History

Wednesday, 24 September 2014

පංචෙන්ද්‍රියවලට ගෝචර නොවන දෙවියන් වහන්සේ


ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා මේ සතියේ දී මා නගා ඇති ප්‍රශ්නවලට පිලිතුරු දේවි යැයි බලාපොරොත්තු වෙමි. ඔහු පිළිතුරු දුන්නත් නැතත් මා පසුගිය සතියේ ප්‍රකාශ කළ පරිදි මගේ ප්‍රතිචාරය වෙනස් නොවනු ඇත. අප සාකච්ඡා කරමින් සිටියේ ඇත්ත හා බොරුව ගැන ය. අපි එය තවදුරටත් ඉදිරියට ගෙන යමු. 

කලකට ඉහත, මිනිසුන් මනසින් ගත් දේ ද, එනම් පංචෙන්ද්‍රිය නොමැතිව මනසට පමණක් ගෝචර වූ දේ ද ඇතැයි ගෙන ඇති නමුත් අද බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ ද වෙනත් ඇතැම් සංස්කෘතිවල ද අධිපතිවාදී මතය බවට පත් වී ඇත්තේ පංචෙන්ද්‍රියවලට ගෝචර දේ පමණක් ඇතැයි ගැනීම මුල් කරගත් මතවාදයක් ය. බටහිර මෙය සිදු වූයේ පහළොස්වැනි සියවසෙන් පසුව ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය අධිපතිවාදී චින්තනය බවට පත්වීමෙන් පසුව යැයි සිතිය හැකි ය. අද වන විට අප වැනි රටවල ද බටහිර දේශපාලන ආධිපත්‍යය හේතුකොටගෙන ඒ චින්තනය අධිපතිවාදී චින්තනය බවට පත් වී ඇත. අශෝක අමරතුංග මහතා පමණක් නොව ගුණදාස අමරසේකර මහතා ද මාර්ටින් වික්‍රමසිංහ මහතා ද එදිරිවීර සරච්චන්ද්‍ර මහතා ද බිහිවන්නේ මේ අධිපතිවාදී චින්තනය තම අධ්‍යාපනය මගින් ලබාගැනීම හේතුකොටගෙන ය. ඔවුන් පංචෙන්ද්‍රියවලට ගෝචර නොවන පුනබ්භවය විශ්වාස නොකරන මිසදුටුවන් බවට පත් වී ඇත්තේ එබැවිනි. 

මේ කිසිවකුටවත් ලෝකයෙහි ඇත්තේ පංචෙන්ද්‍රියවලට ගෝචර දේ පමණක් යැයි පෙන්වා දිය හැකි නො වේ. වෙනත් වචනවලින් කිවහොත් පංචෙන්ද්‍රියවලට ගෝචර නොවන දේ නැතැයි ඔවුන්ට කිසිම සැකයකින් තොරව පෙන්වා දිය හැකි නො වේ. පංචෙන්ද්‍රියවලට ගෝචර නොවන දේ අපට දැකගත නො හැකි ය. ඇසිය නො හැකි ය. ස්පර්ශ කළ නො හැකි ය. රස දැනගත නො හැකි ය. ගඳ සුවඳ දැනගත නො හැකි ය. එහෙත් එපමණකින් එවැනි දේ නැතැයි කියන්නේ කෙසේ ද?  

අනෙක් අතට පංචෙන්ද්‍රියවලට ගෝචර වූ පමණින් යමක් ඇතැයි කියන්නේ කෙසේ ද?  අපි මිරිඟුව ගැන දනිමු. බටහිර භෞතික විද්‍යාවට මිරිඟුව ගැන යම් පැහැදිලි කිරීමක් ඇත. අපි එය පසෙකින් තබමු. අප මිරිඟුව නැති බව දන්නේ කෙසේ ද? මිරිඟුව ඇතැයි පෙනෙන තැනට අප ගිය විට එහි මිරිඟුවක් නැති බව වැටහෙයි. එබැවින් මිරිඟුව මායාවක් බොරුවක් යැයි අපි කියමු. එහෙත් මිරිඟුව නැති බව වැටහෙන තෙක් අපි මිරිඟුව පසුපස දුවමු. මෙයින් පැහැදිලි වන කරුණ නම් පංචෙන්ද්‍රිය ගැන අපට විශ්වාසයක් තැබිය නොහැකි බව ය. 

