History

Wednesday, 17 September 2014

ඇත්ත හා බොරුව


ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා මා ඇසූ ප්‍රශ්නවලට තවමත් පිළිතුරු දී නැත. ඔහු ඒ වෙනුවට තමන් නොදන්නා, තමන්ට තේරුම් ගැනීමට නොහැකි සුසමාදර්ශය, පශ්චාත්නූතනත්වය, පශ්චාත්නූතනවාදය ආදිය ගැන ලියයි. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව මා ආරම්භයේ දී ම පෙන්වා දී ඇති නමුත් අමරතුංග මහතාට එය ද නොතේරෙන බැවින් ඔහු කියන්නේ මා එසේ පෙන්වා දී නොමැති බව ය. ඔහු ඉදිරිපත් කළ ඊනියා අභියෝගවල කිසිම අභියෝගයක් නොතිබූ නමුත් මා එයට ද පිළිතුරු දී ඇත. කෙසේ වෙතත් අමරතුංග මහතා සුසමාදර්ශය පශ්චාත්නූතනවාදය ආදිය ගැන සඳහන් කරන විට මම නැවත වරක් ඒ ඊනියා අභියෝගවලට ප්‍රතිචාර දැක්වීම අරඹා තිබුණෙමි. 

අමරතුංග මහතාගේ සුසමාදර්ශය, පශ්චාත්නූතනවාදය (ඔහු පශ්චාත්නූතනත්වය හා පශ්චාත්නූතනවාදය ආදිය අතර වෙනස දන්නේ ද?) ආදිය ගැන ප්‍රතිචාර දැක්වීම ඔහුගේ න්‍යාය පත්‍රයට කටයුතු කිරීමකි. ඔහු කුමක් ගැන කතා කළත් මේ ප්‍රශ්නය පිලිබඳ ව මගේ න්‍යාය පත්‍රයකට අනුව අදහස් ප්‍රකාශ කිරීම වැදගත් යැයි  සිතමි. එබැවින් මේ ලිපියත් මීළඟ ලිපියත් වෙන්වනු ඇත්තේ හැකිතාක් කෙටියෙන් බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් වන්නේ ඇයි ද යන්න නැවත වතාවක් පෙන්වා දීමට ය. අවශ්‍ය නම් පසුව විස්තරාත්මක ව ඒ සියල්ල පැහැදිලි කළ හැකි ය.

මෙහි දී අපි මුලට ම යමු. බෙරුව යනු කුමක් ද? වෙනත් වචනවලින් කිවහොත් ඇත්ත යනු කුමක් ද? දෙවනුව දැනුම යනු කුමක් ද? පෙර දැනුම ලබාගත්තේ (නිර්මාණය කළේ - සංස්කරණය කළේ ) කෙසේ ද? තෙවනුව බටහිර විද්‍යාවේ දී කෙරෙන්නේ කුමක් ද? ඉතා කෙටියෙන් මේ ප්‍රශ්නවලට පළමුව පිළිතුරු දෙමු. මෙහි සඳහන් පළමු ප්‍රශ්නයට හැඳින්වීමක් කෙරී ඇති නමුත් එයට නිසි පිළිතුරක් මේ ලිපි පෙළෙහි මෙතෙක් දී නැත. එයට ප්‍රධාන හේතුව වූයේ අමරතුංග මහතා ඇත්ත යනු කුමක් දැයි පැහැදිලි කිරීමට පසුබට වීම ය. 

ඇත්ත යන වචනය බිඳී එන්නේ ඇති යන වචනයෙනි. වෙනත් වචනවලින් කිවහොත් ඇත්තේ ඇත්ත ය. එනම් ඇති දේ ඇත්ත ය. සංස්කෘත පඬිවරයකු මා සමග පැවසුවේ සත්‍යය යන්නෙහි ද එලෙස ම නිරුක්ති දැක්විය හැකි බව ය. සත්, එනම් පවතින, ඇති දේ සත්‍යය වෙයි. සත් යන්න සත්බව (ඉංගිරිසියෙන් ඔන්ටොලොජි) සමග බැඳී ඇත. දැන් අපේ ප්‍රශ්නය වනුයේ ඇති දේ යනු කුමක් ද යන්න ය. මෙයට පිළිතුරු සොයාගත හැක්කේ බුදුදහමෙන් නොව වෙනත් දහම්වලිනි. එයට හේතුව බුදුදහමට අනුව සියළු පෘථග්ජන දැනුම බුදුදහමට අනුව මුසා වීම ය. එබැවින් බුදුදහමෙහි මුසා ඇත්තෙන්, සත්‍යයෙන් වෙන්කර ගැනීමේ අවශ්‍යතාවක් පැන නො නගී. සියල්ල බොරු වූ කල ඇත්ත හා බොරුව වෙන්කිරීමේ අවශ්‍යතාවක් නැත. 

