History

Friday, 20 November 2015

යථාර්ථයේ විශ්වාසය (2015 නොවැම්බර් 18 විදුසර ලිපිය)

යථාර්ථයේ විශ්වාසය

ඩී එස් සී උපාධිධාරි සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි පැන නගින ජීවිතයේ අරුත කුමක් ද යන ප්‍රශ්නයට පිළිතුරු දීමට ගොස් තමන් ජනප්‍රිය පොතපතින් පමණක් කියවා ඇති එහෙත් තමන්ට අවබෝධයක් නැති හැමිල්ටෝනිය යාන්ත්‍රිකය ෂ්රොඩිංගර් සමීකරණය ආදිය ගැන කියවමින් විදුසරෙහි පිටු නාස්ති කරයි. ඒ  මහතා ෂ්රොඩිංගර් යන්න ලියන්නේ ස්ක්‍රොඩිංජර් ලෙස ය. ඒ රෝම අකාරදීය යොදා ගනිමින් ෂ්රොඩිංගර් (ූSchrodinger)  යන්න ලියන ආකාරය සිංහලෙන් ප්‍රකාශ කරමින් ලබාගන්නකි. එසේ සිංහලෙන් ලිවීම (උච්චාරණය) පිළිබඳ ව මම ඒ මහතාට දොස් නො කියමි. එහෙත් ඒ මහතා ෂ්රොඩිංගර් සමීකරණය පිළිබඳ ව ගුරුවරයකුගෙන් අසා දැන නොගත් බවත් තමන් වැනි ම අය හෑර වෙනත් කිසිවකු සමග ඒ පිළිබඳ සාකච්ඡා කර නොමැති බවත් එයින් පැහැදිලි වෙයි. මෙරට විශ්වවිද්‍යාලවල විද්‍යා පීඨවල කිසිවකු ෂ්රොඩිංගර් යන්න ස්ක්‍රොඩිංජර් ලෙස උච්චාරණය කරනු මා අසා නැත. ඔවුහු ඇතැම්විට ෂ්රූඩිංගර් ලෙස නම් එය උච්චාරණය කරති.

සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ජීවිතයෙහි අරුත කුමක් ද යන ප්‍රශ්නය පැන නො නගී. සිංහල බෞද්ධයනට අනුව ජීවිතය දුක ය. ඒ නැති කිරීම, එනම් නිවන් අවබෝධය  සඳහා අප හිස ගිනිගත් ලෙසින් පාරමී ධර්ම පිරිය යුතු ය. ජීවිතයේ අරුත කුමක් ද යන්න අමරතුංග මහතා තමාගේ නැවුම් අදහසක් ලෙස මතුකර පෙන්වීමට තැත් කළ ද, බටහිර පොත්පත්වල සාකච්ඡා වී ඇති ප්‍රශ්නයකි. උදාහරණයක් වශයෙන්  රූපට් ෂෙල්ඩේ‍රික් මහතාගේ “ද සයන්ස් ඩිල්‍යුෂන්” (The Science Delusion) කෘතිය   සඳහන් කළ හැකි ය. අමරතුංග මහතා ජීවිතයේ අරුත කුමක් ද යන ප්‍රශ්නයට අද දෙන පිළිතුරට සමාන පිළිතුරක්   ෂෙල්ඩේ්‍රක්  මහතා ද දී ඇත. ෂෙල්ඩ්‍රේක් මහතා බටහිර විද්‍යාවේ ප්‍රධාන ධාරාවට අයත් නැති බවත් ඔහු ප්‍රධාන ධාරාවේ අය අතින් විවේචනයට භාජනය වන බවත් සැබෑ ය. එපමණකින් ඔහුූ කියන දේ නොසලකා හැරිය හැකි නො වේ. අඩු තරමෙන් ජීවිතයෙහි අරුත සම්බන්ධයෙන් ගත්කල අමරතුංග මහතා බටහිර විද්‍යාවේ ප්‍රධාන යාන්ත්‍රික චින්තනයට අයත් නො වේ. මම ෂෙල්ඩ්‍රේක් මහතාගේ අරුත මෙන් ම බටහිර විද්‍යාවේ යාන්ත්‍රික චින්තනය ද ප්‍රතික්‍ෂෙප කරමි. අපි ජීවිතයේ ඊනියා අරුත ගැන පසුව සාකච්ඡා කරමු. 

