History

Saturday, 7 May 2016

ඕල්කට් බුද්ධාගමට පිවිසුමක්

ඕල්කට් බුද්ධාගමට පිවිසුමක්

මේ ලිපිවල අරමුණ බටහිර දැනුමෙන් නිදහස් වී අප නිදහස් වීම ය. එයින් අදහස් කරන්නේ බටහිර දැනුම මුළුමනින් ම ප්‍රතික්‍ෂෙප කිරීම නො වේ. මේ ලිපි ලියන්නේ ද මුහුණුපොතට හා කාලය වෙබ් අඩවියට එකතුකරන්නේ ද බටහිර දැනුම යොදා ගනිමිනි. බටහිර දැනුම අනුකරණය නොකර, එහි වහළුන් නොවී අපට අවශ්‍ය අන්දමට ඒ දැනුම යොදා ගනිමු. වත්මන් බටහිර දැනුම සංස්කරණය කෙරෙන්නේ හිතළු ලෙස ය. බටහිර විද්‍යාව තරම් පට්ටපල් බොරුවක් මිනිසුන් විසින් සංස්කරණය කෙරී නැත. එහි හිතළු දහසකින් එකක් වැඩකරන විට එය දොහොත් මුදුණින් පිළිගැනීමට අපට බටහිරයන් උගන්වා ඇත. මේ ලිපිවල මගේ පෞද්ගලික තොරතුරු ද සඳහන් වෙයි. මෙහි ඇත්තේ මට සාපේක්‍ෂ මගේ දැනුම ය. මා යනුවෙන් පුද්ගලයකු නැතත් ඒ මිනිසුන් (සත්ත්වයන්) විසින් සංස්කරණය කෙරී ඇති භයානක ම සංකල්පය වුවත් මගේ දැනුම ප්‍රකාශ කිරීමේ දී මගේ පෞද්ගලික තොරතුරු ද හෙළි කිරීමට මම මැළි නො වෙමි. මගේ දැනුම සංස්කරණය කිරීමේ දී මගේ පෞද්ගලික අත්දැකීම් ද වැදගත් වෙයි. ඒ අත්දැකීම් පාඨකයන්ගෙන් වසංකර බටහිරයන් මෙන් ඊනියා වාස්තවික දැනුමක් සේ මගේ දැනුම ඉදිරිපත් කිරීමට මට අවභ්‍ය නැත. මට මගෙන් වෙන්වූ දැනුමක් දැනට (නිවන් අවබෝධ වන තෙක්) නැත. තැනක් නොවූ නිවන සියළු දැනුම්වලින් තොර ය. 


එහෙත් නිවන් අවබෝධකර ගන්නා තෙක් අපට දැනුම් අවශ්‍ය ය. අද අපට ප්‍රධාන වශයෙන් ම අවශ්‍ය වන්නේ දෙමළ ජාතිවාදයෙන් නිදහස් වීම සඳහා දැනුමකි. කලකට පෙර දෙමළ ජාතිවාදයක් ගැන කිසිවකු කතා කෙළේ නැත. බටහිරයන් ද මෙරට දෙමළ නායකයන් ද, සිංහල පඬියන් ද කතා කෙළේ සිංහල ජාතිවාදයක් ගැන ය. එහෙත් දැන් දෙමළ ජාතිවාදය යන්න ද ඒ ඒ අයගේ ශබ්දකෝශයෙහි වෙයි. එහෙත් දෙමළ ජාතිවාදයේ ආරම්භය හා විකාශය ගැන අපට නිසි දැනුමක් නැත. ඒ ඒ අය තමන්ට අවශ්‍ය තැනින් සිද්ධි ගනු දැකිය හැකි ය. කොතෙක් කීවත් දෙමළ ජාතිවාදයේ ආරම්භය ලන්දේසි හා ඉංගිරිසි යටත්විජිතවාදීන්ට බැරකිරීමට සිංහල ජාතිවාදී උගත්තු ද මැළිවෙති. 

