History

Monday, 12 December 2016

නොපෙනෙන මානය 3

නොපෙනෙන මානය 3

නොපෙනෙන මානය ගැන කතාකරන බොහෝ දෙනා තමන් කතාකරන්නේ කුමක් ද ගැනවත් දන්නේ නැහැ. කලින් ලිපියේ මා සඳහන් කළා ඊනියා නොපෙනෙන මානයක්් ගැන. එය නොපෙනෙන මානයක් නොව පංචෙන්ද්‍රියවල ම දිගුවක්. කෙක්ක, අන්වීක්‍ෂය, දුරේක්‍ෂය ආදිය මගින් කෙරෙන්නේ පංචෙන්ද්‍රියවලට දිගුවක් ලබාදීම පමණයි. එහි නොපෙනෙන මානයක් නැහැ. නොපෙනෙන මානය ලෙස මා නම් හඳුන්වන්නේ පංචෙන්ද්‍රියවල දිගුවක් නොවී ආධ්‍යාත්මික ව මනසින් පමණක් ගෝචර කරගන්නා දේ. මනසින් පමණක් ලබා ගන්නා ඒ අත්දැකීම් කිසිම උපකරණයක් යොදා ගෙන කිසිම දිනක ගෝචර කරගන්න බැහැ. උපකරණයක් හදන්න පුළුවන් පංචෙන්ද්‍රිවලින් ලබාගන්නා වැනි දෙයක් දිගුවක් ලෙස ලබාගැනීමටයි.

එහෙත් ආධ්‍යාත්මික ව ලබාගන්නා කිසිවක් ගෝචර කරගැනීමට උපකරණයක් හදන්න බැහැ. ඒක වෙන ම ම අත්දැකීමක්. පංචෙන්දයියවලින් ලබාගන්නා දේත් මනස මැදිහත් වී ලබාගන්නේ. මනස නැතිව කිසිම දැනුමක් ලබාගන්න බැහැ. සංකල්ප නොමැතිව සංජානන නැහැ. කාලෝ ෆොන්සේකාට රසල්ගේ ආධාරයෙන්වත් පුළුවන් ද සංකල්ප නැතිව සංජානන ගැන කතාකරන්න. නාම රූප ගැන දන්නා බෞද්ධයන්, ඊනියා විද්‍යාත්මක බෞද්ධයන් නොව, සංකල්ප නොමැතිව සංජානන නැති බව දන්නවා. රසල්වත් ඔහු පසුපස අවිචාරාත්මක ව යන කාලෝවත් ඊනියා විද්‍යාත්මක බෞද්ධයන්වත් නොවෙයි. සංකල්ප නොමැතිව සංජානන නැති වුවත් සංජානන නොමැතිව සංකල්ප තිබෙනවා. එවැනි සංකල්ප ගෝචර කරගැනීමට උපකරණ තනන්න බැහැ. 

්ඒ සංකල්ප ගැන තවදුරටත් කතාකිරීමට පෙර තවත් ඊනියා නොපෙනෙන මානයක් ගැන කියන්න ඕන. ඒ තමයි බටහිර විද්‍යාවේ පට්ටපල් බොරු. බටහිර විද්‍යාව කියන්නෙ බටහිර රටවල පහළොස්වැනි සියවසට පස්සෙ ඇතිවුණු දැනුමක්. මේ බටහිර විද්‍යාව පසුපස අනෙක් බටහිර දැනුම් නොන්ඩි ගසමින් යනවා. ඒ බව කිව්වම එවැනි සමාජයීය විද්‍යා, සාහිත්‍ය විචාර ආදී දැනුම් ලබාගෙන පොරවල් බවට පත් වී සිටින ඇතැමුන්ට කේන්ති යනවා. එවිට ඔවුන් කියන්නේ අප ඔවුන්ගේ ක්‍ෂෙත්‍ර දන්නේ නැති බවයි. මේ ක්‍ෂෙත්‍ර ගැන පසුව කතාකරන්නම්. අද ඔවුන් විවිධ දර්ශන ගැන කතාකරනවා. පශ්චාත් ඉන්ද්‍රියානුභූවාදය, පශ්චාත් ව්‍යුහවාදය ආදී ලෙස ඔවුන් කතාකරන්නේ ඔවුන්ගේ බටහිර විද්‍යාවට ඇති ගැතිකම පමණයි. ඔය හැම එකක් ම බටහිර විද්‍යාවේත් තියෙනවා. ඒ හැම එකක් ම බංකොළොත් දර්ශන පමණයි. බටහිර දර්ශනයේ ද්විමය විරුද්ධතා (බයිනරි ඔපසිෂන්ස්) ඇරිස්ටෝටල්ගෙ කාලෙ ඉඳන්ම තියෙනවා. බටහිරයන් කොතෙක් උත්සාහ කළත් ඉන් ගැලවීමක් නැහැ.

