History

Friday, 6 May 2016

ප්‍රභාකරන් හා ඔහුගේ මස්සිනාලා 5

ප්‍රභාකරන් හා ඔහුගේ මස්සිනාලා 5
මෙය 1995 දී පළ වූ ප්‍රභාකරන් ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා පොත් පිංචෙනි. නන්දිකඩාල් ජයග්‍රහණය එයට ම පමණක් සීමා වී දෙමළ ජාතිවාදය පැරදවීමට ක්‍රියා නොකෙරුණේ ප්‍රභාකරන් ත්‍රස්තවාදියකු ලෙස පමණක් සැලකීම හේතුකොට ගෙන ය. ප්‍රභාකරන් යනු දෙමළ ජාතිවාදයේ විකාශයක් බව තේරුම් නොගත් සිංහලයෝ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව නැවතත් ප්‍රභාකරන්ගේ මස්සිනාලාට හිස එසවීමට ඉඩ දුන්හ.  මෙය දේශපාලනඥයන්ගේ ප්‍රශ්නයක් පමණක් නො වේ. සිංහලයන්ට ප්‍රවාද නැති වීම එහි දී බලපාන ප්‍රධාන කරුණකි.

මෙහි ඇති කරුණු ගැන පමණක් අවධානය යොමු නොකළ යුතු ය. අපට අවශ්‍ය වන්නේ ප්‍රභාකරන් යනු හුදු ත්‍රස්තවාදියකු නොවූ බව අවධාරණය කිරීම ය. ප්‍රභාකරන් අවුරුදු දෙසියකට ආසන්න කාලයක් මුළුල්ලේ විකාශය වූ දෙමළ ජාතිවාදී දේශපාලනයේ තවත් පුරුකක් පමණක් විය. ඔහුගේ පරාජයෙන් මේ සමස්ත දේශපාලනය ම පරාජය වූ බව තේරුම් ගැනීමට තවමත් සිංහලයන්ට නොහැකි වී ඇත. එබැවින් ම ප්‍රභාකරන්ගේ මස්සිනාලාට එංගලන්තයේ හා ඉන්දියාවේ ආධාරයෙන් හිස එසවීමට හැකි වී තිබේ. 


x ඉදිරිපත් කර ඇති දේශපාලන යෝජනාවලිය මේ ප‍්‍රශ්නයට විසඳුමක් නොවේ ද ?

ඔබ මේ ප‍්‍රශ්නය යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද ?


x උතුරු හා නැගෙනහිර පළාත්වල ඇති වී තිබෙන ප‍්‍රශ්නය. 

ප‍්‍රශ්නය ඒ ප‍්‍රශ්නය කුමක් දැයි වටහා ගැනීමයි. මෙහි දී මා විස්තර කෙළේ පසුගිය සියවසේ අග සිට දෙමළ ජාතිවාදය විකාශනය වී ඇති අයුරුයි. අප පිළිතුරු සෙවිය යුත්තේ ඒ ප‍්‍රශ්නයටයි. දෙමළ ජාතිවාදය විසින් පෙන්වන ඊනියා අසාධාරණවලට නොවෙයි. එයට හේතුව දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් සිදු වී ඇති අසාධාරණයක් නොමැති බැවින්. 

දෙමළ ජාතිවාදය දැන් යෝජනාවලියක් ආණ්ඩුව ලවා ඉදිරිපත් කර තිබෙනවා. මේ යෝජනා බොහෝ කරුණුවලින් 1985 දී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ රාජීව් ගාන්ධි මහතාට ඉදිරිපත් කළ යෝජනාවලට සමානයි. ඇතැම් කරුණුවල දී ඉන් එහාට ද ගොස් තිබෙනවා. තමන්ට ඇතැයි කියන අසාධාරණයට පිළියම් ලෙසයි මේ යෝජනා ඉදිරිපත් කර ඇත්තේ. අද වන විට දෙමළ ජනයාගෙන් 50% කට වඩා ජීවත් වන්නේ උතුරු හා නැගෙනහිර පළාත්වලින් පිට. ඔය කියන අසාධාරණකම් තිබේ නම් ඒවා අනෙක් පළාත්වල සිටින දෙමළ ජනයාටත් තිබිය යුතුයි. එහෙත් ඉදිරිපත් කර ඇති ඊනියා විසඳුම්වලින් එම පළාත්වල දෙමළ ජනයා ගේ ඇතැයි කියන ප‍්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ නැහැ. ඉන් පැහැදිලි වන්නේ එවැනි අසාධාරණයක් නොමැති බවත් ඔවුන් විසඳුමක් ඉදිරිපත් කර ඇත්තේ වෙනත් ප‍්‍රශ්නයකට බවත් ය. ඒ වෙනත් ප‍්‍රශ්නය අන් කිසිවක් නොව වෙන ම දෙමළ රාජ්‍යයක් ඇති කරගැනීමේ අවශ්‍යතාවයි. වෙන ම දෙමළ රාජ්‍යයකට අදියර දෙකකින් යෑමට උත්සාහ කරන ප‍්‍රභාකරන් ගේ බාප්පලා ගේ හා අද වන විට බොහෝ මස්සිනාලා ගේ දේශපාලනය පෙඩරල් රාජ්‍යයක් ඉල්ලා තිබෙනවා. අප එය මුළුමනින් ම ප‍්‍රතික්ෂේප කළ යුතුයි. 