මෙයින් කියැවෙන්නේ බුදුදහමෙහි සඳහන් සම්‍යක්දෘෂ්ටිය බොරුවක්, මුසාවක් බව ද? එයට පිළිතුර ඔව් යන්න ය. මට තේරෙන බුදුදහමට අනුව අප සසර සැරිසරන්නේ අප සිතන බැවිනි. එනම් අප සිතට අරමුණු දැනෙන බැවිනි. වෙනත් වචනවලින් කිවහොත් අපි සිතට අරමුණු ගන්නෙමු. මම යනුවෙන් කෙනකු ඇතැයි අපි සිතමු. අපේ ප්‍රධාන ම අරමුණ වන්නේ මම යනුවෙන් කෙනකු ඇතැයි ගැනීම ය. ඒ අරමුණ වැරදි ය.  මේ අරමුණු ගැනීම නැවතීම නිවන් අවබෝධය වෙයි. එහෙත් ඒ සඳහා, එනම් අරමුණු ගැනීම නැවැත්වීම සඳහා දෘෂ්ටියක්, මාර්ගයක් අවශ්‍ය වෙයි. ඒ දෘෂ්ටිය ද තවත් එක් දෘෂ්ටියකි. එය ද මුසාවකි. එහෙත් ඒ දෘෂ්ටිය නිවන් අවබෝධයට මග පෙන්වයි. එය සම්‍යක්දෘෂ්ටියක් වන්නේ එබැවිනි. එය නිවනට සාපේක්‍ෂව සම්‍යක්දෘෂ්ටියකි. මම යනුවෙන් කෙනකු නැති විට එසේ ඇතැයි ගැනීම වරදකි. නිවන් අවබෝධයේ දී සිදුවන්නේ මම නැතිකිරීම  නො වේ. එවැනි නැතිකිරීම් අයත්වන්නේ උච්ඡෙදවාදයට ය. නිවන් අවබෝධයෙහි දී නැති මම නැති බව අවබෝධ වෙයි. එහෙත් එසේ අවබෝධ  වන්නේ මට විය නො හැකි ය. 

බුදුදහමට අනුව සියළු පෘථග්ජන දැනුම් මුසා (බොරු) වුව ද පෘථග්ජනයන්ට ජීවත්වීම සඳහා ඒ බොරු අවශ්‍ය වෙයි. මේ බොරු පද්ධතීන් ලෙස පෘථග්ජනයන් අතර පවතියි. අපි ඒ පද්ධතිවලට සම්මුති (සම්මුති සත්‍ය නොව) යැයි කියමු. විවිධ ආගම්වල දහම් ද බටහිර විද්‍යාවද සම්මුති සඳහා උදාහරණ වෙයි. මේ සම්මුති අතර විසංවාද, පරස්පර පවතින නමුත් මිනිසුන්ට පරස්පර සහිත සම්මුති කිහිපයක එකවර ගැලී සිටීම ප්‍රශ්නයක් නො වේ. අනෙක් අතට පරස්පර, විසංවාද ආදිය ද ඇරිස්ටෝටලීය ද්විකෝටික න්‍යායෙන් ලබාගන්නකි. මිනිසුන්ට එකවර ඇරිස්ටෝටලීය සම්මුතියහි සිටිමින් එයට විරුද්ධ සමස්තයක ගැලී සිටීම ප්‍රශ්නයක් නො වේ. ඇරිස්ටෝටලීය සම්මුතියෙහි දැඩිව ගැලී සිටින්නේ පරිගණක ය. එහෙත් පරිගණක මෘදුකාංග ලියන්නෝ ඇරිස්ටෝටලීය සම්මුතියෙහි දැඩිව නො ගැලෙති! එසේ වුවහොත් ඔවුහු ද යන්ත්‍ර බවට පත්වෙති. 


