History

Monday, 27 February 2017

බැඳුම්කරයට කැලෑ පත්තරයක්?


බැඳුම්කරයට කැලෑ පත්තරයක්?



බැඳුම්කර  මගඩිය තව තවත් අවුල් වෙනවා. දැන් කතාව හොර ගැසට් පත්‍රයක් ගැනයි. මෙහි ඇත්ත නැත්ත හරියට දැනගත යුතුයි. දේශපාලනඥයන් කියන කතා එක්වර ම පිළිගැනීම අපහසුයි. ඔවුන්ගේ ගොඩ පෙරකදෝරු කතා බොහෝ විට ජනතාව රවටා ඡන්ද එකතු කිරීමටයි. කෙසේවෙතත් බැඳුම්කර පරීක්‍ෂණ පවත්වන ජනාධිපති කොමිසමට ගැසට් පත්‍රයක් ඉදිරිපත් කර තිබෙනවා. එය කුප්‍රකට බැඳුම්කර සම්බන්ධවයි. පුදුමයකට මෙන් ගැසට් පත්‍රයෙහි දිනය 2015 ජනවාරි මුල අටවැනිදාට කලින් දිනයක්. එයට අත්සන් කර ඇතැයි කියන්නේ මහින්ද රාජපක්‍ෂ. ඔහු එවකට සිටි ජනාධිපති මෙන් ම මුදල් ඇමති ද වෙනවා. එහෙත් මහින්ද රාජපක්‍ෂ ජනවාරි අටවැනිදාට පසු මුදල් ඇමති නොවෙයි.




ගැසට් පත්‍රය  මුද්‍රණය කර තිබෙන්නේ 2015 සැප්තැම්බර් මාසයෙන් පසුව බවයි කියැවෙන්නේ. එය නිවැරදි ද යන්න කියන්න බැහැ. එහෙත් ඒ දිනය 2015 අගොස්තු මාසයට පසුව නම් එය මුද්‍රණය කර ඇත්තේ රනිල්ගේ ආණ්ඩුව මැතිවරණයෙන් බලයට පත්වීමෙන් පසුවයි. ඒ ඒසේ නම් ආණ්ඩුව තම වරද මහින්ද රාජපක්‍ෂ මත පැටවීමට වංචනික ලෙස උත්සාහ දරණවා. එසේ උත්සාහයක් දරා ඇත්නම් එයින් ම බැඳුම්කර වංචාව ඔප්පු වෙනවා.



මහින්ද රාජපක්‍ෂ වැඩිදුර පමා නොවී අධිකරණයට නඩුවක් ගොනු කළ යුතුයි. ඒ සඳහා නීති උපදෙස් ලබාගැනීමට කල් අවශ්‍ය බව ඇත්තයි. එහෙත් එහි දී කාලය දික් කිරීමෙන් වැළකිය යුතුයි. සයිටම් නඩුව ගැනත් කිව යුත්තේ එයයි. අභියාචනාධිකරණ තීන්දුවට එරෙහි ව ශ්‍රෙෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට වෛද්‍ය සභාව තීරණය කර ඇති බව ජනමාධ්‍යය මගින් දැනගත්තා. ඒ අභියාචනය ද ඉක්මණින් ඉදිරිපත් කර ඒ පිළිබඳ තීන්දුවක් ලබා ගත යුතුයි. 



අද ඇතැම් දේශපාලනඥයන් රුපියල් මිලියන සියගණනින් වන්දි ඉල්ලා අපහාස නඩු ගොනු කරන බව පවසනවා. එහෙත් බොහෝ විට ගොනුවන නඩුවක් නැහැ. ඒ නඩු ගොඩින් බේරා ගන්නවා ද කියා අප දන්නේ නැහැ. කලක් ගතවීමෙන් පසු මේ නඩු ගැන කාටත් අමතක වෙනවා. කිසිවකු මේ නඩු ප්‍රකාශ ගැන සටහන් තබා ගන්නේ නැහැ. මේ නඩු ගොනු කරන කතා කියන්නේ හුදෙක් ප්‍රසිද්ධිය සඳහා පමණක් ද යන සැකය මතුවෙනවා. ඊනියා මැතිවරණ දේශපාලනය ජනතාව රැවටීම අරමුණු කර ගත් එකක්.



