History

Monday, 16 November 2015

නීතියට ස්වාධීන විය හැකි ද? (2015 නොවැම්බ ර් 15 ඉරිදා රිවිර ලිපියෙහි මුල් පිටපත)

නීතියට ස්වාධීන විය  හැකි ද?  

ජනවාරි 8 වැනි දා සිට දේශපාලනය කැළඹිලි සහිත වෙයි. ඒ ඇරඹුනේ ම නීත්‍යානුකූලව නො වේ. එක් අගමැතිවරයකු සිටිය දී ම ව්‍යවස්ථාවට පටහැණිව තවත් අගමැතිවරයකු පත් කෙරිණි. තිලක් මාරපන මහතා සහ විජ්යදාස රාජපක්‍ෂ මහතා එකල කොහේ සිටියේ දැයි අපි නො දනිමු. නීතිය බූරුවකු යැයි කියමනක් තිබේ. සමහර විට ඒ මහත්වරුන්ට වෙනත් මතයක් තිබෙන්නට ඇත. එහෙත් නායකයාට විරුද්ධව යෑමට ඔවුන් මැලිවන්නට ඇත. මේ ආණ්ඩුවට සිංහලයන්ගේ බහුතරය විරුද්ධ ය. ආණ්ඩුව පවතින්නේ විජාතික බලවේගවල හා දෙමළ ජාතිවාදයේ ආධාරයෙනි. ඒ නිසා ම ආණ්ඩුවට තැන්පත් වීමට නො හැකි ය. ආණ්ඩුව වරෙක නීතියේ පිහිට පතයි. තවත් විටෙක නීතියට පටහැණිව ක්‍රියාකරයි. ආණ්ඩුව යනු නීතිය ය.


ඇවන්ගාඩ් යන්නෙහි තේරුම සාහිත්‍යයෙහි හා වෙනත් තැන්වල යෙදෙන්නේ පුරෝගාමී යන අරුතිනි. ලංකාවේ අද ඒ යෙදෙන්නේ ඊනියා රාජපක්‍ෂ රෙජිමයට මඩගැසීමට හා හැකිනම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා දංගෙඩියට යැවීමට යොදා ගන්නා සමාගමක  නම ලෙස ය. කෙසේ වෙතත් මේ සමාගම ද ලංකාව සම්බන්ධයෙන් නම් පුරෝගාමී කටයුත්තක් කර ඇති බව පැහැදිලි ය. ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ අර්බුදයක් පැන නැගී ඇත. ඇතැමුන් ඒ සිද්ධියෙහි වරදක් දකින අතර තවත් අය එය නීත්‍යානුකූල බව පවසති. බැලූ බැල්මට මෙය මෛත්‍රි රනිල් විරසකයෙහි එක් පියවරක් ලෙස පෙනී යයි. ජනාධිපති සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කිරීම තම අතට ගෙන ඇත.  මෙහි දී ජ වි පෙරමුණේ අනුර දිසානායක මහතා පොට වරද්දා ගෙන ඇති බවක් පෙනෙයි. 

තිලක් මාරපන මහතා විශ්වවිද්‍යාලයේ මගේ පළමු වසරේ රසායන විද්‍යා අධ්‍යයන උපදේශකවරයා (ටියුටර්) විය. සාමාන්‍ය පෙළ පංතියේ සිට ම රසායන විද්‍යාව අප්‍රිය කළ මා ඔහුගේ පංතිවලට හා ප්‍රායෝගික පංතිවලට ගියේ කලාතුරකිනි. ඒ මහතා ඒ පිළිබඳ ව මට කිසිදාක කිසිවක් නො කීවේ ය. ඔහු එකල නීතිය හදාරමින් සිටින්නට ඇත. මගේ චර්යාව එදා තිබූ විශ්වවිද්‍යාල නීතියට පටහැණි නො වේ යැයි ඒ මහතා තීරණය කෙළේ දැයි නොදනිමි. ඒ කුමක් වුවත් රසායන විද්‍යාවේ ප්‍රායෝගික කොටසෙන් මම අසමත් වීමි. 

