History

Wednesday, 30 November 2016

ට්‍රම්ප්, ජාතික රාජ්‍යය හා නිදහස

ට්‍රම්ප්, ජාතික රාජ්‍යය හා නිදහස


වත්මන් බටහිර ලෝකය විකාශය වීමට පටන් ගත්තේ පහළොස් වැනි සියවසෙන් පසුව. එහි දේශපාලනික අංශය අටවැනි හෙන්රි රජුගෙන් පසුව ව්‍යාප්ත වුනා. එයට පෙර සංස්කෘතික හා ආර්ථික වශයෙන් ඒ ව්‍යාප්ත වීමට පටන් ගෙන තිබුණා. මාටින් ලුතර් පාප් වහන්සේට විරුද්ධ වූයේ අටවැනි හෙන්රිට පෙර. පාප්වහන්සේගේ ආධිපත්‍යය තිබුණේ කතෝලික චින්තනය යටතේ. එකල තිබුණේ වැඩවසම් රාජ්‍ය. පඬියන් ලංකාවේ ද වැඩවසම් ක්‍රමයක් ගැන කතා කරන නමුත් මෙරට කිසි දිනෙක වැඩවසම් රාජ්‍ය තිබී නැහැ. යුරෝපයේ වැඩවසම් රාජ්‍ය කැඩී ඇතිවුනේ ආගමික රාජ්‍ය. ඒ රාජ්‍ය පැන නැගුනේ ම කතෝලික පාප්වහන්සේට විරුද්ධව. වැඩවසම් රාජ්‍යවල නිත්‍ය දේශසීමා තිබුණේ නැහැ. එහෙත් ඇති වූ නව ආගමික රාජ්‍යවලට නිශ්චිත දේශසීමා තිබුණා. මේ රාජ්‍ය ඇතිවුනේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය යටතේ. වෙන් කිරීම, නිශ්චිත බව ඒ චින්තනයේ ලක්‍ෂණ දෙකක් වූවා. 

මේ රාජ්‍යවලට පසුව ජාතික රාජ්‍ය කියා කීවත් ඒ රාජ්‍යවල ජාතීන් තිබුණේ නැහැ. ජාතික විඥානයක් ඒ රටවල තිබුණේ නැහැ. ජාතික විඥානයක් නැතිව ජාතියක් ඇතිවීමට බැහැ. රාජ්‍ය වෙන්වූයේ ආගම පදනම් කරගෙන. කෙසේ වෙතත් මේ රාජ්‍යවලට පොදු චින්තනයක් තිබුණා. ඒ චින්තනයෙහි විවිධ සංස්කෘතීන් ඇති රාජ්‍ය බිහි වූවා මිස ඊනියා ජාතික රාජ්‍ය ඇති වූයේ නැහැ. එහෙත් බටහිරයන් තම රාජ්‍ය ජාතික රාජ්‍ය ලෙස නම් කළා. ඒ රාජ්‍ය නම් කිරීමට තිබුණේ ආගමික රාජ්‍ය කියා. එංගලන්්තය මෙයට හොඳම උදාහරණය. එංගලන්තයේ රජු ඇංග්ලිකන් ක්‍රිස්තියානි ආගමේ නායකයා වුනා. ඔහු තම ආගමේ (විශ්වාසයේ) රැකවලා (ඩිෆෙන්ඩර්) වූවා. රජු එන විට යෝක්හි හා කැන්ටබරිෙැය් ආච්බිෂොප්ලාත් නැගිටිනවා.

මේ රාජ්‍යවලට හා ආගම්වලට (සංස්කෘතීන්ට) ඉහළින් ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ක්‍රියාත්මක වුනා. ඒ නිසා ඊනියා ජාතික රාජ්‍යවලට උඩින් තිබෙන යම් ක්‍රමයක් ක්‍රියාත්මක වුනා. මේ ක්‍රමයට රජකු හෝ පාලකයකු හෝ සිටියේ නැහැ. එහෙත් බටහිර විද්‍යාව, තාක්‍ෂණය, ධනවාදය ඒ ක්‍රමයෙහි ප්‍රධාන ලක්‍ෂණ වූවා. මේ ක්‍රමය පදනම් වූයේ සංකල්පවේදය (අයිඩියොලොජි) මත. ඒ සංකල්ප චින්තනය මත පදනම් වූවා. එය එක් රාජ්‍යයකට සීමා වූයේ නැහැ. සංකල්ප, ප්‍රවාද, එහි දී වැදගත් වූවා. එහි ප්‍රවාදාත්මක ව්‍යුුහයක් තිබුණා. කතෝලික චින්තනයෙහි පාප්වහන්සේ හා වතිකානුව දැරූ ස්ථානය හිමිවූයේ මේ ප්‍රවාදාත්මක ව්‍යුහයටයි. එය බටහිර විද්‍යාවේ, සමාජයීය විද්‍යාවන්හි, සාහීිත්‍යයෙහි, සංගීතයෙහි, දේශපාලනයෙහි ආදී වශයෙන් සෑම  ක්‍ෂෙත්‍රයක ම දැකගත හැකි වුනා. එය දැනුම් පද්ධතියක්.