සම්‍යක්දෘෂ්ටිය ද  දියපහර තරණය කිරීමෙන් පසු පහුරක් මෙන් ඉවත දැමිය යුත්තක් මිස කරගහගෙන ගෙන යා යුත්තක් නො වේ. කෙසේ වෙතත් බුදුදහම හැරෙන්නට වෙනත් දහමකට අනුව ඇත්ත කුමක් ද? බොරුව කුමක් ද? මෙයට මූලික පිළිතුර අන් කිසිවක් නොව පංචෙන්ද්‍රියවලට හා මනසට ගෝචර දේ යන්න ය. පංචෙන්ද්‍රියවලට කිසිවක් සෘජුව ගෝචර නො වේ. පංචෙන්ද්‍රියවලට යමක් ගෝචර වන්නේ මනස ආධාර කරගනිමිනි. පැවැත්ම අවසාන විග්‍රහයෙහි දී මනස සමග බැඳී ඇත. එහෙත් මනස ද නො පවතියි! ඒ බුදුදහමෙහි ය. 

එහෙත් වෛදිකයන්ට මනස පැවතිණි. මම, ආත්මය ආදී සංකල්ප වෛදිකයන්ට ඇත්ත විය. බ්‍රහ්මන් ද ඇත්ත විය. බ්‍රහ්මන් සමග එකතු වීම ද ඇත්ත විය. අද්වෛත වේදාන්තය අනුව පවතින්නේ නිර්ගුණ් බ්‍රහ්මන් පමණකි. බ්‍රහ්මන් මනසට ගෝචර වුවත් පංචෙන්ද්‍රියවලට ගෝචර නැත. බ්‍රහ්මන් යන්න පංචෙන්ද්‍රියවලට ගෝචර නොවී මනසට ගෝචර වන සංකල්පයකි. බුදුදහමට අනුව ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් චුත ව මිනිස් ලොව උපන් අයකු තමන් බ්‍රහ්මන් යැයි සිතීමට හැකි ය. එසේ තමන් බ්‍රහ්මන් යැයි සිතන්නා ද අවසාන වශයෙන් ගත්කල පෘථග්ජනයෙක් පමණක් ම වෙයි. 

මුල දී මනසින් පමණක් ගන්නා දේ ද පංචෙන්ද්‍රිය හා මනසින් ගන්නා දේ ද ඇත යනුවෙන් ගැනීමට මිනිසුන් කටයුතු කර ඇති නමුත් යම් අවස්ථාවක දී මනසින් පමණක් ගන්නා දේ ඇතැයි යනුවෙන් ගැනීම ප්‍රතික්‍ෂෙප කර ඇති බව පෙනී යයි. ඒ අනුව ඇතැයි යනුවෙන් සැලකෙන්නේ පංචෙන්ද්‍රියවලට පමණක් ගෝචර දේ ය. පංචෙන්ද්‍රියවලට ගෝචර වීම යනු අවසාන විග්‍රහයෙහි දී මනසට ගෝචර වීමක් වන නමුදු මිනිසුන් එය ද නොසලකා හැර ඇති බව පෙනී යයි. පංචෙන්ද්‍රියවලට ගෝචර වන දේ පමණක් ඇතැයි යනුවෙන් සැලකීමටත් ඒ අනුව පංචෙන්ද්‍රියවලට ගෝචර වන්න ඇත්ත ලෙස සැලකීමටත් මිනිසුන් කටයුතු කර ඇත. 

ඒ නිර්ණායකය මිනිසුන්ට ඇත්ත හෙවත් සත්‍යය හා මිථ්‍යාව අතර වෙනසක් ඇතිකර ගැනීමට උපකාරි වී ඇත. පංචෙන්ද්‍රියවලට ගෝචර දේ (එනම් පංචෙන්ද්‍රියවලට හා මනසට ගෝචර දේ) ඇත්ත ලෙස සැලකෙන අතර එසේ නොමැතිව මනසට පමණක් ගෝචර වන දේ මිථ්‍යා ලෙසත් සැලකීමට ඇතැමුන් කටයුතු කර ඇත. එහෙත් සියළු මිනිසුන් ඒ නිර්ණායකය සැමදාමත් පිළිගත් බවක් මෙයින් නො කියැවෙයි. මෙහි දී වඩාත්ම බලපා ඇත්තේ පංචෙන්ද්‍රියවලට ගෝචර දේ පිළිබඳ ව අවශ්‍ය සංකල්ප ගොඩනගාගත් පසු සියළු දෙනාට ම එකඟවීමට හැකි වීම ය.

