බ්ලැවට්ස්කි මැතිණියගේ පරම විඥානාර්ථය
මේ ලිපිවල සඳහන් තොරතුරු අවශ්‍ය අයකුට අන්තර් ජාලයෙන් ලබාගත හැකි ය. එහි දක්වා ඇති ආශ්‍රිත ග්‍රන්ථ කියවා අවශ්‍ය නම් තවත් දත්ත ලබාගත හැකි ය. එහෙත් දත්ත ආශ්‍රයෙන් කියන කතාව අන්තර්ජාලයේ නැත. මා මෙහි දී උත්සාහ කරන්නේ සාමාන්‍යයෙන් දහනවවැනි සියවසේ සිදුවිණි යැයි කියන බෞද්ධ පුනර්ජීවනය සිංහල බෞද්ධ ඇසකින් දැකීම ය. එනම් සිංහල බුද්ධාගමට සාපේක්‍ෂව දහනවවැනි සියවසේ අග සිදු වූ නැගිටීමක් තේරුම් ගැනීම ය. එහි දී පාණදුරා වාදයට වටිනාකමක් දීමට බොහෝ දෙනා පෙළඹෙති. මා සිතන අයුරින් නම්, පාණදුරේ බෞද්ධ පුනර්ජීවනයේ නගරය ලෙස හැඳින්වීමට වඩා ඕල්කට් බුද්ධාගමෙහි යෞවනොදයේ නගරය ලෙස හැඳින්වීම යුක්තියුක්ත බව ය. පාණදුරා වාදයට වැදගත් තැනක් ඉතිහාසයේ ඇත. ඒ සිංහල බුද්ධාගමේ පුනර්ජීවනයක් සම්බන්ධයෙන් නොව මෙරට යටත්විජිත විරෝධී අරගලයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නක් ලෙස ය. සිංහල බුද්ධාගමේ පුනර්ජීවනයක් වෙතොත් ඒ අනාගතයේ දී ය.
බ්ලැවට්ස්කි මැතිණිය හා ඕල්කට්තුමා ඉන්දියාවට පැමිණීමට පෙර ඇමරිකා එක්සත් ජනපදයේ දී බොස්ටන් නගරයේ පළ වූ භූතවේදී විද්‍යාඥයා(සපඉරඉටඋඅල සචඉඑනටඉසට) නම් සඟරාවක ලිපියක් පළ කර ඇත. භූතවේදය ගැන බටහිර රටවල උනන්දුවක් දැක්වූ අයට අවශ්‍ය ව තිබූ එක් කරුණක් වූයේ භූතවේදය බටහිර විද්‍යාව හා එකඟ වන බව හා බටහිර විද්‍යාවෙන් භූතවේදය තේරුම්ගත හැකි බව පෙන්වීම ය. බ්ලැවට්ස්කි මැතිණිය ඩාවින්ගේ පරිණාමවාදය විවේචනය කර ඇත්තේ එහි භෞතීය අංශය පමණක් සලකන්නේ ය යන අදහසින් පමණ ය. ඇයට අවශ්‍ය වූයේ පරිණාමයේ ආධ්‍යාත්මික පැත්ත ද සැලකිල්ලට ගත යුතු බව පෙන්වීම ය. ඕල්කට්තුමා ද පසු කලෙක අනගාරික ධර්මපාලතුමා ද ඩාවින්ගේ පරිණාමවාදය පිළිගත්හ. පරම විඥානාර්ථවාදීන් බටහිර විද්‍යාව ගැන දැරූ අදහස් අපේ සැලකිල්ලට ගත යුතු වෙයි. අද බුදුදහම විද්‍යාත්මක ව පෙන්වීමට තැත්කරන අයගේ මුල ඇත්තේ පරම විඥානාර්ථවාදයෙහි ය.
1879 පෙබරවාරියේ දී ඉන්දියාවට පැමිණි බ්ලැවට්ස්කි මැතිණිය හා ඕල්කට්තුමා ආර්ය සමාජ් සාමාජිකයන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබූහ. බ්ලැවට්ස්කි මැතිණියගේ අදහසට අනුව පරම විඥානාර්ථවාදයෙහි හා හින්දු දහමෙහි සමානකම් තිබිණි. ඉංගිරිසි යටත්විජිතවාදීන්ගේ ප්‍රොතෙස්තන්ත ආගමට එරෙහිව හින්දු ආගම ගැන කතාකිරීම සම්බන්ධයෙන් උගත් ඉන්දියානුවෝ ඇයට ගරු කළහ. අප තේරුම් ගත යුත්තක් නම් බ්ලැවට්ස්කිලා ඕල්කට්ලා ඉන්දියාවේ සාමාන්‍ය ජනයා අතරට නොගිය බව ය. ඔවුන් දෙදෙනාම 1880 දී ලංකාවට පැමිණ ගාල්ලේ විජයානන්ද පිරිවෙනෙහි තිසරණ සහිත පන්සිල් සමාදන් වී ථෙරවාද බෞද්ධයන් වූ බව කියැවෙයි.
