History

Thursday, 9 March 2017

දහතුන ගැන තවදුරටත්


දහතුන ගැන තවදුරටත්



දහතුන්වැනි සංශෝධනය ගැන ඇතැමුන් දන්නා දෙයක් නැති බව පැහැදිලියි. මා මේ වෙබ් අඩවියේ ලිපි ගණනාවක් ම පළ කර ඇති නමුත් එයට පෙර 1987 සිට දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ලිපි  සිය ගණනක් ලියා ඇති මුත් ඇතැමුන්ට ඒ කිසිවක් තේරෙන්නේ නැහැ.  දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය හා නන්දිකඩාල් ජයග්‍රහණය අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධයක්. ඒ බව දන්නේ දෙමළ ජාතිවාදයේ ඉතිහාසය දන්නා අය පමණයි. අඩු තරමෙන් ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා පොත කියවා තිබුණා නම් නැත්නම් මේ වෙබ් අඩවියේ පළවන ලිපි කියවා තිබුණා නම් දෙමළ ජාතිවාදයේ ඉතිහාසය දැනගැනීමට තිබුණා. මේ කරුණු නැවත නැවතත් කීමට සිදුවීම ගැන කණගාටු වෙනවා. මේ කරුණු බොහොමයක් මා දි අයිලන්ඩ් පුවත්පතටත් ලියා තිබෙනවා. එහෙත් කිසිවකු කිසි දා එයට අභියෝග කෙළේ නැහැ. මා මේ කියන සෑම කරුණකට ම සාධක තිබෙනවා.




ඉතාමත් කෙටියෙන් කියනවා නම් දෙමළ ජාතිවාදය ඇරඹුණේ දහහත්වැනි සියවසේ ලන්දේසීන් තම දුම්කොළ වගාව සඳහා කෝරමණ්ඩල වෙරළෙන් වෙල්ලාලයන් ගෙන ඒමෙන් පසුව. එවකටත් යාපනයේ බහුතරය වූ සිංහලයන් ලන්දේසීන්ගේ අනුග්‍රහය යටතේ දෙමළ සංස්කෘතියට අවශෝෂණය කෙරුණා. එසේ කෙරුණේ හින්දු සමාජයේ ඔවුන් අඩු කුල ජනයා බවට පත්කරමින්. අද කෝවියාර් කියන්නේ එකල ගොවියන්. නලවාර් කියන්නේ රා මදින අය. මේ කුලවල නම්වලට දෙමළ නිරුක්ති නැහැ.



ඉංගිරිසින් වෙල්ලාලයන්ට ඉහළින් සැලකුවා. වරප්‍රසාද දුන්නා. ප්‍රජාතන්ත්‍රවාදය හෝ සංස්කෘතිය හෝ ඉතිහාසය හෝ නොසලකමින් 1833 දී වෙල්ලාලයන්ට ව්‍යවස්ථාදායක මණ්ඩලයේ නියෝජනත්වයක් ලබා දුන්නේ සිංහලයන්ට ද එක් නියෝජිතයකු පමණක් ලබා දෙමින්. ඉංගිරිසින් දෙමළ ජාතිවාදයේ දේශපාලනය බෞතීස්ම කෙළේ එලෙසිනුයි. ඉන්පසු දෙමළ වෙල්ලාල ජාතිවාදී නායකයන් කෙළේ විවිධ ව්‍යවස්ථාදායකවල සිංහල නියෝජනත්වය අඩු කිරීමට කටයුතු කිරීමයි. ඔවුන් වැඩිදෙනා ක්‍රිස්තියානි සම්භවයක් තිබූ අය. පනහට පනහ මෙහි එක් ඉල්ලීමක් පමණයි. දෙමළ ජාතිවාදීන් ඉංගිරිසින්ගේ අනුග්‍රහයෙන් මේ ව්‍යාපාරය දිගින් දිගට ම කරගෙන ගියා. එහෙත් 1931 සර්වජන ඡන්දයෙන් පසු දෙමළ වෙල්ලාල නායකයන්ට තමන්ට කොළඹ ව්‍යවස්ථාදායකයේ බහුතරය වීමට නොහැකි බව තේරුම් ගියා. චෙල්වනායගම් 1949 දී (සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමට හෝ ලකුණු ප්‍රමිතිකරණයට හෝ බොහෝ කලකට පෙර) ඊනියා ෆෙඩරල් පක්‍ෂය හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය (ඉලංකෙයි තමිල් අරසු කච්චි) ඇරඹුයේ් උතුරු හා නැගෙනහිර පළාත්වල වෙන ම රාජ්‍යයක් පිහිටුවීමටයි.



