History

Tuesday, 3 May 2016

ඕල්කට්තුමා හා බ්ලැවට්ස්කි මැතිණිය

ඕල්කට්තුමා හා බ්ලැවට්ස්කි මැතිණිය

ඕල්කට් බෞද්ධයන් ගැන දැනගැනීමට ඕල්කට්තුමා සම්බන්ධ තොරතුරු ද අවශ්‍ය වෙයි. ඕල්කට්තුමා මෙරටට පුැමිණීමට පෙර ඕල්කට් බෞද්ධයන් සිටි නමුත්  නමුත් ඔවුන් සංවිධානය වූයේ එතුමාගේ පැමිණීමෙන් පසුව ය. ඕල්කට්තුමා ගැන දැනගැනීමට බ්ලැවට්ස්කි මැතිණිය ගැන ද දැනගත යුතු ය.
 
හෙන්රි ස්ටීල් ඕල්කට් ලෙස නම් කරනු ලැබූ ඕල්කට්තුමා ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සි ප්‍රාන්තයේ උපත ලබා ඇත්තේ 1832 දී ය. ඔහුගේ පියා ප්‍රෙස්බිටේරියන් ව්‍යාපාරිකයකු වූ අතර ඕල්කට් පවුල නිව් ජර්සිහි ගොවිපොළක වාසය කර ඇත. ප්‍රෙස්බිටේරියන්වාදය  16 වැනි සියවසේ යුරෝපයේ ඇති වූ චින්තන විප්ලවය සමග බැඳී ඇත. මෙහි පුරෝගාම් කටයුත්තක් කර ඇත්තේ ජෝන් කැල්වින් ය. කතෝලික පල්ලියට අභියෝග කරමින් ආරම්භ වූ මේ ව්‍යාපාර ප්‍රොටෙස්ටන්ට් (විරුද්ධතා) නමින් හැඳින්වෙයි. ලංකාවේ හැටේ දශකයේ විරෝධය කණ්ඩායමක් වූ බව සිහියට නැගෙයි. ඔවුහු ධනපති ක්‍රමයට මෙන් ම සාම්ප්‍රදායික වාමාංශික ව්‍යාපාරයට ද විරුද්ධ වූ ට්‍රොට්ස්කිවාදී පිරිසක් වූහ. පසුකලෙක කම්කරු මාවත කණ්ඩායම බවට පත්වූයේ ඒ විරෝධය කණ්ඩායම ය. ඔවුන්ට ද යම්කිසි ආකාරයකට ප්‍රොටෙස්ටන්ට් සම්ප්‍රදාය බලපා ඇති බව පෙනෙයි. එහෙත් කිසිම පඬියකු මේ මාක්ස්වාදය ප්‍රොතෙස්තන්ත මාක්ස්වාදය ලෙස හඳුන්වා නැත. සාමාන්‍යයෙන් එකල මේ මාක්ස්වාදීුහු දෙතුන් දෙනෙක් සෑම විශ්වවිද්‍යාලයක ම පාහේ විරෝධය දක්වමින් සිටියහ. ප්‍රෙස්බිටේරියන් වාදය එංගලන්තයේ හා ස්කොට්ලන්තයේ පල්ලිවල පැතිර ගියේ ය. විශේෂයෙන් ම ස්කොට්ලන්ත සම්භවයක් මේ ව්‍යාපාරයෙහි දැකිය හැකිය. ඇමෙරිකාවට මේ ව්‍යාපාරය 1703 දී ගෙන ගොස් ඇත්තේ ද ස්කොට්ලන්තයෙන් හා එංගලන්තයෙන් ය. එකල ඇමරිකාව එංගලන්තයේ යටත්විජිතයක් විය. 

හෙන්රි ස්ටීල් ඕල්කට් 1860 දී විවාහ වී ඇත්තේ ත්‍රිත්ව පැරිෂීයක් භාර දේවගැතිවරයකුගේ දියණියක සමග ය. ඔහු ඇමරිකන් සිවිල් යුද්ධ සමයෙහි ඇමරිකන් හමුදාවෙහි සේවය කර ඇත. ඔහුට හෙලේනා බ්ලැවට්ස්කි මැතිණිය හමු වී ඇත්තේ 1874 දී ය. බ්ලැවට්ස්කි මහත්මිය යුක්රේනයේ උපත ලැබූ රුසියන් කාන්තාවක විය. ඇගේ පියා ජර්මන් සම්භවයක් සහිත රුසියානුවකු විය. ඇය රුසියාවේ දී මනුෂ්‍ය නොවන ප්‍රාණීන් සමග සම්බන්ධකම් පැවැත්වීමට හැකි වූ, භූතවේදය පිළිබඳ දත් තැනැත්තියක් වූවා ය. ඇයට අනුව ඇය කාශ්මීරයේ මොරියා නමැත්තකු සමග කොන්ස්තැන්තිනෝපලයේ සිට තිබ්බතයට ගෙස් ඇත. එහෙත් ඇතැම්හු ඒ තොරතුර ගැන විශ්වාසයක් නො තබති. තිබ්බතයේ දී ඇයට ඉපැරණි භාෂාවක් ඉගෙනීමට ලැබී ඇතැයි කියැවෙයි. එමෙන් ම මොරියා සහ තවත් අයට අනාගතය දැකීම, අන් අයගේ සිත් පාලනය කිරීම වැනි අතීන්ද්‍රිය හැකියාවන් තිබී ඇතැයි ඇය කියා ඇත. මහායාන බුදුදහම ගැන ඉංගිරිසියෙන් බොහෝ පොතපත ලියා ඇති සුසිකිට අනුව ඇයට මහායාන බුදුදහම ගැන මනා අවබෝධයක් තිබී ඇත. 

