History

Tuesday, 21 June 2016

ගෙදර ගියෙමි 10

ගෙදර ගියෙමි  10

වංශපුර දේවගේ ජානක 

ඊලඟ වසර දෙක පමණ කාලය මා ගත කලේ මිසිසිපි ප්‍රාන්තයේ අගනුවර වූ ජැක්සන් නගරයේය. මිසිසිපි යනු ඇමෙරිකාවේ එක් ස්වදේශික ගෝත්‍රයක් මහා ගංගාවට ඔවුන්ගේ බසින් කී නමය. මිසිසිපි ගඟ යාබදව ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු කෙලවරේ පිහිටි මිසිසිපි ප්‍රාන්තය ඇමෙරිකාවේ දුප්පත්ම ප්‍රාන්තය ලෙස සැලකෙයි.  කලකට ඉහතදී අපේ රටේ ගම්ද මේ මිම්මෙන් දුප්පත් ලෙස සැලකුනත් ඒකල අපේ ගම් දුප්පත් නොවුනු බව අපි දනිමු. නමුත් ජැක්සන් නගරයත්, ප්‍රාන්තයේ අනෙක් බොහෝ කුඩා නගරත් සැබෑවටම දුප්පත්ය. එහි කැඩී බිඳී ගිය ගොඩනැඟිලි, වල් වැදුනු හිස් ඉඩම්, පිලිසකර නොකල මහා මාර්ග සැම තැන දැක ගත හැකිය. නගර මධ්‍යයේ බොහෝ ගොඩනැඟිලි වසර පනහක් සියයක් පමණ පැරණි ඒවා විය. (සාමාන්‍යයෙන් අපේ පිටරට ගිය ඇත්තන්ගේ සෙල්ෆී වලින් මෙවැනි නගරත් ඇමෙරිකාවේ ඇතැයි දැන ගන්නට ලැබෙන්නේ නැත). නමුත් ඒ කිසිවකටත් වඩා මිසිසිපි දුප්පත් කරවූයේ එයද රටේ අනිත් ප්‍රාන්ත, විශේෂයෙන්ම උතුරේ ප්‍රාන්ත, ගිය ආර්ථික ගමන යන්නට ගොස් අතරමංව සිටි බැවිනි. නමුත් චක්ටෝ නම් ස්වදේශික ජාතියක් අනාදිමත් කාලයක සිට මිසිසිපියේ සමෘදිමත් ලෙස ජීවත්ව හිඳ තිබිනි. යුරෝපීයෝ එහි පැමිණෙන තෙක් තත්වය එසේවීය.


සංස්කෘතික වශයෙන් මිසිසිපි ඇමෙරිකාවේ දකුණ නියෝජනය කලේය. පොදුවේ ඇමෙරිකාවේ දකුණේ මිනිස්සුන්ගේ ගති පැවතුම් හා ආකල්ප උතුරේ මිනිස්සුන්ගේ ගති පැවතුම් හා ආකල්ප වලට වඩා කැපී පෙනෙන ලෙස වෙනස්ය. නමුත් එහි මා දුටු විශේෂත්වය වූයේ දකුණේ මිනිස්සු තමන්ට අනන්‍යතාවක් පවත්වා ගැනීමට උනන්දුවක් තිබුනද උතුරේ මිනිස්සුන්ට එවැනි අවශ්‍යතාවක් නොතිබීමය. මේ උනන්දුව දකුණේ පල්ලි වලද දක්නට ලැබිනි. දකුණේ පල්ලි දකුණේ මෙතෝදිස්ත, දකුණේ බැප්තිස්ත ආදී වශයෙන් වෙන් කර හඳුන්වාගෙන තිබුනද උතුරේ පල්ලි උතුරේ ලෙස නම් කරගෙන නොතිබිනි. මේ අසමමිතික බව තේරුම්ගත හැක්කේ ඇමෙරිකානු උතුරු-දකුණු සිවිල් යුද්ධය හැදෑරීමෙනි. සිවිල් යුද්ධය තේරුම් ගත හැක්කේ ඇමෙරිකානු රාජ්‍යය ගොඩනැඟීමේ ව්‍යාපෘතිය අධ්‍යයනය කිරීමෙනි.

