History

Wednesday, 22 June 2016

ඇරිස්ටෝටල්ගෙ බලය

ඇරිස්ටෝටල්ගෙ බලය

බලයක් කියන්නෙ මොකක් ද? අප මෙහි දී කතාකරන්නේ දේශපාලන බලය ගැන නොවෙයි. බලය බෙදීම, බලය විමධ්‍යගත කිරීම ආදිය මෙයට අදාළ නැහැ. ආකිමිඩීස්, ඇරිස්ටෝටල් ඇතුළු ග්‍රීකයන්ට බලය වුනේ කප්පි ලීවර ආදියේ දී යොදාගන්නා බලය. ඔවුන්ගේ බලය ඇදීමක්, තල්ලුවක් වැනි දෙයක්. අපට වුනත් ඇදීම, තල්ලුව වගේ සංකල්ප තිබුනා. එහෙත් බලය කියන වියුක්ත සංකල්පය තිබුනේ නැහැ. අපට ශක්තිය කියන සංකල්පය තිබුණා. ඒත් එය කර්ම ශක්තිය වැන්නක් මිස බටහිර විද්‍යාවෙ යොදාගන්නා ශක්තිය නෙවෙයි. කර්මය බටහිර විද්‍යාවේ අර්ථයෙන් ශක්තියක් නෙවෙයි. අපට ඉඳහිට ඇහෙනවා කර්ම විපාකය නිවුටන්ගෙ තුන්වැනි නියමයෙන් තේරුම් කරනවා. හැම ක්‍රියාවකට ම ප්‍රතික්‍රියාවක් තියෙනවා කියලා කර්මය ගැන කතාකරනවා. මේ සංකල්ප ගැන හරි වැටහීමක් නැතිව කෙරෙන කතා. මේ කතාවලින් සිද්ධ වෙන්නෙ අයහපතක්. බුද්ධාගම විද්‍යාත්මක කිරීම එයටත් වඩා පඬි කතාවක්. ඒ කතාවල හීනමානයකුත් තියෙනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ වසන්ත කටුගම්පල කියාවි අවකාශයටත් (අවකාශ –- කාලයට) ශක්තියක් තියෙනවා කියා. ඒ රික්ත ශක්තිය නෙවෙයි.


අප කවුරුත් කප්පි හා ලීවර ගැන දන්නවා. බොලොක්ක ලිඳකින් වතුර අදින විට අප කප්පි යොදා ගන්නවා. ලීවර යොදා ගෙන අපට කොටන්   තල්ලු කරන්න පුළුවන්. අලි ලවාත් කොටන් අද්දවන්න පුළුවන්. කොටන් අදින අලි හා පෙරහැරේ යන අලි ගැන අප කතාකරනවා. අවිහිංසාවේ ඉහළට ම ගිය ඊනියා රාජ්‍ය නොවන සංවිධානවල පඬියන් පෙරහැරේ යන අලි ගැන මිස කොටන් අදින අලි ගැන කතා කරන්නේ නැහැ. ඔවුන්ට ඕනෑ කරන්නේ බෞද්ධයන්ගේ පෙරහැර නතර කරන්න පමණයි. වේල් කරත්තය අදින මිනිසුන් ගැන ඔවුන්ට සත්ව කරුණාවක් උපදින්නේ නැහැ. මේ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙන් ලැබෙන සත්ව කරුණාව. 

ග්‍රීකයන්ට ඝර්ෂණය ගැන පැහැදිලි වැටහීමක් තිබුණේ නැහැ. ඔවුන් එය බලයක් ලෙස දැන සිටියේ නැහැ. පොළොව දිගේ බෝලයක් නැත්නම් පන්දුවක් (මේ වචන දෙක සිංහලයන්ට ලැබුනෙ ඉංගිරිසියෙන් හා දෙමළෙන්. ගුණදාස අමරසේකර මහත්තයා සිංහලයන් පන්දුවෙන් හා සින්දුවෙන් ජීවත්වෙනවා කියන විට ඒ දෙකම දෙමළෙන් ලැබුණු වචන බවත් එවිට ඒ ප්‍රකාශයට තවත් තේරුම් දිය හැකි බවත් කල්පනා කරාද කියන්න මා දන්නේ නැහැ) යැවු විට එය ටික වෙලාවකින් නතර වෙන්නෙ, නැත්නම් පාසලේ කියන විධියට නිශ්චලතාවට පැමිණෙන්නෙ මොකද කියන එක ගැන පැහැදිලි වැටහීමක් ග්‍රීකයන්ට තිබුණේ නැහැ.  