උදාහරණයක් ලෙස ගතහොත් පුටුව නම් සංකල්පය ගොඩනගාගත් පසු පුටුවක් ඇතිවිට සියළු දෙනාට ම එතැන පුටුවක් ඇතැයි ගැනීමට හැකිවීම ය. එහෙත් ඒ පුටුව යන සංකල්පයට එකඟ වන අයට ය. බසයක ඇති ආසනවලට අපි සාමන්‍යයෙන් පුටු යැයිි නො කියමු. එබැවින් බසයකට ගොඩ වූ දරුවකු තම මව අමතා අම්මෙ අතන පුටුවක් තියෙනවා කී විට අපි සිනහසෙමු. දරුවාගේ පුටුව යන සංකල්පය වැඩිහිටියන්ගේ පුටුව යන සංකල්පයෙන් වෙනස් වෙයි. 

වෙනත් වචනවලින් කිවහොත් පුටුව පිළිබඳ දැනුම සම්බන්ධයෙන් දරුවාගේ සම්මුතිය වැඩිහිටියන්ගේ සම්මුතියෙන් වෙනස් වෙයි. එහෙත් වැඩිකල් නොගොස් දරුවා වැඩිහිටීයන්ගේ සම්මුතියෙහි ගිලෙයි. ඔහු තම සම්මුතියට වැඩිහිටියන් නම්මා ගැනීමට නො වෙහෙසෙයි.  බොහෝ විට ඔහුට ඒ සඳහා ශක්තියක් ද නැත. වැඩිහිටියන්ගේ සම්මුතියෙහි ගිලෙන දරුවා පසු කලෙක බසයෙහි දී වාඩිවීමට පුටු නො පෙන්වනු ඇත. 

සම්මුති අතර අධිපතිවාදී හෙවත් ආධිපත්‍යය දරණ සම්මුති වෙයි. අප බොහෝ දෙනා කරන්නේ ඒ ඒ අවස්ථාවට සුදුසු පරිදි අධිපතිවාදී සම්මුතියකට යටවීම ය. යම් කරුණක දී ආධිපත්‍යය දරණ සම්මුතියට විරුද්ධවීම බොහෝ විට සියතින් ගෙල සිඳ ගැනීමකි. අද ලෝකයේ ද  ලංකාවේ ද දැනුම සම්බන්ධයෙන් ගත්කල ආධිපත්‍යය දරන්නේ බටහිර සම්මුතීන් ය. බටහිර විද්‍යාව ද ඉන් එක් අධිපතිවාදී සම්මුතියකි. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් යැයි කීම,  නාථ දෙවියන්ගෙන් දැනුම ලබාගැනීමට හැකි යැයි පැවසීම ඊනියා උගතුන්ගේ සමච්චලයට හේතුභූත වනවා පමණක් නොව සියතින් ගෙල සිඳගැනීමක් ද විය හැකි බව මා නොදන්නවා නො වේ. එහෙත් ආත්මයක් නැති තැන ආත්මයක් ඇතැයි කියන්නේ කිනම් ආත්මයක් ගලවා ගැනිමට ද?

ඇත්ත සම්බන්ධයෙන් අපි දැනට සම්මුතීන් දෙකක් සාකච්ඡාකර ඇත්තෙමු. එක් සම්මුතියකට අනුව මනසට ගෝචර වන්න ඇත්ත ය. අනෙක් සම්මුතියට අනුව පංචෙන්ද්‍රියවලට ගෝචර වන්න ඇත්ත ය. පසුව සඳහන් සම්මුතියෙහි දී මනසින් තොරව පංචෙන්ද්‍රියවලට ගෝචර නොවන නමුත් මනස එහි දී ප්‍රධානත්වයෙන් නො සැලකෙයි. ඒ සම්මුතියෙහි ඇති විශේෂත්වය නම් සංකල්ප පිළිබඳ එකඟතාවකට පැමිණි පසු බොහෝ දෙනාට  ඊනියා ඇත්ත පිළිබඳ එකඟතාවකට පැමිණීමට හැකි වීම ය. ඒ සම්මුතියට අනුව ගස්වැල් සුළඟ සාගර තාරකා හිරු සඳු පවතියි. ඇතැම් විට ඒ අපෙන් තොරව පවතින්නේ යැයි ද කියැවෙයි. ඊනියා යථාර්ථය, වාස්තවික යථාර්ථය ආදී සංකල්පවල මුල ඇත්තේ එහි ය. 