අපි එයට පළමු ඒ මහතාගේ අගොස්තු 12 වැනි දින ලිපියට ආපසු යමු. ඔහු එහි මෙසේ කියයි. “අප යථාර්ථය යනුවෙන් හැඳින්වන්නේ කුමක්‌ ද? අප ඉන්ද්රි්ය මාර්ගයෙන් ලබාගන්නා දැනුම තුළ සත්යසයක්‌ ඇතැයි යන විශ්වාසය යථාර්ථය ලෙස සැලකිය හැකි ය. අප දකින දෙය සත්යනයක්‌ ලෙස පවතින බව විශ්වාස කිරීම යථාර්ථය ලෙස ගත හැකි ය. අප ගේ ඉන්ද්රි ය පද්ධතියෙන් ස්‌වායත්ත වූ ලෝකයක්‌ ඇතැයි විශ්වාස කිරීම යථාර්ථය ලෙස සැලකේ. අප ගේ ඉන්ද්රිය පද්ධතියෙන් ස්‌වායත්ත ලෝකයක්‌ ඇතැයි විශ්වාස කිරීම යථාර්ථය ලෙස බටහිර දාර්ශනිකයෝ අර්ථ දක්‌වති.”

අපි මෙහි එක් පැත්තක් නොවැම්බර් 11 වැනි දා ලිපියෙහි සාකච්ඡා කෙළෙමු. අද තවත් පැත්තක් ඉස්මතු කරමු. අප දක්නා දෙය සත්‍යයක් ලෙස පවතින බව විශ්වාස කිරීම යථාර්ථය ලෙස ගත හැකි යැයි අමරතුංග මහතා පවසයි. ඉහත සඳහන් ඡෙදයෙහි යථාර්ථය යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්ද යන ප්‍රශ්නයට ලැබෙන පිළිතුරු හතරෙන් ම කියැවෙන්නේ ඒ විශ්වාසයක් බව ය.  යථාර්ථය යනු විශ්වාස කිරීමක් ද? බටහිර දාර්ශනිකයන්ගේ අර්ථදැක්වීමට අනුව යථාර්ථය යනු යම් දෙයක් විශ්වාස කිරීම විය හැකි ය. (අමරතුංග මහතා ඒ දාර්ශනිකයන් එසේ ප්‍රකාශ කර ඇති තැන් අප වැන්නන්ගේ ද පහසුව සඳහා ප්‍රකාශ කෙළේ නම් මැනවි) අමරතුංග මහතා යථාර්ථය ගැන කෙතරම් කතා කළ ද ඔහුට ඊනියා යථාර්ථය ගැන පැහැදිලි හැඟීමක්, අවබෝධයක් නැත. බටහිර විද්‍යාවේ  ප්‍රධාන ධාරාවට ද ඒ ගැන පැහැදිලි අවබෝධයක් නැත. ඔවුන්ගෙන් සමහරකුට අනුව පංචෙන්ද්‍රිය ගෝචර ද්‍රව්‍යය පමණක් යථාර්ථය ය. කෝප්ප, ගෙවල්, ගස් ගල්, මිනිසුන්, සතුන් ආදිය ඔවුන්ට යථාර්ථය වෙයි. එහෙත් ඔවුන්ට තම යථාර්ථය පිළිබඳ මතය සංගත ව කීමට බැරි ය. මේ අය අංක එකේ ද්‍රව්‍යවාදීහු (materialists) වෙති. 

