History

Sunday, 23 November 2014

දෙමළ ජාතිවාදය පැරදවීම


මහින්ද රාජපක්‍ෂ මහතාගේ තුන්වැනි වාරයේ දී ඉටුවිය යුතු ප්‍රධාන කරුණු දෙකක් වෙයි. පළමුවෙන් ම දෙමළ ජාතිවාදය පැරදවිය යුතු වෙයි. දෙමළ ත්‍රස්තවාදය නන්දිකඩාල්හද දී පරාජය කෙරුණු නමුත් එංගලන්තයේ ඇමරිකාවේ හා බටහිර රටවල වාසය කරන විසිරුණු දෙමළ ජනයා මගින් අදටත් දෙමළ ජාතිවාදය මෙරට ආණ්ඩුවට හා සිංහලයන්ට එරෙහි ව ක්‍රියාත්මක වෙයි. ඒ පරාජය කළ යුතු වෙයි. එමෙන් ම ඒ පරාජය කළ හැකි වෙයි. ඒ සඳහා අප ආර්ථික වශයෙන් ද දැනුම (සංස්කෘතික) වශයෙන් ද දේශපාලන වශයෙන් ද ශක්තිමත් විය යුතු ය. 

බටහිරයන් අපට එරෙහිව ආර්ථික සම්බාධක පණවනු ඇත. අපට එයට සූදානම් විය හැක්කේ ආර්ථික ව ශක්තිමත් වීමෙන් පමණ ය. දේශපාලන වශයෙන් අපට ශක්තිමත් විය හැක්කේ විධායක ජනාධිපති ක්‍රමය අඩු තරමෙන් තවත් වසර දහයක් පවත්වාගෙන යාමෙන් හා ශක්තිමත් දේශපාලනඥයකු විධායක ජනාධිපති බවට පත්කර ගැනීමෙනි. අද ඒ සඳහා සිටින ශක්තිමත් ම බටහිරට නොනැමෙන පුද්ගලයා මහින්ද රාජපක්‍ෂ මහතා ය. අපට එංගලන්තය හා ඇමරිකාව ඇතුළු බටහිර රටවලට පණිවුඩයක් දිය හැක්කේ මහින්ද රාජපක්‍ෂ මහතාට වලංගු ඡන්දයෙන් 55% ට වැඩි ඡන්දයක් ලබා දීමෙනි. දුර්වල දේශපාලනඥයකු විධායක ජනාධිපති ධුරයට පත්කර ගැනීමෙන් හෝ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමෙන් හෝ අපට දෙමළ ජාතිවාදය පරාජය කළ නො හැකි ය. දුර්වලයා සැම විට ම බටහිරයන්ගේ පදයට නටන ඉත්තෙකි.

දැනුම වශයෙන් ගත්කල අද සිංහලයන්ට විරුද්ධ ව ඇති චෝදනා සියල්ලට ම පිළිතුරු දීමට අප සමත් විය යුතු ය. ඒ සම්බන්ධයෙන් අප විසින් ද ලියන ලද පොත්පත් ලිපි ප්‍රමාණය ඉතා අධික ය. දෙමළ ජාතිවාදීන් නගන සියලු ප්‍රශ්නවලට අපි පිළිතුරු දී ඇත්තෙමු. අපට එංගලන්තයත් ඇමරිකාවත් අනෙක් රටවලුත් පරාජය කළ හැකි ය. එමගින් දෙමළ ජාතිවාදය ද පරාජය කළ හැකි ය. ඒ කළ යුතු දෙයකි. 

අද විධායක ජනාධිපති ක්‍රමය අහොසි කළ යුතු යැයි කියන්නෝ මූලික වශයෙන් බටහිරයන්ට හා දෙමළ ජාතිවාදයට සේවය කරති. ඔවුන් තමන් එසේ නො වේ යැයි කීමට ඉඩ ඇත. ජාතික හෙළ උරුමය හෝ ඉන් කොටසක් හෝ නැවතත් මංගල සමරවීර සමග එක වේදිකාවේ පෙනී සිටීම ගැන අපි පුදුම නො වෙමු. 1994 දී ද ඔවුහු ජනතා මිතුරෝ හෝ වෙනත් සංවිධානයක හෝ නමින් පෙනී සිටිමින් මංගල සමරවීර සමග එකට ජාතිකත්වයට එරෙහි ව වැඩ කළහ. එදවස පැවති මහා මැතිවරණයේ දී මංගල සමරවිරට ආධාර කළහ. මේ සම්බන්ධයෙන් තවත් දේ කීමට ඇතත් එය පසුවට කල් දමමි.  

මහින්ද රාජපක්‍ෂ මහතාට තම තෙවැනි වාරයේ දී ආර්ථික ය තව තවත් ශක්තිමත් කිරීමට සිදුවනු ඇත. ඒ ඔහුගෙන් බලාපොරොත්තුවන දෙවැනි කරුණ ය. ආර්ථික සංවර්ධනය බටහිර අච්චුවට පමණක් සීමා නොවිය යුතු ය. එය දේශීය මගක් ද ගත යුතු ය. අපේ ගොවිකම දියුණු කිරීමෙන් අපට කෘෂිරසායන භාවිතයෙන් ක්‍රම ක්‍රමයෙන් ඉවත් විය හැකි ය. එමගින් වස විසෙන් ද අපට වෙන් විය හැකි ය. දේශීය වෙදකම දියුණු කිරීමෙන් අපට බටහිර වෛද්‍ය ක්‍රමය සඳහා වියදම් වන මුදල් රුපියල් කෝටි ගණනින් ඉතිරි කරගත හැකි ය. 

