History

Sunday, 21 September 2014

ධර්මපාලතුමා අමතකවීම


මෙරට ඇතැමුනට අනගාරික ධර්මපාලතුමාට වඩා ස්කොට්ලන්තයේ ජනමත විචාරණය වැදගත් වීමට ඉඩ ඇත. ස්කොට්ලන්ත ජනමතවිචාරණය අපට නොවැදගත් වනවා නො වේ. එහෙත් ධර්මපාලතුමා අමතක කර ස්කොට්ලන්තයේ ජනමත විචාරණය ගැන උනන්දුවක් දැක්වීම අපට සරිලන ක්‍රියාවක් නො වේ. ස්කොට්ලන්තය ජනමත විචාරණයට අනුව වෙන් නොවීමට තීරණය කරන ලකුණු පහළ වී ඇත. කම්කරුවන් වැඩි වශයෙන් වාසය කරන ප්‍රදේශවල වෙන්වීමට කැමැත්තක් පළ වී ඇති නමුත් අනෙක් ප්‍රදේශවල විශේෂයෙන් ගොවීන් වැඩි වශයෙන් වාසය කරන ප්‍රදේශ වෙන් නොවීමට තීරණය කර ඇති බව පැහැදිලි ය. එහෙත් එඩිංබරා ඇබර්ඩීන් වැනි ප්‍රදේශ වෙන් නොවීමට කැමැත්ත පළ කර ඇත්තේ ගෝඩන් බ්‍රවුන් වැන්නන් අනුගමනය කර විය හැකි ය.  එංගලන්තය හා එහි පළමු යටත් විජිත වූ වේල්සය, ස්කොට්ලන්තය, අයර්ලන්තය තරම් කම්කරු ගොවි භේදයක් ඇති ප්‍රදේශ ලෝකයේ තවත් නැත. කාල් මාක්ස් ජර්මනියේ උපත ලද ද ඔහු උගත්තේ එංගලන්තය හා එහි යටත්විජිතවලිනි. ඔහුගේ දේශපාලනයෙහි කම්කරු පංතියක් ගැන කතාකිරීමත් එයට නැති තැනක් ලබාදීමත් මේ විකෘති උගත්කම නිසා සිදු වූවකි. කෙසේ වෙතත් ස්කොට්ලන්තය එංගලන්තයෙන් නිදහස් වනු ඇත්තේ එංගලන්තය තවත් බංකොළොත් වූවොත් පමණකි. එහෙත් මෙහි දී අපට අමතක නොකළ හැකි දෙයක් ද සිදු වී ඇත. ස්කොට්ලන්තය වෙන් නොවීමට ගන්නා තීරණයට එංගලන්තයේ කම්කරු පක්‍ෂය තීරණාත්මක ව මැදිහත් වීම ය. එංගලන්තයේ ප්‍රධාන පක්‍ෂ තුනේ ම නායකයෝ වෙන්වීමට විරුද්ධව එක වේදිකාවකට පැමිණියහ. එහි දී තීරණාත්මක වැඩ කොටසක් එඩින්බරාහි කම්කරු පක්‍ෂයේ ගෝඩන් බ්‍රවුන් අතින් සිදු වී ඇත. එංගලන්තයේ හා ස්කොට්ලන්තයේ කම්කරුවන් මේ ප්‍රශ්නයේ දී දෙපැත්තක සිටින බව ද පෙනී යයි. ඊනියා ලෝක කම්කරු පංතියක සිහිනය මාක්ස්වාදීන්ගේ කසිකබල් හිස්වල මිස වෙනත් තැනක නැත. ලෝක කම්කරුවන් තබා එංගලන්තයේ හා ස්කොට්ලන්තයේ කම්කරුවන්වත් එකට සිතන බවක් නො පෙනෙයි. එහෙත් ස්කොට්ලන්ත කම්කරු නායකයන් මෙහෙයවනු ලබන්නේ එංගලන්තයෙන් වීම මෙහි දී ප්‍රශ්නයක් වී ඇති බව පෙනෙයි. 