මේ ද්‍රව්‍යවාදීන්ට මනස යනුවෙන් කිසිවක් නැත. මනස යන්න මොළයේ ක්‍රියාවන් පමණකි. (මෙය බුදදහම සමග කෙසේවත් නො ගැළපෙයි). ඔවුන්ට ජීවිතයේ අරුතක් නැත. ද්‍රව්‍ය මත ක්‍රියාකරන බලවලින් ජීවිතය ද ඉදිරියට ගලා යැවෙයි. මේ බල ජීවිතය මෙන් ම වෙනත් වස්තු ද අවසානයේ දී මුළු මහත් විශ්වය ද අතීතයෙන් අනාගතයට තල්ලු කරයි. නිව්ටන්ට අනුව ගුරුත්වාකර්ෂණය වැටෙන පොල් ගෙඩියක් අනාගතයට ගෙන යයි. පොල් ගෙඩියට අරමුණක් නැත. එයට ගස මුදුනෙහි සිට පොළොවට යෑමට හෝ සිංහලයන්ගේ, මලයාලම් ජාතිකයන්ගේ ආහාරය සඳහා යමක් එකතු කිරීමට හෝ ආදී වශයෙන් අරමුණු නැත. අමරතුංග මහතා හා ජීවිතයේ අරුතක් ඇතැයි කියන වෙනත් අයට අප මත අනාගතයෙන් කරන බලපෑමක් වෙයි. අපට ජීවිතයේ අරුතක් ඇත්නම් එයින් කියැවෙන්නේ අනාගතයක් දෙස බලා අප කටයුතු කරන බව ය. වෙනත් වචනවලින් කිවහොත් අපේ ජීවිතය අනාගතයෙන් තීරණය කෙරෙයි. එය බටහිර විද්‍යාවේ ද්‍රව්‍යවාදයට විරුද්ධ ය. අතීතයේ සිට අනාගතයට විකාශය වීමට ද විරුද්ධ ය. ජීවිතයේ අරුත යන්න ද්‍රව්‍යමය දෙයක් නො වේ. අමරතුංග මහතා නොදැනුවත් ම ද්‍රව්‍යවාදයට හා එමගින් බටහිර විද්‍යාවේ ප්‍රධාන ධාරාවේ චින්තනයට විරුද්ධ වෙයි. අමරතුංග මහතාට ද බොහෝ අයට මෙන් ම පැහැදිලි සංගත චින්තනයක් නොමැති කමින් මෙවැනි ඇබැද්දි සිදුවෙයි. 

අපි දැන් ගසෙහි ඊනියා යථාර්ථය සලකා බලමු. ගස යන දැනුම දැනෙන්නේ කිනම් ඉන්ද්‍රියකට ද? අප බොහෝ දෙනා සිතන්නට (සිතන්නේ පංචෙන්ද්‍රියවලින් කිනම් ඉන්ද්‍රිය ද? හුදු සිතීම පංචෙන්ද්‍රිය ගෝචර ද? මොළය යන්න අවයවයක් පමණකි. එය සළායතනවලට අයත් නො වේ. සළායතන යනු අවයව නොවන බව අවධාරණය කළ යුතු ය.) පුරුදු වී ඇත්තේ ගස, පොල් ගෙඩිය ආදිය පංචෙන්ද්‍රිය ගෝචර බව ය. ගස යන්න දැනෙන්නේ පංචෙන්ද්‍රියවලින් කිනම් ඉන්ද්‍රියකට ද? අපේ ඇස්වලට ගස නො පෙනෙයි. අපේ ඇස්වලට ගෝචර වන්නේ ගසේ කොළවල පාට, හැඩය, ආදිය ය. එසේත් නැත්නම් ගසෙහි පොත්තේ පාට ය. අපට ස්පර්ශ කර පොත්ත රළු බව දැනගත හැකි ය. මේ සෑම දෙයක් ම ගසෙහි යම් යම් ගුණ මිස ගස නො වෙයි. ගුණ ගැන ද අප දැනගන්නේ මනස ආධාර කර ගනිමින් සංකල්ප ගොතා ගනිමිනි. මනසින් තොරව ගසේ පොත්තවත් නැත!

ගස යනු මේ සියළු ගුණ “අයිතිකරු” ලෙස අපි සිතමු. ඒ “අයිතිකරු”  අපේ සිත්වල පමණක් ඇති දෙයකි. එපමණක් නො වේ. ගස වෙනස් වන්නේ යැයි ද අපි කියමු. පෙබරවාරි මාසයේ දී රබර් ගස්වල කොළ හැලෙන්නේ යැයි අපි කියමු. එහෙත් ගස පවතින්නේ යැයි අපි කියමු. ගස යන සංකල්පය අපේ සිත්වල නිර්මාණයක් පමණකි. එය දැනෙන ඉන්ද්‍රියක් පංචෙන්ද්‍රිය අතර නැත. වෙනත් වචනවලින් කිවහොත් ගස යන්න නලින් ද සිල්වා යන පුද්ගලයා මෙන් ම පංචෙන්ද්‍රියවලට ගෝචර නො වේ. පංචෙන්ද්‍රියවලට ගෝචර නොවන ගස යථාර්ථයක් ලෙස සැලකීමට බටහිර විද්‍යවේ ප්‍රධාන ධාරාවේ විද්‍යාඥයන්ට හැකි ද? 