එහෙත් බ්ලැවට්ස්කි මැතිණිය කිසි දිනෙක ථෙරවාද බෞද්ධයකු වී ද යන්න ප්‍රශ්නයක් වෙයි. ඇගේ පරම විඥානාර්ථ දෙවියන් අපුද්ගල දෙවිකෙනකු වූ අතර ඒ දෙවියන් විශ්වීය දිව්‍යමය මූලධර්මයක් ලෙස සැලකිණි. මේ දෙවියන්ගෙන් සියල්ල ගලා ආ අතර අවසානයේ දී සියල්ල ඒ තුළ අවශෝෂණය වන්නේ ය යන්න ඇගේ මතය විය. මෙය බුදුදහමට නොව වර්තමානයෙහි කේරළය නමින් හැඳින්වෙන ප්‍රදේශයේ හයවැනි සියවසෙහි ජීවත් වූ අධිශංකාරාචාර්යවරයාගේ අද්වෛත වේදාන්තයට වඩා සමීප වෙයි. බෙවිර් නමැත්තකු කියා ඇති ආකාරයට බ්ලැවට්ස්කි මැතිණියගේ අදහස්වලට අනුව බුදුන්වහන්සේ පැරණි වේදයට ආපසු ගොස් ඇති අතර බුදුදහම වත්මන් හින්දු දහමට වඩා පැරණි වේදය වඩා හොඳින් නිරූපණය කෙළේ ය.
මේ අදහස්වල ඇත්තේ විසංවාදී කතා ය. හින්දු ආගම හයවැනි සියවසෙන් පසු ඇතිවූවකි. වේදයේ තිබූ බිලි පූජා බුදුදහමේ හා ජෛන ආගමේ බලපෑමෙන් හීන වී හින්දු ආගමට මග පෑදී ය. හින්දු ආගමේ අනෙක් මූල අද්වෛත වේදාන්තය ය. අධිශංකාරචාර්යවරයා නාගර්ජූනපාදයන්ගේ ශූන්‍යතාවෙන් ආභාසය ලැබී ය. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම සමග ශූන්‍ය ගැන කියවෙතත් ශූන්‍යතාවක් ගැන නො කියැවෙයි. කෙසේ වෙතත් අධිශංකාරාචාර්යවරයා ශූන්‍යතාව උඩු යටිකුරු කර අද්වෛත වේදාන්තයේ නිර්ගුණ් බ්‍රහ්මන් ඉදිරිපත් කර ඇත. අධිශංකරාචාර්යවරයා වෙස්වෙළාගත් බෞද්ධයකු ලෙස ද හැඳින්වී ඇත.
එහෙත් මේ සියල්ලටත් වඩා වැදගත් වන්නේ හට්න් නමැත්තකු ප්‍රකාශ කර ඇති කරුණකි. ඔහුට අනුව බ්ලැවට්ස්කි මැතිණිය කතෝලික දහමට හා ප්‍රොතෙස්තන්තවාදයට විරුද්ධ වුවත් රුසියන් ඕතොඩොක්ස් පල්ලිය කෙරෙහි දැඩි ලෙස සානුකම්පික වී ඇත. ඇයට අනුව ඇය රුසියන් පල්ලියේ විශ්වාසයන් සමග බුදුදහමවත් සංසන්දනය කිරීමට පෙළඹී නැත.
මේ සියල්ලෙන් පැහැදිලි වන කරුණ නම් රුසියන් කාන්තාවක් වූ බ්ලැවට්ස්කි මැතිණිය තම ළමා කාලයේ ආගමෙන් ඉවත්වී නැති බව ය. රුසියන් ඕතොඩොක්ස් පල්ලියට ග්‍රීක ආභාසයක් ඇත. කතෝලික පල්ලිය රෝමයේ බිහිවිණි. ප්‍රොතෙස්තන්තවාදය ද කතෝලික පල්ලියට විරුද්ධව ඇතිවුණ ද ඉතාලිය මුල්කරගෙන ඇති වූවකි. ග්‍රීක පල්ලිය හා ඉතාලි පල්ලිය අතර වූ අරගලය අපට බ්ලැවට්ස්කි මැතිණියගේ අදහස්වලින් පෙනී යයි. රුසියාව මූලික වශයෙන් ආසියාතික ය. පරම විඥානාර්ථය ද මූලික වශයෙන් ආසියාතික ය. බ්ලැවට්ස්කි මැතිණියගේ දෙවියන් හෙවත් පරම විඥානය වඩාත් සමීප වන්නේ නිර්ගුණ් බ්‍රහ්මන්ට ය. ඇය බටහිර ලෝකයේ ක්‍රිස්තියානි දෙවියන් පිළිබඳ අදහස තර්කානුකූල වීමට නොහැකි විසංවාද පොදියක් ලෙස හඳුන්වා දී ඇත.
බ්ලැවට්ස්කි මැතිණිය ද විසංවාදී ව වුවත් පොදුවේ ආසියාවට පක්‍ෂව යුරෝපයට විරුද්ධ වී ඇත. ඇයට හින්දු ආගම ද බුදුදහම ද අවශ්‍ය වී ඇත්තේ කතෝලික ආගමට හා එයටත් වඩා ප්‍රොතෙස්තන්තවාදයට විරුද්ධ වීමට ය. ඇය මාටින් ලූතර්ලා ජෝන් කැල්වින්ලා අනුගමනය කර නැත. ඇගේ වඩාත් ම මනාපය රුසියන් ඔතොඩොක්ස් පල්ලියට වී ඇත. පැරණි ලෝකයේ භූතවේදය ද ආධ්‍යාත්මික ශක්තිය ද හින්දු ආගම (බ්‍රහ්මන්) හා ඇය විසින් අර්ථ දක්වන ලද බුදුදහමක් ද ඇය ඔතොඩොක්ස් පල්ලිය වටා ගොනු කරගෙන ඇත. එහෙත් ප්‍රොතෙස්තන්තවාදයට විරුද්ධ වුව ද ඇයට ද ඒ චින්තනය පදනම් කරමින් බිහි වූ බටහිර විද්‍යාව අවශ්‍ය වී ඇත!
මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් කියවිය හැකි ය.
නලින් ද සිල්වා
2016 මැයි 04