History

Tuesday, 28 February 2017

සිංහල බෞද්ධ විරෝධීන්ගේ   වෙසක්             


සිංහල බෞද්ධ විරෝධීන්ගේ   වෙසක්             


ඉන්දියාවෙ ඉන්න හින්දු විරෝධීන් ගැන ෆ්‍රංශුවා ගෞෂර් (මේ නම උච්චාරණය කෙරෙන්නේ මෙසේ දැයි මා දන්නේ නැහැ) නමැත්තකුගේ වෙබ් අඩවියක ලිපියක් පළ වී තිබුණා. එහි නම් පනහක් සඳහන් වී තිබුණා. ඒ අතර ජවහර්ලාල් නේරු, රජිව් ගාන්ධි, සෝනියා ගාන්ධි ආදීන්ගේ නම් මෙන් ම රොමිලා තාපර් වැනි ඉතිහාසඥයන්ගේ හා විද්වතුන්ගේ නම් ද ෂාරුක් ඛාන් වැනි නළුවන්ගේ නම් ද තිබුණා. ලංකාවේ සිංහල බෞද්ධ විරෝධීන්ගේ නම් ගැන මා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ.


ඉන්දියාවේ හා ලංකාවේ පමණක් නොව ඒ ඒ රටවල ප්‍රධාන හෝ විශේෂිත හෝ සංස්කෘතියට විරුද්ධවන අයගේ ලැයිස්තු සියලුම ආසියාතික හාඅප්‍රිකානු රටවලින් හොයා ගන්න පුළුවන්. විශේෂයෙන් ම ඉංගිරිසින්ගේ පාලනයට යටත් ව තිබූ රටවලින් ඒ නම් ලබා ගන්න පුළුවන්. මෙරට විශ්වවිද්‍යාලවල රොමිලා තාපර් ප්‍රසිද්ධ චරිතයක්. ඇය කිහිප වතාවක් ම ලංකාවට පැමිණ තිබෙනවා. ඇය ලියන ඉතිහාසය හින්දි හින්දු විරෝධීයි. මෙරට බොහෝ ඉතිහාසඥයන් ලියන ඉතිහාසය ද සිංහල බෞද්ධ විරෝධීයි.

ඔවුන් මේ ඉතිහාසය හඳුන්වන්නේ වාස්තවික (ඔබ්ජෙක්ටිව්) ඉතිහාසයක් ලෙස. වාස්තවික භෞතික විද්‍යාවක් නැති තැනක වාස්තවික ඉතිහාසයක් ඇත්තේ කෙසේ ද? ඔවුන්ගේ ඊනියා වාස්තවික ඉතිහාසය බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත පදනම් ව ලියැවෙන්නක්. එය ඉන්දියාවේ දී හින්දු චින්තනයට, විශේෂයෙන් ම හින්දි හින්දු චින්තනයට,  විරුද්ධ වන අතර ලංකාවේ දී සිංහල බෞද්ධ චින්තනයට විරුද්ධ වෙනවා. ඉන්දියාවේ දී මේ හින්දි හින්දු විරෝධීන් මුස්ලිම් ජනයාට යම් පක්‍ෂපාතීත්වයක සිට කටයුතු කරනවා. එමෙන් ම දෙමළ හින්දු ජනයාට ද යම් පක්‍ෂපාතීත්වයක් දරනවා. ලංකාවේ දී ඔවුන් දෙමළ හා මුස්ලිම් ජනයාට පක්‍ෂපාති වෙනවා.

ඉන්දියාවේ දී හින්දු සංස්කෘතියට එරෙහිව කටයුතු කරන විවිධ දේශපාලනඥයන් හා පඬියන් ලංකාවේ දී දෙමළ හින්දු සංස්කෘතියට පක්‍ෂ ව ක්‍රියා කරනවා. මෙය තේරුම් ගත නොහැකි දෙයක් නො වෙයි. ඔවුන්ට අවශ්‍ය යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයයි. එබැවින් ඒ ඒ රටේ ප්‍රධාන හෝ විශේෂිත හෝ සංස්කෘතියට ඔවුන් විරුද්ධ වෙනවා. මියන්මාරයේ දී හා තායිලන්තයේ දී ඔවුන් ථෙරවාදී බෞද්ධ සංස්කෘතිවලට විරුද්ධවන්නේ මුස්ලිම්වරුන්ට පක්‍ෂපාති වෙමින්. එහෙත් බටහිර රටවල දී ඔවුන් මුස්ලිම් සංස්කෘතිය පාගා දැමීමට පියවර ගන්නවා.

