History

Wednesday, 8 March 2017

පළාත් සභාවලට කළ යුත්තේ කුමක් ද?


පළාත් සභාවලට කළ යුත්තේ කුමක් ද?



ස්මාට් දේශප්‍රේමීන් ගැන බොහෝ දේ කියන්න තිබුණත් ඒවා පස්සෙ දවසකට කල් දාමු. ඓන්ද්‍රිය (ඕගැනික්) බුද්ධිමතුන් ගැන කියන කතා නිකම් පුහු මනස්ගාත විතරයි. ඊනියා ඓන්ද්‍රිය බුද්ධිමතුන් දන්නෙ බටහිර කවුරුන් හරි කියපු දෙයක් සිංහලට පරිවර්තනය කරන එක විතරයි. ඓන්ද්‍රිය බුද්ධිමතුන් කියන එකෙන් ම ඒක පැහැදිලිි වෙනවා. ඓන්ද්‍රිය බුද්ධිමතා කියන්නෙ කවුද කියලා කියන්නවත් ඊනියා ඓන්ද්‍රිය බුද්ධිමතුන්ට පුළුවන් ද? අද මේ රටේ දේශපාලනය මැතිවරණ හා ජනාධිපතිවරණය ඉලක්ක කර ගත් එකක්. ඊළඟ ජනාධිපතිවරණයට සූදානම් වෙන එක තමයි හැමෝම වගේ කරන්නෙ. අද හුඟ දෙනකු කරන්නෙ ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු ගැන හිතා ගෙන ඔහු පස්සෙ එකතු වෙන එක. මෛත්‍රිපාලත් ජනාධිපති අපේක්‍ෂකයකු වෙන්න පුළුවන්් බව අමතක කරන්න එපා. මහින්දට ජනාධිපති අපේක්‍ෂකයකු වීමට බැරි නිසා මේ කසිකබල් දේශපාලනය කොතැනින් කෙළවර වෙයි ද? රනිල්ට ජනාධිපති අපේක්‍ෂකයකු වෙන්න පුළුවන් වුනත් ජනාධිපති වෙන්න බැහැ. විධායක ජනාධිපතිගෙ බලතල තව කොපමණ අගමැති අතට (ඊනියා පාර්ලිමේන්තුවට) පත් වේවි ද? එහෙම වුණොත් ජනාධිපති වීමේ තේරුම කුමක් ද?



එහෙත් ජනාධිපතිවරණයට කලින් විසඳගන්න ප්‍රශ්න රාශියක් තියෙනවා. විසඳගන්න බැරි නම් අඩු තරමෙන් තේරුම් ගන්න ප්‍රශ්න කොපමණ තිබෙනවා ද? ප්‍රශ්නයක් විසඳන්න ඉස්සෙල්ල ඒක තේරුම් ගන්න ඕන. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය නන්දිකඩාල් කලපුවෙ දේශපාලනික ව පරාද වුණා කියන එක බොහෝ දෙනකුට තේරෙන්නෙ නැහැ. තේරුම් ගත්තත් දේශපාලනඥයන් ඒක දිගට ගෙනයන්නෙ නැහැ. ඊනියා ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීන්ට ඒ කතාව තේරෙන්නෙ ම නැහැ. ඔවුන් ඒ මතයට කිසිම ප්‍රචාරයක් දෙන්නෙ නැහැ.



අද තියෙන්නෙ නන්දිකඩාල් ජයග්‍රහණය නීති පොතට (ව්‍යවස්ථාවට) ඇතුළු කරන එක කියලා කිවුව ම දේශපාලනඥයන්  හා ජනමාධ්‍යවේදීන් අවඥාවෙන් හිනා වෙනවා. එයින් කියන්නෙ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අහොසි කරන එක කියලා කිවුව ම ඊනියා ඓන්ද්‍රිය බුද්ධිමතුන් හිනා වෙනවා. ඔවුන් කියන්නෙ ඒක ප්‍රායෝගික නැහැ කියලා. රතන හාමුදුරුවන් කතා කරන්නෙ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය නියමෙට ම ක්‍රියාත්මක කරලා සන්ධීය  හෙවත් ෆෙඩරල් රාජ්‍යයක් ඇති කරන්න. අවුරුදු විසිපහකට පමණ ඉහතත් උන්වහන්සෙ මංගල සමරවීර එක්ක රටවැසි පෙරමුණ හදලා යෝජනා කෙළෙ සන්ධීය රාජ්‍යයක් පිහිටුවන්න.