ඇතැමුන් සිතන්නේ මෙය ඉන්දියාව විසින් ඇති කරන ලද ප්‍රශ්නයක් බව ය. ඉන්දියාව ද අද මේ ප්‍රශ්නය පසුපස සිටින බව ඇත්ත ය. එහෙත් ප්‍රශ්නයේ මුළ ඇත්තේ ඉන්දියාව නො වේ. අප එංගලන්තයට හා ඔවුන් අප මත පැටවූ දැනුමට තවමත් කෙතරම් බය ද? මේ බිය ඇතිකිරීම ගැන ඕල්කට්තුමා ද වගකිව යුතු ය. අපි ඔහු ගැන තරමක් කතාකරමු. ඔහුගේ බුද්ධාහම ගැන ද කතාකරමු. ඒ බුද්ධාගම ඊනියා ප්‍රොතෙස්තන්ත බුද්ධාගමක් නො වේ. එය හැඳින්වීමට සුදුසු ම වචනය ඕල්කට් බුද්ධාගම ය. මෙහි ඇති සරදම නම් ඊනියා ප්‍රොතෙස්තන්ත බුද්ධාගමක් ගැන කතාකරන ගණනාථ ඔබේසේකර වැන්නන් ද බිහිකිරීමට ඕල්කට්තුමා ද දායක වී තිබීම ය. රුසියාවේ උපන් බ්ලැවට්ස්කි මැතිණියට ආසියාතික මනසක් තිබුණ ද ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රොතෙස්තන්තවාදී දෙමව්පියන්ට දාව උපන් ඕල්කට්තුමාට බටහිර මනසක් තිබීම අපේ අභාග්‍යයක් විය. එතුමා සිංහලයන්ගේ නිදහස් සටනට සහභාගි නො වී ය. එතුමා ඕල්කට් බුද්ධාගමට නම් විශාල මෙහෙයක් කෙළේ ය. ඕල්කට්තුමා හා සීකිම් ප්‍රදේශයෙන් පැමිණ පැවිදි ව සිංහල ඉගෙන සිංහලයන්ට නිදහසේ කවි ලියූ මහින්ද හිමියන් සංසන්දනය කිරීමෙන් මේ කරුණ වටහාගත හැකි ය.     

බුදුදහම අද බුද්ධාගමෙන් වෙන්කළ හැකි නො වේ. ආගමක් යනු කුමක් ද යන්න පිළිබඳ ඇති අර්ථකථන අනුව බුදුදහම බුද්ධාගමක් ද නැද්ද ආදී කරුණු සාකච්ඡා කළ හැකි ය. එහෙත් මේ වැදගැම්මකට නැති සාකච්ඡාව ඕල්කට්තුමාගෙන් පසුව ඇති වූ තවත් නොමග යැවීමක ප්‍රතිඵලයකි. දහනවවැනි සියවස මුල හා එයට පෙර සිංහලයන් අතර එවැනි සාකච්ඡාවක් තිබූ බවට වාර්තා නො වේ. අද ඇතමුනට බුදුදහම බටහිරයන්ගේ ෆිලොසොෆි යන අරුතෙන් දර්ශනයකි, තවත් අයට ජීවන මාර්ගයකි. මා දන්නා බුදුදහමට අනුව එහි අවසානයේ දී සියළු දෘෂ්ටි ප්‍රතික්‍ෂෙප කෙරෙයි. අපට නිවන් අවබෝධ කර ගැනීමට බුදුන් වහන්සේ අරිඅටඟ මග, සතිපට්ඨානය ආදිය දේශනා කර ඇත. ත්‍රිලක්‍ෂණය, චතුරාර්ය සත්‍ය, පටිච්චසමුප්පදාය මගින් අප ඒ මගට අවතීර්ණ විය යුත්තේ ඇයි ද යන්න පැහැදිලි කෙරෙයි. ඒ සම්‍යක්දෘෂ්ටියයි. සම්‍යක්දෘෂ්ටිය වුව ද දෘෂ්ටියකි. අවසානයේ දී එය ද අත්හැරෙයි. ෆිලොසොෆි යන ග්‍රීුක වදනෙහි තේරුම ප්‍රඥාවට ඇති ආදරය යන්න ය. ප්‍රඥාවට ආදරය කරමින්, සම්‍යක්දෘෂ්ටිය නොවන ඒ ඒ දෘෂ්ටිවල දැවටෙමින්, අවබෝධ කරගත හැකි නිවනක් නැත. 