තිලක් මාරපන මහතාට අනුව ඇවන්ගාඩ් සිද්ධියෙහි නීතියට විරුද්ධ ව කිසිවක් සිදු වී නැත. විජයදාස මහතා නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඒ මතය ම දරයි. නීතිය අනුව මෙහි දී කිසිවකු වරදක්  කර ඇති බවක් නැතැයි පැවසෙයි. අදාළ පුද්ගලයන් ආගම දහමට අනුව විරුද්ධව යමක් කර ඇත්නම් යමරජු එය බලාගන්නවා ඇත. යමරජු ඔවුන් අසමත් කරනු ඇත. එහෙත් ආණ්ඩුවේ මෛත්‍රිපාල කණ්ඩායම ඉවසීමට නොහැකිව  යම රජුගේ කාර්යභාරය අතට ගෙන ඇත. මාරපන මහතාට තම ඇමති ධුරය අත්හැර යෑමට සිදු වී ඇත.  නීතිපති, මාරපන මහතා හා විජයදාස රාජපක්‍ෂ මහතා ඒ ගැන තම මතය ඉදිරිපත් කර ඇති නමුත්  ජනාධිපතිට තමාගේ ළඟම හිතවතුන්ගේ බලපෑමෙන් මිදිය නො හැකි ය. ජනාධිපති අතර මැදි විසඳුමක් ලෙස සමාගමේ කටයුතු නාවික  හමුදාවට පවරා ඇත. කෙසේ වෙතත් එය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රකාශයකි. විජයදාස රාජපක්‍ෂ මහතාට අනුව ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් පත්කළ කමීටුව එවැනි තීරණයක් ගෙන නැත. 

මාරපන මහතා හා විජයදාස රාජපක්‍ෂ මහතා නීති තත්ත්වය හෙළිදරවු කිරීමට මෙතරම් පමා වූයේ ඇයි ද යන්න ප්‍රශ්නයකි. ඔවුන් තම පක්‍ෂයේ අයට ඇවන්ගාඩ් සම්බන්ධයෙන් රිසි සේ මඩ ගැසීමට ඉඩ හැර පාර්ලිමේන්තුවේ අනුර දිසානායක මහතා තම කණ්ඩායමට විරුද්ධව ක්‍රීඩා කරමින් තමන්ගේ පැත්තේ දැළට ම පහරක් එල්ල කරන තෙක් බලා සිටියේ ඇයි? ඔවුන් නීති තත්ත්වය තම නායකයාට හා පක්‍ෂයට දන්වා ඇවන්ගාඩ් ප්‍රශ්නය අත්හැර දැමිය යුතු බවට මැතිවරණයට පෙර ම උපදෙස් දීමට තිබිණි. එහෙත් ඔවුන් එසේ කර නොමැති බව පැහැදිලි ය. මෛත්‍රී රනිල් දීගයේ මධුසමය කාලයේ ඒ බව නොකීමට ඔවුන් වග බලාගත්තේ දැයි නො දනිමි. මැතිවරණ සමයේ මඩ ගැසීම් අවශ්‍ය යැයි ඔවුහු කල්පනා කළෝ ද? දැන් මධුසමය අවසන් වී ඇති බැවින් ඔවුන් තම මතය ප්‍රකාශ කිරීමට තීරණය කර ඇති බවක් පෙනී යයි. 