x ඒ දේශපාලන යෝජනාවලිය සංශෝධනය කෙරීමට ඔබ එකඟ නොවන්නේ මන් ද ? ඔබට සාමය අනවශ්‍ය ද ? 

මට සාමය අවශ්‍යයි. මා මෙයට විරුද්ධ වීමට එක් ප‍්‍රධාන හේතුවක් වන්නේත් මට සාමය අවශ්‍ය වීමයි. මේ විසඳුම් ක‍්‍රියාත්මක කළා යයි සිතමු. එවිට සාමය ඇති වනවා ද ? නැහැ. එයට හේතුව දෙමළ ජාතිවාදය මේ විසඳුමෙන් සෑහීමකට පත් නොවන නිසා. ඔවුන්ට අවශ්‍ය දෙමළ රාජ්‍යයක්, තමිල් ඊළමක්. මේ විසඳුමෙන් තමිල් ඊළමට පාර කැපෙනු මිස තමිල් ඊළම එකවර ම ලැබෙන්නේ නැහැ. කොටි සංවිධානය මෙයට විරුද්ධ එබැවිනුයි. කොටි සංවිධානය යම් හෙයකින් යුද්ධයෙන් පරාජය වුවත් බලයට පත්වෙන වෙනත් කණ්ඩායමක් වුවත් පෙඩරල් රාජ්‍යයකින් සෑහීමකට පත් වන්නේ නැහැ. ඔවුන ඉන් පසු දෙවන අදියර ආරම්භ කරාවි. අපට දෙමළ ජාතිවාදය විකාශනය වී ඇති ආකාරයෙන් පැහැදිලි වන්නේ එයයි. ඒ දෙවන අදියරේ දී ඇති වන යුද්ධය මෙයට වඩා දරුණු වන බව අමුතුවෙන් කියන්න  ඕනෑ දෙයක් නෙවෙයි. 

දෙවනු ව දෙමළ ජාතිවාදය තම නිජභූමියත්, තමිල් ඊළමත් ලෙස සලකන්නේ උතුරු හා නැගෙනහිර පළාත් පමණක් නොවෙයි. එය හලාවත සිට කුඹුක්කන් ඔය දක්වා දිවෙන ප‍්‍රදේශයක්. දෙමළ ජාතිවාදීන් 1799 දී ලංකාවට පැමිණි හියු ක්ලෙග්හෝන් නමැති බිරිතානි යටත් විජිත ලේකම්වරයා ගේ වාර්තාවක් වැරැුදියට ගෙන ඈත අතීතයේ සිට මේ ප‍්‍රදේශයේ දෙමළ රාජ්‍යයක් තිබූ බව කියනවා. ක්ලෙග්හෝන් වාර්තාව පදනම් වූයේ ලන්දේසි පරිපාලන හා අධිකරණ ප‍්‍රදේශ මත. ලන්දේසීන් මුහුදුබඩ පළාත් පරිපාලනය සඳහා කලාප හයකටත්, අධිකරණ කටයුතු සඳහා කලාප තුනකටත් බෙදුවා. අධිකරණ කටයුතු  සඳහා බෙදන ලද එක් කලාපයක් හලාවත සිට කුඹුක්කන් ඔය දක්වා විහිදී ගියා. එය අඩු ම තරමින් පරිපාලනය සඳහා වත් කළ බෙදීමක් නොවෙයි. දෙමළ ජාතිවාදීන් එල්ලී ඇත්තේ මෙම එක් අධිකරණ කලාපයකයි. ඔවුන් ඒ ලන්දේසි අධිකරණ කලාපය දෙමළ රාජධානිය ලෙස හඳුන්වනවා. ඔවුන් ගේ ඊනියා නිජභූමිය එයයි. මේ නිජභූමි මිථ්‍යාව හෙළිදරව් කරමින් අධිනීතිඥ ගාමිණී ඊරියගොල්ල මහතා ඉතා වැදගත් ලිපි කිහිපයක් ම ලියා තිබෙනවා. ඒ වගේ ම පැරණි ඉතිහාසය ගැනත් ඒ මහතා ලියා තිබෙනවා. එයට අමතරව නිජභූමි සංකල්පය ගැන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යය ජී. එච්. පීරිස් මහතාත් ඉතිහාසය පිළිබඳව මහාචාර්ය විමල විජේසූරිය, මහාචාර්ය මංගල ඉලංගසිංහ, මහාචාර්ය කේ. එන්.  ඕ. ධර්මදාස, මහාචාර්ය අභය ආරියසිංහ, එච්. ජී. චාල්ස් ආදී මහතුනුත් කරුණු ඉදිරිපත් කර තිබෙනවා. 