බටහිර විද්‍යාවෙ ප්‍රවාද හෙවත් කතන්දර ගොතන්නෙ පංචෙන්ද්‍රියවලටවත් මනසටවත් ගෝචර නොවන වියුක්ත සංකල්ප ආධාර කරගෙන. මේකත් ඊනියා නොපෙනෙන මානයක් ලෙස ගන්න පුළුවන්. ඒත් ඒ නොපෙනෙන මානය කිසිවකුට මනසින්වත්, මනස සමග පංචෙන්ද්‍රියවලින්වත්, උපකරණවලින්වත් දැක ගන්න, ගෝචර කරගන්න බැහැ. මේ වියුක්ත සංකල්ප හා ඒ ආශ්‍රිත ප්‍රවාද පට්ටපල් බොරු. ගුරුත්වාකර්ෂණ බලය දුටු අයකු, ස්පර්ශ කළ අයකු එහි රස බැලූවකු, ගඳ සුවඳ දත් අයකු, එය කණින් ඇසූ අයකු කොහේවත් නැහැ. එය ගෝචර කරගැනීමට උපකරණයක් තනන්නත් බැහැ. උපකරණවලින් කෙරෙන්නේ ඒ වියුක්ත ප්‍රවාදවලින් නිගමනය (අපෝහනය) කරන ප්‍රතිඵල සංයුක්තකරණයකට ලක්කර දැන ගැනීම මිස ප්‍රවාද හා අදාළ සංකල්ප නිරීක්‍ෂණය කිරීම නොවෙයි. වියුක්තය උපකරණයකින්වත් නිරීක්‍ෂණය කරන්න බැහැ. මේ නොපෙනෙන මානය නම් පට්ටපල් බොරුවක්. ආධ්‍යාත්මික ව පෙනෙන ඒත් අපට නොපෙනෙන මාන දැකගන්න පුළුවන් අය ඉන්නවා. ඒ සඳහා අවුරුදු ගණනක් පුහුණු වෙන්න ඕන. ඒත් ගුරුත්වාකර්ෂණ බලය කිසිම අයකුට කිසිම පුහුණුවකින් කිසි දා පෙනෙන්නේ නැහැ.

යම් වියුක්ත ප්‍රවාදයකින් නිගමනය කරන්න පුළුවන් වියුක්ත ප්‍රතිඵල පමණයි. බටහිර විද්‍යාවෙදි නිරීක්‍ෂණය කෙරෙන්නෙ සංයුක්ත දේ. වියුක්ත වූවක් නිරීක්‍ෂණය කරන්නේ කෙසේ ද? ඇතැම් ආගම්වල පිළිම නෙලීම තහනම් වන්නේත් අදාළ සංකල්ප පංචෙන්ද්‍රියවලට ගෝචර නැති නිසා. පංචෙන්ද්‍රියවලට ගෝචර නොවන දෙයක පිළිමයක් අඹන්නේ හෝ එවැන්නක් චිත්‍රයට නගන්නේ හෝ කෙසේ ද? බටහිර විද්‍යාවේ දී ලබාගන්නා වියුක්ත නිගමන සංයුක්ත ව ගැනෙනවා. මෙය ප්‍රෝඩාවක්. ඉන්ද්‍රියානුභූතවාදයටවත්, පශ්චාත් ඉන්ද්‍රියානුභූවාදයටවත් මේ ප්‍රශ්නවලට පිළිතුරු නැහැ.  බටහිර විද්‍යාඥයන් බේරා ගැනීමට ලංකාවෙ ඉන්න සමාජයිය විද්‍යා පොරවල්වලට ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන් ද? 

