History

Sunday, 3 April 2016

බහුසංස්කෘතික බහුබූතය 2

බහුසංස්කෘතික බහුබූතය 2

සිංහලයන් ජාතියක් වීම ඇරඹුණේ පණ්ඩුකාභය රජු දවස ය. එතුමා මුළු ලංකාවේ ම රජකළ බවට සාක්‍ෂි නැත. කෙසේ වෙතත් අනුරාධපුරය අගනුවර කරගෙන එතුමා රාජධානියක් ගොඩනැගුවේ ය. එය එක් වංශයක හෝ ජනකොටසක හෝ රාජධානියක් නො වී ය. එහි නොයෙකුත් ආගමිකයන් විසූ බවට ද රජතුමා ඔවුන්ට තම ආගමික කටයුතු සිදුකිරීම සඳහා ආගමික මධ්‍යස්ථාන (සිද්ධස්ථාන) පිහිටුවූ බවට ද මහාවංශය සාක්‍ෂි දරයි. මෙහි දී නොකියාම බැරි දෙයක් ඇත. ඒ මහාවංශයෙහි එකල බෞද්ධ සිද්ධස්ථාන ද තිබූ බව නො කීම ය. අඩුම තරමෙන් තපස්සු භල්ලුක ගොඩ නැගූ චෛත්‍යයක් එකල ද ලංකාවේ තිබූ බවට මහාවංශය ම සාක්‍ෂි දරයි. කෙසේ වෙතත් එය අනුරාධපුර රාජ්‍යයෙන් බාහිර ව තිබූ බව ද පැහැදිලි ය. එකල අනුරාධපුර රාජධානියේ තිබූ රුවන්වැලිසෑය (ගැමුණු රජුගේ චෛත්‍යකර්මයට පෙර) ද ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන ගැන දැනගැනීමට යක්‍ෂ ජනතාවගේ කෘතියක් වන වර්ගපූර්ණිකාව කියවිය යුතු ය. මිහිඳු හිමියන් මෙරටට වැඩම කිරීමට පෙර මෙහි බෞද්ධයන් සිටි බවක් හා බෞද්ධ සිද්ධස්ථාන තිබූ බවක් සඳහන් නොකිරීමට මහාවංශ කතෘන් ප්‍රවේසම් වී ඇත්තේ මන්දැයි සිතා ගැනීම අපහසු නො වේ.


අපට මෙහි දී වැදගත් වන්නේ පණ්ඩුකාභය රජු දවස සිංහලයේ අත්තිවාරම වැටීමත් අනුරාධපුර සිංහල රාජ්‍යයේ විවිධ ආගමිකයන්ට තිබූ නිදහසත් ය. එහි යම් ආකාරයක සංස්කෘතික විවිධත්වයක් විය. අද ව්‍යවහාරවන වචනයක් යොදාගන්නේ නම් එහි සංහිඳියාවක් විය. එහි යක්‍ෂ, නාග, දේව හා රාක්‍ෂස ජනතාව මෙන් ම විජයගෙන් සංකේතවත් වන සිංහ වාංශිකයෝ ද සිටියහ. අනුරාධපුර ගොඩනගනු ලැබ ඇත්තේ අනුරාධ නම් සිංහ වාංශික කුමරකු විසිනි. පණ්ඩුකාභය කුමරුගේ පියා කවුරුන් වුවත් ඔහුට සිංහ වාංශික කුමරුන් පරාජය කිරීමට යක්‍ෂ සේනාපතියන්ගේ සහාය ලැබී ඇති බවත් රාජ්‍ය උත්සවවල දී චිත්‍ර කාලවේල සෙනෙවියන් රජු සමග අසුන් ගත් බවත් මහාවංශයෙන් ද පැහැදිලි වෙයි. පණ්ඩුකාභය රජුගේ රාජ්‍යයෙහි විශේෂිත සංස්කෘතිය යක්‍ෂ සංස්කෘතිය බවත් පැහැදිලි වන්නේ මේ සඳහන් උත්සව යක්‍ෂ සංස්කෘතික උත්සව බව පෙනී යන බැවිනි. 

