History

Tuesday, 29 November 2016

අෂ්රොෆ්ගේ සම්ප්‍රාප්තිය

අෂ්රොෆ්ගේ සම්ප්‍රාප්තිය

මේ ලිපි පෙළ ලියන්නේ මෙරට මුස්ලිම් දේශපාලනය තේරුම් ගැනීමට. මංගල සමරවීර කාගෙන් දෝ අසාගෙන කියා තිබෙනවා මුස්ලිමුන් අවුරුදු එක්දාහකට වඩා ලංකාවේ පදිංචි වී සිටි බවත් ඔවුන් සුළු ජාතියක් නොවන බවත්. මංගල දන්නා ඉතිහාසයක් නැහැ. මොහු විදේශ ඇමති වී සිටීම ම රටේ අභාග්‍යයක්. මුස්ලිමුන් මෙරටට පැමිණ ඇත්තේ දාහතරවැනි සියවසේ හා ඉන්පසුව. ඔවුන් කොහොමටවත් ජාතියක් නොවෙයි. ඒ නිසා මුස්ලිමුන් සුළු ජාතියක් වෙන්න බැහැ. මෙරට ජාතිය වන්නේ සිංහලයන් පමණයි. ඔවුන්ට මහා ජාතිය කියා කියන්න අවශ්‍ය නැහැ. මෙරට වෙනත් ජාති නැහැ. එබැවින් සිංහල ජාතියට මහා කියන විශේෂණය අවශ්‍ය නැහැ.  දෙමළ හා මුස්ලිම් යනු ජනවර්ග පමණයි. අප මේ සංකල්ප නිරවුල් ව භාවිතා කළ යුතුයි.


අද ඇතැම් පිරිසක් සිංහල මුස්ලිම් ගැටුමක් නිර්මාණය කිරීමට උත්සාග ගන්නවා. ආණ්ඩුවටත් එවැනි ගැටුමක් අවශ්‍යයි. ඒ එවැනි ගැටුමක් යොදා ගෙන සිංහල ජාතිකවාදීන්ට දඬුවම් කිරීමට. ඔවුන් අත් අඩංගුවට ගැනීමට. ඒ සිංහල විරෝධී ව්‍යවස්ථාව සම්පාදනය කරගැනීමට. සිංහල මුස්ලිම් ගැටුමක් නිර්මාණය කිරීමේ දී ඇතැම් සිංහල බෞද්ධයන් ද යොදා ගැනෙනවා. අප විමසිල්ලෙන් නොසිටියහොත් 1815 හා 2015 වූ සිද්ධි නැවතත් ඇතිවේවි. 2015 සිද්ධි ඇතිකිරීමට තුඩු දුන් සංවිධාන පිටුපස සිටියවුන් අද ඉන්නේ ඇමති මණ්ඩලයේ. ඒ සිද්ධි නිසා මහින්දට මුස්ලිම් ඡන්ද යම් ප්‍රමාණයක් අහිමි වුනා. ඒත් ඔහු 2015 ජනවාරි අටවැනි දා පැරදුණේ සිංහල බෞද්ධ ඡන්ද 1.5% ක ප්‍රමාණයක් අඩුවීම නිසා මිස මුස්ලිම් ඡන්ද අඩුවීම නිසා නොවෙයි. සිංහල බෞද්ධ ඡන්ද එලෙස අඩුවුණේ මහින්ද හොරා යන ඊනියා චෝදනාව මධ්‍යම පංතිකයන් සුළු ප්‍රමාණයක් පිළිගැනීමත් අක්මුල් නැති තාක්‍ෂණික තරුණයන් විශාල ප්‍රමාණයක් වැළඳ ගැනීමත් නිසා.