අපි ස්කොට්ලන්තයෙන් ලංකාවට එමු. ලංකාවේ ද ඌව පළාතේ මැතිවරණයක් පැවැත්වෙයි. එහි ජයග්‍රහණය ස්කොට්ලන්තයේ මෙන් නොව ඉතා පැහැදිලි ය. එ ජා පක්‍ෂය කියන ආකාරයට හරීන් ප්‍රනාන්දු විදුලි බිල අඩුකර ඇත. එහෙත් එවන් හරීන්ටවත් ඌව ජයග්‍රහණය කළ නො හැකි ය. එහෙත් මගේ ප්‍රශ්නය එවැනි ජාතික ව වැදගත් කාර්යයක් කර ඇතැයි කියන හරීන් ප්‍රනාන්දුටත් ඔහුගේ නායකයා වූ රනිල් වික්‍රමසිංහටත් අනගාරික ධර්මපාලතුමාගේ එකසිය පනස්වැනි ජන්ම සංවත්සරය  අමතක වීම ය. එක් අතකට එහි පුදුම වීමට දෙයක් ද නැත. ඔවුහු සිංහල බෞද්ධ සංස්කෘතියට අයත් නො වෙති. ඔවුහු සිංහල කතාකළ ද ඇතැම් විට අතේ පිරිත් නූලක් බැන්ද ද සිතින් යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට අයත් වෙති. ඔවුන්ට ධර්මපාලතුමා අමතක නොවී නම් ඒ පුදුමයකි. එහෙත් අනගාරික ධර්මපාල තුමා අමතක වූයේ ඔවුන්ට පමණක් නො වේ. අද ජාතිකත්වයෙන් ඉතා ඈතට ගොස් ඇති ජ වි පෙරමුණට ද එතුමා අමතක විය. ඒ ගැන ද අපි පුදුම නො වෙමු. එහෙත් පුදුමය ජ වි පෙරමුණෙන් කැඩී ගොස් ජාතිකත්වය පැත්තට ගමන් කර බිහි වී යැයි කියන ජාතික හෙළ උරුමයට හා ජාතික නිදහස් පෙරමුණට ද ධර්මපාලතුමා අමතක වීම ය. ජ වි පෙරමුණෙන් පෙරටුගාමීන් කැඩී ගියේ මාක්ස්ගේ කම්කරු පංති විප්ලවය දිසාවට ය. එහෙත් ජා හෙ උ හා ජා නි පෙ වෙන්වූයේ ධර්මපාල දිශාවට යැයි අපට ඒත්තු ගන්වා තිබිණි. ඇතැම් විට අපේ නිගමනය වැරදි වන්නට ඉඩ ඇත. ඒ පක්‍ෂ දෙකට අනුව ධර්මපාලතුමා ජාතිකත්වයක් තිබූ අයකු නොවන්නට ද ඉඩ ඇත. ඔවුන්ට තබා ගුණදාස අමරසේකර මහතාගේ සභාපතිත්වයෙන් ඇති දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය ට ද මා දන්නා තරමින් ධර්මපාලතුමා අමතක විය. අමරසේකර මහතා ධර්මපාලතුමා බෞද්ධ උපාසකයකු පමණක් නොව යටත්විජිතවාදීන්ට විරුද්ධ ව ක්‍රියා කළ ජාතිකත්වයක් ඇති නායකයකු ලෙස පළමු වරට හඳුන්වා දුන්නේ ය. ඉහත සඳහන් සංවිධාන හා පක්‍ෂවලට අමතර ව බොදු බල සේනාවට, සිංහල රාවයට, රාවණා බලකායට විවිධ සංඝ සම්මේලනවලට ද ධර්මපාලතුමා අමතක විය. 