මේ සියල්ල පිටුපස මුල දී සිටියේ ඉංගිරිසින්, ඇංග්ලිකන් ක්‍රිස්තියානීන්. 1948න් පසු  ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට පත්කර ගැනීමට බලන ඉන්දියාවත් දෙමළ ජාතිවාදයට අනුග්‍රහය දක්වන්නට පටන් ගත්තා. මේ තත්වය ක්‍රමයෙන් විකාශය වුණා. දෙමළ ත්‍රස්තවාදී කල්ලි බිහිවුණා. ඔවුන්ගේ අරමුණ වූයේ ඊළම. චෙල්වනායගම්ගේ අරමුණ වූයේත් ඊළම. එකම වෙනස ප්‍රභාකරන් ඒ සඳහා ආයුධ ගැනීමත් චෙල්වනායගම් ක්‍රමයෙන් (අද ටිකක් හෙට හුඟක්)  ඒ දිනාගැනීමට උත්සාහ කිරීමත්. ප්‍රභාකරන් ආකස්මික ව පහළ වූ අයකු නො වෙයි. ඔහු දෙමළ ජාතිවාදයේ විකාශයේ ම අවසන් අවස්ථාව.



ඉනදියාව බටහිර රටවල, විශේෂයෙන් එංගලන්තයේ අනුග්‍රහයෙන් අපට විවිධ යෝජනා විසඳුම් ඉදිරිපත් කළා. ඒ විසඳුම් ඉදිරිපත් කෙළේ දෙමළ ජනයාට වූ අසාධාරණයක් නැති කිරීමට බවයි ඔවුන් කීවේ. එහෙත් අප බොහෝ කලකට ඉහත දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් සිදු වී ඇති අසාධාරණය කුමක් දැයි විමසූ විට සියල්ලන්ට ම කට උත්තර නැතිව ගියා. අදටත් මේ ප්‍රශ්නයට පිළිතුරක් නැහැ. එහෙත් විසඳුම් ඉදිරිපත් කරනවා. මේ විසඳුම් ඉදිරිපත් කරන්නේ නැති ප්‍රශ්නයකටයි. මෙහි අරමුණ ඉංගිරිසින්ට කිසි දා කරන්න බැරි වූ සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීම. එසේ කිරීමට බැරි නම් දුර්වල කිරීම. ඉංගිරිසින් දෙමළ ජාතිවාදය ඇති කෙළේ ඒ සඳහා. මෙරට කතෝලික පල්ලිය හා විවිධ ක්‍රිස්තියානි පල්ලි දෙමළ ජාතිවාදයට ආධාර කෙළේත් කරන්නේත් ඒ සඳහා. ඇතැම් කතෝලික පූජකවරු හා ඇංග්ලිකන් හෙවත් ලංකා සභාවේ කෙනත් ප්‍රනාන්දු පූජක තැන ඇතුළු අය මෙහි දී සිහිපත් වෙනවා. මේ ආධාරයට හේතුව සිංහල බෞද්ධ සංස්කෘතිය අදේවවාදී වීම, මැවුම් කරුවකු නොපිළිගැනීම, දෙවියන් වහන්සේ කෙනකු ඇතුව හෝ නැතුව හෝ ආරම්භයක් ගැන නොකීම, යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට හා ජීවන රටවාට අභියෝග කිරීම, පෞද්ගලිකත්වය ඉස්මතු නොකිරීම ආදිය.