යුරෝපීයෝ ඇමෙරිකානු රාජ්‍යය ගොඩනැඟීමේදී, නැඟෙනහිර වෙරලින් පටන්ගෙන 18-19 සියවස් පුරා, ස්වදේශිකයින්ගේ නිජ බිම් ආක්‍රමණය කරමින් බටහිර වෙරල දක්වා ගමන් කලහ. විටෙක ඔවුන් හමුදාව යොදා ඝාතනය කෙරිනි. යුධයෙන් පරාජය කල නොහැකි විට ඔවුන් සමඟ ගිවිසුම් ගැසූහ. ඉංග්‍රීසීන් උඩරට සිංහලයන් සමඟ කුප්‍රකට ගිවිසුම ගසා දශකයකට පමණ පසු චක්ටෝවරුන් මිසිසිපි ප්‍රාන්තයේ සිය ඓතිහාසික නිජ බිම ඇමෙරිකාවේ සුද්දන්ට ලියාදී මිසිසිපි ගංඟාවෙන් බටහිර භුමි ප්‍රදේශයකට සංක්‍රමණයවූහ. සුද්දෝ එහි ඔවුන්ට ස්වාධීන ජාතියක් වශයෙන් රාජ්‍යයක් කරවීමට ඉඩ දෙන බවට පොරොන්දුවුහ. නමුත් බලාපොරොත්තු විය යුතු පරිදිම ඉන් වසර පනහකට පසු ඒ භුමියද එක පෑන් පහරකින් නැගී එන ඇමෙරිකා එක්සත් ජනපදයට ඈඳා ගැනිනි. මිසිසිපියේ චක්ටෝ වරුන් සුද්න්ගේ ඊනියා සංරක්‍ෂිතයක පදිංචි කරුවන් වෙමින් රටක් අහිමි ජාතියක් බවට පත් කෙරින.

ඇමෙරිකානු රාජ්‍යය ගොඩනැඟීමේ ව්‍යාපෘතිය විසින් ස්වදේශිකයින් ඔවුන්ගේ නිජ බිම් වලින් පලවා හැර ඊනියා සංරක්‍ෂිත වලට ගාල් කෙරිනි. මේ ගාල් කිරීම් වලට තැනිතලාවල ජීවත්වුනු සියොක්ස් වැනි ජාතීන් ප්‍රබල ලෙස ප්‍රතිරෝධය දැක්වූහ. සියොක්ස් යනු ඇමෙරිකානු බෆලෝ නැත්නම් බයිසන් නමින් හැඳින්වෙන ගවයන් දඩයම් කරමින් තැනිතලාවල ජීවත්වූ සංක්‍රමණික ජාතියකි. තැනිතලාවල බයිසන් ගවයන් වෙසෙන තාක් කල් සියොක්සියන් මැඩ පැවැත්විය නොහැකි බව දැනගත් ඇමෙරිකානු රජය හමුදාව යොදා බයිසන් ගවයන් සහමුලින් ඝාතනය කර දැමීය. 19 වන සියවස අග භාගය වනවිට මිලියන තිහක් පමණවූයේ යැයි තක්සේරු කෙරුන බයිසන් ගවයන්ගෙන් ඉතිරි වී සිටියේ සිය ගණනක් පමණය. සියොක්සියෝ කර කියා ගත නොහැකිව සිය කැමැත්තෙන්ම ඊනියා සංරක්‍ෂිත වලට වැදුනහ. අද ඔවුන් මෙන් බොහෝ ස්වදේශික ජාතීහු ඇමෙරිකානු සමාජයේ අඩි පතුලෙන් ගොඩ ඒමට නොහැකිව ජීවත් වෙති. දෛවයේ සරදමකට මෙන් පසුගිය අප්‍රේල් මාසයේ ඔබාමා අතින් ඇමෙරිකාවේ ක්‍ෂීරපායි සත්වයා ලෙස නම් කෙරුනේද බයිසන් ගවයාමය.