යථාර්ථය යනු කුමක් දැයි ඇසූ කල බටහිර විද්‍යාඥයකුට දිය හැකි සංගත පිළිතුරක් නැත. අපි ගස වැඩෙන්නේ ඇයි ද යන ප්‍රශ්නය සලකා බලමු. ගස ඇත්තේ මනසෙහි වුවත් අපි එසේ නො සිතමු. මෙහි ඇති භයානක කම නම් මනස මගින් ඇති කරනු ලැබෙන සංකල්පයක් මනසින් තොරව පංචෙන්ද්‍රියවලට ග්‍රහණය කරගත හැකි යැයි සිතීමට මනස ම ඉදිරිපත් වීම ය. නැති ගසක් ඇතැයි සිතීම සංසාර පුරුද්දකි. නැති මනසක් ඇතැයි සිතන්නේ ද මනස ම ය! ගසක් ඇති බව කීම බොරුවකි. පෘථග්ජනයන්ට බොරු මිස වෙනත් දෙයක් කීමට මනස ඉඩ නො දෙයි. නැති ගස ඇතැයි කීම බොරුවක් නොවන්නේ ද? එහෙත් පෘථග්ජනයන් කියන්නේ බොරු බව පැවසූ විට බටහිර විද්‍යාව කටගාගත් බොහෝ දෙනා මා සමග උරණ වෙති. එසේත් නැත්නම් මට සමච්චල් කරති. එහෙත් එය මට ප්‍රශ්නයක් නො වේ. නැති මට දොස් කියන්නන් ගැන නැති මා කළ යුත්තේ කුමක් ද? (බුදුන් වහන්සේ මේ බොරු ලෝකය ගැන උපේක්‍ෂාවෙන් බලන ලෙස දේශනා කළහ. මනස විසින් සකස් කෙරෙන, සංස්කරණය කෙරෙන බොරුවක ඇලෙන්නේ කුමකට ද? ඒ බොරුවකට ද්වේෂ කරන්නේ කුමකට ද? මෝහය නිසා ඇතිවන ලෝභය හා ද්වේෂය යටපත් කළ යුතු ය. මෙය කියන්නට පහසු වුවත් ක්‍රියාත්මක කිරීම අපහසු ය.)   

බටහිර විද්‍යාඥයෝ තවත් අසංගත දේ කියති. කාන්දම් කෑල්ලක් යැයි අප විසින් හැඳින්වෙන ද්‍රව්‍යවල කාන්දම් ගුණයක් ඇතැයි බටහිර විද්‍යාඥයෝ කියති. (කාන්දම්, කාන්ති ආදී වචනවල මූලයෙහි තේරුම ආකර්ෂණය යන්න ය. සූරියකාන්ත මල සූර්යයා දෙසට ආකර්ෂණය වෙයි. කාන්තාවන්ට කාන්තාවන් යැයි කියන්නේ ද ඔවුන්ට පිරිමින් ආකර්ෂණය වන බැවිනි. බොහෝ විට වියුක්ත සංකල්ප නිර්මාණය කෙරෙන්නේ පිරිමින් අතිනි. අපේ දැනුම ද බටහිර කේන්ද්‍රීය වීමට අමතර ව පුරුෂ කේන්ද්‍රිය ද වෙයි. විශේෂයෙන් ම වියුක්ත දැනුම බොහෝ විට පිරිමින් අතින් බිහිවෙයි. ස්ත්‍රී ආධිපත්‍යයක් තුළ පිරිමින් කාන්තලා - කාන්තුවන් ලෙස හැඳින්වීමට තිබිණි ද? ඇතැම් පිරිමින්ගේ නම් ලාල්කාන්ත ආදී වශයෙන් යෙදීම සහ සියළු පිරමිින් කාන්තුවන් ලෙස හැඳින්වීම එකක් නොව දෙකකි) ඒ කාන්දම් ගුණය අපේ පංචෙන්ද්‍රියවලට ගෝචර නො වේ. එහෙත් කාන්දම් ගුණය, චුම්බකත්වය යථාර්ථයක් ලෙස බටහිර විද්‍යාවේ ගැනෙයි. එවිට යථාර්ථය යනු පංචෙන්ද්‍රියවලට ගෝචර වන දේ පමණක් නොවන බව කීමට බටහිර විද්‍යාඥයන්ට සිදුවේ. එනම් විද්‍යුත්චුම්බක ගුණය පංචෙන්ද්‍රියවලට ගෝචර නොවී ම ඊනියා යථාර්ථය බවට පත් වෙයි. (මේ චසර මැක්ස්වෙල්ගේ විද්‍යුත්චුම්බක සමීකරණවලට වසර එකසිය පනහක් පිරෙයි.) එවිට පැහැදිලි වන කරුණ නම් බටහිර විද්‍යාඥයන්ගේ යථාර්ථය පංචෙන්ද්‍රියවලට ගෝචර වන දේ පමණක් නොවන බව ය.

