History

Monday, 2 May 2016

නව සංවිධානයක් පිහිටුවීමට විරුද්ධ කවුද

නව සංවිධානයක් පිහිටුවීමට විරුද්ධ කවුද

මැයි දිනය කම්කරු දිනය නොවන බව නැවතත් පැහැදිලි කරමින් රනිල් වික්‍රමසිංහ ද තවත් මැයි දිනයක් පැවැත්වී ය. රණසිංහ ප්‍රේමදාස මරා දමනු ලැබුයේ ද එ ජා ප මැයි දින පෙළපාලියක දී ය. මෛත්‍රිපාල ගාලු යෑමට පෙර ප්‍රේමදාස සමරු උත්සවයකට ද සහභාගි විය.  දේශපාලන පක්‍ෂවල බලය උරගාන සංදර්ශනයක් වූ මැයි දිනයේ දී වාර්තාවන ආකාරයට මෙවර ඒකාබද්ධ විපක්‍ෂය පැහැදිලි ජයග්‍රහණයක් අත්කරගෙන ඇත. මෛත්‍රිපාලගේ මැයි දිනයට සහභාගි වූයේ ශ්‍රී ල නි පක්‍ෂයට හිතවත් අය පමණ ද යන ප්‍රශ්නය පැන නැගී ඇත. 


එහෙත් මේ අවස්ථාවේ දී මගේ සිහියට එන්නේ 1963 පැවති වාමාංශික එක්සත් පෙරමුණේ මැයි රැළිය ය. 1962 දී පාසල් දිවිය හමාර කර සුළු කලක් පාසල් ගුරුවරයකු ලෙස සේවය කළ මා සහභාගි වූ ප්‍රථම මැයි පෙළපාලිය හා රැළිය එය විය. පිලිප් ගුණවර්ධන, ඇන් ඇම් පෙරේරා, ඇස් ඒ වික්‍රමසිංහ රථයක නැගී ජනතාවට නායකත්වය දෙමින් දැවැන්ත පෙළපාලියේ ගමන් කළහ. වාමාංශික දේශපාලනයට නව පණක් ලැබී ඇතැයි බොහෝ දෙනා සිතූහ. එකල එ ජා ප මැයි රැළි නො තිබිණි. 62 සිංහල බෞද්ධ විරෝධී හමුදා හා පොලිස් උසස් නිලධාරීන්ගේ කුමණ්ත්‍රණයක් පරාජය කළ බණ්ඩාරනායක මැතිණිය අගමැතිණිය වූවා ය. බණ්ඩාරනායක මැතිණිය ජාතිකත්වයේ පක්‍ෂය වූ ශ්‍රී ල නි පක්‍ෂයේ නායිකාව වූවා ය. වාමාංශිකයන්ට ශ්‍රී ල නි ප ඊනියා සුළු ධනේශ්වරයේ පක්‍ෂය විය. 

එහෙත් අවුරුද්දක් ගත වීමට පෙර ල ස ස පක්‍ෂය බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුවේ ඇමතිකම් ලබා ගත්තේ ය. ඇන් ඇම් මුදල් ඇමති විය, ල ස ස පක්‍ෂයේ පිරිසක් කැඩී ගියහ. එවකට සරසවියේ පළමු වසරේ සිසුවකු වූ මම ල ස පක්‍ෂයේ දිගට ම රැඳී සිටියෙමි. කොමියුනිස්ට් පක්‍ෂය ද ආණ්ඩුවට එකතු විය. වාමාංශික දේශපාලනය ජාතිකත්වයට යට විය. ක්‍රමයෙන් ල ස ස පක්‍ෂයේ ශක්තිය හීනවිය. කොමියුනිස්ට් පක්‍ෂයට කවදත් සමසමාජ පක්‍ෂයට තරම් බලයක් නො තිබිණි. වඩාත් ජාතිකත්වයක් තිබූ පිලිප් ගුණවර්ධන ආණ්ඩුවට එකතු නො වී ය. එහෙත් ඒ මහතාට ද දේශපාලනයේ වර්ධනයක් නො වී ය. ජාතිකත්වයේ ප්‍රධාන පක්‍ෂය අත්හැර වෙනත් පක්‍ෂයකට වරධනය විය නො හැකි ය.  

එදා ලේක්හවුසිය එ ජා පක්‍ෂයේ වන්දිභට්ටයෙක් විය. රනිල්ගේ හා ජේ ආර් ගේ නෑදෑයෝ ලේක්හවුසියේ පුවත්පත් මගින් ආණ්ඩුවට පහර පිට පහර දුන්හ. එය ජාතිකත්වයට එරෙහි පහර දීමක් විය. ජාතිකත්වය ඊනියා වාමාංශයට වඩා යටත්විජිත විරෝධී බව සමසමාජ පක්‍ෂය පිහිටුවූ කාලයේ සිට ම පෙනී යා යුතුව තිබූ කරුණක් විය. බ්‍රෙස්ගර්ඩ්ල් පුම්බන ලද චරිතයක් පමණක් විය. පසු කලෙක 1980 දී වික්‍රමබාහුගේ නායකත්වයෙන් යුත් නව සමසමාජ පක්‍ෂයට ටෙඩ් ග්‍රාන්ට් එපමණටවත් පිම්බීමට නොහැකි විය. ලේක්හවුසියේ පහර දීම් එතරම් ගණනකට ගත යුතුව නො තිබිණි. 1956 දී ම එ පෙ ජයග්‍රහණය කෙළේ ලේක්හවුසියත් ගුවන් විදුලියත් (එකම ගුවන් විදුලිය) එ ජා පක්‍ෂයට පූර්ණ සහයෝගය දුන් පසුබිමක ය. සමසමාජ බලපෑම් මත ලේක්හවුසිය ජනසතු කෙරිණි. 1965 මැතිවරණයෙන් ශ්‍රී ල නි පක්‍ෂය ද වාමාංශික පක්‍ෂ ද පරාජය විය. එකල මට තේරුණු ජාතිකත්වයක් නො වී ය. මම මාක්ස්වාදය, බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුමේ නිවට සේවකයෙක් වීමි. බටහිර විද්‍යාඥයකු වීම මගේ පැතුම විය.

