම්වලින් මානසික ප්‍රබෝධයක් ලබති. සමාජයේ වැදගත්කම් පොරකම් ආදිය හේතුවෙන් යම් බලයක් දරන්නෝ ද වෙති. අධ්‍යාපනය ප්‍රධාන වශයෙන් ම ඒ ඒ පුද්ගලයා සමාජ හිණිමගේ ඉහළට යැවීමට යොදා ගැනෙයි. කෙසේ වෙතත් ඒ සියල්ල පිටුපස ඇත්තේ සාමූහිකත්වය පසුපසට දමා පෞද්ගලිකත්වය ඉස්මතු කිරීම ය. ප්‍රශ්නය රුපියල් ශත නොව පෞද්ගලිකත්වය ඉදිරියට ගැනීම ය. රුපියල් ශත එහි දී ආධාරකයක් ලෙස පමණක් ක්‍රියා කරයි. මෙරට සිංහල බෞද්ධ රටක් වුවත් නිවන් අවබෝධ කරගැනීමට අවශ්‍ය කී දෙනෙක් වෙත් ද? අති විශාල බහුතරයකට අවශ්‍ය වන්නේ මෙලෝ වශයෙන් “හොඳ” රැකියා, සැප පහසු යාන වාහන, විශාල ගෙවල් දොරවල් ආදිය හා පරලෝ වශයෙන් දිව්‍ය ලෝක සැපසම්පත් ය. දුකට හේතුව තණ්හාව යැයි අපි නිතර දෙවේලේ අසමු. එහෙත් තණ්හාව ඇතිවන්නේ පුද්ගලයන්ට ය. (එය මිනිසුන්ට පමණක් නොව අනෙක් සත්ත්වයනට ද පොදු ය). වඩාත් ප්‍රධාන වන්නේ මම ය. මමත්වය ය.
ප්‍රංශයේ සිටි දාර්ශනිකයකු වූ ද ගණිතඥයකු වූ ද දෙකාර්තේ (උසස් පෙළ සිසුන් ඉගෙන ගන්නා (කාටීසීය) ඛණ්ඩාංක ජ්‍යාමිතියෙහි නිර්මාතෘවරයා ඔහු ය.) ඉංගිරිසියෙන් හඳුන්වනු ලැබුයේ ඩෙ කාර්ටෙ(ස්) ලෙස ය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු නිර්මාණය කළ ජ්‍යාමිතිය කාටීසීය ජ්‍යාමිතිය ලෙස ද හැඳින්වෙයි. ඉංගිරිසි ලෝක ආධිපත්‍යය හමුවේ ප්‍රංශකාරයා ඉංගිරිසිකරණයට ලක් වී ඇත. ඒ කෙසේ වෙතත් දෙකාර්තේගේ ප්‍රසිද්ධ කියමනක් වෙයි. එය මෙසේ ය. “ මම සිතමි. එබැවින් මම වෙමි” . මෙය බටහිර දර්ශනයෙහි ප්‍රධාන සිතිවිල්ලක් ලෙස ද සැලකිය හැකි ය. එහෙත් මේ ප්‍රකාශය අවශ්‍ය නම් අනෙක් අතට ද කියවිය (ඒ සමාජ වටිනාකමක් අත්පත් කරගෙන ඇති පඬි කියැවීමක් නො වේ) හැකි ය. ඒ “මම වෙමි. එබැවින් මම සිතමි” යනුවෙනි. බටහිර ගණිතඥයන්ගේ භාෂාවෙන් නම් මෙය “මා සිතන්නේ මා වන්නේ ම නම් පමණකි” යනුවෙන් ප්‍රකාශ කළ හැකි ය. පසුගිය දා එක්තරා භික්‍ෂූන් වහන්සේ නමක් මේ සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශයක් මට කියවන්නට ලැබිණි. මට මතක අයුරෙන් උන්වහන්සේ ප්‍රකාශ කර තිබුණේ “මම නො සිතමි, එබැවින් මම වෙමි” යනුවෙනි. එහෙත් එය නිවැරදි යැයි සිතීමට නො හැකි ය. නොසිතන මා ඇත්තේ කෙසේ ද? ඉහත කී ප්‍රකාශය නිවැරදි නො වේ යැයි මා සිතන්නේ ද මා වන (ඇති, පවතින) බැවිනි.
කෙසේ වෙතත් මේ ප්‍රකාශ මම, මමත්වය, තණ්හාව, නිවන ආදිය සමග බැඳී ඇත. මමත්වය නැතිකිරීම, එනම් මමත්වය යන්න නිවැරදි නොවන බව දැනගැනීම ම නිවන් අවබෝධය යැයි සිතිය හැකි ය. එහෙත් එසේ මමත්වය, මා යන්න, මා යනුවෙන් පුද්ගලයකු පැවතීම, නිවැරදි නොවන බව දැනගන්නේ කවු ද? ඒ මා විය නො හැකි ය. එබැවින් ඉහත සඳහන් භික්‍ෂුන් වහන්සේගේ ප්‍රකාශය ගැටළු සහිත ව වුවත් මම නො සිතමි, එබැවින් මම නො වෙමි යනුවෙන් හා මම නො වෙමි, එබැවින් මම නො සිතමි යනුවෙන් සංශෝධනය විය යුතු යැයි සිතමි. නිවන් අවබෝධය එසේ වචනවලින් ප්‍රකාශ කළ නොහැකි වුවත් නිවන් අවබෝධයෙහි දී මා යනුවෙන් සත්ත්වයකු, පුද්ගලයකු පවතින්නේ යැයි ගැනීම නිවැරදි නොවන බව වැටහෙන අතර එසේ වැටහෙන්නේ ඊනියා මට විය නොහැකි බව පවතින්නේ යැයි සිතන මට සිතෙයි.