විජයදාස රාජපක්‍ෂ කියා තිබුණා මෙරට මුස්ලිමුන් තිස්දෙදෙනකු අයිසිස් සංවිධානයේ සාමාජිකයන් බවත් ඔවුන් ඒ වෙනුවෙන් කටයුතු කරන බවත්. ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඒ අය පවුල් හතරකට සම්බන්ධය කියා. ඒ බව ප්‍රකාශ කෙරුණේ පාර්ලිමේන්තුවේ. එහෙත් ඊට පසුදා රාජිත සේනාරත්න කියා සිටියා එලෙස අයිසිස් සාමාජිකයන් නැත කියා. ආණ්ඩුවේ ඇමතිවරුන් දෙදෙනකු ප්‍රකාශ දෙකක් කරන්නේ ඇයි? විජයදාස රාජපක්‍ෂ තමාට වැරදුණු බවක් කියාත් නැහැ. රාජිත පහුගිය කාලයේ බොහෝ දේ කියා තිබෙනවා. ඔහුගේ ප්‍රකාශ දේශපාලන ප්‍රකාශ පමණයි. ඔහු පැරණි ජනවේග කල්ලියේ සාමාජිකයෙක්. එය බොරු සමාජවාදී කල්ලියක්. එහි නායකයන් සිංහල විරෝධීන්. පසු කලෙක රාජිත චන්ද්‍රිකා එංගලන්තයේ සිට මෙරටට ගෙන්වීම සඳහාත් දායක වුනා. 1987-89 කාලයේ ජ වි පෙ - එ ජා ප භීෂණ සමයෙහි දී ඔහුගේ නමත් ජ වි පෙ විරෝධී පැත්තේ සිට කියවුනා. අපට ඔහුගේ ප්‍රකාශ පිළිගැනීමට හැකියාවක් නැහැ.
 
1915 දී ඉංගිරිසි ආණ්ඩුවේ අනුග්‍රහය ලැබූ මුස්ලිම්වරු සිංහල බෞද්ධයන්ට ප්‍රහාර එල්ල කළා. මේ මුස්ලිමුන් සිංහල රජවරුන් විසින් පෘතුගීසීන්ගේ හිරිහැරවලින් බේරා ගෙන ගම්පොළ වැනි ප්‍රදේශවල පදිංචි කළවුන්! ඉංගිරිසි ආණ්ඩුව දඬුවම් කෙළේ සිංහල බෞද්ධ ප්‍රභූන්ට. ඉංගිරිසින් ඒ ප්‍රභූන් සිර කළා. ඉංගිරිසි ආණ්ඩුව එය සැලකුවේ සිංහල බෞද්ධයන්ගේ රාජ්‍ය විරෝධී අරගලයක් ලෙස! එයට විරුද්ධව කටයුතු කෙළේ රාමනාදන්. ඔහු එකල ලංකාවේ නිල නොලත් ප්‍රධාන ස්වදේශික රටවැසියා. ලන්දේසීන් විසින් 1650න් පසුව මෙරටට ගෙන්වන ලද වෙල්ලාල කෘෂිකාර්මික කම්කරුවන්ගෙන් පැවත එන්නකු වූ රාමනාදන් ඉංගිරිසින්ගේ අනුග්‍රහයෙන් එසේ ප්‍රධාන රටවැසියා බවට පත් වී සිටියා. ඔහු ක්‍රියා කෙළේ ඒ මට්ටමෙන්. ඔහු එංගලන්තයට ගොස් ආණ්ඩුකාරයාට විරුද්ධව කරුණු කියා සිටියා. ඔහු ආපසු පැමිණි විට සිංහල නායකයන් ඔහු රික්ෂෝවක පටවා තමන් ම ඇදගෙන ගියා. එයින් පෙන්නුම් කෙරුණේ සිංහල නායකයන්ගේ නිවටකම හා රාමනාදන් ව්‍යවස්ථාදායක මණ්ඩලයේ උගත් ලාංකිකයන්ගේ නියෝජිතයා ලෙස රටේ දැරූ තත්වය. 1931න් පසු දෙමළ වෙල්ලාල  නායකයන්ට මේ තැන අහිමි වීම චෙල්වනායගම්ට සන්ධිය රාජ්‍යයක් ඉල්ලීමට හේතුව වුනා.