1963 මැයි දිනයේ තම බලපරාක්‍රමය පෙන් වූ වමට කුමක් සිදුවිණි ද? අද වන විට වමක් නැත. ඇත්තේ වමේ කේන්ද්‍රයක් නොව වමේ කෙඳිරියක් පමණකි. පැරණි වමට හෝ අලුත් වමට හෝ කළ හැකි කෙංගෙඩියක් නැත. සමසමාජ පක්‍ෂයෙන් හා කොමියුනිස්ට් පක්‍ෂයෙන් කැඩී වෙන් වූවෝ අද රනිල් සමග එකතු වී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හදති! ජ වි පෙ රනිල්ගේ අතකොළුවක් පමණකි. තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර හා වාසුදේව නානායක්කාර මහින්ද නොමැති වුවහොත් දේශපාලන අනාථයන් බවට පත්වනු නියත ය. ජාතිකත්වය ඉදිරියේ වාමාංශික දේශපාලනයට තැනක් නැත. 1963 දී තේරුම් ගත යුතුව තිබුණේ එයයි. 

අද ජාතිකත්වය නියෝජනය වන්නේ ඒකාබද්ධ විපක්‍ෂය මගිනි. මෛත්‍රිපාලට ඇති ජාතිකත්වයක් නැත. කෙසේ වෙතත් අද ආණ්ඩුව රනිල්ගේ මිස මෛත්‍රිපාලගේ නො වේ. මෙය ඊනියා ජාතික ආණ්ඩුවක්වත් සම්මුතිවාදී ආණ්ඩුවක්වත් නො වේ. ඒ වචන හුදෙක් ඔවුන් තමන් සඳහා ම සම්මත කර ගත් දහනවවැනි සංශෝධනය මත යැපීමට යොදාගත් වචන පමණක් වෙයි. මෙය පැහැදිලිව ම එ ජා ප- දෙමළ ජාතික සංධාන ආණ්ඩුවකි. මෛත්‍රිපාලට සහාය දක්වන කිහිප දෙනකුට ඇමතිකම් ලැබුණු පමණින්වත් දෙමළ ජාතික සංධානයේ අයට ඇමතිකම් නොමැති පමණින්වත් අප මුළා විය යුතු නො වේ. 

ජාතිකත්වය ඒකාබද්ධ විපක්‍ෂය මගින් නියෝජනය වුවත් එය නිසි දෙයක් නො වේ. ඒකාබද්ධ විපක්‍ෂයෙහි ජාතිකත්වයට විරුද්ධ වූවෝ ද වෙති. ඒ තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර, වාසුදේච ආදීන් පමණක් නොවන බව අමතක නොකළ යුතු ය. පැකේජ් කාරයෝ ද ජාතිකත්වයක් නොමැත්තෝ ද ඒකාබද්ධ විපක්‍ෂයෙහි නායකයන් අතර වෙති. ඒ අතර සිංහල බෞද්ධ විරෝධියෝ එහි උපදේශකයන් අතර වෙති. 

සිංහල බෞද්ධ ජාතිකත්වය තීරණය වන්නේ පහතිනි. එය පහත සිට ඉහළට ගමන් කරයි. ඒකාබද්ධ විපක්‍ෂය ඇත්තේ ඉහළිනි. එහි ව්‍යුහය සිංහල බෞද්ධ සංස්කෘතියට එකඟ නැත. එය එහි අනාගතයට සුබ නැත. අද කළ යුත්තේ පහළ ජනතාවට ද  සහභාගි විය හැකි ජාතිකත්වයේ සංවිධානයක් පිහිටුවීම ය. මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූයේ ශ්‍රී ල නි ප මැයි දිනයක් නො වේ. ශ්‍රී ල නි ප 2014 අග බටහිරයන්ගේ හා ඉන්දියාවේ අවශ්‍යතාවට මෛත්‍රිපාල විසින් මරා දැමිණි. එහි බලය ලබාගන්නේ කුමක් සඳහා ද? ජාතිකත්වයෙන් වියෝවූ මෛත්‍රිපාළ තමා මැරූ ශ්‍රී ල නි ප මළකඳ ඔසවාගෙන යයි. 

සිංහල බෞද්ධ සංස්කෘතිය මත පිහිටා ජාතිකත්වයේ නව සංවිධානය පිහිටුවීමට විරුද්ධ වන්නෝ අවසානයේ දී ජාතිකත්වයට ද විරුද්ධ වෙති. චම්පකට රැවටී ගිය සිංහල බෞද්ධයන් වෙනත් එවැනි අය පසු පස ගොස් රෑ වැටුණු වළේ දවල් නො වැටිය යුතු ය. මැයි දිනය සාර්ථක ව පැවැත්වුව ද එයින් මුළා විය යුතු නො වේ. නව සංවිධානයක් නොපිහිටුවහොත් ඒකාබද්ධ විපක්‍ෂයට ද පැවැත්මක් නැත.  


මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් කියවිය හැකි ය. 

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)

නලින් ද සිල්වා

2016 මැයි 02