දහතුන්වැනි සංශෝධනය අප මත පැටෙවුවේත් මේ නැති ප්‍රශ්නයට විසඳුමක් ලෙසයි.  ඉන්දියාවේ තිබූ ප්‍රශ්නයකට නේරු දුන් පිළිතුර ඔහුගේ මුණුබුරු රජිව් ගාන්ධි අපේ නැති ප්‍රශ්නයට ද පිළිතුරක් ලෙස ඉන්දු ලංකා ගිවිසුම හා දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය බලහත්කාරයෙන් අප මත පැටෙවුවා. අප මේ ඊනියා විසඳුමත් ප්‍රතික්‍ෂෙප කළා. එය අප මත බලෙන් පැටෙවුවේ ජේ ආර්ගේ නිවටකම නිසා මිස ඊනියා ජාත්‍යන්තර බලතුලනයක් නිසා නො වෙයි. ඉන්දු ලංකා ගිවිසුම යටතේ අපට ඊනියා සාම සාධක හමුදාවක් ද එවුවා. ඊනියා ජාත්‍යන්තර සම්බන්ධකම් තුට්ටුවකටවත් මායිම් නොකර ප්‍රේමදාස ඒ හමුදාව ආපසු යැවුවා. මෙරට බහුතරයක් එක මතයක දැඩිව සිටින විට ශක්තිමත් නායකයකු සිටින විට ඊනියා ජාත්‍යන්තර බලවේගවලට කරන්න පුළුවන් දෙයක් නැහැ. එදත් බැරි නම් අද කොහොමටත් බැහැ. ප්‍රේමදාස බිරිතානි මහා කොමසාරිස් ග්ලැඩ්ස්ටන් ආපසු ඇරියා. එයට පෙර බණ්ඩාරනායක මැතිණිය තෙල් සමාගම් ජනසතු කළා. ඒ ජාතික නොව ඊනියා ජාත්‍යන්තර තෙල් සමාගම්. ඉන් පසු මහින්ද රාජපක්‍ෂ බටහිරට නොනැමී ප්‍රභාකරන් පරාජය කළා. බණ්ඩාරනායක මහතා ද ගිවිසුමක් කඩා තිරිකුණාමල හා කටුනායක කඳවුරු ඉංගිරිසින්ගෙන් පවරා ගත්තා. ඒ එදා. ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහය බලවත් කාලයේ. අද සුපිරිව්‍යුහය කඩා වැටෙන යුගය.



නන්දිකඩාල් කලපුවේ දී පරාජය කෙරුණේ ප්‍රභාකරන් පමණක් නො වෙයි. සමස්ත දෙමළ ජාතිවාදය ම පරාජය කෙරුණා. ඒ සමග ඊනියා විසඳුමක් වූ දහතුන්වැනි සංශෝධනයත් දේශපාලනික ව පරාජය කෙරුණා. දහතුන්වැනි සංශෝධනය දේශපාලනික ව අද අහෝසියි. අප එය අහෝසි කළ යුතු බව  කියන්නේ නෛතිකව. දේශපාලනික ව පරාජය කෙරුණු දෙයකට නෛතික පැවැත්මක් තියෙන්න බැහැ. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය තවත් ව්‍යවස්ථා සංශෝධනයකින් නෛතිකව අහෝසි කළ යුතුයි. අපේ රටේ ව්‍යවස්ථා සංශෝධන ගැන කතා කරන්න වෙන රටවලට අයිතියක් නැහැ. අපට අවශ්‍ය ශක්තිමත් නායකයකු පමණයි. මෙය ප්‍රායෝගික නැහැ කියලා කියන්න පුළුවන් ඉතිහාසය නොදන්න අයට පමණයි. දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ හැකි බව අප අවුරුදු විසිපහකට පමණ ඉහත කී විටත් ඇතැමුන් කීවේ එය ප්‍රායෝගික නැති බවත් ප්‍රභාකරන් අනභිබවනීය බවත්. දෙමළ ජාතිවාදීන් හා ඔවුන්ට ආවඩන්නන් අදත් ඊනියා ප්‍රායෝගිකබවක් ගැන කියවනවා.   (මතු සම්බන්ධයි)





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



https://www1.kalaya.org

                                                  

නලින් ද සිල්වා



2017 මාර්තු 09