History

Wednesday, 25 February 2015

ඉදිරි මැ තිවරණයේ තීරකය ජතිකත්වය්යි

 ඉදිරි මැතිවරණයේ තීරකය ජාතිකත්වයයි

අද (පෙබරවාරි 25) ජ වි පෙරමුණේ අනුර කුමාර දිසානායක නුවර දී පවත්වන ලද කතාවකින් ඔහු ජාතිවාදීන් යැයි හඳුන්වන්නන්ට හොඳ හැටි බැට දී ඇතැයි වාර්තා වෙයි. එසේ ම අප්‍රියෙල් 23 වැනි දා පාර්ලිමේන්තුව විසිරුවා නොහැර ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට කතාකරන්නන් ද ඔහු අතින් විවේචනය වී ඇත.  කටහඬ අනුරගේ වුවත් චින්තනය රනිල් වික්‍රමසිංහගේ ය, නැත්නම් රවි කරුණානායකගේ ය. ඒ කාගේ වුවත් ජ වි පෙ නායකයන් දැන් මැදිවියේ පසුවුව ද, ජ වි පෙරමුණ එක්සත් ජාතික පක්‍ෂයේ තරුණ සංවිධානය බවට පත් වී අවසන් ය. 

ඊනියා ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් අනුර කුමාර අතින් විවේචනය වන්නේ ශ්‍රී ල නි පක්‍ෂයේ නායකත්වය බව පැහැදිලි ය. මේ නායකයෝ තම වැරදි වසාගැනීමට හෝ වෙනත් හේතුවකට හෝ ඇමතිකම් ලබාගෙන ජාතික ආණ්ඩුවක් යැයි කියන මගඩියක තවත් අවුරුද්දක් හෝ දෙකක් හෝ කල්ගත කිරීමට උත්සාහ දරති. එ ජා පක්‍ෂයේ සිරකරුවකු බවට පත් වී සිටින මෛත්‍රිපාල සිරිසේන කැබීනට් මණ්ඩලයේ තම ශක්තිය වැඩිකර ගැනීම සඳහා එවැනි ඊනියා ජාතික ආණ්ඩුවක් පත්කර ගැනීමට කැමතිවනු ඇත. එවැනි ආණ්ඩුවක් පිහිටුවීම නම් වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම ජනාධිපතිගේ දෑත් ශක්තිමත් කිරීමකි. 

මහින්ද රාජපක්‍ෂගේ දෑත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවක් එකල නො වී ය. බොහෝ දෙනා ආණ්ඩුවට එකතු වූයේ තම තමන්ගේ දෑත් ශක්තිමත් කර ගැනීමට ය. එහෙත් ඔවුන් කීවේ ජනාධිපති දෑත් ශක්තිමත් කිරීමට යන බවකි. එහෙත් දැන් නම් මෛත්‍රිපාල සිරිසේනගේ දෑත් ශක්තිමත් කිරීමට අවශ්‍ය වී ඇත.  රනිල් හා අනුර කුමාර ඒ සඳහා සහාය නොදෙන බව පැහැදිලි ය. මෛත්‍රිපාලගේ කෙසේ වෙතත් රනිල්ගේ දෑත් ශක්තිමත්ව කිරීමට අනුර කුමාරට අරලිය ගහ මන්දිරයෙන් කාමරයක් ලැබී ඇතැයි කියැවෙයි. 

එහෙත් මේ සියල්ලට ම වඩා වැදගත් වන්නේ අද ඊනියා ජාතිවාදීන්ට එරෙහිව කරන උද්ඝෝෂණය ය. රනිල් වික්‍රමසිංහ මෛත්‍රිපාල සිරිසේන සමග එකතු වී ඊනියා ජාතිවාදයට එරෙහිව රැළියක් පැවැත්වීමට යන බව කියැවෙයි. ඉතා පැහැදිලිව මේ පසුගිය 18 වැනි දා නුගේගොඩ පැවති රැළියට පිළිතුරකි. එසේ පිළිතුරු රැළි පැවැත්වෙන බව අපි කල්තබා ම කීවෙමු. එසේ කීමෙන් අපි ගෞරවයක් බලාපොරොත්තු නො වෙමු. දේශපාලනය ගැන උනන්දුවක් දක්වන බොහෝ අය පිළිතුරු රැළි ගැන සිතන්නට ඇත. 

පසුගිය ජනාධිපතිවරණයේ දී ද මතුවීමට තිබුණේ ජාතිකත්වය ය. අපි ඒ බව සංධානයට කීවෙමු. එහෙත් එහි ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු මෙහෙයවූවෝ අවසන් සතිය දක්වා ම ජාතිකත්වය අමතක කළහ. ඒ අතර සිදුවූයේ ජාතිකත්වය අමතක කර ඊනියා දුෂණය ගැන කතාකිරීමට එ ජා ප ප්‍රචාරකයන් ඉදිරිපත් වීම ය. අවුරුද්දකට වැඩි කලක් තිස්සේ එ ජා ප මේ ප්‍රචාරය ගෙන ගියේ ය. එහි දී ඔවුන්ට ඇමරිකාව ප්‍රමුඛ  (ප්‍රශ්නය ඇති කළේ එංගලන්තය වුවත් අද එය මෙහෙයවන්නේ ඇමරිකාව ය) බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ සහාය නොමඳ ව ලැබිණි. ඉන්දියාවේ උගත් රෝ ඔත්තු සේවයට වැඩ කරන සිංහලයෝ මෙහි දී විශේෂයෙන් යොදාගනු ලැබිණි. මේ එකකු මා හමුවීමට ද පැමිණියේ කොටින්ට විරුද්ධව රණවිරුවන් කළ මෙහෙයුම් ඔහු ඉන්දීය දෘෂ්ටි කෝණයකින් විස්තර කර ලියූ පොතක් ද රැගෙන ය. විය යුතු පරිද්දෙන්ම මම ඔහු ගෙදරින් එළවා දැමුවෙමි.  

