History

Tuesday, 13 December 2016

වරායේ නත්තල් ගහ

වරායේ නත්තල් ගහ

මේ නත්තල් ගස හැරෙන්න තවත් නත්තල් ගස් තිබේ දැයි කාදිනල්තුමා ඇසූ බවක් සඳහන් වන්නේ නැහැ. කොළඹ වරායේ සේවකයන් කිහිප දෙනකු ඉදිකරන නත්තල් ගසේ වැඩ නැවතත් අරඹලා. ඒ සේවකයන්ගෙන් වැඩි දෙනකු බෞද්ධලු. අද බෞද්ධයන් කිහිප දෙනකු කතෝලික ආගමට සම්බන්ධ චිත්‍රපටියක් ඇසුරෙන් සිංහලෙන් චිත්‍රපටියක් නිපදවලා. ඒ ගැන  බුදුදහම හා කාලාම සූත්‍රය ගැන වැරදි අර්ථකථන දෙන කතෝලික සම්භවයක් ඇති ඊනියා ප්‍රාඥයකු තම සතුට පළ කරලා. මෙරට බෞද්ධයන් සමහරකු බෞද්ධයන්ට වඩා හොඳ කතෝලිකයන් වෙන්න පුළුවන්.

මෙරට බෞද්ධයන් වාර්තා තියන්න ගජ සමතුන්. සෙක්ස් ගැන ලෝකෙ වැඩියෙන් ම හොයන්නෙ ලංකාවෙ නුගේගොඩ හෝමාගම වගේ ප්‍රදේශවල අය කියලා කියවෙනවා. ඔවුනුත් බොහෝ දෙනකු බෞද්ධයන් වෙන්න ඕන. බෞද්ධයන් හරි ප්‍රබුද්ධයි. මෙතෙක් නුගේගොඩ දක්වා හිටි ප්‍රබුද්ධයන් දැන් හෝමාගමටත් විහිදිලා. එය විශ්වවිද්‍යාලයක් ඇරඹීමත් සමග ද දන්නෙ නැහැ. ප්‍රබුද්ධ බෞද්ධයන් ලෝකය පුරා සිනමා සම්මාන, මෙරට රාජ්‍ය සම්මාන ආදී වශයෙන් සම්මාන රාශියක් දිනා ගන්නවා. ඒත් ප්‍රබුද්ධ බෞද්ධයකුට තාම නොබෙල් ත්‍යාගය තියා ලන්ඩනයේ රාජකීය සංගමයේ අධි සාමාජිකත්වයක් ලබාගන්න බැරි වෙලා. ඒ බුදුදහම විද්‍යාත්මක බව ප්‍රබුද්ධයන් කියද්දි.

නත්තල් ගහේ කතාවත් හොඳ කතන්දරයක්. ඒක විද්‍යා කතන්දරයක් නූනත් රසවත් කතන්දරයක්. මෙය පැරණි වයිකින් හා සැක්සන්වරුන්ගේ වෘක්‍ෂ වන්දනාව සමග සම්බන්ධ යැයි කියැවෙනවා. එයට ඊටත් වඩා එහා මිසරයට (ඊජිප්තුවට) යන ඉතිහාසයක් තිබෙන බවත් කියැවෙනවා. කොහොමත් නත්තල මිත්‍ර දෙවියන් හා සම්බන්ධයි. එය දෙසැම්බර් 21 වැනි දා සිදුවන සූර්ය උත්තරායනය සමගත් සම්බන්ධ වෙන්න පුළුවන්.  වර්තමානයෙහි නත්තල් ගහ පහළොස්වැනි දහසයවැනි සියවස්වල ජර්මනියෙන් ආරම්භ වූ බවට කතාවක් තිබෙනවා. මෙයට මාටින් ලූතර්ගේත් සම්බන්ධයක් තිබී තියෙනවා. වත්මන් නත්තල් ගහ  ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ බිහි වූවක් විය හැකියි. ආරම්භයේ දී නත්තල් ගස්වල ඇපල් ආදී පලතුරු එල්ලා තිබෙනවා. ඒ ආලෝකවත්  කරන්න පටන් ගත්තේ මාටින් ලූතර් කියාත් කියැවෙනවා. නත්තල් ගහ වාණිජකරණයට ලක් වෙලා. ඒක ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි ඵලයක්.