එහෙත් පළමු සම්මුතිය ගැන එවැන්නක් කිවහැකි නො වේ. ඇතැමුනට දෙවියන් පෙනෙයි. එහෙත් ඒ පිළිබඳ සියළු දෙනාට එකඟ විය නො හැකි ය. බොහෝ දෙනාට දෙවියන් නො පෙනෙයි. ප්‍රශ්නය ඇතිවන්නේ මෙහි දී ය. දෙවැනි සම්මුතියෙහි දී ආබාධයක් නොමැති අයට යම් සංකල්පයක් ගැන එකඟතාවකට පැමිණිය හැකි වුව ද පළමුවැනි සම්මුතියෙහි එසේ කළ හැකි නො වේ. එයට ප්‍රධාන හේතුව ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය ය. මෙහි දී ප්‍රජාතන්ත්‍රවාදය ලෙස මා සලකන්නේ බහුතරයේ දැකීම ය. බොහෝ දෙනාට විවිධ හේතු නිසා දෙවියන් නො පෙනෙයි. එමෙන් ම දෙවියන් සමග සංනිවේදනය කිරීමට නො හැකි ය. මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ බහුතරය විසින් තමන්ට නොපෙනෙන්න මිථ්‍යාවක් ලෙස සැලකීම ය. 

බහුතරය විසින් සුළුතරය විවිධ රෝගීන් ලෙස හඳුන්වනු ලැබෙති. එහි දී විවිධ මානසික රෝග ද සංකල්පගත කෙරී ඇත. බටහිර විද්‍යාව ද ආධාර කරගනිමින් බහුතරය සුළුතරය මත තම ආධිපත්‍යය පතුරවති. යමකු මනස යම් ආකාරයකට දියුණු කිරීමෙන් යම් දක්‍ෂතා අත්පත් කරගෙන තිබිණ ද ඒ මිථ්‍යා ලෙස හංවඩු ගැසීමට බහුතරයට හැකි වී ඇත. එවිට සත්‍යය යනු බෙහෝ දෙනාට ගෝචර වන්න බවට පත්වෙයි. මෙහි දී බහුතරයට උපකාර වන කරුණක් ද වෙයි. ඒ ඇතැම් මානසික රෝගීන්  අන් අයට නොපෙනෙන කරුණු ගැන සඳහන් කිරීම ය. 

සියළු මානසික රෝගීන් දකින එහෙත් බහුතරය නොදකින සියල්ල බොරු යැයි ද විකෘති යැයි ද ගත්ත ද එයින් කියැවෙන්නේ බහුතරය නොදකින එහෙත් කිසියම් ආකාරයකින් වුව සුළුතරයක් දකින සියල්ල විකෘති බවවත් ඒ සුළුතරය මානසික රෝගීන් බවවත් නො වේ. ඉතා පැහැදිලිව මෙහි දී විකෘති යනුවෙන් බහුතරය විසින් ගැනෙන්නේ තමන්ට නොපෙනෙන දේ ය. විකෘතිය සුළුතරයකට පමණක් සීමාවන්නේ යැයි බහුතරය විසින් නිගමනය කෙරෙන්නේ කෙසේ ද? විකෘතිය සුළුතරයේ නොව බහුතරයේ ලක්‍ෂණයක් විය නොහැක්කේ ඇයි? 

සුළුතරයට ඇතැම් දේ දැකිය හැක්කේ ඔවුන් ආධ්‍යාත්මික ගුණයකින් හෙබි නිසා විය හැකි ය. එසේත් නැතහොත් සසරෙහි පුරුදු කළ හැකි යම් ගුණයක් නිසා විය හැකි ය. අප සියළු දෙනාට ම කවියන් විය නො හැකි ය. කවියන් විය හැක්කේ සුළුතරයකට ය. ඒ සුළුතරයට විශේෂිත දක්‍ෂතා ඇත. අවශ්‍ය නම් ඒ දක්‍ෂතාවලට ද විකෘතියක් යැයි කිව හැකි ය. එහෙත් සමාජය විසින් කවියෝ විකෘති මානසික චරිත ඇත්තවුන් ලෙස හඳුන්වනු නො ලැබෙති. 