බුද්ධාගම යන වචනය ද පෙර සිංහලයන් යොදාගන්නට නැත. 1815 සිංහල –- ඉංගිරිසි ගිවිසුමෙහි බුද්ධාගම (හා දේවාගම) යන වචනය යෙදෙයි. ඇතැම් විට එය බුඩිසම් යන ඉංගිරිසි වචනයෙහි පරිවර්තනයක් වීමට හැකි ය. සිංහලයන්ට බුද්ධාගම යනුවෙන් ආගමක් නොතිබූ බව අප ක්‍රිස්තියානි/කතෝලික බැතිමතුන් හැඳින්වීමේ දී ඔවුන් ආගමේ යනුවෙන් කීමෙන් පැහැදිළි වෙයි. අප කුඩාකළ විසූ අර්ධනාගරික ගමේ (කෙනකුට මෙය විසංවාදයක් ලෙස පෙනී යනු ඇත) එක් නිවසක්් හඳුන්වනු ලැබුයේ ආගම් ගෙදර යනුවෙනි. ඒ නිවසෙහි විසුවෝ ආගමේ වූහ. අපි ආගමේ නො වූයෙමු. අපට ආගමක් නොමැති ද යන්න එකල මට ප්‍රශ්නයක් විය. අප බුද්ධාගමේ වී සිටිය දී ආගම් ගෙදර අය පමණක් ආගමේ වන්නේ කෙසේ ද යන්න කුඩා මට ප්‍රශ්නයක් විය. පැරණි වේද හා ආගම් ගැන මා දැනගත්තේ පසු කලෙක ය. ඒ ආගම් අතර ද බුද්ධාගමක් නො වී ය. චීනයේ නම් බෞද්ධ ආගම් ඇත. ඒ සංස්කෘත මහායාන බලපෑමකි. අපට ඇත්තේ ධර්මය හා නිකාය ය. උදාහරණයක් ලෙස දීඝ නිකාය චීනයේ දිර්ඝ ආගම ලෙස හැඳින්වෙයි. මේ ගැන තවදුරටත් මීළඟ ලිපියෙහි කතා කරමු. 

අපට පාසලේ ඉගැන්වූ එක් ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි ගුරුවරයකු ඉංගිරිසියෙන් කියා සිටියේ ඉසම් යනුවෙන් අවසන්වන දැනුම්වල සත්‍යයක් නැති බව ය. ඔහු එයින් අදහස් කෙළේ බුඩිසම්, හින්ඩුයිසම්, මාක්සිසම් ආදිය බව පැහැදිලි ය. ඇතැම්විට ඔහු කැතලිසම් යන්න ද අදහස් කරන්නට ඇත. කෙසේ වෙතත් බුඩිසම් යන්න ද සිංහලයන් සංස්කරණය කළ වචනයක් නො වේ. එය අද බුද්ධාගම ලෙස සිංහලට පරිවර්තනය වී ඇත. වත්මන් පඬියන් එය සිංහලට පරිවර්තනය කෙළේ නම් ඔවුන් එයට බුද්ධවාදය යැයි කීමට තිබිණි. ඒ කුමක් වුවත් අපි බුද්ධාගම යන සංකල්පය පමණක් නොව සිංහල බුද්ධාගම, ඕල්කට් බුද්ධාගම, තම්බයියා බුද්ධාගම, විද්‍යාත්මක බුද්ධාගම ආදී සංකල්ප ද යොදා ගනිමු.   

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද කියවිය හැකි ය. 

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)

නලින් ද සිල්වා

2016 මැයි 07