අප සැමදාමත් කියා සිටි කරුණක් වූයේ මෛත්‍රිපාල රනිල් අවුල ප්‍රධාන ප්‍රශ්නය වූ දෙමළ ජාතිවාදයට කප්පන් දීම වසා ගැනීමට ඊනියා දූෂණ හා භිෂණ කතාවක් ඇද ගෙන ඇති බව ය. ජනවාරි 8 වැනි දාට පෙර ද අපි ඒ බව කීවෙමු. එහෙත් ශ්‍රී ල නි පක්‍ෂයේ මහින්ද කණ්ඩායම එය තුට්ටුවකවත් මායිම් නො කෙළේ ය. ඔවුහු ද දූෂණ භිෂණ අවුලේ ම පැටළුණහ. අදත් ඒකාබද්ධ විපක්‍ෂය මේ කරුණ නිසි ලෙස වටහා ගෙන නැත. දූෂණ භිෂණ කඩතුරාවෙන් දෙමළ ජාතිවාදයට කප්පන් දීම වසා ඇත. මහින්ද රාජපක්‍ෂ මහතාට, ගෝඨාභය රාජපක්‍ෂ මහතාට විරුද්ධව පළිගැනීමේ චේතනාවෙන් කටයුතු කරන පිරිසක් දූෂණ භීෂණ කතාව ඉදිරියට ගෙන යෑමට උත්සාහ දරණ බව ද පෑහෑදිලි ය. දෙමළ ජාතිවාදයට කප්පන් දීම වසං කිරීමට මේ පිරිස දැනුවත් ව හෝ නොදැනුවත් ව කටයුතු කරති. 

නීතිය සම්බන්ධ තවත් ප්‍රශ්නයක් ජෙනීවා යෝජනාව මගින් කරළියට ගෙනැවිත් ඇත.  ජෙනීවා යෝජනාවෙන් කියැවෙන්නේ ශ්‍රී ලංකා හමුදාව යුද්ධාපරාධ කර ඇති බව දැනගැනීමට ව්‍යවස්ථාවේ නැති විශේෂ අධිකරණයක් පිහිටුවා විදේශීය විනිසූරුවන් ද නඩුවේ තීන්දුව දිමට පත්කළ යුතු බව ය.  එහෙත් පරණගම වාර්තාව සැකසීමෙහි දී උපදෙස් දුන් ශ්‍රීමත් ඩෙස්මන්ඩ් ද සිල්වා ඇතුළු ජාත්‍යන්තර උපදේශකයන්ගේ මතය වූයේ අපේ හමුදාව යුද්ධාපරාධයක් කර නොමැති බව ය. ඒ මත ඔක්තෝම්බර් 18 වැනි දා මෙරට පළවන ඉංගිරිසි පුවත්පතක පළ වූ නමුත් ජනතාව අතට පත් වී නැත. අගමැතිවරයා ඒ මත ජනතාව අතරට යෑම වැළැක්වීමට කටයුතු කරන බව පෙනෙයි.  ඒකාබද්ධ විපක්‍ෂය මේ සියළු මත ජනතාවට ලබා දීමට කටයුතු කරන්නේ නම් මැනවි.

ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා හා මහාචාර්ය ක්‍රේන් මහතා ඉතා පැහැදිලිව ජාත්‍යන්තර නීතිය අනුව අපේ හමුදාව යුද්ධාපරාධ කර නොමැති බව පළ කර ඇත. ආණ්ඩුව ඒ මතය නොපිළිගන්නේ ඇයි? ආණ්ඩුව කළ යුතුව තිබුණේ ඒ මත (අගෝස්තු මාසය වන විට ඒ මත පිළිබඳ ව ආණ්ඩුව දැන සිටියේ ය.) ජෙනීවා සමුළුවට සැප්තැම්බරයේ දී ඉදිරිපත් කර අපේ හමුදාව වෙනුවෙන් පෙනී සිටීම ය. එහෙත් ආණ්ඩුව කෙළේ ඇමරිකානු (එංගලන්ත) යෝජනාවට අනුග්‍රහය දක්වා යෝජනාවට අත්සන් කර එහි කොටස්කරුවකු වෙමින් වෙනත් රටකටවත් යෝජනාවට විරුද්ධ වීමට තිබූ අවස්ථාව නැති කිරීම ය. ඒ යෝජනාවට විරුද්ධව ආණ්ඩුව ක්‍රියා නො කෙළේ මේ ආණ්ඩුවව පිහිටුවීමට එංගලන්තය, ඇමරිකාව හා ඉන්දියාව ක්‍රියා කෙළේ ඊනියා රාජපක්‍ෂ රෙජිමය ගෙදර යැවීමට,  ශ්‍රී ලංකා චීන සබඳතා අවම කිරීමට හා දෙමළ ජාතිවාදයට කප්පන් දීමට බැවින් ය. හමුදාව යුද්ධාපරාධ කර ඇති බව විභාග කිරීමට ව්‍යවස්ථාවෙන් නොකියැවෙන විදේශීය විනිසුරුවන්ගෙන් ද සෑදුම් ලත් විශේෂ අධිකරණයක් පිහිටුවීම දෙමළ ජාතිවාදයට කප්පන් දීමකි. 