බයිසන් ඝාතන සැලැස්මේ මොළ කරු වූයේ එවකට ඇමෙරිකානු එක්සත් ජනපදයේ හමුදාපතිව සිටි ජෙනරාල් ෂර්මන්ය. ෂර්මන් ඊට දශකයකට පමණ පෙර නිමවූ ඇමෙරිකානු උතුරු-දකුනු සිවිල් යුධයේදී රණ ශුරයෙකු ලෙස නමක් දිනාගෙන සිටියේය. සිවිල් යුද්ධයේදී ෂර්මන් නියෝජනය කලේ ඒබ්‍රහම් ලින්කන්ගේ උතුරය. ෂර්මන්ගේ මූලෝපාය වූයේ සතුරාගේ භව බෝග සම්පත් විනාශ කර සතුරා මැඩ පැවත්වීමය. ඉංග්‍රීසීහු ඊට වසර පනහකට පෙර වෙල්ලස්සේ නිදහස් සටන මර්ධනය කලේද ඒ ක්‍රමයටය. ෂර්මන් ඇතුලු උතුරේ හමුදාවන් ඉංග්‍රීසීන්ගේ විදික්‍රම දැන ගෙන සිටියාට සැකයක් නැත. ෂර්මන්ගේ හමුදා දකුණේ ගම් නගර පුළුස්සා දමමින් දකුණු මුහුද දෙසට ගමන් කලහ. ඒ වනවිට චක්ටෝවරුන් මිසිසිපිය හැර ගොස් තිබිනි. ඔහු මා ජීවත්වුනු ජැක්සන් නගරයේ ඉතිරි කරන ලද්දේ දුම් කුළුනු පමණක් බව කියවෙයි. ෂර්මන්ගේ බයිසන් දඩයමද මේ ක්‍රමවේදයම විය.

ෂර්මන් රණ ශුරයෙකු කල ඇමෙරිකානු සිවිල් යුද්ධය යුරෝපයේ කාර්මික විප්ලවය හා බැඳුනකි. 19 වන ශත වර්ශය වනවිට ඉංග්‍රීසීහු ඉංදියාවේ භාවිතාවුනු කපු කටින යන්ත්‍රය ස්වයංක්‍රීය කර මහා පරිමාණ ලෙස රෙදි විවීම සඳහා යොදා ගෙන තිබිනි. ඊට සමගාමීව ඇමෙරිකාවේ දකුණේ ප්‍රාන්ත අප්‍රිකානු වහලුන්ගේ ශ්‍රමයෙන් කපු නිශ්පාදනය කර යුරෝපයට ආනයනය කරමින් මහත් සේ ලාභ ලබමින් සිටියහ. 1861 දී ඇමෙරිකානු සිවිල් යුද්ධය ඇතිවූයේ මේ අතර වාරයේදීය. යුද්ධය ඇතිවීමට හේතුව ලෙස ඇමෙරිකානු සමාජය අද සාමාන්‍යයෙන් පිළිගන්නේ මෙවැනි කථාවකිඃ

“ඒබ්‍රහම් ලින්කන්ගේ ආණ්ඩුව අප්‍රිකානු වහලුන් නිදහස් කිරීමට තීරණය කලේය. කපු කාර්මාන්තය උදෙසා වහල්භාවය එලෙසම පවත්වාගැනීමට අවශ්‍යවුනු දකුනේ ප්‍රාන්ත ඊට විරුද්ධ වී රාජ්‍යයෙන් වෙන්වීමට උත්සාහ කලේය. රාජ්‍යය දෙකඩවීමට විරුද්ධව ආණ්ඩු බලය අල්ලාගෙන සිටි උතුරේ ප්‍රාන්ත දකුණ හා සටන් වැදිනි.”

වහලුන්ගේ කථාව ඈඳා ගැනීම නිසා උතුරේ මෙහෙයුමට මානුශීය මුහුණුවරක් ලැබෙන බව පැහැදිලිය. නමුත් වහලුන් නිදහස් කිරීම සිවිල් යුද්ධයේ මූලික අරමුණ වී යැයි පිළිගත නොහැකිය. ඒබ්‍රහම් ලින්කන් වහලුන් නිදහස් කිරීමට නීතියක් ගෙන ආවේ සිවිල් යුද්ධය අරඹා වසර තුනක් ගිය තැනය. එහිදීද නිදහස දෙන බව කියවුනේ දකුණේ එතෙක් යටත් නොවුනු ප්‍රාන්තවල වහලුන්ටය (නමුත් ඒ නීතිය ක්‍රියාත්මක කිරීමට උතුරට ශක්තියක් නොතිබුනි). පැහැදිලිවම ආණ්ඩුවට අවශ්‍යවූයේ දකුණේ වහලුන්ට තම ස්වාමිපුතුන්ගෙන් පලා යෑමට ආරාධනය කර දකුණ අඩපන කිරීමටය. මායිම් ප්‍රාන්තවල සහ උතුරට යටත්වුනු දකුණේ ප්‍රාන්තවල වහලුන්ට මේ නීතිය අදාල නොකිරීමෙන් උතුරේ මූලෝපාය තව දුරටත් තහවුරු වේ. කෙසේ හෝ අවසානයේ නිදහස අත් කරගත් වහලුන් ලක්‍ෂ දෙකක් පමණ උතුරේ හමුදාවට බැඳී දකුණට එරෙහිව සටන් කලහ. මේ කරුණු කාරණා සලකා බැලීමේදී උතුරේ මෙහෙයුම මානුශීය මෙහෙයුමක් විනැයි සිතිය නොහැකිය. අනිත් අතට එය එසේවීනම් කළු ජාතික වහලුන් වෙනුවෙන් උණුවූ ඇමෙරිකානු රජයේ (විශේෂයෙන් ජෙනරාල් ෂර්මන් වැන්නන්ගේ) හදවත එරට ස්වදේශිකයින් කෙරෙහි උණු නොවුනේ මන්දැයි පැහැදිලි කල යුතුව තිබිනි.