ග්‍රීකයන්ට අනුව චලිතයක් ඇතිවීමට බලයක් යෙදිය යුතුයි. බලයක් නැතිව චලිතයක් නැහැ. ඒ වගේ ම චලිතය නවත්වන්න බලයක් ඕන ද කියන ප්‍රශ්නය ඔවුන් නගා තිබුණේ නැහැ. බලයක් නැතිවත් චලිතය නවත්තන්න පුළුවන් කියන හැඟීම ඔවුන්ට තිබෙන්න ඇති. බලයක් නැතිනම් චලිතයක් නැහැ. කොහොමටත් චලිතය ගැන ඔවුන්ට නිරවුල් සංකල්පයක් තිබුනෙ නැහැ. බලය ගැනත් එහෙමමයි. ඇරිස්ටෝටල්ට අනුව යමක් චලනය වන්නේ බලයක් යෙදූ විට. බලයක් නැත්නම් එය නිශ්චලතාවට පැමිණෙනවා. අහසට විසි කරන ලද පන්දුවක් හෝ ගලක් හෝ වෙනත් යමක් හෝ යම්කිසි පථයක චලනය වෙනවා. වස්තුව සිරස්ව, එනම් හරි කෙළින් උඩට විසිකළොත්, ප්‍රක්‍ෂෙපණය කළොත්, එය සිරස්ව උඩට ගොස් නැවත ආපසු එනවා. වෙනත් ආකාරයකට ප්‍රක්‍ෂෙපණය කළොත් එය පරාවලයක් නමින් හැඳින්වෙන වක්‍රයක, පථයක, චලනය වෙනවා. ඇරිස්ටෝටල් එය විස්තර කෙළේ වස්තුවට යම්කිසි බලයක් අවකාශයෙන්, එනම් මාධ්‍යයෙන් යෙදෙනවා කියමින්. චලිතයක් තිබීමට බලයක් තිබිය යුතු ය යන අදහස ඔවුන්ට තිබුණා.  

ග්‍රීකයන් පැත්තකට දමා ලිඳෙන් වතුර අදින විට අපට කල්පනා වන්නේ මොනවා ද? බොහෝ දෙනකුට ඒ ගැන කල්පනාවක් ඇත්තේ ම නැහැ. වතුර බාල්දිය ඇද ගැනීම විතරයි ඔවුන්ට තිබෙන ප්‍රශ්නය. කප්පියක්් ඇතිව හරි නැතිව හරි වතුර අදින විට අප බලයක් යොදනවා. ඒත් තරමක් ගැඹුරු ලිඳක ඒක මොහොතකට වැඩිය යෙදුවත් දිගින් දිගට යොදන්නේ නැහැ. බලය යොදන විට (අදින විට) බාල්දිය උඩට එනවා. චලනය වෙනවා. බලය යෙදීම මොහොතකට හරි නතර කළහොත් බාල්දිය නවතිනවා. 

අප ගැම්මක් ගැන කතා කරනවා. හොඳ ගැම්මක් අරගෙන බර වාහන තල්ලු කරනවා. ගැම්ම නිසා ගැම්මෙහි ප්‍රතිඵලයක් හැටියට වාහනයට චලිතයක්, ගම්‍යතාවක් ලැබෙනවා. ගැම්ම නිසා ගම්‍යතාව. පන්දුවකට පිත්තෙන් හරි කකුලෙන් හරි පහරක් දුන්නොත් පන්දුව චලනය වීමට පටන් ගන්නවා. අප පිත්තෙන් හරි කකුලෙන් හරි කෙළේ බලයක් යෙදීම ද? එහි දී බලය ඉතා ටික කාලෙකට, මොහොතකට යැයි කියමු, පන්දුව මත යෙදෙනවා. අපට අනුව පන්දුව මත දිගින් දිගට ම බලයක් යෙදෙන්නේ නැහැ. පන්දුව දිගින් දිගටම චලනය වන්නේත් නැහැ. ටිකක් දුර ගිහින් නවතිනවා.  ඒ කොහොම ද?

ඇරිස්ටෝටල්ට තවත් සංකල්පයක් තිබුණා. ඒ තමයි වස්තුවකට නිසි තැනක්, හිමි තැනක් තිබීම කියන එක. වස්තුවක් නිසි තැනින් ඉවත් කළහොත් එය ආපසු නිසි තැනට පැමිණෙන්නේය කියන අදහසත් ඇරිස්ටෝටල්ට තිබුණා. ගල් කැටයක් තියෙන්න ඕන පොළොවෙ. ගල් කැටයට හිමිි තැන තමයි පොළොව. අප එය එතැනින් ඉවත්කළහොත්, උඩට විසිකළහොත් එය ආපසු එහි නිසි තැනට, එනම් පොළොවට පැමිණිය යුතුයි. ඒත් එහි දී චලනයක් සිදුවෙනවා. ඒ චලනය සිදුවන්නේ බලයක් යෙදවීමෙන්. ඒ බලය අවකාශයෙන් නැත්නම් මාධ්‍යයෙන් යෙදෙනවා. මේ මාධ්‍යයෙන් යෙදෙන බලය කියන එකත් වියුක්ත සංකල්පයක්. ඒක අපේ ඇඟට, පංචෙන්ද්‍රියවලට දැනෙන්නේ නැහැ. මේ කියන්නේ වායු ප්‍රතිරෝධයක් ගැන නෙවෙයි. ඒ ඇරිස්ටෝටල් ග්‍රීකයාගේ වියුක්ත සංකල්පයක්. 





මේ ලිපිය තමන්ට අවශ්‍ය පරිදි මගේ තෝරාගත් ලිපි පමණක් පළකරන පුවත්පත්, වෙබ් අඩවි ආදිය සඳහා ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙත් කිසිවකුට තම මිතුරන්ට එය ඉදිරිපත් කිරීමේ බාධාවක් නැහැ.   

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි. 
(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)


  

නලින් ද සිල්වා

2016 ජූනි 22