අනෙක් අතට අපට නොඇසෙන ඇතැම් ශබ්ද බල්ලන් වැනි වෙනත් සතුන්ට ඇසෙන්නේ යැයි අපි කියමු. එමෙන් ම අපට නොමැති ඉවක් වෙනත් සතුන්ට ඇතැයි අපි සිතමු. මෙහි ප්‍රශ්නයක් ඇති බව බැලූ බැල්මට ම පෙනෙයි. අපට නොඇසෙන ශබ්ද බල්ලන්ට ඇසෙන්නේ යැයි අප දන්නේ කෙසේ ද? අප ඇතැයි සිතන්නේ අපේ පංචෙන්ද්‍රියවලට ගෝචර වන දේ පමණක් නම් අපට නො ඇසෙන දේ බල්ලන්ට ඇසෙන බව අප සිතන්නේ  ඒ එසේ බව අපේ පංචෙන්ද්‍රියවලින් කිසිම ඉන්ද්‍රියකට ඒ ගෝචර වීම නිසා නො වේ. අපට නොඇසෙන ශබ්ද බල්ලන්ට ඇසෙන බව අපට ගෝචර වන ඉන්ද්‍රියයක් පංචෙන්ද්‍රිය අතර නැත. 

එසේ නම් අපට නෙඇසෙන ඇතැම් ශබ්ද බල්ලන්ට ඇසෙන්නේ යැයි අප නිගමනය කරන්නේ කෙසේ ද? ඒ අපේ ඉන්ද්‍රිය පහෙන් එකකටවත් ගෝචර නොවන බැවින් එය ඇත්ත පිලිබඳ සම්මත නිර්ණාකයකයට අනුව බොරුවක් විය යුතු ය. එහෙත් අපි එය බොරුවක් යැයි නො සිතමු, නො ගනිමු. එතැන පරස්පරයක් නො වේ ද? පංචෙන්ද්‍රියවලට ගෝචර නොවන ඇතැම් දේ ඇතැයි ගැනීමටත්, වෙනත් ඇතැම් දේ නැතැයි ගැනීමටත් හේතුව කුමක් ද? ඒ දේ අතර වෙනසක් වේ ද? 

අපට නොඇසෙන දේ බල්ලන්ට ඇසෙන්නේ යැයි අප නිගමනය කරන්නේ හුදෙක් පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම් මත පදනම් වීමෙන් නො වේ. ඒ අපේ ප්‍රත්‍යක්‍ෂය නො වේ. ප්‍රත්‍යක්‍ෂය යන වචනය මේ සංවාදය මුලදී ම අමරතුංග මහතාගේ විවේචනයට භාජනය වූවකි. ප්‍රත්‍යක්‍ෂය යන්නට ඒ මහතා සංස්කෘත නිර්වචනයක් ද දුන්නේ ය. ප්‍රත්‍යක්‍ෂය යන්න සංස්කෘත වචනයක් බැවින් නිර්වචනය සංස්කෘතෙන් වීම ප්‍රශ්නයක් නො වේ. ප්‍රත්‍යක්‍ෂය යන්න නිර්වචන කෙරෙන්නේ ඇස් ඉදිරිපිට සෘජුව ම ආදී ලෙස ය. එනම් වෙනත් සංකල්පයකින් ප්‍රවාදයකින් තොරව ඇසෙන් සෘජුව ම ගෝචර වන්නේ ය යන අදහස එහි වෙයි. 

මෙය ඇසට පමණක් සීමා වූවක් නො වේ. වෙනත් ඕනෑම ඉන්ද්‍රියයකට එය යොදාගත හැකි ය. කණ නාසය දිව සිරුර (හම) ඉන්ද්‍රියයන් සම්බන්ධයෙන් ද ප්‍රත්‍යක්‍ෂය ඉහත කී අර්ථයෙන් යොදා ගත හැකි ය. එහෙත් එසේ සෘජුව තනාගත හැකි සංකල්ප කවරේ ද? අපි ඇස පිළිබඳ උදාහරණය ගනිමු. අපේ ඇස්වලට පෙනෙන්නේ වර්ණ ය. එසේත් නැත්නම් හැඩ රුව ය. වර්ණය නිල්, රතු, කොළ ආදිය විය හැකි ය. හැඩය වටකුරු දිගටි ආදී වශයෙන් විය හැකි ය. එහෙත් මේ සෑම තැනක දී ම එය හුදු සංජානනයක් පමණක් නොවන බව පෙනී යයි. ඒ සෑම අවස්ථාවක ම සංජානනය හා බැඳුණු සංකල්පයක් වෙයි. 