ඒ සියල්ලන්ට ම ධර්මපාලතුමා අමතක වී යද්දී ජනාධිපතිතුමා ධර්මපාල සමරුවකට සහභාගි විය. එතුමා එහි දී ධර්මපාලතුමා මෙරට වෘත්තීයාභිමුඛ පුහුණුව ලබාදීමේ පුරෝගාමියා ලෙස හැඳින්වී ය. එහි දී ජනාධිපතිතුමා ධර්මපාලතුමාට ගිනි පෙට්ටි කර්මාන්ත ශාලාවක් ඇරඹීමට තිබූ අවශ්‍යතාව ගැන ද සඳහන් කළේ ය. එපමණක් නොව සැප්තැම්බර් දහහත්වැනි දා ඇරඹි  මෙම වසර  ධර්මපාල වසර ලෙස ද නම් කළේ ය. එයට සම්බුද්ධත්ව ජයන්ති වසරට අත් වූ ඉරණම අත් නොවේවා යන්න අපේ පැතුම වෙයි. ජනාධිපතිතුමාට අමතර ව මෙරට ගම්වල තරුණයෝ ද වෙනත් අය ද තමන්ට හැකි පමණින් ධර්මපාලතුමා සැමරූහ. එහෙත් ජනමාධ්‍ය පඬියෝ ඒ කිසිවක් වාර්තා නොකිරීමට තරම් පඬීවූහ. එහෙත් මේ ගැමියන් ධර්මපාලතුමා හා ඕල්කට්තුමා අතර වූ මතභේදය ගැන දන්නා බවක් නො පෙනෙයි. ධර්මපාලතුමා සිංහල බෞද්ධ සංස්කෘතිය දත් සිංහල බෞද්ධයෙක් විය. එතුමා බුද්ධගයාව රැකගැනීමට සිංහලයනට අවදිවීමට අණ කළේ ය. එය තරමක පරස්පරයක් ලෙස පෙනී ගිය ද සිංහලයන් නැතිව (ථෙරවාද) බුද්ධාගමක් හෝ (ථෙරවාද) බුද්ධාගමක් නොමැති ව සිංහල ජාතියක් ද නැති බව එතුමා ඉවෙන් මෙන් තේරුම් ගත් බව නිසැක ය. එහෙත් ඕල්කට්තුමාට අවශ්‍ය වූයේ බුද්ධාගම සිංහලයන්ගෙන් වෙන් කිරීමට ය. එතුමා මෙරට එතෙක් නොපැවති බෞද්ධයන් පිරිසක් ඇති කළේ ය. ඕල්කට් බෞද්ධයන් වූ මොවුහු බෞද්ධකම සිංහල කමෙන් වෙන්කර ගත් පඬියො වූහ. භික්‍ෂූන් වහන්සේලාගේ ඊනියා නොපණත් හැසිරීම් ගැන කතාකරන්නෝ මොවුහු ය. ඔවුන් නොදන්නා එසේත් නැතහොත් අමතක කරන කරුණ නම් මෙරට සිංහල බුද්ධාගම රැකගත්තේ සිල්වත් භික්‍ෂූන් වහන්සේට වඩා ඊනියා නොපණත් හැසිරීම් සහිත භික්‍ෂූන් වහන්සේ බව ය. මේ පඬියන්ට අනුව මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් හා වාරියපොළ සුමංගල හිමියන් කිනම් වර්ගයකට අයත් වී දැයි කියන්නේ නම් මැනවි. ධර්මපාලතුමා ගිය මග යමින ඕල්කට්් බෞද්ධයන් පැරදවිය යුතුව ඇත. එමෙන් ම බුද්ධගයාව ආරක්‍ෂා කිරීමට පියවර ගත් ආකාරයෙන් නැගෙනහිර පළාතේ සිංහල බෞද්ධ උරුමයන් රැකගැනීම ද අපේ යුතුකමක් වී ඇත.                            


නලින් ද සිල්වා

2014-09-21