History

Wednesday, 29 March 2017

වකුගඩු රෝගයට බෙහෙත් නැති ශාස්ත්‍රීය ම නොවන ශාස්ත්‍රීය අධ්‍යාපනය  


වකුගඩු රෝගයට බෙහෙත් නැති ශාස්ත්‍රීය ම නොවන ශාස්ත්‍රීය අධ්‍යාපනය



සිංහලයන් ශිල්පවලට අති දක්‍ෂයි. අපට ඉතිහාසයෙන් උරුම වී ඇත්තේත් ශාස්ත්‍රවලට වඩා ශිල්ප. අපේ සාහිත්‍යයක් අපට නැතුවා නො වෙයි. එහෙත් ඒ සාහිත්‍යය බොහෝ විට සිංහල බෞද්ධාගමිකයි. එහි දෙවියන් ද සිටිනවා. එහි කිසිම වරදක් නැහැ. අපට ඉතා ඉහළ වෙදකමක්, ගොවිකමක්, ඉදිකිරීමක් තිබී ඇති බව පැහැදිලියි. වෙදකම ගැන ලියැවුණු පොතපත නම් තරමක් තිබෙනවා. ඒත් ඒ පිළිබඳ තොරතුරු ලබා ගැනීම තරමක් අසීරුයි. පොත්පත් ඇත්තේ විසිරිලා. අපට කොහොමත් මධ්‍යගත දැනුමක් තිබී ඇත්තේ බුදුදහම සම්බන්ධයෙන් පමණයි. ඒ මහාවිහාරය  දහම පිළිබඳ අධිකාරී බලයක් ලබා ගැනීමෙන් පසුව. එයට කලින් අභයගිරියෙහි හා වෙනත් ආරාමවල බුදුදහම සම්බන්ධයෙනුත් විවිධ අර්ථකථන තිබී ඇති බව පැහැදිලියි.




බුදුගොස් හිමියන් මෙරටට වැඩම කිරීමෙන් පසුව හෙළ පොත් පාළියට (පාඨ භාෂාවට) පරිවර්තනය කළා පමණක් නොව මහාවිහාරය අධිකාරියක් ද ලබා ගෙන තිබෙනවා. මහාවිහාරය ඉන් පසු ථෙරවාදය රැක ගැනීමට පියවර ගෙන තිබෙනවා. එමෙන් ම මහාවංසය ලියා සිංහල බෞද්ධ සංස්කෘතියේ ද චිරස්ථිතිය සඳහා කටයුතු කර තිබෙනවා. එහෙත් ඉන් පසු ශාස්ත්‍රවල දක්‍ෂතාව මෙන් ම නිර්මාණාත්මක භාවයත් අඩු වී තිබෙනවා. එය ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ එයට අවුරුදු එක්දහකට පමණ පසුව පරංගි ඒමෙන් පස්සෙ. විශේෂයෙන් ම ගිවිසුම් අත්සන් කිරීමේ දී.



ශාස්ත්‍රවල නිර්මාණශීලීත්වය අඩු වුවත් ශිල්පවල එසේ වී නැහැ. ධාතුසේන රජු කලා වැව තැනෙව්වා. ඒ සඳහා කලා ඔය හරස් කරන්න සිදු වුණා. පරාක්‍රමබාහු රජු පරාක්‍රම සමුද්‍රය තැනෙව්වා. එය වැව් හයක් එකතු කර තැනූ බව කියැවෙනවා. ඒ කොහොම වුණත් දහතුන් වැනි සියවස දක්වා වාපී කර්මාන්තය වර්ධනය වූවා. ඉන් පසු රටේ ඇති වූ දේශපාලන අස්ථාවරත්වය සමග එයට ඊට කලින් සිදු වූ ආකාරයේ වර්ධනයක් අත් වූයේ නැහැ.