කොළඹ වරායේ නත්තල් ගහේ කතාවත් රසවත්. ආරම්භයේ දී එහි වැඩ පටන්ගැනීම  සඳහා කාදිනල්තුමාගේ ආශිර්වාදය ලැබුණු බවත් එහි වැඩ පටන්ගත් දිනයේ කාදිනල්තුමාගේ නියෝජිත පියතුමකු පැමිණ ආශිර්වාද කළ බවත් අදාළ සේවකයන් පැවසුවා. එහෙත් හිටි අඩියේ කාදිනල්තුමාට දිළින්දන් මතක් වී නත්තල් ගහ ඉදි කිරීමට විරුද්ධ වූවා. නත්තල් ගහේ වැඩත් ඉන් පසු දා නැවතුනා. දැන් නැවතත් නත්තල් ගහේ වැඩ ඈරඹිලා. සේවකයන්ට සතුටුයි. ඔවුන් දැන් ලංකාවට කීරතියක් ගෙන ඒමට යැයි කියමින් දිවා රැ මහන්සි වේවි. කාදිනල්තුමා දැන් දිළිඳු වෙලා. දිළින්දන් මේ කිසිවක් දන්නේ නැතිව ඇති. මේ තීරණ වෙනස් වුනේ කොහොමද කියන එක දිළින්දන් නොව සිවල් සමාජයේ මහත්තුරුන්වත් දන්නවා ද? ජනමාධ්‍ය වාර්තාවලට අනුව රනිල් හා රවි කාදිනල්තුමා හමු වී තිබෙනවා. නත්තල් ගහට වියදම් වන්නේ මිලියන දොළහක පමණ සොච්චම් මුදලක් බව දැන් කාදිනල්තුමා දන්නවා. ලංකාවේ දිළින්දන් අතර බෙදල දෙන්න ඒ මුදල මදි වෙන්න ඇති.

දිළිඳු කතා රසවත්. මිනිසුන් ධනවත් වෙන්න පොර කන අතරෙ දිළින්දන් ගැනත් සිතනවා. දිළින්දන්ට උපකාර කිරීම, ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම, ඉනුත් එහා ගොස් දිළින්දන් වෙනුවෙන් සටන් කිරීම ආදිය ආකර්ෂණීයයි. පීඩිතයන් වෙනුවෙන් සටන් කරන අයට මිනිසුන් කැමති වන්නේ තමන් ධනවතුන් වීමට වැඩ කරන අතර. කිහිප දෙනකු පීඩිතයන් ලෙසින් ම සිටිය දී ම පීඩිතයන් වෙනුවෙන් සටන් කරනවා. කවුරු මොන තරම් සටන් කළත් පීඩිතයන්ගේ තත්වයේ විශාල වෙනසක් වන්නේ නැහැ. නැති බැරි අය හා ඇති හැකි අය අතර වෙනස නැති කරන්න ප්‍රේමදාසටත් බැරි වුනා. සජිත් කරාවි කියල හිතනව ද?

වහලුන් නිදහස් කරන්න කටයුතු කරපු  ඒබ්‍රහම් ලින්කන්ට බොහෝ දෙනා කැමතියි. සුද්දොත් කැමතියි. ටික දෙනකු පමණක් විරුද්ධ වුනා. ඔහු ඝාතනය කෙරුණා. එහෙත් අද ඔහු එක්සත් රාජ්‍යවල විශිෂ්ටතම ජනාධිපති ලෙස සැලකෙනවා. ඒත් වහලුන්ගේ තත්වයේ වැඩි වෙනසක් සිදු වී නැහැ. කල්ලන්ට තවම පූර්ණ නිදහසක් නැහැ. ඉහල තනතුරුවලට පත්වන කල්ලන් ක්‍රිස්තියානි සංස්කෘතියෙ. ඒක එහෙම තමයි. මිනිසුන් මහත්මා ගාන්ධිට කැමතියි. ඔහු දිළින්දකු ලෙස වාසය කරමින් දිළින්දන් වෙනුවෙන් වැඩ කළා. එහෙත් ජවහර්ලාල් නේරු කියා තිබුණේ ගාන්ධිගේ දිළිඳු තත්වය පවත්වා ගෙන යෑම සඳහා විශාල ධනයක් වියදම් කිරීමට සිදු වූ බවයි. දිළිඳු කමේ කතාත් රසවත්.

