History

Friday, 1 April 2016

බහු සංස්කෘතික බහුබූතය 1

බහු සංස්කෘතික බහුබූතය 1

අද ලෝකයේ හැම රටක ම පාහේ විවිධ සංස්කෘතිවල ජනතාව වෙසෙති. ඒ අර්ථයෙන් ගතහොත් බොහෝ විට ඕනෑම රටක  බහුසංස්කෘතික රටක් ලෙස හැඳින්විය හැකි ය. එහෙත් මේ ඕනෑම රටක මෙන් විශේෂිත හෝ අධිපති හෝ සංස්කෘතියක් ඇත. සංස්කෘති සමාන නැත. පිටරටවල වාසය කරන සිංහලයෝ ඒ බව හොඳින් දනිති. එංගලන්තය, ඕස්ටේ‍ර්ලියාව වැනි බටහිර රටක සිංහල බෞද්ධයන් වාසය කරන නමුත් එවැනි රටක සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන කුමක් ද? එංගලන්තයේ ලංඩන් නුවර පංසල් රාශියක් වෙයි. බර්මින්හම් වැනි නගරවල ද පන්සල් වෙයි. මේ ඇතැම් පංසල් සිංහල බෞද්ධයන්ගේ පංසල් ය. එයින් මා අදහස් කරන්නේ බොහෝවිට සිංහල භික්‍ෂූන් වහන්සේ වැඩවසන, ගිහි සිංහල බෞද්ධයන් ආගමික වතාවත් සඳහා යන පංසල් ය. ලංඩන් බෞද්ධ විහාරය මෙයින් ප්‍රසිද්ධ ම පංසල යැයි සිතමි. 


පංසල් තිබුණ ද සිංහලයන් සිටිය ද ළඟ එන සිංහල අවුරුද්ද පැවැත්වීමට ඔවුන්ට හැකියාවක් තිබේ ද? මෙල්බන් නුවර සිංහල සාපේක්‍ෂ ජනඝනත්වය අධික වෙයි. එහි ඇතැම් වීදිවල සිංහල කතාකරනු ඇසෙයි. එහෙත් එහි හෝ වෙනත් නගරයක හෝ  අදාළ පරිදි අප්‍රේල් 13 වැනි දා හෝ 14 වැනි දා හෝ සිංහල අවුරුදු උත්සවය පැවැත්වීමට හැකි ද? බටහිර රටවල බොහෝවිට සිංහල අවුරුදු උත්සව පැවැත්වෙනු ඇත්තේ අප්‍රේල් 16 වැනි සෙනසුරාදා හෝ 17 වැනි ඉරිදා හෝ ය. අවුරුදු චාරිත්‍ර නැකැත් උත්සවයක් ලෙස නැකතට කිරීමට ඒ රටවල වාසය කරන සිංහලයන්ට නො හැකි ය. අවුරුද්ද මූලික වශයෙන් ම හිරු පිදූ යක්‍ෂ ජනතාවගේ නැකැත් උත්සවයකි. යක්‍ෂ ජනතාවගේ නැකැත් කෙළි මෙරට එමට තිබී ඇත. පොසොන් පොහෝදා ද නැකැත් කෙළි පැවැත්වූ බව මිහිඳු මහා රහතන් වහන්සේට දේවානම්පිය තිස්ස රජු හමුවීම ගැන ඇති කතාවෙන් පැහැදිලි වෙයි. නැකැත් උත්සවයක් නැකතට පැවැත්වීමට බටහිර රටවල්වල සිංහලයන්ට අදාළ පරිදි අප්‍රේල් 13 වැනි දා හෝ 14 වැනි දා හෝ නිවාඩු නො ලැබෙයි. වෙසක් උත්සවය සම්බන්ධයෙන් ද තත්ත්වය එසේ ය. බටහිර රටවල වෙසෙන බෞද්ධයනට වෙසක් ලබන්නේ වෙසක් පොහෝ දා පසුවී සෙනසුරාදාවක හෝ ඉරිදාවක ය. 

පැහැදිලිව ම බටහිර රටවල සිංහල බෞද්ධ සංස්කෘතියට තැනක් නැත. රාජ්‍ය මට්ටමින් එයට අනුග්‍රහයක් නො ලැබෙයි. මේ රටවල අධිපතිවාදී ව ඇත්තේ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි යම් ප්‍රභේදයකි. සිංහල බෞද්ධයෝ තම තමන්ට හැකි පමණින් පංසලක හෝ නගර ශාලාවක්, ප්‍රජා ශාලාවක් වැනි තැනක හෝ තම සංස්කෘතික උත්සව පවත්වති. ඒ බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි රටවල ය. එහි විශේෂිත සංස්කෘතියක් නොව අධිපතිවාදී යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියක් වෙයි. අරාබිකරයේ මුස්ලිම් රටවල තත්ත්වය එයටත් වඩා අයහපත් ය. සිංහල බෞද්ධ සංස්කෘතියට එහි ඇති තැන කුමක් ද? ඒ රටවල ඇත්තේ අධිපතිවාදී මුස්ලිම් සංස්කෘතියකි. 

එහෙත් ලංකාවේ තත්ත්වය කුමක් ද? වැදි ජනතාවගේ සංස්කෘතික උත්සව හැරෙන්නට අනෙක් සංස්කෘතිවල උත්සව සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබෙයි. අදාළ බොහෝ දිනවල රජයේ නිවාඩු ය. මහමත්තුමාගේ (නබි නායක) උපන් දිනය සැමරීම සඳහා මුස්ලිම් ජනයාට සෙනසුරාදාවක් හෝ ඉරිදාවක් හෝ වනතුරු බලා සිටීමට නො  සිදු වෙයි. යක්‍ෂ ජනතාවගේ සංස්කෘතිය විසින් අනෙක් සංස්කෘතීන් පිටමං නො කෙරෙයි. ඒ හෙළ බෞද්ධ සංස්කෘතික ලක්‍ෂණයකි. දෙමළ කතාකළ මුස්ලිමුන් අවුරුදු අටසියයකට පමණ පෙර අද දකුණු ඉන්දියාව නමින්  හැඳින්වෙන ප්‍රදේශයෙන් ලංකාවට පැමිණි විට සිංහලයෝ ඔවුන්ට බෞද්ධ වීමට යැයි බල නො කළහ. මෙරට මුස්ලිම් පල්ලි තැනීමට අවසර ලැබිණි. මුස්ලිමුන් මෙරටට පැමිණ ඇත්තේ අවුරුදු අටසියයකට මෙපිටින් බව මෙරට ඇති මුස්ලිම් පල්ලි පුරාණයෙන් හෙළි වෙයි. ඔවුන් ලංකාවට පැමිණියේ ඇයි ද යන්න ඉතිහාසඥයන් සොයා නොබලන්නේ ඔවුන් අරාබි කරයෙන් පැමිණි බවට මිථ්‍යාවක් ගොඩනගා ඇති බැවින් යැයි සිතමි. බොහෝ විට ඔවුන්ට දකුණු ඉන්දියාව නමින් අද හැඳින්වෙන ප්‍රදේශයෙහි වාසය කිරීමට බැරි තත්ත්වයක් උදා වූ බැවින් ඔවුන් මෙහි පැමිණියා විය හැකි ය. (මතු සම්බන්ධයි)

මේ ලිපිය මුහුණු පොතෙන් ද කියවිය හැකි ය

https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/


නලින් ද සිල්වා

2016 අප්‍රේල් 01