ඉන්ද්‍රියානුභූවාදීන් මේ තරම් පංචෙන්ද්‍රිය සමග හැප්පෙන්නේ ඇයි? ඔවුන් හිතන්නේ මුළු ලෝකය ම පංචෙන්ද්‍රියවලින් ග්‍රහණය කරන්න පුළුවන් කියා ද? මිනිසුන්ට බටහිරයන්ට අනුව ඉන්දිය පහක් තිබෙන බව සැබෑයි. එහෙත් මේ ඉන්ද්‍රිය පහට ලෝකය ග්‍රහණය කරගත හැකි බව කිවුවේ කවුද? ඒ බව දන්නේ කවුද? මිනිසා කියන්නේ පරිපූර්ණ සත්වයෙක් ද? අප එසේ සිතන්නේ නම් ඒ කිනම් හේතුවක් නිසා ද? දෙවියන් වහන්සේ අන්තිමට ම මිනිසා මවා මුළු ලෝකය ම ඔහුට භාර කළ බැවින් ද? අපට එක් ඉන්ද්‍රියක් අඩු වුනා නම් එවිට අප පවතින ලෝකය ලෙස ගන්නේ ඉන්ද්‍රිය හතරකට පමණක් සීමා වන ලෝකයක් ද? අපට නාසයක නොතිබුණි නම් අප ගඳ සුවඳ කියා දෙයක් නැතැයි කියනවා ද? අනෙක් අතට අපට ඉන්ද්‍රිය හයක් තිබුණි නම් එවිට ලෝකය කෙසේ ග්‍රහණය කරගන්නට තිබුණා ද? ඉන්ද්‍රිය පහේ තිබෙන අරුමය කුමක් ද? 

පට්ටපල් බොරු වූ බටහිර විද්‍යාත්මක ප්‍රවාද අපට ගෝචර නොවුවත් ඒවා තිබෙන බව කියන්නේ බටහිර න්‍යායේ ම එන තර්කයක් උඩු යටිකුරු කරමින්. බටහිර න්‍යායේ ම කියනවා යම්කිසි ප්‍රස්තුතයකින් දෙවැනි ප්‍රස්තුතයක් ඇති බව නිගමනය කළත් දෙවැනි ප්‍රස්තුතය පැවතීම නිසා පළමු ප්‍රස්තුතය ඇති බව ගම්‍ය නොවන බව. ගණිතමය භාෂාවෙන් කියනවා නම් p>q  යන්නෙන් q>p යන්න ගම්‍ය වන්නේ නැහැ. (මෙහි > යන්නෙන් කියැවෙන්නේ වැඩි බව නොව ගම්‍ය වන්නේ ය යන්නයි)  බටහිර විද්‍යාවේ කෙරෙන්නේ එයටත් වඩා භයානක දෙයක්. එහි පළමු ප්‍රකාශනයේ පළමු ප්‍රස්තුතය වියුක්තයි. දෙවැනි ප්‍රස්තුතයත් වියුක්තයි. එහෙත් දෙවැනි ප්‍රකාශනයේ පළමු ප්‍රස්තුතය සංයුක්තයි. එහි දෙවැනි ප්‍රස්තුතය වියුක්තයි. වෙනත් වචනවලින් කියනවා නම් ඉහත ප්‍රකාශන දෙකේ ද යන්නෙන් කියැවෙන්නේ එකම දෙයක් නොවෙයි. එකක් වියුක්තයි අනෙක සංයුක්තයි. උදාහරණයක් වශයෙන් වියුක්ත ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය ගනිමු. එයින් වියුක්ත ව ගම්‍ය වෙනවා ඕනෑම වස්තුවකට වෙනත් වස්තුවක් ආකර්ෂණය වන බව හා පළමු වැන්නට සාපේක්‍ෂව දෙවැන්නේ ස්කන්ධය ඉතා විශාල නම්  පළමු වැන්න දෙවැන්නට ඇදී යන බව. මෙය වියුක්ත ප්‍රකාශනයක්. ඉන්පසු කියනවා සංයුක්ත පොළොවට සංයුක්ත පොල් ගෙඩියක් ආකර්ෂණය වන බව. අවසානයේ දී කියනවා පොළොවට පොල් ගෙඩි ආකර්ෂණය වන බැවින් ගුරුත්වාකර්ෂණ බලය කියා එකක් තියෙන බව. මේවාට  කුනුහරුප කිවුවත් වරදක් නැහැ. බටහිර විද්‍යාව ගැන මොලෝ හසරක් නොදන්න අය මේ ප්‍රවාදවලට නියම කියා කියන්නේ හරියට ඒවා දේවභාෂිත වගේ හිතාගෙන. දේවභාෂිතවලටත් නියම කියන බව ඇත්ත. බටහිර ප්‍රවාදවලට නියම කියන්නෙත් ඒ ආභාසයෙන් ම තමයි.  



මේ ලිපිය ද තවත් ලිපි ද  කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි.
https://www1.kalaya.org
නලින් ද සිල්වා
2016 දෙසැම්බර් 12