History

Wednesday, 25 February 2015

රනිල් පික්පොකෙට් අගමැති කෙනෙක්

රනිල් පික්පොකට් අගමැති කෙනෙක්

රනිල් වික්‍රමසිංහ අගමැති වී ඇත්තේ නීත්‍යානුකූල ව නොවේ. ඔහු අගමැතිකම ගැටකැපූ අයෙකු බව පැහැදිලි ය. මේ ආණ්ඩුව නී්‍යානුකූල ද යන මැයෙන් කලින් පළවූ ලිපියක් සුළු සංශෝධන සහිත ව නැවත පළකරන්නේ ඇතැමුන්ගේ ඉල්ලීම පරිදි ය. 

අප මේ වෙබ් අඩවියෙහි කිහිප විටක් ම සඳහන් කර ඇත්තේ පසුගිය ජනවාරි 8 වැනි දා පවත්වන ලද්දේ ජනාධිපතිවරණයක් මිස මහා මැතිවරණයක් නොවන බව ය. ජනතාව ඡන්දය දුන්නේ ජනාධිපතිවරයකු පත්කර ගැනීමට මිස අලුත් ආණ්ඩුවක් පත්කර ගැනීමට නො වේ. එහෙත් කිසිවකු, විශේෂයෙන් තමන් සියල්ල දන්නේ යැයි සිතන ඊනියා පක්‍ෂ නායකයන් ඇතුළු ඇතැම් දේශපාලනඥයන්, බියගුළු ඇතැම් නීතිඥයන් ආදීන් අප කියන කරුණු සතපහකටවත් මායිම් නොකරණ බව පැහැදිලි ය. දහදෙනකු සිටින පක්‍ෂයක ඊනියා පක්‍ෂ නායකයන් ද සිතන්නේ තමන් කියන දෙයට සෙසු අය සවන් දිය යුතු බවත් තමන් අප වැන්නන්ට සවන් දීමට අවශ්‍ය නැති බවත් ය. ඔවුන් වෙනුවෙන් මේ වෙබ් අඩවිය පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවක් නැති වුවත් මේ කරුණු ඉතා සුළු පිරිසකට වුවත් වැඩදායක වේ යැයි සිතන බැවින් තව ටික කලකට ලිවීමට අදහස් කරමි. 

පහත දැක්වෙන්නේ නීතිඥයකු හෝ දේශපාලනඥයකු හෝ නොවන මට හැඟෙන දේ ය. ඒ වැරදි විය හැකි ය. එහෙත් ඒ අදහස් ගැන සාකච්ඡාවක් නොවීම කණගාටුදායක ය. මේ ලිපිය ලිවීමට නිමිත්ත වූයේ ජෝන් අමරතුංගට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව පරාජය වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට රනිල් වික්‍රමසිංහ කරන තර්ජනය ය. මම ඇතැම් පඬියන් මෙන්  ජනාධිපතිට විරුද්ධව දෝෂාභියෝග ගෙන ආ යුතු යැයි නො කියමි. වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එවැනි දෝෂාභියෝගයක් ගෙන ඒමට අවශ්‍ය ඡන්්ද ප්‍රමාණය නැත. එහෙත් මේ පඬියන් සිතන්නේ ව්‍යවස්ථාව කියවීමට අවශ්‍ය නැති බවත් සාමාන්‍ය බුද්ධියෙන් සියල්ල කරගත හැකි බවත් ය. මේ අයට ඇත්තේ ඉතාමත් සාමාන්‍ය බුද්ධියක් බව පැහැදිලි ය.

අද තිබෙන ආණ්ඩුව, අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය පත්කරනු ලැබුයේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසිනි. කැබිනට් මණ්ඩලය පත්කිරීම, විසුරුවා හැරීම ගැන කියැවෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 43, 44, 47, 48, 49 වැනි ව්‍යවස්ථාවල ය. කැබිනට් නොවන ඇමතිවරුන් හා නියෝජ්‍ය ඇමතිවරුන් ගැන 45 හා 46 වැනි ව්‍යවස්ථාවල සඳහන් වෙයි. මේ එක් ව්‍යවස්ථාවකවත් එක් ජනාධිපති කෙනකු නායකත්වය දරණ කැබිනට් මණ්ඩලයක් තිබිය දී  වෙනත් ජනාධිපතිවරයකු පත්වුවහොත් ක්‍රියා කළ යුත්තේ කෙසේ දැයි සඳහන් නො වේ. නව ජනාධිපතිවරයකු පත් වූ පමණින් කැබිනට් මණ්ඩලය අහෝසි වන බව හෝ විසුරුවා හැරෙන බව හෝ ව්‍යවස්ථාවෙහි සඳහන් නො වේ. එහෙත් ඉතා පැහැදිලිව 49 (1) ව්‍යවස්ථාවෙන් කියැවෙන්නේ සාමාන්‍ය තත්ත්වයන් යටතේ අගමැති තම පදවිය දැරීමෙන් ඉවත් වුවහොත් ඒ සමග කැබිනට් මණ්ඩලය ද විසුරුවෙන බව ය. එහෙත් 43 (2) ව්‍යවස්ථාව යටතේ කැබිනට් මණ්ඩලය විසුරුවා හැරිණි ද ජනාධිපති තම  කාර්යයන්හි නිරත වෙයි. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි එක් ජනාධිපති කෙනකු ඉවත් වී (කෙරී) වෙනත් ජනාධිපතිවරයකු පත්වීමෙන් පසුව කැබිනට් මණ්ඩලය ඉවත්වෙන බව හෝ විසුරුවා හැරෙන බව හෝ සඳහන් නොවීමෙන් කියැවෙන්නේ තිබූ කැබිනට් මණ්ඩලය අගමැති ද සමගින් දිගට ම ක්‍රියාත්මක වන බව ය. ඒ සඳහා වෙනත් අර්ථකථනයක් දිය හැකි යැයි නො සිතමි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කිරීමට හැක්කේ ශ්‍රෙෂ්ඨාධිකරණයට පමණ ය. එහෙත්  එය ඊනියා නිරපේක්‍ෂ වාස්තවික අර්ථනිරූපණයක් නොවන බව පමණක් කිව හැකි ය. ඒ සියල්ල සාපේක්‍ෂ වන බැවිනි. 