1915 ප්‍රහාරයෙන් පසු මුස්ලිම්වරුන්ගේ අනන්‍යතාව තවත් දැඩි වුනා. දහනවවැනි සියවසේ අගභාගය තෙක් ජනවාර්ගික අනන්‍යතාවක් නොමැතිව දෙමළ කතාකරන ජනයා ලෙස සිටි මුස්ලිමුන් හා මලබාරවරුන් මුස්ලිම් හා ලාංකික දෙමළ යනුවෙන් වර්ගීකරණයකට ලක් වූවා.  පොන්නම්බලම් අරණාශලම් 1921 දී හින්දු මහා සභාව පිහිටුවා මෙරට දෙමළ ජනවර්ගයට දේශපාලන සංවිධානයක් ලබා දුන්නා.  එය මෙරට ජනවර්ගයක් මත පදනම් ව පිහිටුවනු ලැබූ පළමු සංවිධානය. එතෙක් තිබූ ලංකා ජාතික කොංග්‍රසයේ ඉංගිරිසි කතාකරන සිංහල දෙමළ මුස්ලිම් අය සංවිධානය වී සිටියා. මෙහි දී වැදගත් කරුණක් සඳහන් කළ යුතුයි. මෙම කොංග්‍රසය පූර්ණ නිදහස ඉල්ලා සිටීමට තීරණය කළ අවස්ථාවේ දී ඩී එස් සේනානායක එයින් අස්වුණා. ඔහු කියා සිටියේ අපට අවශ්‍ය පූර්ණ නිදහසක් නොව ඩොමීනියන් තත්වයේ නිදහසක් බව. එහි දී එංගලන්තයේ රජු අපේත් රජු ලෙස පිළිගැණුනා. අපට 1948 දී ලැබුණේ ඩොමීනියන් තත්වයේ නිදහසක්. 

1946 දී එක්සත් ජාතික පක්‍ෂය පිහිටුවීමේ දී සමසමාජ කොමියුනිස්ට් පක්‍ෂ හැරෙන්නට අනෙක් සංවිධාන එකතු වුනා. ජනවර්ග පදනම මත සංවිධාන ඉන්පසු එක්සත් ජාතික පක්‍ෂය තුළ ම ක්‍රියාත්මක වුනා. මුස්ලිම් නායකයන් එක්සත් ජාතික පක්‍ෂයට පූර්ණ සහයෝහය පළ කළා. 1951 දී බණ්ඩාරනායක මහතා ශ්‍රී ල නි පක්‍ෂය පිහිටුවීමෙන් පසු ඇතැම් මුස්ලිම් නායකයන් එතුමා සමග එක්වුනා. මුස්ලිම් නායකයන් ඉන් පසු එ ජා පක්‍ෂයේ හෝ ශ්‍රී ල නි පක්‍ෂයේ හෝ ක්‍රියාත්මක වුනා. හැත්තෑවේ දශකයේ මුල වෙනතුරු මුස්ලිම් දේශපාලනය එලෙස පැවතුණා. එහෙත් ඉන්පසු දෙමළ ජාතිවාදය පසුපස යමින්ු මුස්ලිම් ජනවාර්ගික සිංහල විරෝධී දේශපාලනයක් ඇරඹුණා. එයට මුල් වූයේ අෂ්රොෆ්. ඔහු නැගෙනහිර පළාතේ සම්භවයක් තිබූ අයෙක්. එතෙක් මුස්ලිම් නායකයන් සාමාන්‍යයෙන් ඇති වුනේ කොළඹ මුල් කරගෙන. ඒ නායකයන් ජීවත් වූයේ සිංහලයන් සමග. අෂ්රොෆ් මේ තත්වය සම්පූර්ණයෙන් වෙනස් කර සිංහල විරෝධී මුස්ලිම් දේශපාලනයක් නැගෙනහිර පළාතෙන් ආරම්භ කළා.




මේ ලිපිය ද තවත් ලිපි ද  කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි.
https://www1.kalaya.org
නලින් ද සිල්වා
2016 නොවැම්බර් 29