අද පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් පවැඩිපුර පැමිණෙන්නෙ පළාත් සභා හරහා. පළාත් සභා පාර්ලිමේන්තුවට දොර විවෘත කරන තැන් වගෙයි. පළාත් සභා හරහා එන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පළාත් සභා අහෝසි කරන්න කැමති නැහැ. ඒත් හරිහමන් නායකයකු කිවුවොත් ඔවුන් එකඟ වේවි. පළාත් සභා අහෝසි කරන්න හරිහමන් නායකයකු එකඟ කර ගන්න එක තරමක් අමාරුයි.



පළාත් සභා අප මත පැටෙවුවෙ ඉන්දියාව. ඉන්දියාවෙ තිබුණ ප්‍රශ්නයකට දුන් විසඳුමක් ඔවුන් ලංකාවෙ නොතිබුණු ප්‍රශ්නෙකට දුන්න. ජේ ආර් මෙරට ජනතාවට ජනාධිපතිකම කෙරුවට රටෙන් පිටට ගියා ම නිවටයෙක්. ප්‍රේමදාස ඒ බව දැනගෙන හිටියා. ඔහුට, එනම් යැංකි ඩිකීට, එක්සත් රාජ්‍යවත් එංගලන්තයවත් උදවු නොකළ විට ඔහු නිවට ලෙස ඉන්දියාවට යටවුණා. ඔහුගෙ ඊනියා වීර පරාක්‍රමය එබඳුයි. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය තිබෙනතාක් පාවාදීම් කෙරේවි. ජී එල් පීරිස් සමගාමි ලැයිස්තුව ඉවත් කර ගැනීමට එකඟ වුණෙ ඉතා මෑතකදි. ඒකට ඒකාබද්ධ විපක්‍ෂෙ ඇතැමුන් විරුද්ධ වුණු නිසා ජී එල්ට තම ලිපිය අස්කර ගන්න සිද්ධ වුණා. ඒත් ජී එල්ගෙ ලියුම තවමත් ආණ්ඩුවෙ නායකයන් ළඟ තියෙනව.



ඓන්ද්‍රිය බුද්ධිමතුන්, ස්මාට් දේශප්‍රේමීන් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරනවාට එකඟ ද? නැත්නම් ඒ බව කෙළින් කියන්න. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් රට සන්ධීය රාජ්‍යයක් වුණා. අද රටේ යම් යම් ප්‍රදේශවලට බලපාන පරිදි නීති ව්‍යවස්ථා සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවට අමතර ව තවත් ආයතන නවයක් තිබෙනවා. මේ රට දැන් සරල සන්ධීය රාජ්‍යයක්. වනසුන්දර විනිසුරුතුමා ඇතුළු විනිසුරුවන් හතරදෙනකු ම ඒ බව කියා තිබෙනවා. දහතුන්වැනි සංශෝධනය සම්මත කෙරුවෙ ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුවකට විරුද්ධ ව. මේ ආණ්ඩුව උත්සාහ ගන්නේ වඩ වඩාත් බලතල සහිත පළාත් සභා මගින් රට තව තවත් සන්ධීය කර අවසානයේ දී ඊළමට පාර කපන සහසන්ධීය රාජ්‍යයක් පිහිටුවීමටයි.    



අපට අවශ්‍ය නන්දිකඩාල් දේශපාලන ජයග්‍රහණය නෛතික ජයග්‍රහණයක් බවට පත් කර දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමටයි. අප පළාත් සභා අහෝසි කරන්න කිවුව ම පළාත් සභා මන්ත්‍රීවරුන් මෙන් ම පළාත් සභා හරහා පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනුත් විරුද්ධ වෙනවා. අද කරන්න තියෙන්නෙ පළාත් සභාවලට ඇති ව්‍යවස්ථාදායක බලතල ඉවත් කරන එක. සියළු ව්‍යවස්ථාදායක බලතල තිබිය යුත්තේ පාර්ලිමේන්තුවට පමණයි. පළාත් සභා පනත සංශෝධනය කර ඒ සභා සංවර්ධන සභා බවට පත්කළ යුතුයි. ප්‍රදේශීය වශයෙන් ගත් කළ ඇතැම් සංවර්ධන කටයුතු පමණක් සංවර්ධන සභාවලට පැවරිය හැකියි. පළත් සභා මන්ත්‍රීවරුන්ට අවශ්‍ය වරප්‍රසාද ඇමතිකම් ආදියයි. පළාත් සභා මන්ත්‍රීවරුන් සංවර්ධන සභා මැති ඇමතිවරුන් බවට පත් කර ඔවුන්ට වරප්‍රසාද තවදුරටත් තියා ගන්න ඉඩ දුන්නට කමක් නැහැ. ඒක පිදේනියක් පමණයි.





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



https://www1.kalaya.org

                               

නලින් ද සිල්වා



2017 මාර්තු 08