වත්මන් ජනාධිපති පත්වීමෙන් පසු කැබිනට් මණ්ඩලය හෝ අගමැති හෝ අස් නො වී ය. එපමණක් නොව ඔවුහු අස්කරනු නො ලැබූහ. එයින් කියැවෙන්නේ වත්මන් ජනාධිපති  දිවුරුම් දීමෙන් පසුව ද  කැබිනට් මණ්ඩලය දිගට ම ක්‍රියාත්මක වූ බව ය. සිදු වූ එකම වෙනස වූයේ කැබිනට් මණ්ඩලයේ නායකත්වයට වෙනත් අයකු පත්වීම පමණ ය. 

43 (3) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිට පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනාගත හැකි යැයි තමා සිතන පුද්ගලයාව අගමැති ලෙස පත්කළ හැකි ය. මම එයට අභියෝග නොකරමි. ඒ සඳහා පාර්ලිමේන්තුවේ ඡන්දයක් පැවැත්විය යුතු නො වේ. එහෙත් එසේ පුද්ගලයකු අගමැති ලෙස පත්කළ හැක්කේ අගමැති ධුරය හිස්ව පවතින්නේ නම් පමණකි. එසේ වුවත් නව ජනාධිපති එම පදවියේ දිවුරුම් දෙන විට (ඒ සියල්ල නීත්‍යානුකූල ව සිදුවිණි යැයි උපකල්පනය කරමින්) අගමැතිවරයෙක් සිටියේ ය. කැබිනට් මණ්ඩලයක් ද ක්‍රියාත්මක විය. එවිට ජනාධිපතිට 43 (3) ව්‍යවසාථාව යටතේ වෙනත් අයකු අගමැති ලෙස පත්කළ නො හැකි ය. කඩිමුඩයේ අගමැති කෙනකු පත්නොකර ජනාධිපති කළ යුතුව තිබුණේ පළමුව 47 (අ) ව්‍යවස්ථාව යටතේ දි මු ජයරත්න අගමැති ධුරයෙන් ඉවත් කිරීම ය. එසේ නොකළ බැවින් ඔහු අදටත් නීත්‍යානුකූල අගමැති වන අතර අනෙක් ඇමතිවරු නීත්‍යානුකූල ව තමන් දැරූ තනතුරු දරති. එසේ ඉවත් නොකර පත්කරන ලද අගමැති නී්‍යානුකූල වන්නේ කෙසේ ද?

දැන් යමකුට තර්ක කළ හැක්කේ 44 (1) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිට කලින් කලට ඇමති ධුර සංඛ්‍යාව නියම කර අමාත්‍යාංශ වෙන්කර ඇමතිවරුන් පත්කිරීමට ප්‍රතිපාදන ඇති බව ය. එහෙත් එසේ කළ හැක්කේ නීත්‍යානුකූල ව පත්කරන ලද අගමැතිවරයකු සිටින විට ය.   ඒ ව්‍යවස්ථාව යටතේ ඇමතිවරුන් පත්කිරීමේ දී  අගමැති විමසුවත් නැතත් අගමැතිවරයකු සිටිය යුතු ය. එහෙත් ජනාධිපති අගමැති ලෙස පිළිගත්තේ නී්‍යානුකූල අගමැති දි මු ජයරත්න නොව ඔහු විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණිව පත්කරන ලද පුද්ගලයකු ය. ඒ පිළිගැනීම ම වැරදි ය. එබැවින් ජනාධිපති විසින් පත්කරන ලද ඇමතිවරු ද නීත්‍යානුකූල නැත.

ශ්‍රී ල නි පක්‍ෂයේ නිවට නායකයන් නොවන්නට මේ වන විටත් රනිල් සහ අනෙක් ඇමතිවරුන්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් ඔවුන් ඇමති ධුරවලින් ඉවත්කර සංධාන ආණ්ඩුවක් පිහිටුවා අවසන් ය. 

නලින් ද සිල්වා 

2005 පෙබරවාරි 25