සංහිඳියාව ගැන අපට අමුතුවෙන් ඉගැන්විය යුතු දෙයක් නැත. යක්‍ෂ සංස්කෘතිය පසු කලෙක අශෝක සංස්කෘතියකට ඉඩක් දී ඇති බවත් එහෙත් සිංහල බෞද්ධ සංස්කෘතියේ ප්‍රධාන සංරචකය යක්‍ෂ සංස්කෘතිය වී ඇති බවත් අද පවා අපේ සංස්කෘතිය ගැන විමසිලිමත් වන විට පෙනී යයි. මේ සියල්ලෙන් මා පැහැදිලි කිරීමට උත්සාහ කරන්නේ දැනට අවුරුදු අටසියයකට පමණ පෙර මෙරටට අද දකුණු ඉන්දියාව නමින් හැඳිනේවෙන ප්‍රදේශයෙන් පැමිණි දෙමළ කතාකළ මුස්ලිමුන්ට සිංහල සංස්කෘතියෙහි ඉඩ දීම ද සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ලක්‍ෂණයක් බව ය. 

සෙනරත් රජු ප්‍රමුඛ සිංහල රජවරුන් කතෝලික පෘතුගීසි තාඩන පීඩනවලින් මුස්ලිමුන් මුදාගෙන රුහුණු රටේ කොටසක (වත්මන් නැගෙනහිර පළාතෙහි) පදිංචි කිරීම අපට ආගන්තුක දෙයක් නොවී ය. එහෙත් අද වන විට විශේෂයෙන් ම අෂ්රොෆ්ගේ දේශපාලනයෙන් පසු මුස්ලිමුන් සිංහලයන්ට හිරිහැර කිරීම, සිංහලයන්ගේ ඉඩම් පැහැර ගැනීම, සිංහලයන් ආරක්‍ෂා කළ වනවගාව (කැලෑ ප්‍රදේශ) තම ආගමිකයන්ගේ ව්‍යාප්තිය වෙනුවෙන් විනාශ කිරීම ආදිය නම් ඊනියා සංහිඳියාවක නමින් ඉවසා සිටීම රාජ්‍යයට ප්‍රශ්නයක් විය යුතු ය. සංහිඳියාව යනු ඕනෑම ආක්‍රමණයකට ඉඩ දීම නො වේ. බටහිර හා වෙනත් මුස්ලිම් නොවන රටවල මුස්ලිමුනට ඇති නිදහසට වඩා නිදහසක් මේ සිංහල බෞද්ධ රටේ තිබීමෙන් ම පෙන්නුම් කරන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ඇති සහනශීලීත්වය ය. 

මුස්ලිම් ජනයා අතර සිංහල වාසගම් ඇති අය වෙසෙති. ඒ කරුණු දෙකක් නිසා සිදු වී ඇති බව පෙනී යයි. එක් අතකින් සිංහල යම් පිරිසක් ඉස්ලාම් ආගම වැළඳ ගෙන ඇත. විශේෂයෙන් ම විවාහවල දී එසේ සිදුවන්නට ඇතැයි සැලකිය හැකි ය. අනෙක් අතට සිංහල රජවරුන් නිලතල දීමේ දී සිංහල නාම යොදාගෙන ඇති බව පැහැදිලි ය. අදත් සිටින කාරියප්පර්ලා යනු අන්කිසි අය නොව සිංහල රජවරුන්ගෙන් කාරියකරවන නිල ලත් උදවියගෙන් පැවත එන්නෝ වෙති. ලෝකයේ වෙනත් මුස්ලිමුන් අතර මොහොමඩ්ලා ඇතත් කාරියප්පර්ලා නො වෙති. (මතු සම්බන්ධයි) 

මේ ලිපිය මුහුණු පොතෙන් ද කියවිය හැකි ය.

https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/


නලින් ද සිල්වා

2016 අප්‍රේල් 03