සංකල්පය මනසෙහි නිර්මාණයක් වෙයි. නිල් නම් සංකල්පය නොවන්නට නිල් පාට පිළිබඳ සංජානනයක් නැත. සංකල්පයකින් තොරව සංජානනයක් නැත. එහෙත් සංජානනයකින් තොරව සංකල්ප තිබිය හැකි ය. සංකල්ප ඇතිවන්නේ මනසෙහි ය. මනසට පංචෙන්ද්‍රියන්ගෙන් තොරව පැවැත්මක් ඇති බව අපට මනස කියා දෙයි. එහෙත් අධිපතිවාදී ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි ඒ නො පිළිගැනෙයි. 

අපේ ඇස්වලට කිසි දිනෙක කෝප්පයක් නො පෙනෙයි. අපට කෝප්පය පෙනෙන්නේ යැයි කීම කෙප්පයකි. කෝප්පය පෙනෙන්නේ හෝ ගෝචර වන්නේ හෝ පංචෙන්ද්‍රියවලින් කිනම් ඉන්ද්‍රියට ද? කෝප්පය යනු මනස විසින් නිර්මාණය කෙරෙන සංකල්පයකි. කෝප්පය ගෝචර වන්නේ කිනම් ඉන්ද්‍රියකට දැයි සඳහන් කිරීමට හැකි පඬියෙක් සිටින්නේ ද? ප්‍රත්‍යක්‍ෂ යනු පංචෙන්ද්‍රියයන්ට හා මනසට හෝ මනසට පමණක් හෝ වෙනත් සංකල්ප ප්‍රවාද අදිය නොමැති ව සෘජු සංකල්ප පමණක් භාවිතා කරමින් ගෝචර වන දේ යැයි මම සිතමි. මෙය සංස්කෘත සාහිත්‍යයෙහි දක්නට ලැබෙන නිර්වචනයෙන් තරමක් වෙනස් වනවා විය හැකි ය. එමෙන් ම රහතන් වහන්සේගේ ප්‍රත්‍යක්‍ෂ පෘථග්ජනයන්ගේ ප්‍රත්‍යක්‍ෂවලින් ද, බුදුන්වහන්සේගේ ප්‍රත්‍යක්‍ෂ අන් සියළු ප්‍රත්‍යක්‍ෂවලින් ද වෙනස් වන්නේ ය යනු මගේ විශ්වාසය වෙයි.

මට ශබ්දයක් ඇසෙයි. එය මගේ ප්‍රත්‍යක්‍ෂයක් විය හැකි ය. එහෙත් මට නොඇසෙන ශබ්දයක් බල්ලන්ට ඇසෙන්නේ ය යන්න මගේ ප්‍රත්‍යක්‍ෂයක් නො වේ. එය මා තර්කයෙන් න්‍යායෙන්, නිරීක්‍ෂණවලින් හා වෙනත් ක්‍රම මගින් ලබාගන්නා නිගමනයක් පමණකි. මට කිසිම වෙනසක් නො දැනෙන අවස්ථාවල දී බල්ලන් කන් දික්කරගෙන සිටිනු මම දැක ඇත්තෙමි. එය මගේ පමණක් නොව තවත් අයගේ ද අත්දැකීම වෙයි. එහෙත් අපට එයින් බල්ලන්ට අපට නොඇසෙන ශබ්ද ඇසෙන්නේ යැයි නිගමනය කළ හැකි ද? 