වැව් කර්මාන්තයට මුල් වූ ශාස්ත්‍රීය දැනුමක් ගැන කියැවෙන්නේ නැහැ. එමෙන් ම ගොවිකම හා වෙදකම සම්බන්ධයෙන් ද    කිව හැකි වනුයේ එවැන්නක්. අපට වියුක්ත දැනුම් පද්ධති තිබී ඇත්තේ අභිධර්මය පිටකය වැනි තැනක පමණයි. අප වැව් දාගැබ් ගොඩ නැගුයේ ආධ්‍යාත්මික ව ලබාගත් සංයුක්ත දැනුමකින් විය යුතුයි. වෙදකම ද එසේ මයි. ග්‍රීකයන්ට මෙන් වියුක්ත ස්වසිද්ධිවලින් පටන් ගෙන ද්විකෝටික න්‍යාය යොදා ගනිමින් නිගමනය කිරීමේ ක්‍රමයක් අපට තිබී නැහැ. රුවන්වැලි සෑය බැඳීමේ දී කියැවෙන කතාවලින් පෙනී යන්නේ අප සංයුක්ත ව ආධ්‍යත්මික ව දැනුම ලබා ගෙන ඇති බවයි.



කෘෂිරසායනික වකුගඩු රෝගය සම්බන්ධයෙන් ද දැනුම ලබා ගැනීමේ දී අප අනුගමනය කෙළේ ඒ පිළිවෙතයි. අප ආධ්‍යාත්මික ව අදෘශ්‍යමාන ප්‍රාණියකුගෙන් දැනුම ලබා ගත්තා. අප දැනගත් දේ ඉතා සරලයි. කෘෂිරසායනවලින් ලැබෙන ආසනික් ලවණ ග්ලයිෆොසේට් සමග දැළිසක් තනනවා. එහි දී කිවුල් ජලය හා පස ද බලපානවා. මේ දැළිස ආමාශයට යනවා. ශරීරය ඇතුළත දැළිස දියවෙනවා. දැළිස ජලයෙහි දිය නොවන බව කීමෙන් එය ශරීරය තුළ දියවෙන්නේ නැති බවක් නිගමනය වන්නේ නැහැ. මෙරට බොහෝ බටහිර විද්‍යාඥයන්ගේ හා බටහිර වෛද්‍යවරුන්ගේ තර්කඥානය දුර්වලයි. ආධ්‍යාත්මික ව දැනුම ලබා ගැනීම යම් තලයකට පැමිණෙන තෙක් අපේ ප්‍රවාද ගොඩ නැගීමට කියා දීමට තැත් කළත් එය මෙතෙක් සාර්ථක  වී නැහැ.



දියවුණු දැලිසෙන් ආසනික් ලවණ මුදා හැරෙනවා. වකුගඩු රෝගය ඇතිවන්නේ ඒ ලවණ මගින්්. ග්ලයිෆොසේට් මෙහි දී ක්‍රියාකරන්නේ වාහකයක් ලෙස.  මේ වන තුරු මෙරට බටහිර රසායනික විද්‍යාඥයන් හා වෛද්‍යවරුන් කෘෂිරසායනික වකුගඩු රෝගය ඇතිවන්නේ කෙසේ දැයි කියන්නේ නැහැ. ඔවුන්ගේ ඊනියා පර්යේෂණවලින් රෝගීන්ට ඇති වන සෙතක් නැහැ. එහෙත් පර්යේෂකයන්ට ඊනියා පර්යේෂණ පත්‍රිකා හා උසස් වීම් නම් ලැබෙනවා. බටහිරින් බටහිර විද්‍යාඥයකු පැමිණ කෘෂිරසායනික වකුගඩු රෝගයට හේතුවක් කියන තෙක් මෙරට අයට ප්‍රලාප  හැරෙන්න වෙනත් දෙයක් කියන්න බැහැ. බටහිර විද්‍යාඥයකු පට්ටපල් බොරුවක් කියාවි.