එ ජ නි සංධානයේ ප්‍රතිපත්ති ඉහත සඳහන් ආකාරයෙන් සකස් කරගත යුතු වෙයි. අද බටහිරයෝ අප පාලනය කරති. අපට නිදහසක් තිබිණි ද එය සීමිත නිදහසකි. බටහිරයෝ  විසිරුණු දෙමළ ජනයා මගින් අපට බලපෑම් කරති. ඔවුහු බටහිර සිටින කොටින් ද ඇතුලු දෙමළ ජාතිවාදීන්ට ආධාර කරති. පසුගිය දා යුරෝපා සංගමය කොටි සංවිධානයේ තහනම ඉවත් කළ අතර අපට ආර්ථික තහංචියක් පැණවී ය. ඒ අපේ මාළු මිළදී නොගෙනීමට තීරණය කිරීමෙනි. ඉදිරියේ දී අප තව තවත් එවැනි ක්‍රියා බලාපොරොත්තු විය යුතු ය.

යුරෝපා සංගමයට අපේ අභ්‍යන්තර ප්‍රශ්නයකට අත පෙවීමට අයිතියක් නැත. ඔවුන් කර ඇත්තේ ඔවුන්ගේ ආධිපත්‍යය අප මත පැටවීමකි. අප එහි දී ක්‍රියාකළ යුතුව තිබුණේ කෙසේ ද? ප්‍රභාකරන් සමග සටන් විරාම ගිවිසුමක් අත්සන් කළ, තොප්පිගල යනු කැලෑවක් පමණක් යැයි කියමින් අපේ හමුදාවන් සමච්චලයට ලක්කළ රනිල් වික්‍රමසිංහ හදිසියේ ම දේශප්‍රේමියකු වී ආණ්ඩුව යුරෝපා සංගමයට එරෙහිව කටයුතු නොකළේ ඇයි දැයි අසයි. ඔහු ඉන් නොනැවතී යුරෝපා සංගමයට ලිපියක් ද යවා ඇත. රනිල් වික්‍රමසිංහ මේ කරන්නේ කුමක් ද?

ඒ ඔහුට හුරු පුරුදු කාර්යයකි. එනම් රට හා සිංහලයන් පාවා දීමකි. යුරෝපා සංගමයට අපේ රටේ අභ්‍යන්තර කරුණුවලට මැදිහත් වීමට කිසිම අයිතියක් නැත. ඔවුන් තමන්ගේ සමිති සමාගම්වල අපට විරුද්ධව විවිධ යෝජනා සම්මත කරගන්නා විට අප කළ යුත්තේ ඒ සඳහා මැදිහත් වීම නො ව ඔවුන් මුළුමනින් ම නොසලකා හැරීම ය. ආණ්ඩුව කළ යුතු පරිද්දෙන් යුරෝපා සංගමය නොසලකා හැර රටේ හා ජනතාවගේ ස්වෛරීභාවය රැකගත්තේ ය. යුරෝපා සංගමයට අපේ ප්‍රශ්නවලට මැදිහත්වීමට අයිතියක් නැති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ය. 

එහෙත් රනිල් වික්‍රමසිංහ කළේ කුමක් ද? ඔහු ඊනියා දේශප්‍රේමීත්වයක් අටවාගෙන විපක්‍ෂ නායක ධුරය ද යොදා ගනිමින් සුපුරුදු අන්දමින් රට පාවාදීමට පියවර ගත්තේ ය. ඔහු තම ලිපිය මගින් යුරෝපා සංගමයට අප රටේ කරුණුවලට මැදිහත්වීමට අයිතියක් ඇති බව පිළිගත්තේ ය. ඔහුගේ දේශප්‍රෙමයේ නිරුවත දිස්වන්නට පටන් ගත්තේ ය. ඔහුගේ පක්‍ෂයෙන් කවුරුන් ඉදිරිපත් වුවත්  ඒ තැනැත්තා ද බටහිරයන්ට හා දෙමළ ජාතිවාදයට රට පාවාදෙනු ඇත.

ජනාධිපතිවරණය ද ජාතික බලවේග හා විජාතික බලවේග අතර සටනකි. එහි දී ජාතික හෙළ උරුමය  විජාතික බලවේගවලට යට වුව ද ජාතිකත්වයේ අති විශාල බහුතරය ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මහතා සමග ජාතිකත්වය පැත්තේ ය. ජාතික හෙළ උරුමයට වුව ද එක්සත් ජනතා නිදහස් සංධානයෙන් ඉවත්වීමට තරම් ශක්තියක් නැත. ඔවුන් කර ඇත්තේ ඇමති ධුර අත්හැරීම පමණකි. ජාතික හෙළ උරුමයට පැවැත්මක් ඇත්තේ සංධානය තුළ පමණකි. සංධානයෙන් පිටවූ විගස ඔවුන් දේශපාලන පක්‍ෂයක් ලෙස දිය වී යනු ඇත. සංධානයේ පක්‍ෂයක් ලෙස සිටිමින් ගන්නා මනාප ඒ ඒ පක්‍ෂවලට ලැබෙන මනාප නොවන බව ජ වි පෙරමුණ ද ජාතික නිදහස් පෙරමුණ ද දනියි. ජාතික හෙළ උරුමය ද ඒ පාඩම හැකි ඉක්මනින් ඉගෙන නොගතහොත් මින් පසු අත්හැරීමට ඇමතිධුර නොව මන්ත්‍රීධුර ද නැතිවනු ඇත.   


නලින් ද සිල්වා

2014-11-23