1873 දී (පාණදුරා වාදයේ වසර) ඇමරිකා එක්සත් ජනපදයට ගොස් ඇති ඇය එහි දී ඕල්කට්තුමා මුණගැසී ඇත. 1875 දී ඔවුන් දෙදෙනා ද විලියම් ජජ් නමැති අයකු ද එකතු වී පරම විඥානාර්ථ සංගමය  පිහිටුවා ඇත.   බ්ලැවට්ස්කි මැතිණියට අනුව  පරම විඥානාර්ථවාදය යනු (බටහිර) විද්‍යාවේ, ආගමේ හා දර්ශනයේ සංස්ලේෂණයකි. එය සියළු ආගම්වල පසුබිමෙහි වූ පැරණි ප්‍රඥාව යළි පණගැන්වීමක් ලෙස ඇය ප්‍රකාශ කර ඇත. පරමවිඥානාර්ථය ලෙස සිංහලට පරිවර්තනය වී ඇත්තේ තියොසොෆි යන වචනය ය. එහි තේරුම දෙවියන්ගේ ප්‍රඥාව යන්න ය.  ඇගේ  ප්‍රකාශ අනුව භූතයන් යනු මියගිය අයගේ භව විශේෂයක් නොව ජීවීන් හා මියගිය අය අතර වූ ප්‍රාණීන් විශේෂයකි. ඇයට ඕල්කට්තුමා මුණගැසී ඇත්තේ විලියම් හා හොරේෂෝ එඩි නම් අයට අනුව ඔවුන්ට ධ්‍යාන බලයෙන් පාවීමට හැකි බව හා භූතවේදය පිලිබඳ හැකියාවන් ඇති බව දැනගැනීමට ලැබී ඇය ඔවුන් හමුවීමට වර්මන්ට් ප්‍රදේශයට ගදය අවස්ථාවක ය. ඕල්කට්තුමා එහි පැමිණ ඇත්තේ එඩී සංසිද්ධිය ගැන පුවත්පතකට ලිපියක් සැපයීමට ය.

බ්ලැවට්ස්කි මැතිණිය ඕල්කට්තුමාට තම භූතවේද මතවාද ඉදිරිපත් කර ඇති අතර ඔවුන්ගේ සංවිධානය ඇමරිකා එක්සත් ජනපදයේ ව්‍යාප්ත වී ඇත. තොමස් එඩිසන් ද ඒ සංගමයේ සාමාජිකයකු යැයි කියැවෙයි. දහනවවැනි සියවසේ අග ඇමරිකා එක්සත් ජනපදයේ උගත් යැයි සම්මත අය අතර ද භූතවේදී අදහස් පැතිරී ගොස් ඇත. බ්ලැවට්ස්කි මැතිණිය ඩාවින්ගේ පරිණාමවාදය විවේචනයට ලක්කර ඇත්තේ ඩාවින් භෞතීය අංශය ගැන සාකච්ඡා කර ඇතත් ආධ්‍යාත්මික අංශය නොසලකා හැර  ඇතැයි පවසමිනි.  ඒ සම්බන්ධයෙන් ඇය ලියූ පොතක් සංස්කරණය කර ඇත්තේ ඇලෙක්සැන්ඩර් විල්ඩර් නම් දර්ශනය පිළිබඳ මහාචාර්යවරෆයෙකි. අද ද ඇමරිකා එක්සත් ජනපදයේ විශාල පිරිසක් ඩාවින්ගේ පර්ණාමවාදය නොව නිර්මාණවාදය පිළිගනිති! බ්ල්වට්ස්කි මැතිණියට 1878 දී ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය ලැබී ඇත. 

පරමවිඥානාර්ථ සංගමය ඉන්දියාවේ දයානන්ද සරස්වතී නම් හින්දු පූජකවරයකු පිහිටුවා ගත් ආර්ය සමාජ් නම් හින්දු පුනරුදයක් ගැන කතාකළ සංවිධානයක් සමග සම්බන්ධකම් ගොඩනගා ගෙන ඇත. ඕල්කට්තුමාට හා බ්ලැවට්ස්කි මැතිණියට අනුව සංවිධාන දෙක අතර පොදු ආධ්‍යාත්මික බැඳීමක් විය. ඇමරිකා එක්සත් ජනපදයේ ගතකළ ජීවිතය ගැන පැහැදීමක් නැති වූ බ්ලැවට්ස්කි මැතිණිය 1878 දෙසැම්බරයේ දී ඕල්කට්තුමා සමග ඉන්දියාව බලා පිටත් වී ඇත. ඔවුන් තමන් සතු බොහෝ දේ විකුණා ඇත. ඔවුන්ට එඩිසන් තෑගි දුන් ග්‍රෑමෆෝනයක් ද තිබී ඇත. 1879 පෙබරවාරියේ දී ඔවුන් ඉන්දියාවේ බොම්බායට (මුම්බායි) පැමිණ ඇත. 

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් කියවිය හැකි ය. 

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)


නලින් ද සිල්වා

2016 මැයි 03