කෘෂිරසායනික වකුගඩු රෝගයට පිළියම් සම්බන්ධයෙන් ද කිව හැක්කේ එවැනි ම දෙයක්. බටහිර වෛද්‍ය විද්‍යාවට ඒ සඳහා ප්‍රතිකාර නැහැ. රුධිර කාන්දුකරණය ප්‍රතිකාරයක් නො වෙයි. එය පැලැස්තරයක් පමණයි. එහෙත් වකුගඩු රෝගයට පිළියම් කළ හැකි සිංහල වෙදමහත්වරුන් මෙරට සිටිනවා. ඔවුන්ට ඒ සඳහා උපකාර කිරීමට ආණ්ඩුව ඉදිරිපත් වන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් අප එකල ජංගම වෙදගෙවල් යෝජනා කළා. පසුගිය ආණ්ඩුවේ ව්‍යාපෘති අමාත්‍යාංශය හා වයඹ පළාත් සභාව එක් වී යම් වැඩ පිළිවෙළක් සකස් කළ නමුත් ජනතාවට යමපාලනය අවශ්‍ය වීම නිසා ඒ වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යෑමට බැරි වුණා. මේ ආණ්ඩුවෙන් එවැනි වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක  කිරීමට පෙර ඉබ්බන් පිහාටු ලබා දේවි.



මෙරට අධ්‍යාපනය දුවන්නේ වැරදි පීල්ලක. අපට ශාස්ත්‍රවලට වඩා දහස් ගුණයකින් ශිල්ප පුළුවන්. එහෙත් අපේ අධ්‍යාපනයේ අවධාරණය කරන්නේ ශාස්ත්‍ර පැත්ත. ඉංජිනේරු හා වෛද්‍ය ක්‍ෂෙත්‍ර ශාස්ත්‍රවලට වඩා ශිල්ප බව පැහැදිලියි. එහෙත් එහි මුල දී අවධාරණය කෙරෙන්නේ ශාස්ත්‍ර. අප දක්‍ෂ ශිල්පීන් වුවත් ඒ ක්‍ෂෙත්‍රවලට වඩා යොමු වන්නේ ශාස්ත්‍රවලට තරමක් දක්‍ෂ අය. අප මේ ක්‍ෂෙත්‍ර දැනට වඩා ශිල්පීය හැකියාවක් ඇති අයට විවෘත කළ යුතුයි. ඒ සඳහා  පවත්නා අධ්‍යාපන ක්‍රමයත් විශේෂයෙන් ම සාමාන්‍ය පෙළ හා උසස් පෙළ පරීක්‍ෂණත් සුදුසු නැහැ.



ශිෂ්‍යයන්ට ශිල්ප පිළිබඳ අභිමානයක් ඇති කළ යුතුයි. අද අභිමානය ශාස්ත්‍ර හදාරන්නටයි. අපට පුළුවන් සිංහල වෙදකමට කිසිම අභිමානයක් නැහැ. අපේ සනුහරේ අභිමානය සිංහල වෙදකම, සිංහල ගොවිකම හා සිංහල ඉදිකිරීම. එහෙත් සිසුන්ට පාසල්වල ඒ අභිමානය ලබා දෙන්නේ නැහැ. ශාස්ත්‍ර එතරම් බැරි වුවත්  සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සමත් වී ශාස්ත්‍රීය ම නොවන ශාස්ත්‍රීය දැනුමක් ලබා ගැනීමට විශ්වවිද්‍යාලවලට යනවා. ශිල්පීය හැකියාවක් ඇති අය අර විභාගවලින් අසමත් වී සෙක්‍යුරිටි රැකියාවලට (මුර වැඩට) හෝ ත්‍රිරෝද පැදවීමට හෝ යනවා. ශිල්පීය හැකියාවක් ඇති අයට ශිල්පීය රැකියා තිබෙන නමුත් ඒ පිළිබඳ අභිමානයක් නැති නිසා තරුණයන්්ත්‍රිරෝද පදවනවා. තරුණියන් අරාබිකරයේ වහල් වැඩට යනවා.








මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



https://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 මාර්තු 29.