ද්‍රව්‍යවාදීහු (materialists) පංචෙන්ද්‍රියවලට ගෝචර වන ද්‍රව්‍යවලට (matter) පමණක් යථාර්ථය යැයි කියති. යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ මැටර්, මදර් ආදී වචන එකම මූලයකින් ලැබෙන බවත් එයින් ඒ සංස්කෘතියෙහි ද්‍රව්‍යයෙහි ඇති විශේෂත්වය, වැදගත් බව පිළිබිඹු වන බවත් ෂෙල්ඩ්රේක් ඉහත සඳහන් පොතෙහි සඳහන් කරයි. එහෙත් බටහිර විද්‍යාඥයන්ට චුම්බකත්වය, ගුරුත්වාකර්ෂණය ආදීය ද යථාර්ථය ලෙස සුලකීමට සිදුවෙයි. ඒ එකක්වත් අපේ පංචෙන්ද්‍රියවලට ගෝචර නො වෙයි. එහෙත් කැලණිය විශ්වවිද්‍යාලයෙහි රසායන විද්‍යා අංශයෙහි කථිකාචාර්යවරයකු ඔහුගේ යම්කිසි අවයවයකට ගුරුත්වාකර්ෂණය ගෝචර වන බව පවසන බව මෙහි දී ඔහුට අසාධාරණයක් නොවීම සඳහා ප්‍රකාශ කළ යුතු ය. 

ඇල්බට් අයින්ස්ටයින් විද්වතා ගුරුත්වාකර්ෂණයක් නොමැති බව පවසා මේ අවුරුද්දට වසර සියයක් ගෙවී ගොස් ඇති නමුත් බටහිර වෙසෙන බොහෝ බටහිර විද්‍යාඥයන්ට මෙන් ම මෙරට වාසය කරන බටහිර විද්‍යාව ගැන දත් බොහෝ දෙනාට ද ගුරුත්වාකර්ෂණය ඊනියා යථාර්ථයක් බවට පත් වී ඇත. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණය සහ තවත් දේ අයින්ස්ටයින්ට අනුව අවකාශ කාලය  වෙයි. අවකාශ කාලයේ වස්තු බල (ගුර්ත්වාකර්ෂනය ද ඇතුළු) රහිත ව චලනය වීම (නිදැල්ලේ චලනය වීම) අවකාශ කාලයක් නොමැති, අවකාශය හා කාලය වෙන වෙන ම පැවති නිව්ටන්ට පෙනී ගියේ ගුරුත්වාකර්ෂණය ලෙස ය. ගුරුත්වාකර්ෂණය යනු නිව්ටන් ගෙතූ පට්ටපල් බොරවෙකි. එහෙත් එම ප්‍රවාදයේ, එනම් පට්ටපල් බොරුවේ, සාර්ථකත්වය නිසා ම දහනව වැනි සියවස අග භාගය වන විට ගුරුත්වාකර්ෂණය යථාර්ථයක් බවට පත් වී තිබිණි. එහෙත් පුදුමය එය නො වේ. අයින්ස්ටයින්ගේ සාධාරණ සාපේක්‍ෂතා ප්‍රවාදයෙන් අවුරුදු සියයකට පසුව ද ගුරුත්වාකර්ෂණය ඊනියා යථාර්ථයක් ලෙස පැවතීම ය.      

මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ ඊනියා යථාර්ථය යන්න ද ඇතැමුන්ගේ නිර්මාණයක් පමණක් බව ය. බටහිර විද්‍යාවේ හා පොදුවේ ගත් කළ බටහිර දැනුමේ යථාර්ථය යන්න අමරතුංග මහතා කියන පරිදි ම විශ්වාසයක් පමණක් වුවත් අප මත බටහිර දැනුම් ආධිපත්‍යය විසින් එය ද ඊනියා යථාර්ථයක් බවට පත් කෙරී ඇත. 

නලින් ද සිල්වා 

2015 නොවැම්බර් 16