මේ බැඳුම්කර ගැසට් කතාව ඉතාමත් භයානකයි. එහි සත්‍යාසත්‍යභාවය දැනගැනීමට අපට අයිතියක් තිබෙනවා. එය සත්‍යයක් නම්, එනම් ආණ්ඩුව හොර ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත්නම් එහි වරදේ තරම කියා නිම කරන්න බැහැ. එය ආණ්ඩුව අස්විය යුතු තරමේ වරදක්. එය හොර ගැසට් පත්‍රයක් නම් ආණ්ඩුව තත්පරයක්වත් බලයේ නොසිටිය යුතුයි.  එපමණක් නො වෙයි. මහා බැංකු නිලධාරීන්, මුදල් අමාත්‍යාංශ නිලධාරීන්, රජයේ මුද්‍රණාලයාධිපති ආදීන් සම්බන්ධ නම් ඔවුන් ද වරදකරුවන් වෙනවා. සමහර විට ඔවුන් කිසිවකු නොදැන රජයේ මුද්‍රණාලයෙන් පිට තැනක මුද්‍රණය කළා වන්නත් පුළුවන්.



ඒ එසේ නම් එය කෙළේ කොහේ ද? කවුරුන් විසින් ද? මේ සැලැස්ම කාගේ ද? අප ඒ සියල්ල දැනගත යුතුයි. මෙය හොර ගැසට් පත්‍රයක් නම් එලෙස මුද්‍රණය කිරීම බැඳුම්කර වංචාවටත් වඩා වංචාවක්. එයට කිසිම සමාවක් දීමට බැහැ. මහින්ද රාජපක්‍ෂ අතීතයේ ඇතැමුනට ඇතැම් වැරදිවලට සමාව දී තිබෙනවා. මෙහි දී නම් එසේ සමාව දීමට ඉඩ නොදිය යුතුයි. මේ ඩීල්ලන්තය වුවත් මෙහි දී ඩීල් තිබෙන්න බැහැ.



අද සියල්ල ඇත්තේ මහින්ද රාජපක්‍ෂ අතේ. ඔහු අධිකරණය ඉදිරියට යා යුතුයි.  බැඳුම්කර මගඩිය විමර්ශනය කිරීම සඳහා පත් කර ඇති කොමිසමට වරදකරුවන්ට දඬුවම් දෙන්න බැහැ. එය ගැසට් පත්‍රය සම්බන්ධයෙන් කුමක් කරාවි දැයි කියන්න බැහැ. සුපුරුදු පරිදි මේ ගැන පාර්ලිමේන්තුවේ වැදගැම්මකට නැති විවාදයක් කර මාධ්‍ය සංදර්ශන පවත්වා තිරය වසා දැමීමට ඉඩ තිබෙනවා. එසේත් නැත්නම් ප්‍රශ්නය නීතිපතිට යොමු කරන්න ඉඩ තිබෙනවා. තිරය වසන්න  ක්‍රම රාශියක් තිබෙනවා.



ඒකාබද්ධ විපක්‍ෂය මේ සම්බන්ධයෙන් නිහඬ නොවිය යුතුයි. නිහඬ වීම ජනතාවගේ සැකයට බඳුන් වෙනවා. නිහඬ වුවහොත් ජනතාව තීරණය කරාවි මහින්ද ඇත්තට ම අත්සන් කර ඇත කියා. ඒකාබද්ධ විපක්‍ෂය ඉක්මන් පියවර ගත යුතුයි. බැඳුම්කර මගඩිය ජනතාවට එතරම් නොතේරෙන බව ඇත්තයි. එය ඔවුන්ගේ ඇඟට දැනෙන්නේ නැහැ. එහෙත් අදාළ ගැසට් පත්‍රය කැලෑ පත්තරයක් නම්, එය හොර ගැසට් පත්‍රයක් නම් ජනතාවට ඒ බව දැනේවි. මෙරට ජනතාව කැලෑ පත්තර ගැන හොඳින් දන්නවා. මහින්ද රාජපක්‍ෂ වැරදි කරුවකු වන සේ කැලෑ පත්තරයක් ගසා ඇත්නම් මහජනයා එය තේරුම් ගනීවි. ආණ්ඩුවට ගෙදර යන්නත් වේවි. 







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



https://www1.kalaya.org

                               

නලින් ද සිල්වා



2017 පෙබරවාරි 27