ජාතිකත්වය හා මනමේ
මෙරට ජාතිකවාදීන් යනු සජාතීය පිරිසක් නො වෙයි. ඔවුන් අතර විවිධ
වර්ගවල පුද්ගලයන් ඉන්නවා. ජාතිකත්වයට වඩා
පක්‍ෂ දේශපාලනය සමහරුන්ට වැදගත්. චන්ද්‍රිකාගේ කාලයේ ඇතැම් එ ජා පාක්‍ෂිකයනුත්
ජාතිකත්ව කතා කිව්වා. ඔවුන් පැකේජයට විරුද්ධ වුණා. ඒ චන්ද්‍රිකා ගෙන ආපු නිසා. ඒත්
රනිල් 2002 දි අගමැති වුණාම ප්‍රභාකරන් සමග ඇති
කර ගත් ගිවිසුමට ඔවුන් විරුද්ධ වුණේ නැහැ. එමෙන් ම ඔවුන් අද රනිල්ගේ සිංහල විරෝධී
ක්‍රියාවලට විරුද්ධ වන්නෙත් නැහැ. ඔවුන් සමහරුන්ගේ පවුල්වල උදවිය මනෝරි
මුත්තෙට්ටුවගම කොමිටියෙ පාක්‍යසෝති සරවනමුත්තුලා සමග එකට වැඩ කරනවා. ඒ අතර ඔවුන්
අපට කුහකයන් කියා කියනවා. ඒ අප වත්මන් සමාජයේ බටහිර නූතනත්වය අත්විඳින ගමන් බටහිර
ඊනියා නූතනත්වයට යටවන අනුකාරකයන් එසේ
හැඳින්වීම වරදක් බව කියමින්. දැන් ස්මාට් ජාතිකවාදීන් හා මොඩ් ජාතිකවාදීන් ද
ඉන්නවා. ඔවුන්ට අවශ්‍ය බටහිර ඊනියා නූතනත්වයට ජාතිකත්වය යටකිරීමට.
අප චන්ද්‍රිකාගේ කාලයේ පැකේජයට හා වෙනත් සිංහල විරෝධී ක්‍රියාවලට
එරෙහිව ජාතික ඒකාබද්ධ කමිටුව නමින් සංවිධානය වී සිටියා. එහි එ ජා පාක්‍ෂිකයනුත්
සිටියා. ඒ කමිටුව සිංහල කොමිසම නමින් කොමිසමක් පත් කර සාක්‍ෂි විභාග කරමින් රට වටේ
ගියා. සිංහල කොමිසම අවසානයේ දී නිකුත් කළ වාර්තාවේ සංධීය රාජ්‍යයක් නිර්දේශ කර
තිබුණා. වාර්තාව නිකුත් කිරීමට තිබුණේ අප කිසිවකුටවත් නොපෙන්වා. එහෙත් එදින උදේ
සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයට ගොස් සිටි මට මිටි බඳිමින් තිබූ මුද්‍රිත වාර්තාව
කියවන්න ලැබුණා. පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන්, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් හා මා වාර්තාවට විරුද්ධ වුණා. අවසානයේ
දී ජාතික ඒකාබද්ධ කමිටුවෙන් අප නෙරපුවා. කැකිල්ලෙ රජ්ජුරුවොත් අපේ ජාතික චරිතයක්!
අදත් ජාතික ව්‍යාපාරයේ විවිධ දේශපාලන පක්‍ෂ ක්‍රියාත්මක වෙනවා. ඔවුන්
තම දේශපාලන පක්‍ෂවල අරමුණු ක්‍රියාත්මක කර ගැනීමට ජාතික ව්‍යාපාරය යොදා ගන්නවා. මේ
හේතුවෙන් මා අද සංවිධිත ජාතික ව්‍යාපාර කටයුතුවලින් බොහෝ දුරට ඉවත් ව සිටිනවා.