මෙය බටහිර විද්‍යාඥයන්ට ද පොදු ය. ලංකාවේ විශේෂ දක්‍ෂතා ඇති බටහිර විද්‍යාඥයෝ නො වෙති. මෙරට ඇත්තේ අනුකාරක අහිනක් පමණකි. ඔවුහු යම් යම් දේ තමන් තේරුම් ගත් (නොගත් යැයි යන්න වඩා උචිත ය) අන්දමින් සිසුන්ට හා අනෙක් අයට කියා දෙති. ඔවුන්ට කිසි දිනෙක බටහිර විද්‍යාවේ නිර්මාණාත්මක ව යමක් කළ හැකි නො වේ. එහෙත් බටහිර රටවල දැනුමට අළුතෙන් කරුණු එකතු කළ හැකි සුළුතරයක් සිටිති. එහෙත් ඔවුන්ට  විකෘති මානසික චරිත ඇත්තවුන් යැයි  නො කියැවෙයි. ඔවුන්ට ඒ ඒ සමාජවල ඉහළ ම ගෞරවය ලැබෙයි. 

මෙයට හේතුව කුමක් ද? සුළුතරයේ ඇතැම් දක්‍ෂතා ඇගයීමටත් වෙනත් දක්‍ෂතා විකෘතීන් ලෙස සැලකීමටත් සමාජය පෙළඹී ඇත්තේ ඇයි? එය ඊනියා වාස්තවික තත්ත්වයක් ද? කිසිසේත් නැත. මේ සමාජ ආධිපත්‍යය දරණ මතවාද විසින් නිර්මාණය කෙරෙන්නකි. අද සමාජ ආධිපත්‍යය දරන්නන්ට අවශ්‍ය දැනුම ගැන මෙයින් කියැවෙයි. පහළොස්වැනි සියවසෙන් පසුව ලෝකයේ චින්තන ආධිපත්‍යය දරණු ලබන්නේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය විසිනි. ඔවුන්ට අවශ්‍ය බටහිර විද්‍යාව නිර්මාණය කරන සුළුතරයට සමාජයේ වැදගත් පිළිගැනීමක් ලබාදීමට කටයුතු කරති. ඒ අතර ඔවුහු තමන්ගේ දැනුමට පටහැණි ව කටයුතු කරන සුළුතරය මානසික රෝගීන්, විකෘති මානසික චරිත ඇත්තවුන් ආදීන් ලෙස හඳුන්වති. ඔවුහු ඒ සු්‍රළුතරයට සිනහසෙති. සමච්චල් කරති. පහර දෙති. 

මෙරට ඉන්නා තමන් බෞද්ධ යැයි කියා ගන්නා මිසදුටුවන්ට නම් ප්‍රශ්නයක් වී ඇත. ඒ බුදුන්වහන්සේ හා සම්බන්ධයෙනි. බුදුන්වහන්සේ ඊනියා ආනුභවික විද්‍යාඥයෙක් නො වූහ. උන්වහන්සේ නිවන් අවබෝධ කළේ ආනුභවික ක්‍රම මගින් නො වේ. බටහිර විද්‍යාඥයන්ගේ ආනුභවිකය අන්කිසිවක් නොව  පංචෙන්ද්‍රිය ගෝචර වූවකි. එහි මානසික දියුණුවක් ආධ්‍යාත්මික දියුණුවක් නිසා අත්කරගත් දෙයක් නැත. එහෙත් බුදුන්වහන්සේගේ ආර්ය පර්යේෂණය ඒ ආනුභවිකය සමග සම්බන්ධයක් නැත. එසේ වුවත් මෙරට සිටින බෞද්ධයන් ලෙස පෙනී සිටින මිසදිටුවන් කිහිප දෙනකුට බුදුන්වහන්සේ ආනුභවික ප්‍රාඥයකු කිරීමේ අවශ්‍යතාව පැන නැගී ඇත. පංචෙන්ද්‍රිය  ගෝචර නොවන බැවින් පුනබ්භවය නොපිළිගන්නා මේ මිසදිටුවෝ බුදුන්වහන්සේ ආනුභවික ප්‍රාඥයකු බවට පත්කිරීමට ගොස් තව තචත්  පවු පුරවා ගනිති.                                        


නලින් ද සිල්වා

2014-09-17