ඉහත සඳහන් ප්‍රකාශ මගේ පොරත්වය ප්‍රකාශ කිරීමේ මඟක් ලෙස යොදාගෙන ඇති බව කවුරුන් හෝ පවසන්නේ නම් මට එයට විරුද්ධ විය නො හැකි ය. එහෙත් මා ලියන කියන කිසිවකින් මට සමාජයේ උගතුන් අතර පොරත්වයක් නොලැබෙන බැවින් එය එතරම් ප්‍රශ්නයක් නො වේ. මා ලියන්නේ මට ඉන් සංතෝෂයක් ලැබෙන බැවිනි. එය ද නිවනට බාධාවක් විය හැකි ය. එහෙත් අන් අයගේ නිවන වෙනුවෙන් තමාගේ නිවන කල්දමා ගැනීම සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ලක්‍ෂණයක් ද වෙයි. ඒ කුමක් වුවත් අද මෙරට ද පිටරට ද මමත්වය සාමූහිකත්වය පරයා ඉස්මතු වී ඇති බව පැහැදිලි ය. සිංහල බෞද්ධයන් අතර එකල ද මමත්වයක් තිබී ඇති නමුත් එය සාමූහිකත්වයට යට වූ මමත්වයක් විය. අද ඇති මමත්වය එසේ නො වේ. අද ද සාමුහිකත්වය සුනාමි අවස්ථාවෙහි දී මෙන් මතුවන නමුත් ප්‍රධාන වශයෙන් ඇත්තේ සාමුහිකත්වය යටකර ගත් මමත්වයකි. පෞද්ගලිකත්වය හා ඉන්ද්‍රිය පිනවීම (ඉන්ද්‍රිය පිනවීම යනු මනස පිනවීම ය. අනෙක් ඉන්ද්‍රිය - ආයතන - නොමැතිව මනස පමණක් පිනවීමට ද හැකි බව තේරුම් ගත යුතු ය) බටහිරින් අපට අවශ්‍ය පරිදි, එනම් සිංහල බෞද්ධ සංස්කෘතියට ගැලපෙන පරිදි අවශෝෂණය කර ගැනීමට අපට නොහැකි වී ඇත. අප කරන්නේ බටහිර පෞද්ගලිකත්වය හා ඉන්ද්‍රිය පිනවීම අනුකරණය කිරීමකි. අපි එහි දී පොරවල් වීම සඳහා සාමූහිකත්වයට එරෙහි ව ක්‍රියා කරමු. පවුල යන්න වෙනුවට තමා ආදේශ වූ විට සෙනෙහස පවුලෙන් පළා යයි. ඒ අතර අපේ නොවන අධ්‍යාපනයකින් අපි හෙම්බත් වී සිටිමු. පට්ටපල් බොරුවක් වූ බටහිර විද්‍යාව අපේ මිනුම් දණ්ඩ බවට පත් වී ඇත. මෙරට අධිපතිවාදී සංස්කෘතිය බටහිරින් අප මත පටවනු ලැබූ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය වන නමුත් බටහිර විශේෂඥයෝ ඒ බව සඟවා සිංහල බෞද්ධ සංස්කෘතික ආධිපත්‍යයක් ගැන දොඩවති. පැරණි සිංහල සාහිත්‍යය යොමු වී තිබුණේ මිනිසුන් අවසන් වශයෙන් ගත්කල නිවනට යොමු කිරීම සඳහා ය. එහෙත් බටහිරින් ඊනීියා යථාර්ථවාදයක් කරපින්නාගත් වත්මන් සාහිත්‍යකරුවෝ මෙරට චින්තනයට එරෙහිව නිවන පැත්තකට දමා තම කෘතිවලින් කාගේ දෝ සමාජ යථාර්ථයක් නිරුපණය කිරීමට වෙහෙසෙති. ඒ අතර තවත් පොරවල් පිරිසක් සාහිත්‍යයේ අරමුණ විය යුත්තේ අධිපති දෘෂ්ටිවාදය පරාජය කිරීම යැයි මැත දොඩවති. එහෙත් ඔවුන් පරාජය කිරීමට උත්සාහ ගන්නේ අධිපති දෘෂ්ටිවාදය වූ බටහිර මතවාද නොව සිංහල බෞද්ධ මතවාද ය. මොවුහු සියල්ලෝ ම එකතු වී මිනිසුන් නිවනෙන් ඈත්කරති. නිවනෙන් ඈත් වූ මිනිසුන් සමාජයට පිළිලයක් වී ඇත. අප කළ යුත්තේ ඔවුන් නැවතත් නිවනට යොමු කරන මඟකට අවතීර්ණ වීම ය.
නලින් ද සිල්වා
2014-09-14
2014-09-14