නිජභූමිය මිථ්‍යාවක් වුවත් දෙමළ ජාතිවාදීන් තමන්ට අවශ්‍ය ප‍්‍රදේශය තමිල් ඊළම බවට පත් කරගන්නා තෙක් සටන අවසන් කරන්නේ නැහැ. මතක තබාගන්න. මෙය ඊනියා අසාධාරණකම් පිළිබඳ ව කරන සටනක් නොව තම වරප‍්‍රසාද සහ බලය ආරක්ෂා කර ගැනීම සඳහා සිංහලයන් බහුතරය බව පිළිගැනීමට හා ඉතිහාසය පිළිගැනීමට තිබූ අකැමැත්තකින් පැන නැගි සටනක් බව. දෙමළ ජාතිවාදීන් එය කෙළවර කරනු ඇත්තේ මා කලින් කී ප‍්‍රදේශ පමණක් නොව කන්ද උඩරට ද තමිල් ඊළමට අයත් කර ගැනීමෙන්. දෙමළ ජාතිවාදයේ පුරෝහිතයන් පළාත් සභා සමග සාමය ඇතිවන බව කීවා. එහෙත් ඇති වූ සාමයක් නැහැ. මෙවරත් එසේ මයි. තොන්ඩමන් මහතා ප‍්‍රභාකරන් ගේ ගුණ ගයන්නේත් ප‍්‍රභාකරන්ට අවුරුදු 5 කට වත් උතුරු හා නැගෙනහිර පළාත් පාලනය භාරදිය යුතු යයි කියන්නේත් හොඳකට නොවෙයි. තොන්ඩමන් මහතා පසු ගිය අවුරුදු 18 ක පමණ කාලය තුළ ඇමතිවරයකු වශයෙන් සිටිමින් කර ඇති දේ හා කරන දේ ගැන අමතක කරන්න එපා. 


දෙමළ ජාතිවාදය මේ සියලූ පළාත් එකතු කර තමිල් ඊළමක් පිහිටුවන තෙක් සටන අත්හරින්නේ නැහැ. ඔවුන් ගේ ඉතිහාසයේ විකාශනය අනුව ඔවුන්ට වෙන අරමුණක් නැහැ. පළාත් සභාවලින් ඔවුන් සෑහීමට පත් වූයේ නැහැ. පෙඩරල් විසඳුමෙනුත් ඔවුන් සෑහීමට පත් වන්නෙ නැහැ. ඔවුන් ඊනියා අසාධාරණකම් ගැන කතා කරන්නේ මේ අරමුණ වසන් කෙරීමටයි. එසේ නම් දේශපාලන යෝජනාවලිය ක‍්‍රියාත්මක කෙරීමෙන් සාමයක් ඇති නොවන බව පැහැදිලියි. සාමය වෙනුවට තව තවත් යුද්ධ ඇති වේවි. දෙමළ ජාතිවාදයේ අවසාන අරමුණ ඉටුකර ගන්නා තෙක් ම අප ජය නොගතහොත් අපට යුද්ධ කෙරීමට සිදුවෙනවා. මෙය කෙළවර කළ හැක්කේ කොටි සංවිධානය හමුදා ක‍්‍රියාමාර්ගයකින් පරාජය කෙරීමෙන් පමණක් නොව සමස්ත දෙමළ ජාතිවාදය ම න්‍යායාත්මක ව හා දේශපාලනික ව පරාජය කෙරීමෙන් පමණි. 




මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද කියවිය හැකි ය.  

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)


නලින් ද සිල්වා

2016 මැයි 06