එවැනි නිගමනයකට පැමිණීමට පෙර අප පියවර ගණනක් පසුකළ යුතු ය. එහෙත් ඒ හුදු ප්‍රත්‍යක්‍ෂ නො වේ. බල්ලන් එසේ කන් දික්කර ගෙන සිටීමෙන් පසු බිරීම, සුළු වෙලාවකින් වෙනත් සතකු ඒ අසළින් ගමන් කිරීම ආදිය මත පදනම් ව මම ඒ බල්ලාට මට නොඇසුණු යමක් ඇසුණු බව නිගමනය කරමි. එය එක්තරා ආකාරයක ප්‍රවාදයකි. ඒ වියුක්ත ප්‍රවාදයක් නොවිය හැකි ය. එහෙත් එය අඩුම තරමෙන් සංයුක්ත ප්‍රවාදයකි. ඉන්පසු මගේ ඒ බල්ලා පිළිබඳ තිබූ අත්දැකීම් මත පදනම් ව ඒ බල්ලා සම්බන්ධයෙන් සාධාරණ (සාමාන්‍ය නො වේ) උද්ගමනයන්ට (ආගමනය නො වේ) මම අවතීර්ණ වෙමි. ඉන්පසු අනෙක් අයගේත් අනෙක් බල්ලන් සම්බන්ධයෙන් ඇති අත්දැකීම් මත පදනම් ව අපි වඩාත් සාධාරණ උද්ගමනයන්ට අවතීර්ණ වෙමු.

එය කෙතරම් සංකීර්ණ ක්‍රියාවලියක් ද යන්න පාඨකයනට පැහැදිලි විය යුතු ය. මට නොඇසෙන ශබ්ද බල්ලන්ට ඇසෙන බව අප දන්නේ ප්‍රවාද, අත්දැකීම්, උද්ගමන, තර්ක, න්‍යාය ආදිය යොදා ගැනීමෙනි. එහෙත් අපි එය පංචෙන්ද්‍රියවලට ගෝචර අත්දැකීම් ලෙස හඳුන්වමු. තර්ක න්‍යාය ආදිය ද අපේ මනස්වල නිර්මාණ බව බොහෝ දෙනාට අමතක වී ගොස් ය. අපට පංචෙන්ද්‍රියවලට පමණක් සීමා වූ ලෝකයක ජීවත් විය නො හැකි ය. 

ඒ ඒ අයගේ ලෝකයෙහි වැඩිපුර ඇත්තේ පංචෙන්ද්‍රියවලට පමණක් සීමා නොවූ සංකල්ප, ප්‍රවාද ආදිය ය. එහෙත් අධිපතිවාදී චින්තනයෙහි අපට කියා දෙන්නේ වෙනත් දෙයකි. පංචෙන්ද්‍රියවලට ගෝචර නොවූ දේ නැතැයි යමකු කියන්නේ කිනම් අරුතකින් ද? පංචෙන්ද්‍රියවලට පමණක් ගෝචර වූ ලෝකයක ජීවත්වන්නේ යැයි කදයන අයකු වෙතොත් ඒ බව පෙන්නුම් කරන ලෙස අභියෝග කරමි. 

එවිට ප්‍රශ්නය වනුයේ අප ඇතැමුන් යම් යම් කරුණු සම්බන්ධයෙන් පංචෙන්ද්‍රියවලට ගෝචර නොවූ ලෝකයක් ඇති බව පිළිගැනීමත් වෙනත් කරුණු සම්බන්ධයෙන් එසේ නො පිළිගැනීමත් ය. එවිට එසේ පිළිගැනීම සඳහා සපුරාලිය යුතු නිර්ණායක ඉදිරිපත් කළ යුතු වෙයි. මේ ප්‍රශ්න සියල්ල පැනනගින්නේ ඇත්ත බොරුවෙන් වෙන් කිරීමට ගිය විට ය. පෘථග්ජන සංකල්ප, ප්‍රවාද ආදී සියල්ල මුසා යැයි ගත්කල මේ ප්‍රශ්න පැන නො නගියි. පංචෙන්ද්‍රියවලට (හා මනසට) ගෝචර වන දේ පමණක් ඇතැයි කී විට දෙවියන් වහන්සේ පිළිබඳ ප්‍රශ්නය ද පැන නගීියි. දෙවීියන් වහන්සේ පංචෙන්ද්‍රියවලට (හා මනසට) ගෝචර නො වේ. ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි මේ ප්‍රශ්නයට පිළිතුරක් නැත. අද එහි දී කෙරෙන්නේ ඒ ඒ පුද්ගලයාට අවශ්‍ය පරිදි ඒ සම්බන්ධ නිගමනවලට එළඹීමට ඉඩ ලබා දීම ය. මෙය නාථ දෙවියන් පිළිබඳ සංකල්පයට වඩා සංකීර්ණ ය. දෙවියන් වහන්සේ අදාළ සංකල්පයට අනුව සමස්ත ලෝකය ම මැවූහ. 


නලින් ද සිල්වා

2014-09-24