මෙය දෙබිඩි ප්‍රතිපතතියක් නො වෙයි. බටහිරයන්ට අවශ්‍ය ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය හා යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය ලෝකයේ ම අධිපතිවාදී චින්තනය හා සංස්කෘතිය බවට පත් කිරීම. එහි දී ඔවුන් විවිධ උපක්‍රම අනුගමනය කරනවා. ඒ ඒ රටවල විශේෂිත සංස්කෘතියට එරෙහි ව අනෙක් සංස්කෘතීන්හි ජනතාව උසි ගන්නනවා. එමගින් ඔවුන් තම අභිප්‍රායන් සාක්‍ෂාත් කර ගන්නවා. ඔවුන් ඊනියා ජාත්‍යන්තර සංස්කෘතියක්, ජාත්‍යන්තර මිනිසකු, ගෝලීය ගම්මානයක් ගැන කතාකරන්නේ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය සඳහායි. අද ට්‍රම්ප් එයට විරුද්ධයි. ඔහු හා ඔහුගේ ප්‍රධාන උපදේශක බැනන් ඊනියා ජාත්‍යන්තරයට විරුද්ධව කටයුතු කරනවා. ඔවුන් අතින් යම් යම් වැරදි සිදු වුවත් මේ යහපත් වෙනසක්. මෙරට පඬියන් නම් තවමත් ජාත්‍යන්තර මිනිසා සොයමින් අඳුරේ අතපත ගානවා.

වත්මන් මෝදි රජයවත් පසුගිය ඉන්දීය රාජ්‍යයන්වත් ඉන්දියාවේ බෞද්ධයනට තැනක් ලබා දුන්නේ නැහැ. බෞද්ධ සිද්ධස්ථාන වැඩියෙන් ම ඇති බිහාර් ප්‍රාන්තය ඉන්දියාවේ ඉතාමත් අඩු දියුණු ප්‍රාන්තවලින් එකක්. අම්බෙඩ්කාර් සමග බෞද්ධ වුණු අයට ඉන්දියාවේ කිසිම සැලකිල්ලක් නැහැ. ඔවුන් ඊනියා අඩු කුලවලට අයත්වීම එයට එක් හේතුවක්. කොහොමටත් බමුණන් බුදුදහමට විරුද්ධයි.

ජවහර්ලාල් නේරු දේශපාලනඥයකු ලෙස අනුරාධපුරයේ සමාධි ප්‍රතිමාව ගැන කියන විට අප මුළා වෙනවා. දැන් ඊනියා ජාත්‍යන්තර වෙසක් දිනය උත්සවශ්‍රීයෙන් සැමරීමට මෝදි එන බව කියනවා. ඒ පිටුපස බටහිරයන් ද සිටිනවා. සිංහල බෞද්ධ විරෝධී රනිල් බටහිරයන් හා මෝදි සමග එකතු වෙනවා. ලංකාවේ පෘතුගිසි ආක්‍රමණය සැමරීමට සූදානම් වූ රනිල් බටහිරයන් හා ඉන්දියාව සමග එක් වී සිංහල බෞද්ධයන් රැවටීමට සූදානම් වෙනව සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධව එය නැති කිරීමට ක්‍රියා කරන්නන් ඊනියා ජාත්‍යන්තර වෙසක් දින සමරන්නේ අහවල් දෙයකට ද? මෛත්‍රිපාල සිංහල බෞද්ධයකු ලෙස ඒ සියල්ලට රැවටෙනවා. අප බොහෝ දෙනාත් රැවටෙනවා.

වෙසක් දිනය සමස්ත ඉන්දියාවේ ම නිවාඩු දිනයක් නො වෙයි. එය බටහිර රටවල නිවාඩු දිනයකුත් නො වෙයි. එක්සත් ජාතීන් බැංකි මූන් යටතේ වෙසක් දිනය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් බව ඇත්ත. ඒත් එපමණයි. බටහිර රටවල ජීවත් වෙන බෞද්ධයන්ට අඩුම තරමෙන් වෙසක් දින සිල් සමාදන් වීමට ඉඩ සලසනවා ද? බෞද්ධයනට ඒ සඳහා ඊට පසුව එන ඉරිදා තෙක් බලා සිටීමට සිදු වෙනවා. ඊනියා ජාත්‍යන්තර වෙසක් දිනය සැමරීමට ලංකාවට එන මෝදිට හා බටහිරයන්ට අප කියන්නේ පළමුව තම රටවල වෙසක් දිනය ජාතික නිවාඩු දිනයක් කරන ලෙසයි.



   

මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



https://www1.kalaya.org

                               

නලින් ද සිල්වා



2017 පෙබරවාරි 28