සිංහල ජාතිකත්වය හා සිංහල බෞද්ධ චින්තනය (මෙය අමරසේකරගේ ජාතික චින්තනයෙන් වෙනස් බව දැන්වත් පාඨකයා දැනගත යුත්තේ අවුල් සහගත ව නොසිතීමට ය) විස්තර කරන ලිපි ඉදිරියේ දී තව තවත් ලිවීමට බලාපොරොත්තුවෙමි. එහෙත් කිව යුත්තේ බටහිර හා ඉන්දීය ගැත්තන් කෙසේ කීව ද සිංහලයන්ගේ ඡන්දවලින් 65%ක් හෝ සිංහල බෞද්ධයන්ගේ ඡන්දවලින් 70%ක් හෝ ගත්තේ නම් මහින්ද රාජපක්‍ෂට ජනාධිපතිවරණය ජයගැනීමට තිබුණු බව ය. බටහිරයෝ ද ඉන්දියානුවෝ ද එය දැන සිටියහ. එබැවින් ඔවුන්ට අවශ්‍ය වූයේ 65% අඩුකිරීම ය. ඒ සඳහා ඔවුහු වෙනසක් අවශ්‍යය, දූෂණයට එරෙහි විය යුතු ය, ඊනියා සාධාරණ සමාජයක් බිහිකළ යුතුය, ඊනියා යහපාලනයක් ඇතිකළ යුතු ය, ඊනියා පිවිතුරු හෙටක් උදාකළ යුතු ය ආදී සිහින ඡන්දදායකයා, විශේෂයෙන් ම තරුණ ඡන්දදායකයා හමුවේ තැබූහ. එහි දී ඔවුහු, විශේෂයෙන් ම බටහිරයෝ , සයිබර් අවකාශය යොදාගත්හ.

ජ වි පෙරමුණේ මිනීමැරුම්, බටලන්ද, වයඹ පළාත් සභා ඡන්දය, වෝටර්ස් ගේට් ආදී කිසිවක් ගැන පමණක් නොව කොටි බෝම්බ ගැන ද නොදත් තරුණ තරුණියෝ ජාතිකත්වය පිළිබඳ අවබෝධයක් නැතිව මෛත්‍රිපාල සිරිසේනට ඡන්දය දුන්හ. මහින්ද රාජපක්‍ෂට ලැබුණු සිංහලයන්ගේ ඡන්දය 58%ක් පමණ විය. එය 65%ට වඩා අඩු විය. බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ ජයග්‍රහණය වූයේ 65%, 58% දක්වා අඩුකිරීම ය. 

ඉදිරි මැතිවරණයේ ද ීඑය එසේ ම සිදු නොවන බව මෛත්‍රිපාල කෙසේ වෙතත් රනිල් දනියි. එබැවින් එහි දී ජාතිකත්වය තීරක බලය වීම වැළැක්වීමට රනිල් බටහිරයන්ගේ ද ඉන්දියානුවන්ගේ ද සහාය ඇතිව දැන් සිට ම සූදානම් වෙයි. අසාද් සාලි කී අයුරින් නොව නුගේගොඩ රැස්වීමේ බෞද්ධ කොඩි නො වී ය. එහෙත් එහි ජාතික කොඩි ද මහින්ද රාජපක්‍ෂගේ ඡායාරූප ද විය. පැහැදිලිව ම අද මහින්ද රාජපක්‍ෂ සිංහල ජාතිකත්වයේ සංකේතය වෙයි. නුගේගොඩ රැස්වීම අහවල් පක්‍ෂයක හෝ අහවල් පුද්ගලයකුගේ රැස්වීමක් නො විය. එය වත්මන් යුගයේ ජාතිකත්වයේ රැස්වීම විය.

රනිල් ද බටහිරයෝ ද ඉන්දියානුවෝ ද  ඒ බව දනිති. රනිල් අද ජාතිකත්වයට බිය වී ඇත. ඔහු ජාතිකත්වය වෙනුවෙන් යම් ප්‍රමාණයකට වුවත් පෙනී සිටින ජනමාධ්‍ය මර්දනය කිරීමට සැරසෙන්නෙත් නුගේගොඩ ජාතිකත්ව රැස්වීමට විරුද්ධව ඊනියා ජාතිවාදී නොවන රැස්වීම් සංවිධානය කරන්නේත් එබැවිනි. 

නලින් ද සිල්වා 

2015 පෙබරවාරි 25