සිවිල් යුද්ධය යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට ඇමෙරිකාව තුල අධිපතිබව ලබා ගැනීම සඳහා කෙරුනු මෙහෙයුමක් ලෙස හැඳින්වීම වඩා නිවැරදිය. 19 සියවස මැද භාගය වනවිට ඇමෙරිකාව (උතුරු ප්‍රාන්ත) රාජ්‍ය පිළිබඳව නව සංකල්ප නිර්මාණය කර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය නවමගකට හරවමින් සිටියේය. ඊලඟට උතුරේ ප්‍රාන්ත වලට අවශ්‍යය වූයේ යුරෝපයේ සිදුවෙමින් පැවති කාර්මික විප්ලවයට අනුගත වෙමින් කාර්මීකරණය වීමටය. ඒ සඳහා ප්‍රාග්ධනය උපයා ගැනීමට දකුණේ ප්‍රාන්ත ඉතා සරු ලෙස පවත්වාගෙන ගිය කපු අපනයන ව්‍යාපාරයට බදු පැනවීමට ඔවුන්ට අවශ්‍ය විනි. එමෙන්ම ඔවුන් විසින් ගොඩනඟාගත් ප්‍රජාතන්ත්‍රවාදය, පුද්ගලික නිදහස වැනි සංකල්ප තම රාජ්‍යය තුල පිලිගැනීමක් ඇති කරගැනීමට ඔවුන්ට අවශ්‍යවිනි. නමුත් මේ සංකල්ප ඔවුන් ගොඩනැඟුවේ තමන් අරභයා මිස අප්‍රිකාවේ වහලුන් වෙනුවෙන්වත් එරට ස්වදේශිකයින් වෙනුවෙන්වත් නොවන බව කිව යුතුය. කෙසේ නමුත් යුරෝපයේ එවකට පැවැති වැඩවසම් ක්‍රමයට නෑකම් කියූ දකුණේ සංස්කෘතිය මේ සියල්ලටම විරුද්ධ විය.

සංස්කෘතික නෑකම නිසා ඒ වනවිට ඉංග්‍රීසීහුද හදවතින් සිටියේ ඇමෙරිකාවේ දකුණ සමගය. සිවිල් යුද්ධය අතර මඟදී එක්තරා සිද්ධියක් අලළා එංගලන්තය තම නාවික හමුදාව ඇමෙරිකාවේ උතුරට එවන්නේ යුද්ධය නැවත්වීම අරමුණු කරගෙනය. ලින්කන්ට යුධ දෙකක් කිරීමට ශක්තියක් නොතිබිනි. ඔහු එංගලන්තය සමඟ ප්‍රශ්ණය ගොඩින් බේරා ගත්තේය. ලින්කන් ඒ සඳහා තමන් ගෙනයන යුද්ධය ප්‍රජාතන්ත්‍රවාදය, පුද්ගලික නිදහස වැනි උසස් අරමුණු සඳහා වූ එකක් බව තම රට වැසියාටත් ඉංග්‍රීසීන්ටත් ඒත්තු ගැන්වීය. ඉංග්‍රීසීන් පියවරක් පසු පසට ගත් අතර ලින්කන් ෂර්මන් වැනි රණ ශුරයන් යොදවා යුද්ධය ජය ගත්තේය. පසු කලෙක ඉංග්‍රීසි විචාරකයෝ ෂර්මන් එවකට සිටි නූතනම හමුදා අණදෙන්නෙක් ලෙස නම් කලහ.