දෙමළ ජාතිවාදයට කප්පන් දෙන තවත් සිද්ධියක් වූයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත (මේ පනත අහෝසි කළ යුතු යැයි ජෙනීවා යෝජනාවෙන් කියැවෙයි) යටතේ චෝදනා ලැබ ඇති දෙමළ ත්‍රස්තවාදීන් ඇප මත නිදහස් කිරීම ය. මේ පණත යටතේ චෝදනා ලැබ ඇති දෙමළ ත්‍රස්තවාදීන් නිදහස් කළ යුතු බවට මතයක් විජාතික බලවේග (ඊනියා සිවිල් සමාජය ද විජාතික බලවේගයකි) විසින් ගොඩ නෑංවිණි. මෙය සම්පුර්ණයෙන් ම ජතිවාදී ඉල්ලීමක් විය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ අත් අඩංගුවට ගෙන ඇති සිංහල සිරකරුවන්ට ඒ නිදහස නැද්ද? අනෙක් අතට දෙමළ ත්‍රස්තවාදී සිරකරුවෝ දේශපාලන සිරකරුවෝ නො වූහ. දේශපාලන මතයක් නිසා අහිංසක ජනයා  මරන්නෝ තවදුරටත් දේශපාලන සිරකරුවෝ නො වෙති. අපේ හමුදාවට විජාතික බලවේග යුද්ධාපරාධ පිළිබඳ චෝදනා නගන්නේ (ඩෙස්මන්ඩ් ද සිල්වා ක්‍රේන් මත අනුව යුද්ධාපරාධ කර නැතැයි පැවසෙද්දී) ප්‍රධාන වශයෙන් ම ඔවුන් සිවිල් ජනයා මැරුවේය යන පදනමෙනි. එහෙත් ඒ අය ම සිවිල් වැසියන් මරාදැමූ (බෝම්බ පිපිරවීමෙන් හා වෙනත් ක්‍රමවලින්) බවට චෝදනා ලැබ ඇති දෙමළ ත්‍රස්තවාදීන් දේශපාලන සිරකරුවන ලෙස සලකා නිදහස් කළ යුතු යැයි කියන්නේ  කිනම් නීතියකට අනුව ද? 

ත්‍රස්තවාදීන් ඇප මත නිදහස් කිරීමේ දී රඟ දැක්වුණු නාටකයක් ද විය. 11 වැනි දා උදේ වරුවේ නීතිපති දෙපාර්තමේන්තුව ත්‍රස්තවාදීන්ට ඇප දීමට එකඟ වී නොතිබිණි. ඒ අනුව අධිකරණය ඔවුන් නැවතත් සිරභාරයට පත්කෙළේ ය. එහෙත් සිරකරුවෝ එයට විරුද්ධ වූහ. ඔවුහු උද්ඝෝෂණය කළහ. ඔවුන් වෙනුවෙන් පෙනී සිටි කතෝලික පියතුමෙක් ගින්නට පිදුරු දැමී ය. කෙසේ නමුත් අපර භාගයේ දී නීතිපති දෙපාර්තමේන්තුව ඇප ලබාදීමට එකඟ බව ප්‍රකාශ කෙරුණු අතර  සිරකරුවන්ට ඇප නියම කෙරිණි. ඒ අතර තුර නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑමක් වී ද?

මේ කරුණුවලින් නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ යම් හැඟීමක් අපට ලබා ගත හැකිය. නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ යන කියමන සෑබෑ වී තිබේ ද?

නලින් ද සිල්වා  

2015 නොවැම්බර් 12