ජාතික ව්‍යාපාරයට ජාතික මතවාද සැපයීමට අප කාලයක් තිස්සේ උත්සාහ දරණවා. එහෙත් එය
තවමත් සාර්ථක වී නැහැ. මා කලින් ලිපිවල කියා ඇති පරිදි ජාතික චින්තනය කියන අදහසත්
බටහිරින් ගත් එකක්. රුසියන් විප්ලවය (මේ අවුරුද්දේ එයට අවුරුදු සියය පිරෙනවා.
පෙබරවාරි විප්ලවයට නම් පසුගිය මාසයේ අවුරුදු සියය පිරුණා. ඒ ගැන සද්දයක් තිබුණේ
නැහැ. පරණ දින දර්ශනය අනුව රුසියන් විප්ලවයට අවුරුදු සියය පිරෙන්නේ ඔක්තෝම්බරයේ.
වමේ සහෝදරවරු එකතු වී එය සමරාවි ද?
රුසියන් විප්ලවයට වෙච්ච දෙයක් නැති නිසා එය
සැමරුවත් වරදක් නැහැ.) ගැන ලියූ කෘතියක සඳහන් ව තිබූ නැ’ෂනල් තෝට් යන්න ගුණදාස
අමරසේකර ජාතික චින්තනය ලෙස සිංහලට පෙරළුවා. ජාතික චින්තනය යන්නත් ඒ අර්ථයෙන් ගත්
කල විජාතික අදහසක්!
එහෙත් අප එය ඒ ආකාරයෙන් ම අනුකරණය කෙළේ නැහැ. ජාතික චින්තනය යන්නට
යටින් චින්තනය යන සංකල්පය අප නිර්මාණය කර ගෙන තිබුණා. අපේ ප්‍රධාන සංකල්පය චින්තනය
යන්නයි. යම් ජාතියක ජනවර්ගයක චින්තනය අදාළ ජාතියේ හෝ ජනවර්ගයේ හෝ ජාතික චින්තනය
වූවා. අපට එය ඥානවිභාගය, ඥානවීමංසාව සමග බැඳී තිබුණා. අප කියා
සිටියේ යම් ජනවර්ගයක (ජාතියක) දැනුම නිර්මාණය වන්නේ අදාළ සංස්කෘතියට, ජනතාවගේ මනසට හා පංචෙන්ද්‍රිය පද්ධතියට සාපේක්‍ෂ
ව බවයි.
අමරසේකර එහි දී මා සමග එකඟ වන්නේ නැහැ. ඔහු දැනුමේ වාස්තවිකත්වයක්,
යථාර්ථයක් පිළිගන්නවා. ඔහුට මාර්ටින් වික්‍රමසිංහට
හා සරච්චන්ද්‍රට මෙන් ම බටහිර දැනුම් පද්ධතිය සංස්කෘතියෙන් නිරපේක්‍ෂයි. මෙයින්
අදහස් කරන්නේ වික්‍රමසිංහ හා සරච්චන්ද්‍ර දැනුමේ සාපේක්‍ෂතාවක් ගැන දැන සිටි බව
නොවෙයි. දැනුමේ සාපේක්‍ෂතාවක් නොදැන සිටි නිසා ම ඔවුන්ට දැනුම නිරපේක්‍ෂ වුණා.
සරච්චන්ද්‍රට කුරසෝවා රෂෝමාන් චිත්‍රපටියෙන් කී සාපේක්‍ෂතාවක් තේරිලා නැහැ.
එබැවින් ඔහු එහි එන සිද්ධියක් චුල්ලධනුද්ධර කතාව සමග එකට ගත්තා. මනමේ නාට්‍යයට
පසුබිම් වූයේ එයයි.