කාල් මාක්ස්ගේ දර්ශනය හා දේශපාලනය ගැන මොන දේ කිවුවත්, පඬියන් අපෝහකය (දයලෙක්තිකය), ඓතිහාසික භෞතිකවාදය, ජාත්‍යන්තර සහයෝගිතාව, කම්කරු පංති ආඥාදායකත්වය ආදිය ගැන මොන තරම් දේ කිවුවත් මාක්ස් කතා කෙළේ නිර්ධනයන්, දිළින්දන් වෙනුවෙන්. මාක්ස්වාදයට ආකර්ෂණයක් තිබුණෙත් ඒකයි. නැතුව අපෝහකය හින්ද නොවෙයි. මාක්ස්වාදය පදනම් වෙන්නෙ කතෝලික චින්තනයේ. විජේවීර කම්කරු පංති ආඥාදායකත්වය වෙනුවට නිර්ධනයන්ගේ ආඥාදායකත්වයක් ගැන කතා කෙළේ සුපිරිසිදු මාක්ස්වාදය අනුව නොවූවත් දිළින්දන් ගැන කීමට. ඔහු පණ්ඩිත මාක්ස්වාදීන්ට වඩා ජනප්‍රිය වුනේ දිළින්දන් ගැන සෘජුව ම කතා කිරීමෙන් හා නගරයෙන් ගමට යෑමෙන්. පඬි මාක්ස්වාදීන් විප්ලවයේ අපිකේන්ද්‍රය (එපිසෙන්ටර්) වරාය ද තේ වත්ත ද කියා දැනගැනීමට තර්ක කරමින් සිටිය දී ඔහු ගමට ගියා.  හම්බන්තොට වරායේ සේවකයන් උද්ඝෝෂණය කරන්නේ විප්ලවය සාක්‍ෂාත් කර ගැනීමට නොවන බව හඳුන්නෙත්තිත් දන්නවා. ඔහු නාවික හමුදාපති රාජපක්‍ෂලාගේ මිනිහකු යැයි කියන්නේ ඒ අවබෝධයෙන් වෙන්න ඕන.

වේ ගෙවාරා ලෝකයේ ම  ජනප්‍රිය වුනෙත්, අදත් ත්‍රිරෝද රථවල ඔහුගේ ඡායාරූපය දකින්න පුළුවන් වෙන්නෙත් මේ දිළින්දන් වෙනුවෙන් කරපු සටන නිසා. දිළින්දන් වෙනුවෙන් කතා කිරීම පවා විචිත්‍රාද්භූතයි (රොමෑන්ටික්). ජ වි පෙ එකල චේ කාරයන් ලෙස හඳුන්වනු ලැබුවේත් මේ දිළිදු ආකර්ෂණය නිසා. දිළින්දන් ගැන කතා කිරීම දිළිඳු දර්ශනයක්. ඒත් එය ආකර්ෂණීයයි. වරායේ නත්තල් ගහ බලන්න දිළින්දන් ඒවි. ඔවුන්ට දෙන්න යමක් නත්තල් ගහේවත් එල්ලන්න අර්ජුනට පුළුවන් වෙයි ද? 



මේ ලිපිය ද තවත් ලිපි ද  කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි.
https://www1.kalaya.org

නලින් ද සිල්වා
2016 දෙසැම්බර් 13