ඇමෙරිකාව තමන් විසින් නිර්මාණය කල නව දැනුම සිවිල් යුද්ධය හරහා යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ පිළිගත් දැනුම බවට පත්කලේය. ඒ දැනුම මත පදනම්ව ඇමෙරිකාව තුල රාජ්‍යයක් බිහි කෙරිනි. ඒ සමඟම ඉංග්‍රීසීන් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය තුල දැනුමෙන්ද යුධ බලයෙන්ද අත් කරගෙන තිබූ කිරුල ඔවුන් අතින් ක්‍රමයෙන් ගිලි හෙන්නට පටන් ගැනිනි. මේ අවධියේම මිගෙට්ටුවත්තේ ගුණාන්ද හිමි පානදුරාවාදයෙන් ප්‍රොතෙස්තන්ත පූජකයින් පරාජය කිරීමත් ඇමෙරිකානු සිවිල් යුද්ධයේ (උතුර) නිළධාරියෙක් වශයෙනුත් ඉන් පසුව රජයේ යුධ දෙපාර්තමේන්තුවේ විශේෂ කොමසාරිස් වරයා වශයෙනුත් සැලකිය යුතු කාර්යයක් ඉටු කල කර්නල් හෙන්රි ඔල්කට් ගුණාන්ද හිමි සොයා ලංකාවට පැමිණීමත් ඉංග්‍රීසීන්ගේ පසුබෑම සංකේතවත් කරන්නක් ලෙස සැලකිය හැකිය. අවාසනාවකට අපට ඒ ගැම්මටම ධර්මපාලතුමාගේ නායකත්වයෙන් ඉංග්‍රීසීන්ගෙන් නිදහස් වන්නට නොපුළුවන්විය. එපමණක් නොවේ ඉන් වසර එකසිය පනහකට පසු ලද අවස්ථාවේදීද කොටි සමඟ කල සටන අමෙරිකාවේ සිවිල් යුද්ධය මෙන් රාජ්‍යය ගොඩනැඟීමේ ව්‍යාපෘතියක් කරගැනීමට අපට නොහැකිවිය.

අද පවතින ඇමෙරිකානු රාජ්‍යය ගලා එන්නේ 19 සියවසේ සිවිල් යුද්ධය දිනූ උතුරෙනි. රජයේ අනුග්‍රහයෙන් දකුණේ සංකල්ප සහ ආකල්ප පසුගාමී යැයි සලකමින් යටපත් කෙරිනි. සිවිල් යුද්ධයේදී දකුණේ යුධ කොඩිය වූ තරු සහ පටි කොඩිය ඇමෙරිකානු රජය මඟින් තහනම් කෙරිනි. එහිම ආකෘතියක් වූ මිසිසිපි කොඩියද තහනම් කෙරිනි. නමුත් සිවිල් යුද්ධයෙන් වසර එකසිය පනහකට පසුත් දකුණේ මිනිස්සු තමන් දකුණේ යැයි හඳුනාගන්නට උත්සාහ දරන්නේ සිවිල් යුද්ධය මූලික වශයෙන් සංස්කෘතික ආධිපත්‍යයක් සඳහා වු සටනක් බවට සනිටුහන් කරමිනි.

මිසිසිපියේ තරු සහ පටි කොඩියට වසර සියයක් පමණ කාලයක් පුරා තිබි තහනම මා ජැක්සන් නගරයේ පදිංචියට යන්නට වසරකට පමණ ඉහතදී ඉවත් කර තිබිනි. ඒ කාලයේ එහි වැසියන් බහුලව පැදවූ පිකප් වර්ගයේ රථවල විශාල ප්‍රමාණයේ තරු සහ පටි කොඩි ගසා තිබීම සුලබ දසුනක් විය. මගේ කැලිෆෝනියානු ලිබරල් සගයන් මේ කොඩි ප්‍රදර්ශණය දුටුවා නම් ඔවුන් එය දකුණේ සුද්දන් කල්ලන් කෙරෙහි වූ වර්ගවාදයේ සංකේතයක් ලෙස සලකනවාට සැකයක් නැත. ඒ ඇමෙරිකානු රාජ්‍යය විසින් සිවිල් යුද්ධයෙන් පසු සමාජගත කල මතවාදය නිසාය. නමුත් එහි ඊට වඩා යමක් තිබිනි.