අද බටහිර පඬියන් දැනුම පදනම් වූ සමාජයක් ගැන කතා කරනවා. මෙය තමයි ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ උච්චතම අවධිය. දැනුම යනු තොරතුරු නොවේ යැයි බටහිරයන් කියනවා. එයින් ඔවුන් අදහස් කරන්නේ තොරතුරු පදනම්වන සංකල්ප, ප්‍රවාද ආදිය දැනුම ලෙස පවතින බව. තොරතුරු දැනුමෙන් අපෝහනය (නිගමනය) කරන්න පුළුවන් කියා ගර්ඩ්ල් ප්‍රමේයයෙන් අවුරුදු අසූවකට පමණ පසුවත් බටහිරයන් හිතනවා.  මෙය එක්තරා අතකින් පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් ද වෙනවා. ප්‍රවාද පවතිනවා. අපට ඒවායින් විවිධ දැනුම් අපෝහනය (නිගමය) කරන්න පුළුවන්. මේ දැනුම පදනම් වූ සමාජය ගොඩ නැගීමේ දී බටහිර විද්‍යාව හා තාක්‍ෂණය විශාල කාර්යභාරයක් ඉටු කළා. ප්‍රවාදවලට ඉංගිරිසියෙන් කියන්නේ තියරි. එය බිඳී එන්නේ තියෝ යන දෙවියන් හා සම්බන්ධ වචනයෙන්. තියොලොජි යනුවෙන් කියැවෙන්නේ දේවවේදය (දේවධර්මවාදය). පාප්වහන්සේ හා දේචවේදය වෙනුවට සංකල්ප හා ප්‍රවාද ආදේශ වෙලා. 

මේ සංකල්පවේදය හා ඒ පසුපස ඇති චින්තනය අද ලෝකය පාලනය කරනවා. ඒ ජාත්‍යන්තරවාදයක්. එහෙමත් නැත්නම් යටත්විජිතවාදයක්. මෙහි පාලකයන් වන්නේ බුද්ධිමතුන්. ඔවුන් තමයි දැනුම නිර්මාණය කරන්නේ. එයින් කියැවෙන්නේ ඔවුන් පාලනය සම්බන්ධයෙන් තීරණ ගන්නා බව නොවෙයි. එහෙත් ලෝකය පාලනය වන්නේ ඔවුන්ගේ සංකල්පවලින් හා දැනුමෙන්. ලංකාවේ දැනුම නිර්මාණය කරන්නන් නැතිවුවත් ගිරා පෝතකයන් ලෙස දැනුම පුනරුච්චාරණය කරන පඬියන්ට වැදගත් තැනක් විශ්වවිද්‍යාලවල ජනමාධ්‍යයේ හා දේශපාලන ලෝකයේ (දේශපාලනඥයන් අතර) තිබෙනවා. මේ ලිපියේ සඳහන් දේ පඬියන් අවඥාවෙන් බැහැර කරන බවත් මා දන්නවා. එයට හේතුව බටහිරින් ඒ අදහස් නොපැමිණීම.

ගර්ඩ්ල් ප්‍රමේයයෙන් හා ක්වොන්ටම් භෞතිකයේ අනිශ්චිතතා මූලධර්මයෙන් පසු මේ සංකල්පවේදී ලෝකය, ඊනියා දැනුම පදනම් වූ සමාජය කඩා වැටෙනවා. ඒත් දැනුම පදනම් වූ සමාජය යන අදහස බිහිවුනේ එයින් පසුව! එය බුද්ධිමතුන් තම ලෝකය කඩාවැටීමට එරෙහි ව දැක්වූ ප්‍රතිචාරයක් වෙන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් ජාත්‍යන්තරවාදය දැන් කඩා වැටෙනවා. ඒ සමග අර ඊනියා ජාතික රාජ්‍ය ජාත්‍යන්තරවාදයෙන් නිදහස ලබාගැනීමට උත්සාහ කරනවා. ජාතික රාජ්‍ය නමින් පෙනී සිටින ආගමික රාජ්‍ය නිදහස ලබා ගන්නේ ඉන් පසුව. පුටින්, බ්‍රෙක්සිට්, ට්‍රම්ප් එහි සංකේත. ආගමික රාජ්‍යවල ජාතීන් ඇති වී ජාත්‍යන්තරවාදයෙන් නිදහස ලබාගැනීමේ අරගලයක් දැන් ක්‍රියාත්මක වෙනවා.

එහෙත් දැනුම පදනම්වූ සමාජය එයට ලේසියෙන්  ඉඩ දෙන්නේ නැහැ. විශ්වවිද්‍යාල, සී අයි ඒ වැනි සංවිධාන, ජනමාධ්‍ය ආදිය අයත්වන්නේ කඩා වැටෙන ලෝකයටයි. පසුගිය නොවැම්බර් 28 වැනි දා නිව්ස්වීක් සඟරාවේ ට්‍රම්ප්ට විරුද්ධව දිග ලිපියක් ලියා තිබෙනවා. එහි පුටින් හා ට්‍රම්ප් අතර සම්බන්ධයක් ඇතිවේය යන බියක් පළකරනවා. පුටින්ට හා රුසියාවට විරුද්ධව එම සඟරාව කියවන්නන් උසිගැන්වීමක් ඒ ලිපියෙහි දකින්න පුළුවන්. මේ සඟරාව හිලරි ක්ලින්ටන් ජනාධිපති වේ යැයි සිතා ජනාධිපතිවරණයත් සමග කලාපයක් පළ කළා. ඔවුන්ට ඒ කලාපය වෙළෙඳපොළට නිකුත් කිරීමට බැරි වුනේ ට්‍රම්ප් ජයග්‍රහණය කළ නිසා. ට්‍රම්ප්ට මේ ජනමාධ්‍ය මෙන් ම රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද විශාල ප්‍රශ්නයක් වේවි.  ට්‍රම්ප්ට ජාත්‍යන්තරවාදයෙන් රට නිදහස් කරගෙන ජාතියක් ගොඩ නැගීම පහසු වන එකක් නැහැ.




නලින් ද සිල්වා
2016 නොවැම්බර් 30