අපට නාඩගම් ලැබුණේ දකුණු ඉන්දියාවෙන්. අප කෝලම් හා නාඩගම් ගත්තත් ඒ
ගැන එතරම් ගෞරවයකින් කතා කෙළේ නැහැ. මේ මොන නාඩගමක් ද මේ මොන කෝළමක් ද මේ මොන
විගඩමක් ද ආදී ව්‍යවහාර අපේ සංස්කෘතියේ තිබෙනවා. නාඩගම් ප්‍රචලිත ව තිබූ ප්‍රදේශවලත්
ඒ ව්‍යවහාරය තිබෙනවා. සරච්චන්ද්‍ර මනමේ නාට්‍යය නිෂ්පාදනය කිරීමට පෙර මනමේ කවි නාඩගම හා වෙනත් සින්දු නාඩගම්මෙරට තිබුණා. මනමේ නාට්‍යයේ බොහෝ ගීත නාඩගමෙන් ගත් ඒවා. බොහෝ දෙනා
නොදන්නවාට ප්‍රේමයෙන් මන රංජිත වේ යන්නේ ඇත්තේ දෙමළ ගීතයක තනුවක්. ඒ දෙමළ ගීතය
කලකට පෙර කතෝලික පල්ලිවල ගායනය කර තිබෙනවා.
අපේ සංස්කෘතියේ නාඩගම් ආදිය ගැන එතරම් ප්‍රසාදයක් නොතිබුණත් සින්දු
ජනප්‍රිය වෙලා තිබුණා. විශේෂයෙන් ම බස්නාහිර වෙරළ තීරයේ ඒ සින්දු ජනප්‍රිය වුණා.
මලබාරයෙන් පැමිණ සිංහල වූ අයට මේ සින්දු ගැන දැනුමක් තියෙන්න ඇති. කරාව, දුරාව, සලාගම කුලවල අය සියල්ලන් ම දහහතරවැනි සියවසෙන් පසු මෙරටට පැමිණි අය
නො වෙයි. එහෙත් ඒ කුලවලට මලබාරයෙන් (කේරළයේ ප්‍රදේශයක්) පැමිණි පිරිස් එකතු වී
තිබෙනවා. ඒ සමහර පිරිස් අතර පසුව නාඩගම් ආදිය ප්‍රචලිත වී තිබෙන බව පැහැදිලියි.
විශේෂයෙන් ම අම්බලන්ගොඩ ප්‍රදේශයේ එවැනි විවිධ කලා වර්ධනය වුණා. අම්බලන්ගොඩ චාල්ස්
සිල්වා ගුරුන්නාසේ ගැන කතා නොකර මනමේ නාට්‍යය ගැන කතා කරන්න බැහැ. එතුමා
පේරාදෙණියේ සංඝමිත්තා ශාලාව අසල පිහිටි සරච්චන්ද්‍ර නිවසේ මනමේ නිෂ්පාදනය කිරීමට
ආධාර කළ ආකාරය ගැන මා කියවා තිබෙනවා. සරච්චන්ද්‍රගේ මනමේ නාට්‍යය රෂෝමාන් චිත්‍රපටිය,
චුල්ලධනුද්ධර ජාතකය, ජපානයේ නෝ නාට්‍ය හා අම්බලන්ගොඩ නාඩගම් එකතුවෙන් නිර්මාණය වූවක්. ඒ අනුකාරක එකතුවක් මිස අපේ සංස්කෘතියට අවශෝෂණයක් නොවෙයි. මනමේ ජනප්‍රිය
වී ඇත්තේ එක්තරා උගත් පිරිසක් අතරයි. එයටත් ප්‍රධාන හේතුව එහි ගීත මිස එහි තිබූ
නාට්‍ය ධර්මීබවක් නොවෙයි. කලක සිට අපේ සංස්කෘතිය පරස්පර සහිත අනුකාරක එකතුවක් බවට පත්වෙමින් තිබීම කණගාටුවට කරුණක්.
මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
https://www1.kalaya.org
නලින් ද සිල්වා
2017 මාර්තු 28